26 April, 2024

Blog

බුදුන්ටත් වින කටින්නට ආ වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

‘මාර’ යන වදන අපට අතිශයින් හුරු පුරුදු ය. අතීතයේ මරණය හා සබැඳි බියකරු අදහසක් පළ කළ ‘මාර’ සහ ‘මාරක’ යන වදන් ඇසීමට පවා අතීත ජනයා බිය වූහ. එහෙත් වර්තමාන ජනප්‍රිය සංස්කෘතිය තුළ නම් අත්‍යන්ත හෙවත් උපරිම යන අදහස පළ කිරීම පිණිස ද මෙම ‘මාර’ හා ‘මාරයි’ යන වදන භාවිත කරනු පෙනෙයි. තත්ත්වය මෙසේ තිබිය දී අප සමාජයේ බොහෝ දෙනකු ඇසීමටවත් අකැමැති ‘මාර’ යන නමින් දෙවියකු සිටින බව ඔබ මෙතෙක් දැන සිටියාද?

බෞද්ධ සාහිත්‍යයේ එන දිව්‍ය ලෝක අතුරින් සයවැන්න හැඳින්වෙනුයේ පරනිම්මිත වසවත්ති හෙවත් පරනිර්මිත වසවර්ති ය. බෞද්ධ සාහිත්‍යයේ සුත්ත නිපාත අටුවාවේ දැක්වෙන අන්දමට මෙම ‘මාර’ දිව්‍ය පුත්‍රයා එම දෙව්ලොවට අධිපතිකම් දරයි. එනිසාම ඔහු වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ලෙස ද හඳුන්වනු ලැබේ. අතිශයින්ම දාමරික ගති පැවතුම්වලින් යුතු මාර දිව්‍ය පුත්‍රයා තම අභිමතයට එරෙහි වන සියල්ලන් විනාශ කර දමන්නකු බව ත්‍රිපිටක සාහිත්‍යයේ නොයෙක් තැන්වල සඳහන් වෙයි. එහෙත් මෙම මාර දිව්‍ය පුත්‍රයා එක් පුද්ගලයකු නොව කිහිප දෙනෙකු බව හැඟවෙන කරුණු ද බෞද්ධ සාහිත්‍යයෙන් හමු වෙයි. නිද්දේස අට්ඨ කතාවේ මාරයන් දෙදෙනකු පිළිබඳව සඳහන් වන අතර දීඝ නිකාය අට්ඨ කතාවේ මාරයන් තුන් දෙනකු පිළිබඳව සඳහන්ය. ඛුද්දක පාඨ අට්ඨ කතාවට අනුව බලන විට මාරයන් සිව් දෙනෙකි. ථෙරගාථා අට්ඨ කතාව මාරයන් පස් දෙනෙකු ගැන කියයි.

ඒ කෙසේ හෝ මෙකී සියලු මාර වර්ගයා අතරින් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා බෞද්ධ සූත්‍ර පිටකය තුළින් විශේෂයෙන් කැපී පෙනෙන බව කිව යුතුම ය.

අප ජන සමාජයේ බලවතුන් දෙකොටසකි. ඒ සුප්‍රකට බලවතුන් සහ කුප්‍රකට බලවතුන් යනුවෙනි. සුප්‍රකට බලවතුන්ට සේම කුප්‍රකට බලවතුන්ට ද ධන බලයක් සේම පිරිස් බලයක් ද තිබේ. විවිධ කරුණු මුල් කොට ඔව්හු සුප්‍රකට බලවතුන් හා ගැටුම් ඇති කර ගනිති. ඇතැම් විට ඒ ගැටුම්වලින් ජයග්‍රහණ ද අත්පත් කර ගනිති. බෞද්ධ සාහිත්‍යයේ එන මෙම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ද එබඳු කුප්‍රකට බලවතෙකි. එය වඩාත් සරලව කිවහොත් දෙවියන් අතරේ හිඳින පාතාල නායකයෙකි.

