25 September, 2020

Blog

රාවණා වණයක් වෙයි?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ඇතැම් ප්‍රදේශවල යක් මඩුව නම් ශාන්තිකර්මයක් මෑතක් වනතුරුම පැවැත්විණි. එහිදි සිදු වුයේ යකුන් පිදුම නම් චාරිත්‍රාවලියකි එහෙත් සමාජය නවීකරණය වීමත් සමග එම ශාන්තිර්මය මේ වනවිට මුළුමනින්ම පාහේ අතුරුදන්ව ඇති අතර, ඒවා සිදු කළ යක් කපු මහත්වරු බොහොමයක්ද මේ වනවිට ජීවතුන් අතර නැත. එහෙත් සිය ළමා සහ තරුණ වයස්වලදී තම පියවරුන් සමග එම යක් මඩුවට එක්වූ ඒ යක් කපු මහත්වරුන්ගේ දරුවන් කිහිප දෙනකු අද වනවිටත් ජීවිතවල මැදිවිය ඉක්මවමින් හිඳින බව මා හට දැනගත හැකි විය. ඉන් එක් අයකු මේ වනවිට ‘රාවණා වෙද මැදුර’ නමින් ගම්පහ ප්‍රදේශයේ වෙදහලක් පවත්වාගෙන යයි. ඔහු වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් හිඳින බවද දැනගත් මම මීට මාස කිහිපයකට ඉහත ඔහු සොයා ගියෙමි.

එහෙත් තම පියා සමග එක්වූ ‘යක් මඩුව’ ශාන්තිකර්මය පිළිබඳව කතා කිරීම පසෙක ලූ ඔහු තම පරපුර සතු අති ප්‍රබල රාවණා වෙදකමක් පිළිබඳව තොරතෝංචියක් නැතිව කියැවීමට පටන් ගත්තේය. තම පරපුර සතුව තිබූ පැරණි පුස්කොළ පොත්වල නරක් වූ වකුගඩු ප්‍රකෘතිමත් කරන ප්‍රබල රාවණා ඔසු වට්ටෝරු පවා තිබූ බව කී ඔහු දැනට අභාවයට ගොස් ඇති යක් මඩුව ‘ලුහු බඳිනවාට’ වඩා ලොව විස්මයට පත්කළ හැකි මෙම රාවණා වෙදකම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන මෙන් මගෙන් පුන පුනා ඉල්ලා සිටියේය.

එහෙත් ඔහුගේ පරපුර සතුව එවන් හාස්කම් දනවන වෛද්‍ය ක්‍රමයක් තිබිණි නම් ඔහුගේ පිය පරම්පරාව වෙද මහතුන් නොවී කපු මහතුන් වූයේ ඇයි? අනෙක් කිසිවකුටත් නිශ්චය කරගත නොහැකි අනාදිමත් කාලයක අප රටේ රජකම් කළ බවක් පැවසෙන රාවණා රජු සම්බන්ධ තොරතුරු සහිත පුස්කොළ පොත් මීට වසර දෙතුන් සීයකට වඩා පැරණි නොවේ. එමෙන්ම රාවණා වෙදකම නම් එවැනි පුස්කොළ පොත් තිබේ නම් ඒවා මහනුවර යුගයේ දී පමණ විවිධ වංචනිකයන් විසින් ගොඩ වෙදකම් ටිකක් පුස්කොළ පොත්වලට ගොනුකොට ඒවාට රාවණා ලේබලය ඇලවීමක්ම බව අතිශයින් පැහැදිලිය. නිධන් වදුල ආදී පුස්කොළ පොත් සම්බන්ධයෙන් කීමට ඇත්තේද මේ ටිකමය.

ඒ කෙසේ හෝ කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක්වත් නොමැති ඒ රාවණා වෙද මහත්තයා සමග ඔවැනි දේ කීමට ගොස් රණ්ඩු සරුවල්වලට පැටලීමේ තේරුමක් නැති බව වටහාගත් මම ගිය කාරිය පසෙක ලා ආපසු හැරුණෙමි.

