Colombo Telegraph

නායකයන් ඡන්දදායකයන් වෙතට බෝලය පාස් කිරීම

පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා සිය බිරිඳ අමතා මෙසේ කීවේලූ: ‘‘මාර්තා, මට එක දෙයක් තේරුණා. උන්මත්තකාගාරෙක ඉන්න උන්මත්තකයෝ විසින්ම ඒක පාලනය කරනවා මං පළමුවැනි වතාවට දැක්කේ පාර්ලිමේන්තුවෙන්.’’

සිංහ රත්නතුංග – කර්තෘ – ද සන්ඩේ ටයිම්ස්

එම විහිළුව පැත්තකින් තිබුණාවේ. විශේෂයෙන්, ජනවාරි 8 වැනි දා ඇති වූ ‘නිහඬ විප්ලවයෙන්’ පසු රැුස්වූ පාර්ලිමේන්තුව තුළ, මාර්තාගේ සැමියා කියන ඒ උමතුවේ ලක්ෂණ තිබුණු බව රටම දැක්කේය. (පසුව බොහෝ දෙනා විකුණාගෙන කන) තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා ගැනීම, විශේෂ දීමනා, විශ‍්‍රාම වැටුප් සහ පාර්ලිමේන්තු බලතල සහ වරප‍්‍රසාද පිළිබඳ පනත වැනි තමන් කෙරෙහි වාසිසහගත කාරණාවලදී ඔවුන් අතර මහා එකමුතුවක් තිබේ. සුපැහැදිළි බවක් තිබේ.

එහෙත් ඔවුන්ගෙන් කෙනෙකුට එරෙහිව හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් කෙනෙකුට එරෙහිව යම් පියවරක් ගැනෙන විට ඊට එරෙහිව මොවුහූ ඝෝරනාඩු කරති. තමන්ගේ වැරදි පිළිගැනීමට හෝ ඒ වැරදි නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ මහා සුනංගුවකි. මෑතකදී ඇති වූ බැඳුම්කර නිකුතුව පිළිබඳ ප‍්‍රශ්නය ඊට උදාහරණයකි. පක්ෂ දෙකම අනිකාගේ පාලන සමයේ සිටි හෝ සිටින මහ බැංකු අධිපතිවරයා ගැන විවේචනය කොට ප‍්‍රශ්නය අතහැරියේය.

මෙය ලංකාව මුහුණදෙන සනාතන ගැටළුවකි. ලංකාවට ස්වයං-පාලනය ලැබුණු මුල් දිනවල, එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිටි මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු විමර්ශන කොමිසමක් මගින් දූෂණ චෝදනාවන්ට වැරදිකරුවන් කරනු ලැබුණි. එවිට එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ඔවුන්ට ඉල්ලා අස්වන්නැයි කීවේය. සාමාන්‍ය මිනිසුන් වරදක් කළ විට හිරේ විලංගුවේ දාන රටක බලවතුන් පමණක් ආරක්ෂා කිරීමට හැම දෙයක්ම කරන්නේ මන්දැයි ඔහු ප‍්‍රශ්න කෙළේය. එහිදී තවත් රාජ්‍ය සභා මන්තී‍්‍රවරයෙක් ඔහුගෙන් හරස් ප‍්‍රශ්නයක් ඇසුවේය: ‘‘ඔය කියන අය අහිංසකයන් වුණත්, ඔවුන් ඉල්ලා අස්විය යුතුද?’’ ඊට බණ්ඩාරනායක මහතාගේ පිළිතුර වුණේ, ‘‘ඔව්, අහිංසකයන් වුණත් ඉල්ලා අස්විය යුතුයි.’’ යන්නයි. එසේ කියන්නේ මන්දැයි අනතුරුව ඔහු විස්තර කෙළේය. දූෂණයට යට නොවීමේ මිම්ම, සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ජනතා නියෝජිතයෙකු සම්බන්ධයෙන් දැඩි විය යුතු බැවිනි. මේ සිද්ධිය හැන්සාඞ් වාර්තාවකින් උපුටා දැක්වූයේ, එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ තරුණ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි ජේ. ආර්. ජයවර්ධන, 1975 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට එරෙහිව පැවති විශ්වාස භංග යෝජනා විවාදයකට සහභාගී වෙමිනි.

