19 April, 2024

Blog

මහජන කවුන්සිලය සහ ප්‍රති-හෙජමොනික දේශපාලනය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

අරගලයේ පළමු අදියර නිමාවීමත් සමග අප සමාජයේ හරයාත්මක පරිවර්තනයක් අරමුණු කොට ගත් නව බුද්ධිමය සංවාදයක් ආරම්භ වී තිබේ. මැතිවරණ දේශපාලනයේ සීමිත රාමුවෙන් ඔබ්බට ගිය මහජන දේශපාලනයක් තේමා කොටගත් එම සංවාදයට ජයදේව උයන්ගොඩ, සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර, නිර්මාල් රංජිත් දේවසිරි, ගාමිණී කීරවැල්ල ඇතුළු මෙරට විවේචක බුද්ධිමය සම්ප්‍රදාය නියෝජනය කරන සැලකිය යුතු බුද්ධිමතුන් පිරිසකගේ දායකත්වය ලැබෙමින් පවතී. තරුණ බුද්ධිමතුන් සේම දේශපාලන ක්‍රියාකාරීන් අතරද මේ පිළිබඳව විශාල උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනේ. නිදසුනක් ලෙස, අරගලයේ ඉදිරිගාමී කාර්යභාරයක් ඉටු කළ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුවට පිටතින් මහජන කවුන්සිල ගොඩ නැගීමේ ව්‍යාපාරයට දක්වමින් සිටින සක්‍රීය දායකත්වය සැලකිය හැකිය. මහජන කවුන්සිලය පිළිබඳ අදහස කේන්ද්‍ර කොටගත් මෙම සංවාදය වනාහී අරගලයේ පළමු අදියරෙන් පසුව මෙරට වඩාත්ම ඉදිරිගාමී වූත් නව න්‍යායික දැනුමින් පොහොසත් වූත් බුද්ධිමය පෙරමුණක් නිර්මාණය වෙමින් පවතින බවට සුබ ලකුණකි.

මේ ලිපිය, එම සංවාදයට කිසියම් දායකත්වයක් සැපයීමේ අරමුණින් ලියැවෙන්නකි. ඒ මෙරට නව දේශපාලනයේ ගමන් මග තැනෙනු ඇත්තේ මෙම මහජන දේශපාලනය පිළිබඳ නව සංවාදය මගින් හෙළි පෙහෙළි කෙරෙන සංකල්පීය මාවත් ඔස්සේය යන සුබවාදී අපේක්ෂාවෙන් යුක්තවය. මහජන කවුන්සිල ගොඩ නැංවීම සඳහා පුරෝගාමීත්වය ගන්නේ කවුරුන් වුවද, එය සක්‍රීය පුරවැසි දේශපාලනයක් සඳහා දායක වන මැදිහත්වීමක් බව පිළිගන්නට සිදුවේ. එය දැනට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලියට සීමා වී තිබෙන මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වඩාත් පුළුල් හා ගැඹුරු කිරීමට දායක වන ප්‍රයත්නයකි. දැන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනය ක්‍රියාත්මක වන්නේ හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියා පටිපාටිමය (procedural) පැතිමානයට සීමා වූ එකක් ලෙසිනි. එසේම මැතිවරණ ක්‍රියාවලිය තුළ ප්‍රාග්ධන බලය, මාධ්‍ය බලපෑම සහ අනුග්‍රාහක සබඳතා යනාදියෙන් බරපතල ලෙස ජනමතය ඉහළ සිට හැඩ ගස්වනු ලැබේ. තවමත් මෙරට දේශපාලන විද්‍යා පර්යේෂණ තුළ ප්‍රමාණවත් තරමේ අවධානයට ලක් වී නොමැති කාරණයක් වන්නේ මැතිවරණ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය මගින් අප සමාජයේ කුළමය, ආගමික සහ සෙසු ගතානුගතික ධූරාවලීන් පුනර්-ක්‍රියාත්මක (reactivate) වනු ලබන්නේ කෙසේද යන්නයි.