‘‘මහත්තයට මම කොච්චර නම් කිව්වද අපේ පරණ රාවණා වෙදකම ගැන ප්‍රසිද්ධියක් දෙන්න කියලා. ඒත් කෝ මහත්තයා මාව සත පහකටවත් ගණන් ගත්තද? කොහොම හරි පසුගිය දවසක මගෙන් එතැනට ප්‍රයෝජනයක් නැහැ කියලා ඒකේ අයිතිකාරයා මට යන්න කිව්වා. ඊට පස්සේ එතැන පංචකර්ම චිකිත්සාව කියලා වෙනම සෙල්ලමක් පටන් අරන්. මහත්තයා දන්නවද දැන් ඒ රාවණා වෙද මැදුරේ හොඳ හොඳ දේවල් වෙනවලු’’ ඔහු කීවේ එහි ලොව පැරණිම රස්සාව වෙන බවය.

‘‘ඒ කෙසේ වෙතත් රාවණා වෘත්තාන්තය ඓතිහාසික, පූර්ව ඓතිහාසික හෝ ප්‍රාග් ඓතිහාසික යුගවලට අයිති එකක් නෙවේ. ඒක දුරාතීතයේ ඉන්දියානු උප මහද්වීපයට සංක්‍රමණය වුණු ආර්ය ජනතාව ඒ මහද්වීපයේ ජීවත්වුණු ස්වදේශික අනාර්ය ජනතාව එක්ක ඇතිවුණු සමාජ සංස්කෘතික ගැටුමක් නිරූපණය කෙරෙන ආර්යවාදී පුරාවෘත්තයක් විතරයි.’’

සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත වගකිවයුතු නිලයක් දරන්නකු හට දිනක් මම කීවෙමි.

‘‘රාවණා රජ්ජුරුවන්ගේ ඉතිහාසය හරියටම දැන ගන්න ඕනේ නම් කොග්ගල නිලමේ පොත කියවන්න. ඒ පොත කියවපු කිසිම කෙනෙක් ඔය වගේ බහුබූත කතා කියන්නේ නැහැ’’ මඳ කෝපයකට පත් ඔහු කීයේ මා විස්මයට පත් කරමිනි.

කෙසේ හෝ ඔහුගේ එම ප්‍රකාශය මත හටගත් උනන්දුව නිසාම මම යුහුසුලුව කොග්ගල නිලමේ කෘතිය සොයාගෙන කියැවීමට පටන් ගතිමි. මාක්ස් ප්‍රනාන්දු නම් ලේඛකයා විසින් ලියන ලදුව 1960 දශකයේදී පමණ මුල්වරට ප්‍රකාශයට පත්වූ එම කෘතියේ මුද්‍රණ කිහිපයක් මේ දක්වා නිකුත් වී තිබේ. ඒ රාවණා පිළිබඳව පවතින ජනතා උනන්දුව නිසාම විය යුතුය. රාවණා රජු පිළිබඳව කතුවරයාගේ ගුප්ත විශ්වාස මුල් කොට ගත් පරිකල්පන පදනම්ව ලියැවුණු අද්භූතවාදී නවකතාවක් වන ‘කොග්ගල නිලමේ’ සාහිත්‍යමය වශයෙන් එතරම් අගයකින් යුතු කෘතියක්ද නොවේ.

