Colombo Telegraph

ප්‍රේමපාල හේවාබටගේ: විශ්‍රාම නොගත් කැරලිකරුවා

තාරක වරාපිටිය

අප්‍රකට දේශපාලන චරිතයක්වූ ප්‍රේමපාල හේවාබටගේ හදිස්සියේම සිය සමාජ චාරිකාව නිමවා පසුගිය සතියේ නික්මී යන්නටම ගියේය.

ජ.වි.පෙ. පළමු කැරැල්ල වූ 71 අප්‍රේල් කැරැල්ලේ ප්‍රමුඛ පෙලේ අයෙකුවූ ඔහු ඉන් අනතුරුව එම පක්ෂයේ දේශපාලනයෙන් ඉවත්ව එනමුත් වාම ධාරාවේ දේශපාලනය තුල ‘විශ්‍රාම’ ගැනීමකින් තොරව සිටියේය.

71 අවදියේ ඔහු සමාජවාදී සිහිනය පිළිබඳව දෙගිඩියාවකින් තොරව දේශපාලනය පිළිබඳව උද්යෝගයකින් කැප වෙන්නට ඇත. ඒ අවදියේ සමාජවාදය සැක කරන්නට තරම් හේතු නොවුණි. අපි ඒ සිහිනය පිළිබඳව අධිෂ්ඨානය ඇතිව දේශපාලන පිටියට පිවිසෙන්නේ 80 දශකය අවසාන භාගයේය. අධිෂ්ඨානය තිබියදී වුව සමාජවාදී සිහිනය පිළිබඳව බලාපොරොත්තු හැකිලෙන පුවත් හා කරුණු අප වටා ඒ වනවිටත් හොල්මං කරමින් තිබුණි.

කෙසේමුත් ජ.වි.පෙ. දෙවන කැරැල්ල නිමා වනුයේ අපේ රටින් එපිට තිබුණු ඒ සමාජවාදී සිහිනය පිලිබඳ බලාපොරොත්තුද මුළුමනින්ම වාෂ්ප කරවමිනි. 89 අගභාගයේදී සෝවියට් දේශය බිඳ වැටුණි; බර්ලින් තාප්පය පෙරලා දමන ලදී. රස්තියාදුකාර කල්ලි විසින් ලෙනින්ගේ ප්‍රතාපවත් පිලිරූ බිමහෙලන ලදී. රට තුලත් ඉන් එපිටත් සිදුවූ මේ සියල්ල අපට දේශපාලනික වශයෙන් ක්ෂතිමය අත්දැකීමක් විය; අපගේ දේශපාලන ආත්මය කළු කුහරයකට ඇද වැටුණි.

ලෝකයේ යහපත් මිනිසුන් හට අනුප්‍රාණය සැපයු, සමාජවාදී ලෝකයක් පිලිබඳ දේශපාලන නිෂ්ඨාව අහෝසිවී ගියකළ එවැනි මිනිසුන් සමාජීයව හා ආත්මීයව කළු කුහරයකට ඇද වැටුනා හා සමනය. (කළුකුහරයකට ඇදවැටෙන සියලු පදාර්ථ පමණක් නොව ආලෝක ශක්තිය පවා එහි අධික ගුරුත්වාකර්ෂණයට ගොදුරුවී එහිම ගිලී යන හෙයින්..) පරමාදර්ශ හා යහපත් අධිෂ්ඨාන නොමැතිව එවැනි අයට ජීවත්වීමට අසීරුය.

ෆ්‍රැන්සිස් ෆුකුයාමා සිය තිසීසයෙන් (End of History and the last man) කියා සිටියේ සමාජ ප්‍රගමනයේ ඉතිහාස ක්‍රියාවලිය/දේශපාලන පරිණාමය මෙතනින් නිමාවන බවයි. එනම් ධනවාදයෙන්/ලිබරල් වාදයෙන් අනතුරුව සමාජවාදයක් හෝ කමියුනිස්ට් ලෝකයක් උදා නොවනු ඇති බවයි. (කෙසේමුත් ෆ්‍රැන්සිස් ෆුකුයාමා ඔහුගේ පැරණි තිසීසය මේවනවිට යලි සංශෝධනය කොට ඇත.)

දැන් ඉතින් ඉහතකී වර්ගයේ (අපද අයත්වූ) මිනිසුන්, කුමක් වෙනුවෙන් සාමුහිකව වෑයම් කරමුද ?   

ප්‍රේමපාල හේවාබටගේ වැනි කුඩා පිරිසක් අත් නොහැර ‘අල්ලාගෙන සිටියේ’ කුමන සිහිනයක් වෙනුවෙන්ද ?