වසර කිහිපයකට වරක් ජනාධිපතිවරයෙකු සහ මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මැතිවරණ නමැති ක්‍රියා පටිපාටියට ඔබ්බෙන් ගොස් ජනතාව ප්‍රතිපත්ති සම්පාදනයට සක්‍රීයව මැදිහත් වන ව්‍යුහයන් ගොඩ නැංවීම වනාහී ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමක් ලෙසද හඳුනාගත හැකිය. සැබවින්ම දැන් මෙරට රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත වැටී ඇත්තේ මහජන කවුන්සිල ගොඩ නැංවීමේ ප්‍රයත්නය ඔස්සේ මිස සාම්ප්‍රදායික මැතිවරණවාදී ප්‍රයත්න ඔස්සේ නොවේ. මෙම ලිපියේ අරමුණ වන්නේ මහජන කවුන්සිල ගොඩ නැංවීමේ ව්‍යාපාරය, ප්‍රති-හෙජමොනික දේශපාලනය පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවේශය ඔස්සේ විමසා බැලීමටය.

සමෝධානික රාජ්‍යය

“කොමියුනිස්ට්වාදීන් රාජ්‍ය බලය දිනා ගැනීමට පෙරම රාජ්‍ය බලය අභ්‍යාස කළ යුතුය” යන අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රකට ප්‍රකාශයෙන් මගේ විශ්ලේෂණය ආරම්භ කරන්නට කැමැත්තෙමි. මේ ප්‍රකාශයේ අරුත විමසීමේදී අප ප්‍රථමයෙන් පැහැදිලි කරගත යුතු කාරණයක් තිබේ. එනම්, ග්‍රාම්ස්චි සැබවින්ම රාජ්‍ය බලය යනුවෙන් අදහස් කළේ කුමක්ද යන්නයි. රාජ්‍ය බලය යනු හුදෙක් රාජ්‍යයේ ඉහළ මුදුනේ සංකේන්ද්‍රණය වී පවතින යමක්ද? එසේ නම්, මැතිවරණයක් මගින් හෝ සන්නද්ධ විප්ලවයක් මගින් එම මුදුනෙහි බලය අත්පත් කරගත හොත් කොමියුනිස්ට්වාදීන් හට පහසුවෙන්ම සමස්ත රාජ්‍යයේම බලය දිනාගත හැකි විය යුතුය.

නමුත්, ඒ වෙනුවට ග්‍රාම්ස්චි ඔහුගේ ලිවීම් රාශියක් මගින් අපට පෙන්වා දෙන්නේ රාජ්‍ය බලය හුදෙක් රාජ්‍යයෙහි ඉහළ මුදුනත පමණක් සංකේන්ද්‍රණය වී නොපවතින බවයි. එය සමස්ත සමාජ දේහය පුරාම පැතිර පවතින්නකි. එසේම, එකී සමාජය තුළ වෙසෙන පුද්ගලයින්ගේ ජීවිත හැඩ ගස්වන්නටද සමත්ව තිබෙන්නකි. අප අපගේ දෛනික සමාජ ජීවිතය ගත කරන්නේ රාජ්‍යයට අනුගත වෙමින් නොවේද? එයිනුත් නොනැවතී අප රාජ්‍යය විසින් අපට උගන්වනු ලබන ජීවන පිළිවෙත ක්‍ෂුද්‍රමය තලයෙහි පුනර්-නිෂ්පාදනය කිරීමටද දායක වෙමින් සිටිනවා නොවේද? නිදසුනක් ලෙස, දේශපාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩ නමස්කාර කිරීමේ පුරුද්ද ළමා පරපුරට ඉගැන්වීමට අප දැන හෝ නොදැන කොතරම් දායක වෙමින් සිටිමුද? මෑත දිනෙක ජාත්‍යන්තර සම්මාන දිනූ තරුණ ක්‍රීඩිකාවක් නාමල් රාජපක්ෂ හට දණ්ඩ නමස්කාර කිරීම ඉතාම මතභේදාත්මක ප්‍රවෘත්තියක් බවට පත් විය. නමුත්, බලවතුන් ඉදිරියේ දණ නැමීමේ මෙම පුරුද්ද අපට කුඩා වියේ සිටම සමාජයීයව පුහුණු කරනු ලබන්නක් නොවේද?