වර්තමානයේ රාවණා රජු පිළිබඳ ඓතිහාසික මූලාශ්‍රමය බංකොලොත් බව කොතෙක්ද යත් අද බොහෝ දෙනකු රාවණා පිළිබඳ මෙවන් ප්‍රබන්ධ කතා අතරිනුදු ‘නෙළා ගැනීම’ විස්මය හා හාස්‍ය දනවන්නකි. එහෙත් වඩාත් විස්මයට කරුණ එය නොවේ. එම කෘතියේ මුල් පිටුවේ ග්‍රන්ථ නාමය සමගින්ම භූත විද්‍යා පර් යේෂණ කතාන්දරය යන්න පැහැදිලිවම සඳහන් වීමය. ඒ අනුව බොහෝදෙනකු රාවණාගේ ඓතිහාසිකත්වය ලුහුබැඳ යනුයේ භූත මාධ්‍යයෙනි.

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක අතුල වී. සමරවීර පසුගිය සතියේ මෙම රාවණා පිළිබඳ නවතම තොරතුරක් මා හමුවේ ගෙනහැර දැක්වීය. ඒ තම ගම් ප්‍රදේශයේ, එනම් කැලණියේ එක්තරා විහාරස්ථානයක අලුතින් රාවණා දේවාලයක් අරඹා ඇති අතර එය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවය. නාග ලෝකයේ සිට පෘථිවියේ කබොල්ල බිඳගෙන මිනිස් ලොවට පැමිණ ප්ලාස්ටික් බෝතලයක් බිඳගෙන පිටතට ඒමට නොහැකිව එතුළ සිරවී සිටින නාග රාජයකු මුල් කොටගත් රසාලිප්ත ගජබින්නයක් මතු වූ කැලණිය ප්‍රදේශයෙන් තවත් මෙවැනි රසවත් පුවතක්ද මතුවීම දෛවයේ හාස්කමක් හෝ සරදමකි.

එහෙත් මානව ඉතිහාසයේ කවර හෝ කලෙක ඇතිවූ බව කියන රාම-රාවණ යුද්ධයේදී ඉන්දියාවෙන් පැමිණි රාමට උදව් කිරීමෙන් පසු රාවණාගෙන් බැට කා දේවත්වයට පත් රාවණාගේ සොයුරු විභීෂණ අදත් වැජඹෙනුයේ කැලණි පුරයේමය. එවන් තත්ත්වයක් යටතේ රාවණාද නැවත කැලණියටම වැඩම කර ගැනීම ‘දේව අයිය මලෝ’ ගැටුමකට මුල පිරේදැයි කිව හැක්කේ දෙවියන්ටම පමණි.

‘‘කොහොමත් ඔය අලුත් රාවණා දේවාලයේ පූජාවට තියන්න ඕනේ ආනමාලු කෙසෙල් විතරමයි. මොකක්ද හැබෑට ආනමාලුයි, රාවණායි අතරේ තියෙන සම්බන්ධය? රාවණා ආනමාලුවලට විශේෂ කැමැත්තක් දක්වපු බව කොහේ හරි තැනක තියෙනවද?’’ මේ කතාව මා හා කී අතුල ඇසීය.

‘‘රාවණාගේ කැමැත්ත යකාට ගියත් ඔය වැඩේ සංවිධානය කරපු හාදයා එහෙම නැත්නම් මිනිහගේ නෝනා, එහෙම නැත්නම් දරුවෝ ආනමාලුවලට කැමැති ඇති. ඒකයි ඔය’’ මම කීවෙමි.

‘‘අපි ඔය රාවණා විශ්වාසය, ඉතිහාසය, පුරාවිද්‍යාව නැතිනම් බුදු දහම එක්ක පටලවා ගන්න හොඳ නැහැ’’ එසේ කීයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්තවිමල හිමිපාණන්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීය.

‘‘බෞද්ධ සාහිත්‍යයේ පන්සිය පනස් ජාතකයේ එන දසරථ ජාතක කතාවේ රාම-සීතා කතාවක් එනවා. ඒකේ විදිහට දසරථ රජ්ජුරුවෝ ඒ කියන්නේ රාම කුමාරයාගේ පියා සුද්ධෝධන රජ්ජුරුවෝ විදිහටත්, රාම කුමාරයාගේ මල්ලී ලක්ෂ්මන කුමාරයා සැරියුත් මහරහතන් වහන්සේ විදිහටත්, සීතා දේවිය යශෝධරාව හැටියටත්, රාම කුමාරයා බුදු හාමුදුරුවෝ විදිහටත් කතාව අවසානයේ පූර්වසර සන්ධි ගළපෙනවා.’’