බෞද්ධ සාහිත්‍යයට අනුව ලෞකිකත්වය හා සබැඳුණු පස්කම් සැපය නියෝජනය කරන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඒ වෙනුවෙන් නිබඳ පෙනී සිටින්නෙකි. එනිසා බුද්ධත්වය විසින් ලෝකයා සාක්ෂාත් කර දෙන නිර්වාණයට ඉඳුරාම විරුද්ධ වීම නිසා සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මුණු මොහොතේ සිට කුමරුන් පසුපස ලුහුබඳිමින් මාරයා කළ බලපෑම් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සුත්ත නිපාත්යට අයත් පධාන සූත්‍රයේ බොහෝ විස්තර සඳහන්ය. වරක් රජ ගෙයින් නික්ම මහ වන මැද දුෂ්කර ක්‍රියා කරන බෝසතුන් හමුවට පැමිණි මාරයා කරන මෙම කන්නලව්ව විමසා බලමු.”ඇයි ඔබ මෙහෙම කෙට්ටු වෙන්නේ? ඇයි මෙහෙම දුර්වර්ණ වෙන්නේ? දැනගන්න, දැන් ඔබ මරණයට බොහොම කිට්ටුවෙන් ඉන්නේ. මේ විදියට ඔබ ජීවත් වෙන්නේ තව බොහොම ටික දවසයි. පොඩ්ඩක් කල්පනා කරන්න. සේරටම වඩා කලින් කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්න එක නේද? මරණයට වඩා ජීවිතය නේද උතුම්? අනික ජීවත් වුණොත් නේද පිනක් දහමක් හරි කර ගන්න පුළුවන්.’

පධාන සූත්‍රයට අනුව මාරයාගේ එම කන්නලව්වෙන් බෝධි සත්ත්වයන්ගේ අධිෂ්ඨානය සහ වීර්යය බිඳ නොවැටුණු බැවින් බෝසතාණන් බුදු වී පුරා සත් වසරක් යන තුරුම බුදුන්ගේ ‘වරදක් සොයමින්’ දිවා රෑ දෙකේම වෙහෙසුණු බව එම සූත්‍ර අටුවාවේ සඳහන්ය. ඒ එවැන්නක් ඉස්මතු කර ගැනීම තුළින් බුද්ධ බලය යටපත් කොට තම බලය නැවත ඉස්මතු කර ගත හැකි බව මාරයා දැන සිටි බැවිනි. මෙය වර්තමාන සමාජ දේශපාලන කරළියේ නිතර භාවිත කෙරෙන ප්‍රතිවාදීන් මට්ටු කරන ක්‍රමෝපායක් බව ද අප අමතක නොකළ යුතු ය. එනිසා මේවා නවීන, නූතන ක්‍රියාවන් සේ සැලකිය යුතු නොවේ. සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත් වන අවස්ථාවේ දසමාර සේනාවක් සමග යුද්ධයක් කොට එම මාර සේනාව පරාජය කළ බව සෑම බෞද්ධයකුම දන්නා කරුණකි. එහෙත් ඒ සම්බන්ධයෙන් දාර්ශනික මත දක්වන බොහෝ දෙනෙකුන් පවසනුයේ එම මාර පරාජය බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සමග සියලු කෙළෙස් ප්‍රහීණ කිරීම පිළිබඳ සංකේතයක් පමණක් බව ය.එම අවස්ථාවේ දී මාර දිව්‍ය පුත්‍රයා යොදුන් එකසිය පණහක් පමණ විශාල වූ ශරීරයක් ඇති ‘ගිරි මේඛලා’ නම් ඇත් රජුගේ පිට නැගී නා නා ආයුධවලින් යුතු අත් දහසකින් යුතුව දස බිම්බරක් මාර සෙනග ද පිරිවරා බුදුන් හමුවට පැමිණි බව සවිස්තරාත්මකව පවසන ජාතකට්ඨ කතා විස්තරය අනුව මාරයා යනු මිථ්‍යා දෘෂ්ඨික ප්‍රබල දෙවි කෙනෙකු බව හැඟී යයි. එමෙන්ම ඉහත සඳහන් විද්වත් මතය අනුව මාර පරාජය යනු හුදෙක් කෙළෙස් ප්‍රහීණ කිරීමක් නම් බුද්ධත්වයෙන් පසු එළැඹි පස්වන සතියේ දී මාර දූවරුන් තිදෙනා ලෙස බුදුන් ඉදිරියේ රැඟුම් දක්වන ලද්දේ කවුරුන්ද යන බරපතළ පැනය අප හමුවේ පැන නගිනු ඇත