ග්‍රාම්ස්චි සමෝධානික රාජ්‍යය (integral state) යන සංකල්පය භාවිත කළේ රාජ්‍යයේ මෙම සමාජමය පැවැත්ම විශ්ලේෂණය කිරීම සඳහාය. මේ අරුතින්, රාජ්‍ය බලය දිනාගැනීම යනු හුදෙක් රාජ්‍ය ආයතනවල මුදුනත අල්ලාගෙන ඒවා හැසිරවීමේ බලය දිනාගැනීම පමණක් නොවේ. සමස්ත සමාජය පුරාම ව්‍යාප්තව පවත්නා රාජ්‍යයේ යාන්ත්‍රණය පරිවර්තනයට ලක් කිරීමකි.

පරිවර්තනය පිළිබඳ අදහස මෙහිදී වැදගත් වන්නේ මන්ද? කොමියුනිස්ට්වාදීන් හට, නැතහොත් පවත්නා සමාජ ක්‍රමය වෙනස් කළ යුතු යැයි විශ්වාස කරන්නන් හට, මේ රාජ්‍යය එය පවතින ආකාරයෙන්ම අල්ලාගෙන තමන්ගේ අභිමතාර්ථයන් සඳහා ප්‍රයෝජනයට ගත නොහැකි බැවිනි. රාජ්‍යය යනු ධනවාදී දේශපාලකයින් හට මෙන්ම කොමියුනිස්ට්වාදීන් හටද අත්පත් කරගෙන එකසේ භාවිතා කළ හැකි නිෂ්ක්‍රීය උපකරණයක් නොවේ; අපක්ෂපාතී ආයතනයක් නොවේ. ඒ වෙනුවට රාජ්‍යය වනාහී පක්ෂපාතීව හැසිරෙන අරුම පුදුම උපකරණයකි. එම උපකරණය භාවිත කළ හැක්කේ එහි උරුමකරුවන්ට එනම් පාලක පන්තියට පමණි. වෙනත් කිසිවෙකු එම උපකරණය එය පවතින ආකාරයෙන්ම භාවිත කරන්නට යන්නේ නම් ඔවුන් ඇතැම්විට ඔවුන්ටම නොදැනී පාලක පන්තිය බවට රූපාන්තරණය වනු ඇත. මැතිවරණ දේශපාලනයට වැඩි වැදගත්කමක් දෙමින් රාජ්‍ය බලය දිනාගන්නට ප්‍රයත්න දරන විවිධ ධාරාවල වාමාංශික කණ්ඩායම් බොහෝ විට මෙසේ පාලක පන්තිය බවට හෝ ගතානුගතිකවාදීන් බවට රූපාන්තරණය වීමේ ඉරණමට ගොදුරු වේ.

රූපාන්තරණයේ ඉරණම

මෙසේ මැතිවරණ දේශපාලනය මාධ්‍ය කොටගෙන රැඩිකල් දේශපාලන කණ්ඩායම් ගතානුගතිකවාදීන් බවට රූපාන්තරණය වීම පිළිබඳව ලාංකීය නිදසුන් රැසක් ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් කළ තරුණ ක්‍රීඩිකාව නාමල් රාජපක්ෂ ඉදිරියේ දණ්ඩ නමස්කාර කිරීමේ ජායාරූපය සමාජ මාධ්‍ය තුළ පැතිර යන විට එයට ප්‍රතිචාරයක් ලෙස පළ කොට තිබූ තවත් ජායාරූපයක දැක්වුණේ ජවිපෙ/ජාජබ නායකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති ඉදිරියේ දරුවෙකු දණ්ඩ නමස්කාර කරන ආකාරයයි. ඔහු එම දණ්ඩ නමස්කාරය ප්‍රශ්න නොකර පිළිගන්නා ආකාරයද එහි නිරූපණය වී තිබිණ. දණ්ඩ නමස්කාරය යනු හුදෙක් ආචාර සමාචාර දැක්වීමේ කිසියම් සංස්කෘතිය අංගයක් පමණක් නොවන අතර සමාජ බල ධූරාවලිය තුළ පහතින් සිටින්නන් ඉහළින් සිටින්නන් ඉදිරියේ පමණක් සිදුකරන වතාවතකි. නිදසුනක් ලෙස, ඉහත අවස්ථා දෙකේදී පෙරළා නාමල් රාජපක්ෂ හෝ සුනිල් හඳුන්නෙත්ති අනෙකා ඉදිරියේ දණ්ඩ නමස්කාර කළ යුතු යැයි අපේක්ෂා කෙරුණේ නැත. ඔවුන් එසේ කළ බවක්ද වාර්තා නොවිණ.