‘‘බෝධිසත්වයෝ රාම කුමාරයා නම් ඒකායන වශයෙන්ම රාවණා දේවදත්තයා වෙන්න එපැයි’’ අපේ රටේ භික්ෂූන් වහන්සේලා පවා රාවණාගේ නමින් සංවිධාන පවා පිහිටුවාගෙන හිඳීම සිහිපත් වූ මම ගත් කටටම ඇසීමි.

‘‘නමුත් රාමායනයේ රාවණා කෙනෙක් හිටියට දසරථ ජාතකයේ නම් එහෙම රාවණා කෙනෙක් නැහැ’’ ශාන්තවිමල හිමියෝ කීය.

‘‘පසුගිය දවසක තංගල්ලේ මුල් පෙළේ හෝටලයක විවාහ මංගල උත්සවයකදී මනමාලයාගේ පැත්තේ කට්ටියකුයි, මනමාලිගේ කට්ටියකුයි අතරේ බහින්බස් වීමක් වෙලා අන්තිමට ගහමාරා ගන්න තැනටම ආවා. තව ඩිංගෙන් මඟුලත් එතැනින්ම කම්මුතු වෙන්න ඉඩ තිබුණා’’ පසුගිය දිනයක මගේ හිතවතෙක් කීය.

‘‘ඇයි මොකක් හරි දෑවැදි ප්‍රශ්නයක්වත්ද?’’ මම ඇසීමි.

‘‘නෑ, රාවණා ප්‍රශ්නයක්’’ ඔහු කීවේ සිනාසෙමිනි. ‘‘ඒ මඟුලට ආපු කවුරු හරි කෙනෙක් අනිත් අයත් එක්ක නිකමට වගේ කියලා තියෙනවා රාවණා කියලා කෙනෙක් මේ ලෝකේ කොහේවත් හිටියේ නැහැ, ඒක නිකම් හිතලුවක් විතරයි කියලා. එතකොට ඒකට කේන්ති ගිය තව කෙනෙක් කියපු කතාවකින් තමයි ඔය ප්‍රශ්නේ දුරදිග ගිහින් තියෙන්නේ. තව ඩිංගෙන් නතර වෙන්නේ මඟුල මළගමක් වෙලා’’ ඔහු කීය.

රාවණා ඓතිහාසික නොවූවද රාම-රාවණා ප්‍රවාද ඓතිහාසිකව පැවත එන්නකි. එහෙත් මෑතක් වනතුරුම අපගේ ජන විඥානයට අනුව රාවණා යනු මහා බලසම්පන්න දුෂ්ටයකු මිස වීරයෙක් නොවේ. දහඅට වැනි සියවසේ පමණ ලියැවුණු රාජාවලිය නම් ඉතිහාස ග්‍රන්ථයෙන් පැවසෙන අන්දමට පහන් කූඩුවක් සේ පෙනෙන මන්නාරමත් තූත්තුකුඩියත් අතර මාලිගා විසි පහක් සහ වීදි නගර ලක්ෂයක් සහිත රාවණාගේ කෝට්ටය (රාවණා කොටුව) මුහුදට බිලිවී ඇත්තේ රාවණාගේ අධර්මිෂ්ඨකම නිසාය. එහෙත් විසිවැනි සියවසේ මැද භාගයේදී පමණ එතෙක් මහා සම්ප්‍රදාය වශයෙන් අප රටේ පැවැති රාම කුමරුගේ පක්ෂය ගත් ආර්ය සිංහල මතවාදයට පටහැනි හෙළ මතවාදයක් මුල්වරට පැන නැගී තිබේ. ඒ තියඩෝර් ජී. පෙරේරා, මුනිදාස කුමාරතුංග, රැයිපියෙල් තෙන්නකෝන් වැනි භාෂා ශාස්ත්‍ර විශාරදයන්ගේ මානව විද්‍යාත්මක විමර්ශනයන් පෙරදැරිවය.

