6 April, 2020

Blog

රාජ්‍ය සේවා ඔමිසම

ලංකාවේ නිදහස ලබා ගැනීමට පෙර පිහිටුවන ලද ලංකා සිවිල් සේවය අද හැඳින්වෙන්නේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවය නමිනි. එකල රාජ්‍ය සේවා කොමිසම වූ කලී, දේශපාලඥයන්ගෙන් ආරක්ෂා වීමට රාජ්‍ය සේවකයන්ට තිබූ රක්ෂණයයි. ලංකා සිවිල් සේවා නිලධාරීන් පරිපාලන රෙගුලාසි සහ මුල්‍ය රෙගුලාසි සිය බයිබලය වශයෙන් ගත් කුරුටු ගාන්නන් පිරිසක් යැයි චෝදනාවට ලක්වුවත්, ඔවුන් සමාජ සම්භාවනාවට පත් පිරිසක් වූ බව කිසිවෙකුට ප‍්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ.

mahindaඔවුන්ගේ ඒ තත්වය සහ ස්වභාවය කාලයාගේ ඇවෑමෙන් වෙනස් වන්නට විය. 1960 දශකයේ දී ප‍්‍රථම වතාවට, මේ පුහුණු ප‍්‍රභූ පරිපාලක පැලැන්තියට සිවිල් සේවයෙන් පිටස්තරයෙකු පත් කෙරුණි. එතැන් පටන්, අමාත්‍යාංශ පරිපාලනය භාර ගැනීමට සිවිල් සේවයට පිටස්තරින් කෙරෙන දේශපාලනික පත්වීම් සිදුකිරීමේ දොරටුව විවර වුණි. අද වන විට, තමන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යන සහ දේශපාලඥයන්ට සම්මාදම් සපයන පුද්ගලයන් අමාත්‍යාංශ ලේකම්වරුන් වශයෙන් අපට හමු වෙයි. අවුරුදු 30 කට කලින් සිදු වූ පුංචි විවරයක්, සමස්ත දේහය පුරා පැතිර ගියේ එලෙසිනි.

අද රටේ පරිපාලන සේවය අගාධයට පත්ව ඇති බවත්, එම පරිපාලන සේවයේ සාමාජිකයන් පාලක පක්ෂයේ සේවකයන් මිස රාජ්‍ය සේවකයන් නොවන බවත්, හුදු මතිමතාන්තරයක් පමණක් නොව, සැබෑවක්ම වී ඇත. එක පත්වීමක් හරහා මේ කුණු වීම පටන් ගත්තේ යම් සේ ද, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්, සමස්ත රාජ්‍ය සේවයමත්, රාජ්‍ය සේවා කොමිසමත්, කැබිනට් ඇමතිවරුන්ගේ පාලනය යටතට පත්කෙරුණි. ‘උඹලා නරකට කරන දේ අපට ඊටත් වඩා නරකට කළ හැකිය’ යන්න එදා පාලකයන්ගේ ආදර්ශ පාඨය වූවා වැනි ය. 1978 දී මේ රාජ්‍ය සේවා කොමිසම, අළුතෙන් ඇති කරන ලද විධායක ජනාධිපති යටතට පත්කෙරුණි.

කෙසේ වෙතත්, මේ පල්ලම් බැසීම ආපසු හැරවීමට යම් උත්සාහයක් 2001 දී, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ගැනුණි. රාජ්‍ය සේවය එන්න එන්නම දේශපාලනීකරණය වෙමින් පැවති තත්වයට එරෙහිව නැගී ආ බලවත් විරෝධය මධ්‍යයේ, එම සංශෝධනයෙන් අපේක්ෂා කෙරුණේ මේ රාජ්‍ය සේවා කොමිසමට ස්වාධීන කොන්දක් දීමටයි. එහෙත් එහි ආයු කාලය ඉතා කෙටි එකක් විය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජ්‍ය සේවා කොමිසම විධායක ජනාධිපතිවරයා යටතට පත් කිරීමෙන් එය අවසන් විය.