ලුවී අල්තුසර් වැනි න්‍යායවේදීන් දෘෂ්ටිවාදය පිළිබඳ තම අධ්‍යයන මගින් පෙන්වා දුන් වැදගත්ම කාරණයක් නම්, සමාජයේ අධිපති දෘෂ්ටිවාදය පුනර්-නිෂ්පාදනය වන්නේ මෙවන් භෞතික චාරිත්‍ර මගින් බවයි. බොහෝ විට වාමාංශික නායකයින් පවා මැතිවරණ දේශපාලනයේදී බහුතර ජන්දය අපේක්ෂාවෙන් මෙවන් ගතානුගතික චාරිත්‍ර සමග අනුගත වනු නිතර දක්නට ලැබේ. එවිට සිදුවන්නේ එම චාරිත්‍ර මගින් මූර්තිමත් කෙරෙන සමාජ බල-සම්බන්ධතා එලෙසින්ම පවත්වා ගන්නටද ඔවුන් දායක වීමයි.

දේශපාලනිකව ගත් කල, වමේ පක්ෂයකට බලය දිනා ගැනීම සඳහා ගෙවීමට සිදුවන මිළ වන්නේ දණ්ඩ නමස්කාරය පිළිබඳ චාරිත්‍රය පවත්වා ගැනීම වන්නේ නම්, එහි ඇති ගැටළුව කුමක්දැයි යමෙකු විමසිය හැකිය. සැබවින්ම ලංකාවේ වාමාංශික පක්ෂ මැතිවරණ මගින් බලය දිනාගැනීම සඳහා සමාජයේ ගතානුගතික බල-සම්බන්ධතා සමග අනුගත වීමේ ඉතිහාසය දන්නා කිසිවෙකුත් මේ කාරණය එතරම් සරලව නොගනු ඇත. කලක් මෙරට ජනවාර්ගික සහ ආගමික සුළුතරයේ අයිතීන් වෙනුවෙන් සටන් කළ ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1960 දශකයේ මැදභාගයේදී මැතිවරණ ජයග්‍රහණ අරමුණු කොටගෙන සිංහල-බෞද්ධ ජාතිකවාදය සමග කොතරම් දුරට අනුගත වීද යත්, ඩඩ්ලි-චෙල්වා ගිවිසුමට එරෙහිව “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” යන වර්ගවාදී සටන් පාඨය මොරදෙමින් පෙළපාලි යන තරම් දුරට එය ගමන් කළේය. ඔවුනගේ රූපාන්තරණය මනාව ප්‍රතීයමාන වූයේ 1972 දී ජනවාර්ගික සුළුතරය බැහැර කරමින් ලාංකීය ජනරජය බහුතරවාදී ආකාරයෙන් අර්ථ නිරූපණය කිරීමට ඔවුන් දැක්වූ දායකත්වය මගිනි. දෙමළ ව්‍යාපාරය තුළ වෙනම රාජ්‍යයක් පිළිබඳ සටන් පාඨය ඉහළට එසවුනේත් සන්නද්ධ දේශපාලන ප්‍රවණතා පැන නැග්ගේත් ඉන් පසුවය.

මෙසේ කලක් වාමාංශික දේශපාලනයේ නිරත වූවන් ක්‍රම ක්‍රමයෙන් පාලක ප්‍රභූන් බවට රූපාන්තරණය වීමේදී ඔවුනගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ද සියුම් ලෙස නැවත අර්ථ-කථනය වන්නට පටන් ගනී. ජෝජ් ඕවල්ගේ ‘Animal Farm’ නවකතාවේ උපහාසාත්මක ලෙස කියැවෙන පරිදි, කලින් “සියල්ලන් සමානය” යනුවෙන් පැවති සටන් පාඨය පසුව “නමුත්, ඇතැමුන් අන් අයට වඩා සමානය” යනුවෙන් නැවත අර්ථකථනය වේ! මේ අනුව, ගතානුගතික මැතිවරණ දේශපාලනය සකස්ව ඇත්තේ හරියට ඉන්ද්‍රජාලික පඩිපෙළක් මෙනි. ඔබට එහි පහළම පඩියේ සිට පියවරෙන් පියවර ඉහළට ගමන් කළ හැකිය. නමුත්, ඔබ තබන සෑම පියවරක් පාසාම ඔබවමත් පරිවර්තනයට ලක් වන අතර, ඔබ ඉහළම පඩියට ළඟා වන විට පාලක ප්‍රභූවරයෙකු බවට රූපාන්තරණය වී සිටිනු ඇත.

