26 April, 2024

Blog

කැසිනෝ: නව යුගයක මස්තකය

සන්ඬේ ටයිම්ස් කතුවැකිය –

සමාජය අරා සිටින දුරාචාරයට අනුග‍්‍රහ දක්වන ව්‍යාපාරයක් මත කිසි රාජ්‍ය නායකයෙකු බලයට පත්ව නැත. මහින්ද රාජපක්ෂ 2005 දී බලය ගත්තේ, මත්පැන්, දුම්පානය සහ මත්ද්‍රව්‍ය ආදිය රටින් තුරන් කිරීමේ රජයේ අමද්‍යප ව්‍යාපාරයක් ගැන ජනතාවට පොරොන්දු වෙමිනි.

ආණ්ඩුවේ ‘මතට තිත’ පිළිබඳ මහාපේක්ෂාවන්ට ජාතික හෙළ උරුමය වැනි පක්ෂ මුදුනින්ම සහාය පළ කළහ. ශ‍්‍රී ලංකා සමාජයෙන් මෙකී දුරාචාරයන් දූරිභූත කෙරෙතැ යි විශ්වාස කළ නොහැකි වෙතත්, අඩු වශයෙන් ඒවායේ බලපෑම පාලනය කිරීමක්වත් මේ මගින් ඉෂ්ට සිද්ධ වෙතැ යි අපේක්ෂා කෙරුණි.

මේ පොරොන්දුව රාජපක්ෂ ජනාධිපතිවරයා සිය 2010 ජනාධිපතිවරණයේදීත් දුන්නේය. එහෙත් දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව බලන විට මොනම අමද්‍යප පරිසරයක් වෙතටවත් යන බවක් පෙන්නුම් කරන්නේ නැත. 2006 සිට මේ වන විට, අළුත් මත්පැන් බලපත‍්‍ර 300 ක් නිකුත් කොට ඇත. එසේම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා සිදුවන අපරාධ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව මාධ්‍ය වාර්තා පෙන්නුම් කරයි. එහෙත් මෙපමණ කලක් අමද්‍යප ව්‍යාපාරයක් ගැන කෑකෝගැසූ කිසිවෙක් කටක් හොල්ලන බවක් පෙනෙන්නට ද නැත.

දැන් අප ඉන්නේ නව යුගයක මස්තකයේ ය. සමාජය හික්මවීමේ පොරොන්දුව පිට බලයට පත් ආණ්ඩුවක්, සූදු කෙළියේ ලෝක අන්තුවන්ව රතු පලස් දමා පිළිගැනේ. ඔස්ටේ‍්‍රලියානු කැසිනෝ රජෙක්, ලංකාවේ ව්‍යාපාරිකයෙකු හා එක්ව, කැසිනෝ සූදුවේ ‘සමෝධානික සේවා ස්ථානයක්’ ලංකාවේ පිහිටුවීමට යයි. එනම්, කැසිනෝ හෝටල් කොළඹ කොටුවේ පිහිටුවෙන බවයි.

විශේෂයෙන් වෙන් කරන ලද තිප්පොලකට පමණක් කැසිනෝ සූදුව සීමා කෙරෙන බවට දුන් පොරොන්දුව ආණ්ඩුව කඩකොට ඇති බව මුලින්ම කිව යුතුය. එවැනි ප‍්‍රදේශයක් වෙන් කොට නැත. ඒ වෙනුවට, ඉන්දියානු සහ චීන ධනපතියන්ගෙන් සැදුම්ලත් සේවාදායක පිරිසක් සහිත ජෝතිමත් නව සූදු පොළවල්, රටේ ජනාකීර්ණ වාණිජ අගනගරය මැද්දේම කරක් ගසනු ඇත.

දෙවැනුව, මේ ආණ්ඩුව ආගමික, සංස්කෘතික, සමාජ සහ පවුල් වටිනාකම්වල ඇති අගය ගැන නිරතුරුව දේශනා කරයි. එවැනි පාලනයක් රටේ ආර්ථික සංවර්ධනය සඳහා කැසිනෝ සූදුව පාවිච්චි කිරීම රුදුරු විරෝධාහාසයකි. ආගම් සම්මේලනයේ නියෝජිතයන් පසුගිය දා පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක දී ප‍්‍රශ්න කළ ආකාරයට, ‘විකුණන්නට වෙන දෙයක් අපට නැත්ද?’