‘රටේ උදාරත්වය වෙනුවෙන් කැප වූ රාජ්‍ය සේවයකට’ වෙනස් දෙයක් බවට තමන්ගේ භූමිකාව පත්ව ඇති බවක් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන්ට නොහැෙඟන බවක් පෙනෙන්ට තිබේ. තමන්ගේ මෙහෙවර වන්නේ, ‘සාධාරණත්වයෙන්, පාරදෘශ්‍ය භාවයෙන් සහ සංගත භාවයෙන් යුතුව, කාර්යක්ෂම, විනයගත සහ තෘප්තිමත් රාජ්‍ය සේවයක් ජනතාවට සැපයීම’ යැයි ඔවුහු කියති.

18 වැනි සංශෝධනය යටතේ තමන්ව පත්කරනු ලැබූවද, තමන්ගේ ස්වාධීනත්වය අභියෝග කිරීමට පාර්ලිමේන්තුවට හෝ මාධ්‍යයට නොහැකි බව ඔවුන්ගේ මතයයි. එවැන්නක් සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි එක අවස්ථාවක් හෝ නැති බවත් ඔවුහු පෙන්වා දෙති. ඒ ගැන තව දුරටත් කරුණු දක්වමින්, රාජ්‍ය සේවා කොමිසම විවේචනය කිරීමක් මාධ්‍ය පැත්තෙන් සිදු වී නොතිබීම, ඔවුන්ගේ ස්වාධීනත්වය පෙන්නුම් කරන සාක්ෂියකැ යි ඔවුන්ගේ වාර්තාවෙන් කියා සිටී. තමන්ගේ වරුණාව කියා ගැනීමට ඔවුන්ට පිළිවන. එහෙත් ඔවුන් මේ කියන්නේ රාජ්‍ය මාධ්‍ය ගැන දැ යි කෙනෙකුට සැක සිතේ.

තමන්ගේ තර්කය තවත් තහවුරු කිරීම සඳහා එක නිදර්ශනයක් ඔවුහු ගෙනහැර දක්වති. එනම්, කැබිනට් ඇමතිවරයෙකුගේ බිරිඳක් ඉහළ තනතුරකට පත්කිරීම තමන් විසින් අවුරන ලද බවයි. පසුව ඔවුන්ගේ එම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද සහතික කළ බව පෙන්වා දෙයි. එම නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුව පවා තමන් වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළ බවත්, අවසානයේ දී තමන් පෞද්ගලික නීතිඥයන්ගේ සහාය ඒ සඳහා ලබා ගත් බවත් ඔවුහූ කියති.

ඔවුන්ගේ වාර්තාව තුළ, රාජ්‍ය සේවය ගැන අගනා සත්‍යයන් ද ගැබ්වෙයි. විනය ක‍්‍රියාමාර්ග සහ විනය පරිපාටි පිළිබඳ රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ සතු අඩු දැනුම එහි දී දැක්වෙයි. මෙවැනි රාජ්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ යුතු නිරීක්ෂණ සහ නිර්දේශ පමා වීම සහ ඉදිරිපත් කෙරෙන අසම්පූර්ණ වාර්තාවන් නිසා, විනය ක‍්‍රියාමාර්ග ගැනීම තමන්ගේ පැත්තෙන් අත්හිටුවීමට සිදු වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. ‘අන්තිමේ දී සිදුවන්නේ, අවසාන විනිශ්චයක් දීම කල් තැබීමයි’ යනුවෙන් වාර්තාව සඳහන් කරයි.

රාජ්‍ය සේවාවේ ස්වර්ණමය අවදියේ, රාජ්‍ය සේවා කොමිසමෙන් කෙරෙන දැනුම්දීම් සම්බන්ධයෙන් සෙල්ලම් කිරීමට කිසි දෙපාර්තමේන්තුවක් හෝ අමාත්‍යාංශයක් එඩිතර වුණේ නැත. අද රාජ්‍ය සේවා කොමිසමේ දැනුම් දීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ මෙසේ හැසිරෙන්නේ එම කොමිසම පිළිබඳ රාජ්‍ය සේවය තුළ ඇති ගෞරවය හීන වීම නිසා නොවේද? වරක් රජයේ වෛද්‍ය සේවාවේ සංශෝධිත සේවා සටහනක් ක‍්‍රියාත්මක නොවී පැවතීම ගැන එක් පුවත්පතක් වාර්තා කළ බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ගොනුවක් ඇතුළේ ‘පල් වෙමින්’ තිබූ බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. එය පවා, මාධ්‍ය මගින් කරන ලද හෙලිදරව්වක් බව ඔවුහූ අමතක කරති.

