23 October, 2017

ළමුන්ට ආගම පැටවීම

සුසන්ත හේවා

ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ සමාජය මොන තරම් ව්‍යාකූල කොට සහ ගැටුම්කාරී කොට ඇත්ද යන්න පෙනී යයි. කණගාටුව වන්නේ, මෙය මුළු ලෝකයේම අද පවතින තත්වය වීමයි. ‘ඊලඟ ජීවිතයක්’ ගැන කියැවෙන සෑම ආගමික දේශනාවක්ම සත්‍යයක් විය නොහැකි බව අපි දනිමු. එහෙත් අපි අපේ ආගමික විශ්වාසයන් මත එල්බ සිටින අතර සැබෑ ආගම වන්නේ අපේ ආගම යැයි විශ්වාස කරමු. ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, සංවිධානාත්මක ආගම් විසින් අටවා ඇති උගුල්වලට එරෙහිව සිහිබුද්ධිය ඇති සමාජයක් නිර්මාණය කිරීමට එදා නිර්භයව පෙනී සිටියේ එබැවිනි.

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්

ආගම වනාහී, දෙමාපියන් විසින් දරුවන් මත පටවන දෙයක් බව තේරුම්ගන්නේ කලාතුරකින් කෙනෙකි. ඉතා භක්තිමත් බෞද්ධයෙකුගේ දරුවෙකු ක‍්‍රිස්තියානි පවුලක් විසින් කුඩා කල සිට දරුකමට හදාගත්තොත් හෝ ඉතා භක්තිවන්ත කිතුණුවෙකුගේ දරුවෙකු බෞද්ධ පවුලක් විසින් කුඩා කල සිට දරුකමට හදාගත්තොත් එම දරුවා තමන් හදාගත් දෙමාපියන්ගේ ආගමට අනිවාර්යයෙන් අයත් වන බව සහ හුරු වන බව අමුතුවෙන් කිව යුතු නැත. දෙමාපියන් ආගම් දෙකකට අයත් වන බොහෝ පවුල්වල දරුවන්ට තෝරා ගැනීමට සිදුවන්නේ, වඩාත් බලපෑම් සහිත සහ වඩාත් ආධානග‍්‍රාහී ආගම බවත් එවැනිම යථාර්ථයකි. දරුවන් සම්බන්ධයෙන් ආගමක් හිසට ගැනෙන්නේ කෙසේද යන්න එයින් පෙනේ. එබැවින් දැන් ඔබ මොන තරම් ආගමිකයෙකු වුවත්, එය ඔබට පැවරී ඇත්තේ, කුඩා කල සිට දෙමාපියන් විසින් ඔබ මත කරන ලද ආරෝපණයක් නිසා බව පිළිගත යුතුය.

යම් දරුවෙකු වයසින් මුහුකුරා යන තෙක් කිසි ආගමකට යොමු නොකළොත් බොහෝ විට, එම පුද්ගලයා වෙනත් ඕනෑම විෂයයක් උගෙනගන්නා සේ, ඕනෑම ආගමක් වඩාත් මධ්‍යස්ථව උගෙනීමට පෙළඹිය හැකි බවත්, එම පුද්ගලයා කිසි ආගමක් කරට ගැනීමට නොපෙළඹෙන බවත් කිව හැකිය. වෙනත් විෂයයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන හේතුවාදය, ආගම යනුවෙන් හැඳින්වෙන විෂය සම්බන්ධයෙන් පමණක් පසෙකින් තැබෙන්නේ මන්දැයි ප‍්‍රශ්නයකි. අපගේ දෙමාපියන්ගේ ආගම විසින් අපව ආක‍්‍රමණය කරනු ලැබීමෙන් වැළකුවහොත්, ආගම් දෙස විවෘත මනසකින් බැලීමට අපට හැකි වනු ඇත. අදාළ ආගම හුදෙක් භක්තිය මත පදනම්ව තිබෙන ආගමක්ද, නැත්නම් තර්කයක් මත පදනම්ව ඇති ආගමක්ද යන්න එහිදී වැදගත් නොවේ.