අලුත් ජනරජයක්/අලුත් ජීවිතයක්

මෙහි අදහස වාමාංශය මැතිවරණ මගින් බලය දිනාගැනීමේ සියළු ප්‍රයත්න අත් හැර දැමිය යුතු බව නොවේ. එවන් ‘ප්‍රතික්ෂේප කිරීම්වාදයක’ ප්‍රතිපලය වනු ඇත්තේ රාජ්‍ය බලය හැසිරවීමේ බලය නිතරඟයෙන්ම පාලක ප්‍රභූ පැලැන්තියට හිමි කර දීමකි. ඒ වෙනුවට මගේ යෝජනාව වන්නේ ඉදිරි මැතිවරණවලදී අරගලයේ සාමූහික නායකත්වය නියෝජනය කරන ව්‍යාපාරයක් පෙරට ගෙනවිත් සියළු දක්ෂිණාංශික මෙන්ම වාමාංශික ගතානුගතික පක්ෂ සමග තරඟයක් දිය යුතු බවයි. පළමුව පැමිණෙන්නේ ජනපතිවරණයක් නම්, අරගලයේ අපේක්ෂාව නියෝජනය කරන තරුණ නායකයෙකු හෝ නායිකාවක ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවයි. නමුත්, එහිදී පාර්ලිමේන්තුවාදී දේශපාලනයේ ඉන්ද්‍රජාලික උගුලට නොවැටීමට නම්, රාජ්‍ය බලය දිනාගැනීමේ දේශපාලනයත් රාජ්‍යය (නොහොත් සමාජය) වෙනස් කිරීමේ දේශපාලනයත් එක්ව ගමන් කළ යුතුය. අප රාජ්‍යය අත්පත් කර ගත යුත්තේ එය පරිවර්තනයට ලක් කරමින්ය.