රාජ්‍ය සේවය විසින් රාජ්‍ය සේවා කොමිසම බරසාරව නොගන්නේ නම්, එහි අරුත වන්නේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහජන විශ්වාසය සහ ගෞරවය එම කොමිසමට අද අහිමිව ඇති බවයි. ඉතා මෑතක සිදුවු එක සිද්ධියක් උදාහරණයට ගන්නේ නම්, නියෝජ්‍ය ඇමතිවරයෙකු සමග ඇති වූ ප‍්‍රශ්නයක් දුරදිග ගිය පසු රථවාහන පොලිස් කොස්තාපල්වරයෙකුට සේවයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ජාතික පොලිස් කොමිසම හෝ රාජ්‍ය සේවා කොමිසම ඉදිරියට යාමක් ගැන ඔහු සිතුවේ නැත. ඒ ඇයි? එවැනි ආයතනයක් ඉදිරියට ඔහුට යාමට ඇත්තේ ද පොලිස් දෙපාර්තමේන්තුව හරහාම ය. එහෙත්, මුළුමණින් දේශපාලනීකරණය වි ඇති පොලිස් දෙපාර්තමේන්තුව ගැන ඔහුට විශ්වාසයක් නැත.

තවද, පරීක්ෂණ පැවැත්වීමේ බලතල රාජ්‍ය සේවා කොමිසමට නැත. ඊට කළ හැක්කේ, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරන වාර්තා මත විශ්වාසය තබා කටයුතු කිරීම පමණි. තමන්ගේම වන ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීමේ හැකියාවක් ඊට නැත. එය බරපතල අඩුවකි. එය සමාන වන්නේ, යම් පාර්ශ්වයකින් පැමිණිල්ලක් නොලැබුණොත් තමන්ට පරීක්ෂණ ආරම්භ කළ නොහැකි බව කියන, අල්ලස් හෝ දූෂණ කොමිසමට ය. එහෙත් අල්ලස් හෝ දූෂණ කොමිසමට, අඩු වශයෙන් එවැනි පැමිණිල්ලක් ලැබුණු පසුව හෝ තමන්ගේ පරීක්ෂණ ආරම්භ කළ හැකිය. එහෙත් රාජ්‍ය සේවා කොමිසමට එසේ කිරීමටවත් පුලූවන් කමක් නැත.

පරණ මුහුණු සමග අළුත් කණ්ඩායමක් දැන් ඊට පත්කොට තිබේ. මෙතෙක් සේවය කොට ඉවත්ව යන සාමාජිකයන් කියන පරිදි වරින් වර ඔවුන්ට දේශපාලනික බලපෑම් එල්ල වී තිබේ. එහෙත් ඒවාට තමන් යටත් නොවූ බව ඔවුහූ පවසති. එය සැබෑවක් විය නොහැක. අප මේ කතා කෙළේ ජාතික රාජ්‍ය සේවා කොමිසම ගැන ය. මීට අමතරව, පළාත් සභා රාජ්‍ය සේවා කොමිසමකුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කොට තිබේ. එහි කතාන්තරයත් මීට වෙනස් නැත. එහි සාමාජිකයන් පත්කරන්නේ, ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන පළාතේ ආණ්ඩුකාරවරයා විසිනි. ඉතිං, ජනාධිපතිවරයාගේ අභිමතය සහ කැමැත්ත සහිත සාමාජිකයන් පත් කෙරෙන රාජ්‍ය සේවා කොමිසමක් කෙරෙහි මහජන විශ්වාසයක් ඇති වෙතැ යි සිතීම උගහට ය.

(‘කොමිසම’ යන්නෙන් අදහස් වන්නේ, යම් කර්තව්‍යයක් කිරීම සඳහා ඇති ආයතනයක් යන්නයි. ‘ඔමිසම’ යන්නෙන් අදහස් වන්නේ ‘නොකර පැහැර හැරීම’ යන්නයි*.

*2014 ජුලි 20 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “The Public Service Omission” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.