දැන් ඒ ඒ පක්ෂවලින් විවිධ ආසන සඳහා නාම යෝජනා ලබා ගැනීමට පොරකති. එහිදී, නොයෙක් උපාමාරු යොදති. මහ බක්කක් වැනි මේ නාම යෝජනා ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයෙකු පවා නොගත් උත්සාහයක් නැත. එහිදී වර්තමාන ජනාධිපතිවරයාව ඉතා අපහසු තත්වයකට පත්කිරීමට පවා ඔහු නොපසුබට විය.

වැදගත්, සෘජු ප‍්‍රතිපත්ති ඇති ගැහැනුන් සහ මිනිසුන්ව මැතිවරණයට ඉදිරිපත් කරන්නැයි එක් ‘සිවිල් සමාජ’ ව්‍යාපාරයක් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය. නාම යෝජනා ලබන හොරුන්, අපරාධකරුවන් සහ දූෂිතයන් වෙතොත් ඔවුන්ව ප‍්‍රතික්ෂේප කරන්නැයිද ඡන්දදායකයාගෙන් එම ව්‍යාපාරය ඉල්ලා සිටී. ඒ ව්‍යාපාරය මේ වන විට යම් සාර්ථකත්වයක් ලබා ඇත. මන්ද යත්, එකී ප‍්‍රශ්නය කෙරෙහි නිසි සමාජ අවධානයක් එමගින් ලැබුණු බැවිනි. මේ සමස්ත මැතිවරණ දේශපාලන ව්‍යාපාරයම මහා නාඩගමක් වශයෙන් දකින, ගෞරවනීය පූජ්‍ය පක්ෂය, කලාකරුවන්, මැතිවරණ නිරීක්ෂකයන්, මත්ද්‍රව්‍ය-විරෝධී නිලධාරීන් සහ සිවිල් ක‍්‍රියාකාරිකයන්ගෙන් සමන්විත එකී නිර්-පාක්ෂික කණ්ඩායම, මෙය ජනතාවට අවුරුදු පහකට සැරයක් පමණක් ලැබෙන අවස්ථාවක් බව පෙන්වා දෙයි. මෙය, හොඳ, නරක, කැත අයවළුන් සේම, විකටයන්ද සිටින සර්කස් එකක් වැන්න. මොන නාටක රඟපෑවත්, තේරී පත්වී බලයෙන් මත් වූ පසු ඔවුන් කෙරෙහි වන කිසි පාලනයක් ඡන්දදායකයා වෙත ඉතිරි නොවන්නේය.

මේ අතරේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විශාල විරෝධතාවක ඉලක්කය බවට පත්ව සිටී. එම විරෝධය වැඩියත්ම එන්නේ ජනවාරි 8 වැනි දා ඔහුව බලයට පත් කිරීමට වෙහෙස වූ කණ්ඩායම් වෙතිනි. ඒ, මෙතෙක් කල් ඔහු විසින්ම කියා සිටි සහ ඔහු විසින්ම ඉහළින් වර්ණනා කරන ලද ‘නිහඬ විප්ලවය’, ඔහුගේ පූර්වගාමියා වූ මහින්ද රාජපක්ෂට පමණක් නොව, මහින්ද රාජපක්ෂගේ තක්කඩි රැුළටත් නාම යෝජනා දීම මගින්, ඔහු විසින්ම ආපසු හරවා ඇතැයි යන චෝදනාව නිසා ය.

මැතිවරණයට එවැන්නන් ඉදිරිපත් කිරීමේ තම වගකීම පැහැර හැර, මැතිවරණයේදී ඔවුන්ව පත්කර නොගැනීමේ වගකීම ඡන්දදායකයා මතට පැටවීම වූ කලී, රටක් වෙනුවෙන් පක්ෂ නායකයෙකුට පැවරෙන කාර්ය භාරය පැහැර හැරීමකි. එය හරියට, ‘‘මගේ අත් බැඳලයි තියෙන්නේ- ඔබ තීරණයක් ගන්න’’ වැනි ඉල්ලීමකි. ප‍්‍රශ්නය මතුවන්නේ, ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කොට ඇති ලැයිස්තුව ඉදිරියේ ඡුන්දදායකයා ආතක්පාතක් නැතිව අසරණ වන විට ය.