ඇත්ත වශයෙන්ම, මැවීම, පුනරුත්පත්තිය, කර්මය, දිව්‍ය ලෝකය සහ නරකාදිය ඇතුළු තවත් නොයෙකුත් ආගමික මතිමතාන්තර, ජීවිතයේ අපට හමුවන වෙනත් ඕනෑම කරුණක් සේ, මැදිහත්ව සහ අපක්ෂපාතීව පරීක්ෂාවට ලක්කළ හැකිවන්නේ, කුඩා කල සිට අපට යම් ආගමක් පොවා නැති නම් ය. කුඩා කල සිට යම් ආගමක් පොවා ඇති විට සිදුවන්නේ, එම ආගම ඔප්පු කළ හැකි කරුණු කෙරෙහි වැඩි බරක් තබා කටයුතු කිරීමට කෙනෙකු පෙළඹීමයි. ‘ආගම’ සම්බන්ධ කරුණු හේතුවාදය හරහා පැහැදිළි කළ නොහැකි යැයි ආගම්කාරයෝ අපට කියති. හේතුවාදී තර්කණයට ආගම ගෝචර කර ගත නොහැකි බව ඔවුන්ගේ තර්කයයි. සංස්ථාපිත ආගම් තර වන්නේ, මේ ආවරණය ලබා ගනිමිනි. නමුත් සත්‍යය වන්නේ, මෙම ආගම්වල ඉගැන්වෙන බොහෝ මතවාද වටා තවරා ඇති ගාම්භීරත්වය සහ රැුස් මඬල, ඉතා අවම තාර්කික සංශයවාදයකින් පවා සුණුවිසුණු කළ හැකි බවයි.

සිහි බුද්ධිය ඇති සමාජයක් ගොඩනැගීමේ ආධ්‍යාශයෙන් යුතුව ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, ‘ක‍්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානය’, ‘තරුණ සිතිවිලි සමාජය’ සහ ‘ශ‍්‍රී ලංකා ශාකභක්ෂ සමාජය’ පිහිටුවීය. ඒ සියලූ ඒකරාශී වීම් නිර්-ආගමික විය. මේ ව්‍යාපාර, සමාජයේ විවිධ ස්ථර කෙරෙහි මෙන්ම පූජ්‍ය පක්ෂය කෙරෙහිත් වැදගත් බලපෑම් ඇති කෙළේය. ‘ජාතික අනන්‍යතාව’ යන සංකල්පයේ හුදු පදනම පවා ප‍්‍රශ්න කළ ඔහු, ‘ජාතිකත්වයක්’ සමග අනන්‍ය වන පුද්ගලයා මානසික රෝගියෙකු බවද ප‍්‍රකාශ කෙළේය. අද සන්දර්භය තුළ, ආගම සහ ජාතිය පිළිබඳ වෙනස්කම් මුල් කරගෙන ඇති කෙරෙන මහා ලේ වැගිරීම් දෙස බලද්දී ආචාර්ය අදිකාරම් එදා කී දේවල්වල අදාළත්වය මැනවින් පැහැදිළි වෙයි.

දරුවන්ට ආගම ඉගැන්විය යුතුම නම්, අඩු වශයෙන් රටේ අදහන ප‍්‍රධාන ආගම් දෙකක්වත් අපි ඔවුන්ට උගන්වමු. එහෙත් එය පවා කළ යුත්තේ, එම ආගම් මධ්‍යස්ථව නිරීක්ෂණය කිරීමට තරම් මුහුකුරා ගිය වයසකට පත්වූ පසුවයි. ශිෂ්ට සම්පන්න සමාජයක වෙසෙන මිනිසුන්ට, සදාචාරය තෝරා බේරා වටහා ගැනීමට ආගමක එල්ලිය යුතු නැත. හොඳ-නරක, වෙනත් දේවල් සේම නිරන්තරයෙන් පරිණාමය වෙන තත්වයක් තුළ, සාකච්ඡාවට සහ වාද විවාදයට එය භාජනය කළ හැකි තත්වයක් තුළ, එකී හැකියාව ශිෂ්ට සම්පන්න සමාජයක මිනිසුන්ට ලැබේ. දෙමාපියන්ගේ ආගම පමණක් දරුවන්ගේ හිසට එබීම තුළින් සිදුවන්නේ, වෙනත් විකල්පයක් නැති තත්වයක් තුළ එය භාර ගැනීමට දරුවාට බල කිරීමයි. එය, ළමා අයිතීන් උල්ලංඝණය කිරීමකි.

වැඩිහිටියන්ගේ ආගමික අධිශික්ෂණයට (පැටවීමට) යටත් නොවී සිටීමට දරුවන්ට අයිතියක් නැත්ද? දරුවාට එසේ ආගම පටවන වැඩිහිටියාද ඒ ආකාරයේම ආගමික අධිශික්ෂණයට ඊට කලින් යටත් කරනු ලැබූ කෙනෙකු බව මෙහිදී අමතක නොකළ යුතුය.

*2017 ජනවාරි 5 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Religious Indoctrination of Children” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.