අප විසින් සංවිධානය කල හේතුවාදී වැඩසටහන් වලට ඔහු සභාගි නොවුයේ නම් (මා ඔහු හඳුනා ගත්තේ එනිසයි) මවිසින් මෙවන් සටහනක් පවා නො-ලියවී ඔහු අප අතරින් මැකී යනු ඇති.

ධර්මන් වික්‍රමරත්න විසින් සම්පාදිත ජ.වි.පෙ. දෙවන කැරැල්ල පදනම් කරගත් විශාල වෙළුම් වල ඔහු ගැන සඳහන්ව තිබුණි. එසේ නොවන්නට ඔහු ඔහුගේ සමකාලීන මිතුරු කැරලිකරුවන් අතරේ පමණක් මතකයේ ඉතිරිවී කෙමෙන් වියැකී යනු ඇති. ඊටත් වඩා ශෝක ජනක කාරණය වුයේ, ඔහුගේ ‘ප්‍රතිපත්ති’ හෝ ඔහුගේ සිහිනය සමග තමන් මෙතනින් අනතුරුව නොසිටින බව ඔහුගේ අවමගුල අවසානයේ ඔහුගේ ඥාති වරිගයා විසින් මනාව පෙන්නුම් කිරීමයි. ඔහු ප්‍රතික්ෂේප කල ආගමික වතාවත් හා චාරිත්‍ර සියල්ල ඔහුගේ අභිමතයට පටහැනිව උවමනාවටත් වඩා පවුලේ අය විසින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ඔහුගේ සමාජ අනුරාගයද ඔහුත් සමග වල දමන ලදී.

රිචඩ් ඩෝකින්ස් විසින් විග්‍රහ කරන, Selfish gene හෙවත් ආත්මාර්ථකාමී ජානය නිසා අපට සමාජවාදය වැනි සාමුහික, පොදු පරාර්ථකාමී සමාජ-ආර්ථික ජීවිතයක් ගොඩනගා ගැනීමට මෑත කාලය තුල නොහැකිද? මිනිස් වර්ගයාගේ පැවැත්ම අතීතයේ සිට ආරක්ෂා වුයේ හා සත්ත්ව ලෝකය තුල ඔහු අපරාජිත ශක්තිමත්ම ජීවියා බවට පරිණාමය වුයේ මේ ආත්මාර්ථකාමී ජාන ස්වභාවය හේතුවෙන් යැයි කියවේ. ඒඅනුව නම් අපට නුදුරු අනාගතයේදී, සමාජවාදී වීමට හෙවත් සමාජ-ආර්ථික ලෙස සාමුහික ජීවිතයකට මිනිස් වර්ගයාට එකඟ වන්නට (අපේ මනෝ භාවය වෙනස් වීමට) මේ ආත්මාර්ථකාමී ජානය අපට උදව් නොකරාවි.

කෙසේමුත් දැනට පෙනෙන්නට තිබෙන කරුණු අනුව, විද්‍යාව හා තාක්ෂණය විසින් මෙන්ම නිර්මාණය වී තිබෙන මිනිස් පැවැත්මේ කොන්දේසි නිසා, (ඒ අවශ්‍යතාවය නිසා) ලෝකය එක්සත් දිසාවකට ගමන් අරඹා ඇත. ඒ විභවය  තුලින්ද ධනවාදයේ ආත්මය වෙනස් කොට ඇත. [පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතිය විසින්ද ලෝකය ධනවාදයට එරෙහිව වෙනස් කරන ලදී.] එය අපට අහිමිවූ සිහිනය නිසා ඇතිවූ වේදනාව හා රික්තය හිලව් කරන්නට තරම් සහනයකි. එමෙන්ම අද දවසේ අපට සෑහීමකට පත්වන්නට තරම් සමාජවාදී ලක්ෂණ ස්කැන්ඩිනේවියානු කලාපයේ රටවල් වල මෙන්ම තවත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල දියුණු වෙමින් ඇත. එහෙත් ඇමෙරිකාවේ නම් ඒ ලක්ෂණ අඩුය. බරක් ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය වැනි යම් ‘සමාජවාදී’ යෝජනා පරාජයවුයේ ඒ නිසාය. 

ප්‍රේමපාල ජීවත්වුයේ මේ සංක්‍රාන්ති සමය අත්විඳිමිනි. ඔහු සමහර විශ්‍රාමික කැරලිකරුවන්මෙන් ජීවිතයේ අතහැරුණු දේවල් වෙනුවෙන් ‘ඇරියස්’ කවර් කරන්නට උත්සහ ගත්තේ නැත. යලි උපතක් නැති බව දැනසිටි ප්‍රේමපාල හේවාබටගේ වෙනුවෙන් අපි ඔහුට සුභ රාත්‍රියක් කියා කියමු.

Back to Home page