අප පුවත්පතේ දෙවැනි පිටුවේ ‘කැෆේ ස්පෙක්ටේටර්’ කොලමේ සඳහන් වන පරිදි, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මෙසේ කියා තිබේ. රටක නායකයෙකුට හෘද සාක්ෂියක් නැති වන විට, රටකටද හෘද සාක්ෂියක් නැති වෙයි. මෙය, දේශපාලඥයාව පමණට වඩා වැදගත් කොට සැළකීමක් වෙතත්, එම කතාවේ යම් සත්‍යයක්ද තිබේ. යහපත් නියෝජිතයන් පත්කර ගැනීම ගැන පෙරමුණ ගෙන සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ තත්වය පිළිබඳ හොඳටම කළකිරී කියන්නේ, මේ රටෙන් පිටව නිරයට හෝ යාමට වීසා ගත හැකි නම් ජනතාව එසේ පිටව යා යුතු බවයි.

මැතිවරණය: අධිකරණයටද කාර්ය භාරයක් තිබේ

ඡන්ද නීති කඩන අපේක්ෂකයන්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව පවා අධිකරණයේ තීන්දු අනුව, නුසුදුස්සන් වී ගෙදර ගිය අවස්ථා අතීතයේ තිබුණි. එදා සිටි විනිසුරුවරුන්ගේ අප‍්‍රතිහත ස්වාධීනත්වය ඇත්තෙන්ම අගය කළ යුතුය. ඊට බොහෝ නිදසුන් ඇතත් ඒ අතරින් කිහිපයක් කැපී පෙනේ. එයින් අවසාන නඩුව වුණේ, 1980 ගණන්වල කුප‍්‍රකට කලවාන ආසනයට තේරී පත්වූ මන්ත‍්‍රීවරයාට අධිකරණය මගින් එම ආසනය අහිමි කිරීමයි. එදා ඔහුට විරුද්ධව තරග කළ සරත් මුත්තෙට්ටුවගමගේ චරිතය කෙලසන අන්දමේ සාවද්‍ය ප‍්‍රකාශයක් මැතිවරණ ව්‍යාපාරය තුළදී කිරීම එසේ ඔහුගේ ආසනය අහිමි කිරීමට හේතු විය.

ඉන් පසු සිදුවූ දේවල් ඕනෑ තරම් වාර්තාගතයි. එදා බලය හෙබැවූ එක්සත් ජාතික පක්ෂය ඉන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් කලවාන බහු මන්ත‍්‍රී අසුනක් කිරීම සඳහා කුප‍්‍රකට උත්සාහයක් ගත්තේය. වාසනාවකට එවරත්, අභීත අධිකරණයක් මගින් එම වෑයම ව්‍යර්ථ කරන ලදි. එනම්, එසේ බහු ආසනයක් ඇති කිරීමට නම්, ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තීන්දු කිරීමෙනි.

නීතියේ උත්තරීතර ආරක්ෂකයා වශයෙන්, නීතිය සහ අධිකරණය යන ආයතන දෙකටම එදා තිබුණේ ඉමහත් ගෞරවයකි. නීතිය කඩ කළ ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණ ප‍්‍රතිඵලයක් අවලංගු කිරීමට එදා අධිකරණය පසුබට වුණේ නැත. එනිසා මැතිවරණයකට ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයා තම ඡන්දදායකයන්ට ‘සංග‍්‍රහ කිරීම’ කෙරෙහි පරිස්සම් වීමට වගබලා ගත්තේය. එය ඔහු සම්බන්ධයෙන් පමණක් නොව, ඔහු වෙනුවෙන්, ඔහුගේ දැනුම සහ අනුමැතිය යටතේ වැඩ කරන වෙනත් ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන්ද බලපෑවේය. ඡන්දදායකයාට කෑම බීමාදිය සැපයීම පවා නීතිය ඉදිරියේ සැළකුණේ මැතිවරණ දූෂණයක් වශයෙනි.

එහෙත් අද අප වෙසෙන මේ සල්ලාල යුගයේ රාජ්‍ය සම්පත් සහ කළු සල්ලි භාවිත කරමින් දේශපාලඥයන් විසින් මහ පරිමාණයෙන් ඡන්දදායකයන්ට ‘සංග‍්‍රහ කිරීම’ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. දූෂිත අපේක්ෂකයෝ ඡන්දදායකයන්වත් දූෂණය කොට තිබේ. මේ නිසා, මැතිවරණ ක‍්‍රියාදාමයත්, රටේ අධිකරණ පද්ධතියත් නීතිය කෙරෙහි ගරු කරන තත්වයට පත්වීමත්, අවශ්‍ය තන්හිදී වැරදිකරුවන්ට දඬුවම් කරන තත්වයට පත්වීමත් අත්‍යාවශ්‍ය කරන්නේය.

*2015 ජුලි 12 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Leaders Passing the Buck to the Voters”, නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page