මේ ව්‍යාපෘති සඳහා අවසර පතා ලබන සතියේ ගැසට් පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 2008 ‘උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත’ යටතේ මේ සම්බන්ධයෙන් ගැනෙන අවසන් අදියර එයයි. පාර්ලිමේන්තුවෙන් මෙය සම්මත නොවුණොත් මෙතෙක් ඒ වෙනුවෙන් ගෙන ඇති සෑම පියවරක්ම නිශ්ප‍්‍රභා වන්නේය.

බ‍්‍රහස්පතින්දා පැවති, වැඩි සෙනගක් නොසිටි ආගමික සම්මේලනයේ සාමාජිකයෝ, කැසිනෝ සූදුව මෙසේ ව්‍යාප්ත කිරීම ගැන සිය විරෝධය පළකොට සිටියහ. මෙම කැසිනෝ ගැසට් පත් ඡුන්දය සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණි විට, තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව එය ප‍්‍රතික්ෂේප කරන්නැ යි බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් නියෝජිතයෝ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

එසේ වීමට ඇති ඉඩකඩ අඩු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ රටේ යහපාලනයට නරක අන්දමින් බලපාන නීතිරීති ගෙනා අතීතයේ අවස්ථාවලදී ඒවා සඳහා ඕනෑවටත් වඩා අත උස්සා ඡුන්දය දී සිටින මන්ත‍්‍රීවරුන්ට දැන් අළුත් හෘද සාක්ෂියක් තිබෙති යි සිතිය නොහේ. කෙසේ වෙතත්, මෙවැනි මහ පරිමාණ කැසිනෝ වනාන්තරවල අනිටු ප‍්‍රතිවිපාක සමාජයට දැනෙන්ට පටන්ගත් දවසට, ඊට වගකිවයුත්තෝ කවරහුදැ යි ජනතාව තේරුම්ගනු ඇත. එහෙත්, වැරදිකරුවන් කවුරුන් දැ යි දැන ගැනීමෙන් ඇති වන ඵලේ කිම? පරම්පරා ගණනාවක් තිස්සේ මේ ජාතිය ආඩම්බරයෙන් වැණූ ධර්මද්වීපය කෝ? එය සදහටම නැති වන්නට යන්නේද?

ධන කුවේරයන් ඇද ගැනීමට යාමෙන් මුහුණදීමට විය හැකි විනාශයන්ට බලවතුන් අහක බලාගෙන නොසිටිය යුතු බව අගෝස්තු 8 වැනි දා අපේ කර්තෘ වාක්‍යයෙන් අප පෙන්වා දුනි: පිටරට කළු සල්ලි ලංකාවේ ගොඩගැසීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා මඩම් සහ අපරාධ කල්ලි එවැනි ව්‍යාපෘති සමග එකට එති. ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටියේ නම් ඔවුන්ට පෙන්වා දෙනු ඇති පරිදි, එවිට දේශපාලඥයන් සහ ඔවුන්ගේ දරුපවුල් මෙකී කැසිනෝ අයිතිකරුවන්ට ණයගැති වනු ඇත. ඔවුන්ගේ ග‍්‍රහණයට නතු වෙනු ඇත.

මේ නිසා කැසිනෝ එන්නේ රුදුරු ආපදාවන් ද සමග බව පැහැදිළි ය. එහෙත් ශ‍්‍රී ලංකාව දැන් තමන්ගේ ආත්මය විකිණීමට සූදානම් ය. අඩු වශයෙන් ඒ සඳහා ඉල්ලා සිටිය යුතු මස් රාත්තලවත් අප ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට අප කරන්නේ, අවුරුදු 10 බදු සහනයක් ද ඔවුන්ට සලසා දීමයි. එපමණක් නොව, තවත් අයකරගත යුතු ආදායම් ද අපි නොගෙන ඔවුන්ටම පවරමු.

කැසිනෝ යනු ලංකාවට අළුත් දෙයක් නොවේ. දැනටමත් එවැනි කැසිනෝ ව්‍යාපාර ගණනාවක් අපට තිබේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඒවා යහතින් වැජඹෙයි. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි මේ කැසිනෝකාරයන්ට බලපත් නැත. එවැනි බලපත් නිකුත් කිරීමේ ක‍්‍රමයක් ලංකාවේ ඇත්තේ ද නැත.