ඉන්දු යුරෝපීය සම්භවයකින් යුතු ආර්ය භාෂාවක් සේ සැලකෙන සිංහලය හෙවත් හෙළ බස ඊට පෙර ස්වාධීන මූලයකින් බිහිවූ බසක් බවට ඔවුන් මතු කළ තර්කය සිංහල භාෂාව පිළිබඳ විශිෂ්ට පර් යේෂණයක් සිදු කළ ජර්මන් ජාතික විල්හෙම් ගයිගර් පඬිවරයා විසින්ද ඊට පෙර තහවුරු කරන ලද්දකි. සිංහලයේ එම මුල් යුගය ඔහු විසින් හඳුන්වන ලද්දේ ප්‍රකෘති සිංහලය යනුවෙනි. කෙසේ හෝ සිංහලය ‘හෙළ’ යනුවෙන් හඳුන්වන මෙම මතය අනගාරික ධර්මපාල ප්‍රමුඛ පියදාස සිරිසේනයන් වැන්නවුන් හිස මුදුනින් පිළිගත් ආර්ය සිංහල මතවාදයට ඉඳුරාම වෙනස් එකක් බවද කිව යුතුය. එහෙත් පසුගිය කාලයේ නැගී ආ ආර්ය සිංහල මතවාදය හා හෙළ මතවාදය අතර ගැටුම් ඇතිවූ බවක් නොපෙනේ.

එහෙත් සිංහල භාෂාවේ සම්භවය සහ විකාශනය පිළිබඳ මානව විද්‍යාත්මක මතවාදය ගෙනහැර දැක්වීම පිණිස පෞරාණික හෙළ නරපතියන් පිළිබඳව විස්තර කිරී‍මේදී එම පඬුවන් ඒ සඳහා ඉන්දීය ආර්යවාදීන් රාක්ෂයන් ලෙස හැඳින්වූ බලි, තරු (තාරක) රාවණ ආදී අනාර්ය නායකයන් හුවා දක්වන ලද්දේ හුදෙක් ඉන්දීය මූලාශ්‍ර පදනම් කරගනිමිනි.

‘‘හෙළ හවුලේ පුරෝගාමියකු වූ අරිසෙන් අහුබුදු සූරීන් විසින් ලියන ලදුව හෙළ හවුලේ එවැනිම මුල් පෙළේ සාමාජිකයකු වූ සුනිල් සාන්තයන් ගයන ‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතය එම පැරණි හෙළ රාජ නාමාවලිය සහිත ගීතයකි. එහෙත් රාවණා යනු එම හෙළ රජ නාමාවලියේ එක් නරපතියකු පමණි.

‘‘පුරාණෝක්තිවල එන රාවණා කියන චරිතය සිංහල ජාතියේ පරමාදර්ශී වීර චරිතයක් විදිහට ඉස්මතු වෙන්න පටන් ගන්නේ 1983 එල්ටීටීඊ යුද්ධයෙන් පස්සෙයි. විශේෂයෙන් ඉන්දීය සාමසාධක හමුදාව අපේ රටට පැමිණීම කඩාවැදීමක් විදිහට දැක්ක අපේ රටේ ඇතැම් දේශපාලන බලවේග මගින් ඒක ‘වානර හමුදාවක්’ විදිහට හැඳින්වීමෙන් රාම-රාවණා යුද්ධය සිහි ගැන්වීම නිසා ඉන්දියාවට එරෙහි දේශීය ආකල්පවල පරමාදර්ශය වුණේ රාවණාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළ නැග්ගා. අද යුද්ධයක් නැතත් ඒ රාවණා පරමාදර්ශය බිඳ වැටී නැහැ. විශේෂයෙන් තමන්ගේ මව්බිමෙන් බැහැර වෙලා විදේශ රටවල සේවය කරන සිංහලයන් බොහොමයකගේ මානසික බිඳ වැටීම් වළකන දේශීය අභිමානය සංකේතය කරන්න මේ රාවණා කියන පරමාදර්ශයට හැකිවෙලා තියෙනවා.’’

