කසුන් කමලදාස –
මා මෙම කෙටි සටහන තබන්නට අදහස් කලේ කිසිවෙකුටවත් නින්දාවක් කිරීමට නොව, වර්තමාන සමාජ කථිකාවේ ඇති යම් දුර්වලතාවයක් ගැන අපේ අවධානය යොමු විය යුතු යැයි සිතූ නිසා ය.
මගේ ජීවිතයේ ඉතාමත්ම වටිනා පාඩම් මා ඉගෙන ගත්තේ මහාචාර්යවරුන්ගෙන් හා පොත්පත්වලින් පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ට ද සවන් දීමෙන්ය.
මා පමණක් නොව මාගේ ආදරයට පාත්‍ර වූ ගුරුභවතුන්ද එසේ ඉගෙන ගත් බව මට දැනුනේ, අප හට ඉගැන්වූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු කී කතාවකිනි… ඔබ අවුරුදු 7ක් වෛද්‍ය විද්‍යාව හැදෑරුවා විය හැක, ඔබ තවත් අවුරුදු ගනනක් ළමුන්ට බෙහෙත් කල කෙනෙක්ද විය හැක, නමුත් කිසිදාක මවක් (භාරකරුවෙක්) තම දරුවාගේ රෝගය පිළිඹදව කියන දේ කොතරම් මෝඩ දෙයක් යැයි ඔබට හැඟුනද, අවතක්සේරු නොකරන්න.
එසේ වුව ද තවත් තැනක මට දැනුණේ උගතුන් ද නූගතූන් ද එදිනෙදා ජීවිතයේ දී හිතන විදිහේ වැඩි වෙනසක් නැති බව ය. ඔවුන්ගේ අදහස් ප්‍රවේශමෙන් විමසීමෙන් හා සන්සන්දනයෙන් ඔවුන් විසින් නොකියන දේ පවා අපට සොයා ගත හැකි බව ය.
මේ ඒ බව මොනවට කියන සමාන්තර ප්‍රකාශන කීපයකි.
උගතුන් : පිටරටින් මිනිස්සු ඇවිල්ල, අපිට මනුස්සකම (ශබ්දය දැමිය යුතු ආකාරය) කියල දෙන්නේ කොහොමද?
නූගතුන් : පිටගම් වැසියෙක් අපේ ගමේ ගස් කපන නොකපන හැටි අපට කියන්නේ කොහොමද?
උගතුන් : නිදාගෙන ඇති වැඩේ මොකක්ද, හිත පිරෙන්න පිරිත් නැතුව?
නූගතුන් : ඔක්සිජන් වලින් ඇති වැඩේ මොකක්ද, නිදහසේ අත පා දිග හැර සෙල්ලම් නොකර?
උගතුන් : නීති විරෝධීව ශබ්ද විකාශණ යන්ත්‍ර දාන්නට බැරිනම්, මිනිසුන් ලවා අපේ මැඩම්ට චන්දේ ගත්තේ මොකටද?
නූගතුන් : නීති විරෝධීව ගස් කපන්න බැරි නම් මිනිසුන් ලවා අපේ සර්ට චන්දේ ගත්තේ මොකටද?
උගතුන් : අර ගෙදර එකාට මහන්සි, මේ ගෙදර එකාට පාඩම් කරන්න තියෙනවා, මෙහා ගෙදර එකාට අසනීපයි කියල හිටියොත් පිරිත් අහන්න බෑ
නූගතුන්: වන සංරක්ෂණ, වෙරළ සංරක්ෂණ ඔක්කොම කියන දේ අහන්න ගියොත් මුකුත් හදන්න බෑ
උගතුන්: පිරිත් දැම්මම යක්කු දුවනව.
නූගතුන්: පිට්ටනි හැදුවාම කුඩු බොන එක නවතිනව.
උගතුන්: පන්සල් වල සද්ද කරන්න බැරිනම්, ඇයි මුස්ලිම් පල්ලි සද්ද දාන්නෙ?
නූගතුන්: අපිට ගමේ ගස් කපන්න බැරිනම්, ඇයි බදුර්දීන් විල්පත්තුව කැපුවෙ?
උගතුන්: අපි අවුරුදු ගනනාවක් සද්දෙට පිරිත් කිව්ව, නිදාගන්න බැරිවෙච්ච මිනිස්සු හිටියෙ නෑ.
නූගතුන්: අපි අවුරුදු ගානක් ගස් කැපුව, ඔක්සිජන් නැතුව කවුරුවත් මැරුනෙ නෑ
උගතුන්: බහුතර කැමත්ත ඇතිනම් ඇයි බැරි අපි කැමති දේ කරන්න?
නූගතුන්: බහුතර කැමත්ත ඇතිනම් ඇයි බැරි අපි කැමති දේ කරන්න?
මෙම දෙබස අසා සිටි මට පහල වූ ප්‍රශ්න කිහිපයක් කෙටියෙන් සටහන් කළ යුතුයැයි මට හැඟේ. ඒවාට උත්තර සොයා ගැනීම අපට නිරවුල් මනසකින් ලෝකය දෙස බලන්නට උදව් විය හැකි නිසා ය.
උපාධි, උසස් පෙල, සා. පෙල සමත් උගතුන් හා එවා අසමත් නූගතුන් අතර වෙනසක් තිබේද? ඔවුන්ගේ තර්කන හැකියාව එක හා සමානද? නැතිනම් අපි උගතුන් නූගතුන් ලෙස ලේබල් ගැසීමට හරිහැටි නොදනිමුද?
ගස් කැපීම මෙන්ම, අධික ශබ්ද කිරීමද පරිසරය දූෂණයට හේතුවන බව නොතේරීම, පාසැල් අධ්‍යාපනයේ දුර්වලතාවයක්ද? ආගමික ආයතන නීතියට හසු නොවීමේ වරදක්ද?
අතීතයේ නොදැනුවත්කම, මගහැරීම් නිසා වැරදි වූ නිසා දිගින් දිගටම අපි එලෙසම වැරදි කළ යුතුද?
බහුතර කැමත්ත, අවබෝධයකින් තොරව ඇතිවූ කැමැත්තක් වු විට අප විස්න්ම සමාජයේ ප්‍රශ්න ඇතිකරගන්නවා විය හැකිද? එසේ නම් අපේ තීරණ සමතුලනය කරන ආයතන ශක්තිමත් හා ස්වාධීන කිරීම, බහුතර ආවේග වලට පමණක් සවන්දීමට වඩා උචිත නැද්ද?