ඒ වෙනුවට ඔවුන් කරන්නේ, 1988 ඔට්ටු සහ සූදු බදු පනත යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂික බදු ගෙවීම පමණි. පිටු තුනකින් පමණක් සමන්විත 2010 ‘කැසිනෝ ව්‍යාපාරික (නියාමන) පනත’ යටතේ බලපත් නිකුත් කිරීමක් ගැන සඳහන් වෙතත්, තවම එවැන්නක් ක‍්‍රියාත්මක කොට නැත.

සිංගප්පූරුවේ කැසිනෝ නියාමන මාදිලිය අනුව යමින් මේවා පාලනය කිරීමේ යම් පද්ධතියක් තමන් සැලසුම් කරගෙන යන බව රජයේ නිලධාරීහු කියති. එහෙත් එවැන්නක් කෙටුම්පතක් වශයෙන්වත් තවමත් දකින්නට නැත. එවැන්නක හිල් ඇත් දැ යි බැලීමට මහජන මත විමසීමක් සිදු කෙරෙන්නේ දැ යි සඳහනක් ද නැත. එසේ නැතහොත් මෙහි දී කෙරෙන්නට යන්නේත්, කෝටි 21 ක් ජනතාව වෙනුවෙන් කිහිප දෙනෙකු විසින් හොර රහසේ කටයුතු පිළියෙල කිරීමක් ද යන්න සැකයෙකි.

සූදුව සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කළ පසු සිංගප්පූරුවේ, මහා කැසිනෝ ව්‍යාපෘති දෙකක් 2010 දී ස්ථාන දෙකක ඇති කෙරුණි. ශ‍්‍රී ලංකාව මෙන් නොව, සිංගප්පූරුව යනු නගර රාජ්‍යයකි. තමන්ගේ සේවාවන් හැර එම රටට වෙන දෙයක් විකුණන්නට නැත. එහෙත් මේ අංශය යම් පාලනයකට නතු කර ගැනීම සඳහා එම රට ද බොහෝ නීති රෙගුලාසි පැනවීය. එපමණක් නොව, මේ අංශය ව්‍යාප්ත වෙද්දී සිංගප්පූරු බලධාරීහූ තව තවත් නීති රීති පනවති.

කොළඹ නගරය නොම්මර එකේ ‘පව්කාර පුරවරයක්’ කිරීම සඳහා ලංකාවට පැමිණීමට නියමිත ව්‍යවසායකයාට ඔස්ටේ‍්‍රලියාවේ දී අනේකාකාර නීතිරීති සහ රෙගුලාසිවලට යටත් වන්නට සිදුවුණි. ලංකාවේ දී මෙම ව්‍යාපෘතිය හරි හමන් විදිහකට පාලනය නොකෙරෙන්නේ නම්, එම ධන කුවේරයාට අපේ රට ඉතා පහසු පාරාදීසයක්ම වෙනු ඇත.

ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සමීප ඇතැම් පුද්ගලයන් කොමිස් හරහා ගරා ගත් ‘කළු සල්ලි’ සුදු සල්ලි බවට මාරු කර දීමේ අපකීර්තිමත් රාජකාරිය සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළඳපොළ මෑතක දී අති ප‍්‍රසිද්ධියට පත්විය. කැසිනෝ ජාවාරම යනු, එම එල්ලයම ඇතිව රටට පටවන්නට යන තවත් පිල්ලියක් ද?

*2013 ඔක්තෝබර් 20 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Casinos: Cusp Of A New Era” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    good letter.i will shere and print.

  • 0
    0

    People in Sri Lanka will have to face the repercussions of these projects. They still believe the’robbing family’ and their henchmen who raise their both hands for anything coming from the top. Our country is gone to dogs and pigs. What is left??????????????????????????

  • 0
    0

    නිදහස් මාධ්‍ය කියන්නේ මේවාගේ හරක් කතා වලට ද….

  • 0
    0

    කොළබ විතරක් නෙමේ මුලු රට ම පව්කාර පුරයක් වෙන හැටි බලා ගන්න තිබුනා ජනපතිතුමා යුද්දෙට තිත තිබ්බේ නැත්නම්

  • 0
    0

    yuddhe kale kauruwath……….. yudda kala liyala [Edited out]????

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.