කෙසේ හෝ මහබෝසතාණන් බුද්ධත්වයත් සමග සිදු කළ මාර පරාජයෙන් පසුව ද මාරයා විවිධ වෙස් ගනිමින් බුදුන් පසුපස ලුහුබැඳි සිදුවීම් රැසක් සංයුක්ත නිකායේ එන මාර සංයුක්තයේ සඳහන් වෙයි. යක්ෂ, දේව, නාග, මිනිස් ආදී විවිධ වෙසින් බුදුන් හමුවට පැමිණි මාරයා බ්‍රහ්ම පිරිසකට ආවේශ වී ඔබ බුදු වුව ද පැවිද්දන්ට ධර්මය දේශනා නොකළ යුතුයි, පැවිද්දන් සසුනෙන් නික්ම යැවීම කළ යුතුයි ආදී බුදුන්ට වැරදි උපදෙස් දුන් බව මජ්ජිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයේ සඳහන්ය. ඒ අනුව අපගේ වත්මන් සංඝ සමාජයේ ඇතැම් භික්ෂූන්ගේ ධර්ම විනය විරෝධී ක්‍රියාකාරකම් අනුව අපට හැඟී යන්නේ මාරයාගේ එම අභිප්‍රායන් අද වන විට සැලකිය යුතු අයුරින් සපල වෙමින් පවතින බවකි.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කරුණු පිළිබඳව වැඩිදුර විමසීමේ දී මාරයාගේ ලක්ෂණ මෙසේ හඳුනාගත හැකිය. එනම් වස්තුකාමය, ක්ලේශ කාමය, කුසගින්න, සාපිපාසාව, තෘෂ්ණාව, සිතේ සහ කයේ පවත්නා බර ගතිය, බිය, සැකය, ගුණමකු බව, තද බව, ලාභය උදෙසා ගුණ කීම, සත්කාරය සහ අනුන් ගැරහීම යන්න ය. නමුදු මේ සියලු නුගුණ දුර්වලකම් සහිත මාර දිව්‍ය පුත්‍රයා පෙර කළ මහා පින් ඇති දිව්‍ය පුත්‍රයෙකු බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එය හරියටම වර්තමානයේ අධි සුඛෝපභෝගී දිවි පෙවෙත් ගත කරන අතරේ නීති සහ සදාචාර විරෝධී කටයුතුවල යෙදෙන මහා ධන කුවේරයන්ගේ තත්ත්වයට සමාන වූවකැයි මට සිතේ.මෙම මාර පරාජය නම් සංසිද්ධිය
කෙරෙහි අපගේ අතීත ජන සමාජය තුළ කෙතරම් උනන්දුවක් පළ වූයේ ද යත් මහනුවර යුගයට අයත් දෙගල්දොරුව රජ මහා විහාර බිතු සිතුවම් අතරේ ඇති මාර පරාජය සිතුවම් වල මාරයාගේ අතෙහි තුවක්කුවක් ඇති අයුරු ද සිත්තම් කොට තිබේ. එම යුගයේ අප රටේ ජනතාව ගේ සිත් තුළ ගිනි අවි සම්බන්ධයෙන් තිබූ භීතිය මින් පැහැදිලි වෙයි.

මේ සියලු තත්ත්වයන් යටතේ පරනිම්මිත වසවත්ති දෙව්ලොවට අධිපති වසවර්ති දිව්‍ය රාජයා එවන් පව්කාර දණ්ඩෙකු නොවන බවත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා යනු වෙනත් වසවර්තියකු බවත් කියන්නෝ ද අප අතර සිටිති. එහෙත්, එවැනි බෙදීමක් පිළිබඳ විස්තරයක් මට නම් මෙතෙක් හමු වී නැත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.