වර්තමානයේ පැන නැගී ඇති මෙම රාවණා උනන්දුව පිළිබඳව එසේ කරුණු දක්වන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර විසිනි.

‘‘ඓතිහාසික, පූර්ව ඓතිහාසික, ප්‍රාග් ඓතිහාසික කියන යුගවලට අයත් කැණීම්වලින් හෝ අපට අප රටෙන් හමුවෙලා තියෙන ශිලා ලේඛන, ලෙන් චිත්‍ර ආදි කිසිවකින් රාවණා කියලා චරිතයක් මතුවෙලා නැහැ. ඒ වගේම පූර්ව ඓතිහාසික යුගවල යම් යම් ශිෂ්ටාචාර ලක්ෂණ දකින්න ලැබුණත් අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයක් ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබිලත් නැහැ. ඒ අනුව රාවණා කියන විෂය පථය මානව විද්‍යාත්මක සහ මානව වංශ විද්‍යාත්මක වශයෙන් මිසක් පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු කරන්න පුළුවන් වේවිය කියලා හිතන්න අමාරුයි. රාවණා කියන්නේ අපේ රටේ බලසම්පන්න බව පිළිබඳ සංකේතයක් විතරයි’’ අප කළ විමසුමකට පිළිතුරු දුන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා කීය.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් කළ මෙම ප්‍රකාශය රාවණාගේ ඓතිහාසිකත්වය ප්‍රබල අභියෝගයකට ලක් කිරීමකි.

‘‘අපේ රටේ යුග ගණනාවකට අයත් ලෙන් චිත්‍ර, විහාර චිත්‍ර තියෙනවා. ඒවයේ බෞද්ධ සාහිත්‍යයේ එන කරුණු වගේම අපේ රටේ ඓතිහාසික ප්‍රවෘත්ති වගේම සමහර පුරාවෘත්තත් එමගින් චිත්‍රයට නැගිලා තියෙනවා. පුරාවිද්‍යා කැණීම් ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි. අපේ රටේ ඉන්න කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක් වන ආචාර්ය නිමල් පෙරේරා 2004 අවුරුද්දේ දී විතර ඔය බෙල්ලන්බැඳිපැලැස්ස කියන ප්‍රදේශයේ ආදි මානව ජනාවාසයක කැණීම් කරලා විවිධ මානව අවශේෂ සොයා ගත්තා. ඒ අතරේ තිබුණු බලු දතකුත්, නවසීලන්තයේ වයිකාවෝ විශ්වවිද්‍යාලයෙන් ගත්තු කාල නිර්ණ වාර්තාවලට අනුව ඒ අවශේෂ අවුරුදු 12500ක් විතර පරණයි. ඒකෙන් තහවුරු වුණේ ඒ කාලෙත් අපේ රටේ ආදි මානවයා සඳහා දඩයම් බල්ලන් ඇති කරලා තිබුණා කියලයි. ඉතින් ඒ විදිහට හිතනකොට මට නම් හිතෙන්නේ පුරාවිද්‍යා ගවේෂණ සම්බන්ධයෙන් බලනකොට ඔය රාවණා කතාවට කිසිදු වටිනාකමක් නැහැ කියලයි’’ ආචාර්ය ලක්දුසිංහ අවසානයට කීවේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.