එසේ පහත සිට සමාජය වෙනස් කරන (සහ එමගින් තමන්වමත් වෙනසකට ලක් කරගන්නා) ව්‍යාපාරයක් නිසැකවම සමාජයට නව සංස්කෘතියක්, නව දැනුමක් සහ නව දැක්මක් රැගෙන එන ව්‍යාපාරයක් විය යුතුය. අපගේ ජන සමාජය තුළම පවත්නා ජන සම්ප්‍රදායන් තුළින් මතු කරගන්නා කොමියුනිස්ට් ගුණාංග ඉහළට ඔසවන ව්‍යාපාරයක් විය යුතුය. අලුත් ජනරජයක් සහ අලුත් සාමූහික ජීවිතයක් ගොඩ නගන ව්‍යාපාරයක් විය යුතුය. එවන් ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය අවකාශය විවෘත කරනු ලබන්නේ මහජන කවුන්සිල ගොඩ නැංවීමේ ප්‍රයත්නය මගින් මිස තරඟකාරී මැතිවරණ බල පොරය ප්‍රමුඛත්වයට ගත් ගතානුගතික ප්‍රයත්න මගින් නොවේ. ඒ අරුතින් මහජන කවුන්සිල ගොඩ නැංවීමේ ව්‍යාපාරය, අරගලයේ පළමු අදියරේ උච්චතම දිනය වූ ජූලි නමවෙනිදාටත් වඩා වලංගු වන්නේ අදටය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    සමාජය පහළ සිට වෙනස් කරන (එමගින් තමාම වෙනස් වන) ව්‍යාපාරයක් නිසැකවම නව සංස්කෘතියක්, නව දැනුමක් සහ නව දැක්මක් සමාජයට ගෙන එන ව්‍යාපාරයක් විය යුතුය. මෙය සෑම දෙනාම දන්නා කරුණක් වුවද, මිථ්‍යාවන් සහ මිථ්‍යාව පතුරුවන්නන් වෙත ජනතාව පෙළගැසෙන බවක් පෙනෙන්නට තිබේ. පොළොන්නරුවේ බූරුවා වන සොරිසේන මොන මලේච්ච දේශපාලනයක් කළත් මේ රටේ “සංස්කෘතික බලවේග” පරාජය කළ නොහැකි බව ඉතා පැහැදිලිව කියා සිටියේ මාතෘකාව කුමක් වුවත් කරුණු පදනම් වූ තොරතුරු වැනි කිසිවක් අදටත් එතරම් උපකාරයක් නොවන බවයි. ශ්‍රී ලාංකීය, මිථ්‍යා දෘෂ්ටික සමාජය පිළිබඳ සත්‍යය එයයි.
    .
    එය අප සමාජයේ පවතින ජන සම්ප්‍රදායන් තුළින් මතු කරන ලද කොමියුනිස්ට් ගුණාංග මතු කරන ව්‍යාපාරයක් විය යුතුය. ප්‍රශ්නය පැනනගින්නේ, ජනතාව කොමියුනිස්ට් පක්ෂග්‍රාහී ද නැතහොත් එයට විරුද්ධ ද?
    කොමියුනිස්ට් ගුණාංග පමණක් නොව, වෙනත් විවිධ රටකට විශේෂිත වූ, ජාතියට විශේෂිත වූ සිතුවිලි ද ඒවා මත පදනම් විය යුතුය. එවිට ජනතා කැමැත්තේ රජය තනිවම පරිණාමය වනු ඇත. සමාජය දැඩි වෙනස්කම් වලට භාජනය විය යුතුය. අපට කළ හැක්කේ, ජනතාව ප්‍රමාණවත් ලෙස බල ගැන්වෙන්නේ නම් පමණි.
    දින කිහිපයකට පෙර අපේ වෙරළට ළඟා වූ චීන නෞකාව තනිවම, “ශ්‍රී ලංකා දූපත් වැසියන්” “ඉන්දියාව” සහ “චීනය” අතර පිංපොං බෝලයක් බවට පත් කරමින් ගැටුමක් ආරම්භ කළ හැකිය: ඔවුන් ඔවුන්ගේ ප්‍රතිරෝධය සඳහා ස්ථානය ගැන ඉතා උනන්දු වෙති. ප්රතිවාදී දේශපාලන ක්රීඩා සැලසුම් කිරීම. මම හිතන්නේ වත්මන් රජය කාටවත් කරදරයක් නොවී එය කළමනාකරණය කළා. රස්තියාදුකාර රාජපක්ෂලා නායකත්වයේ සිටියා නම් දේවල් ප්‍රකෝපකාරී ලෙස අවසන් වීමට ඉඩ තිබුණි.
    එය නව ජනරජයක් සහ නව සාමූහික ජීවිතයක් ගොඩනගන ව්‍යාපාරයක් විය යුතුය. මම හිතන්නේ සෑම පුරවැසියෙකුටම වාගේ පණිවිඩය අනෙකාට ලබාදීමට බලය තිබිය යුතුයි. මෙය බැරෑරුම් ලෙස සැලකිය යුතුය. සිතිවිලි පමණක් නොව, සෑම කුඩා ප්‍රදේශයක් හරහාම ජාතිය සවිබල ගැන්වීම සඳහා භාවිතාවන් කළ යුතුය. . එවැනි ව්‍යාපාරයක් සඳහා අවකාශය විවර වන්නේ මහජන සභා ගොඩනැගීමේ ප්‍රයත්නයන් මගින් මිස තරඟකාරී මැතිවරණ බල අරගලවලට ප්‍රමුඛත්වය දෙන ගතානුගතික උත්සාහයන් මගින් නොවේ. ඒ අර්ථයෙන් අරගලයෙන් ආරම්භ වූ ව්‍යාපාරය ප්‍රමුඛත්වය ගත යුත්තේ සමාජය කඩිනමින් ගොඩනැගීමටයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.