18 February, 2025

Blog

සුනඛයන්ට ‘‘ගරු නම්බු’’ ඇතිව දෙන බලු කපුටු දානය

තිලක් සේනාසිංහ –

තිලක් සේනාසිංහ

2019 අප්‍රේල් 21 ඉරිදා ඇති වූ අවාසනාවන්ත සිද්ධියෙන් පසු එතෙක් ජනාකීර්ණව පැවැති අනුරාධපුර පුදබිම නිහඬ පාළු බවක ගිලී පැවතුණි. ඒ මේ අත සැරිසරන බැතිමතුන්ගෙන් පුදබිම හිස්ව තිබූ අතර ඔවුන් පැමිණි බස් රථ ඇතුළු වාහන නතර කළ යුතු රථ ගාල් ඈතට දිස්වූයේ පාළු සොහොන් පිටි ලෙසිනි. ආයුධ සන්නද්ධ පොලිස්ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක භට පිරිස් පූජා නගරය පුරා දැඩි මුරකාවල් ලාගෙන හිඳින ලද්දේ කොයි මොහොතේ‌හෝ එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක් සාර්ථක ලෙස ව්‍යර්ථ කිරීමේ නිරන්තර සූදානමකිනි.

මේ අතර අහම්බෙන් හෝ අනුරාධපුර පුදබිම වෙත පිවිසෙන්නකු හට එහි කොතැනක හෝ මහ මග අද්දර නවතා ඇති දීප්තිමත් රතු පැහැති නවීන ටොයොටා ඇක්වා මෝටර් රථයක් දක්නට පුළුවන. එහි ඩිකිය ඇර ඇති අන්දම සහ එය පදවා ගෙන පැමිණි රූමත් තරුණ කාන්තාව කිනම් හෝ කටයුත්තක් කෙරෙහි යුහුසුලු වන අන්දමින් ඒ සමග දැක ගත හැකි වනු ඇත. එමෙන්ම ඇගේ එම කටයුත්ත කෙරෙහි මහත් උනන්දුවෙන් සහ අවධානයෙන් යුතුව තරගයට මෙන් වලිග වනමින් හිඳින සුනඛයන් හත් අට දෙනකුද ඒ අසල හිඳිනු දක්නට පුළුවන.

මේ තරුණ කාන්තාව අනුරාධපුර වකුගඩු රෝග මර්දන ඒකකයේ වෛද්‍යවරියකි. මෙම ‘‘අහේනි සමයේ’‘ මෙන්ම අනුරාධපුර පුද බිම බැතිමතුන්ගෙන් පිරී පවතින දිනවලද ඇය නිතිපතා අනුරාධපුර පූජා නගරයේ වෙසෙන නිවාස අහිමි සුනඛයන් සඳහා තමන් විසින්ම පිසින ලද ආහාර ගෙනවුත් දෙන්නීය. සියලුම තත්ත්වයන් යටතේ වසරේ තුන්සිය හැටපස් දිනය පුරාම ඇය තම මෙම සුනඛ දාන පාරමිතාව අත නොහැර පවත්වා ගෙන යාම ද විශේෂත්වයකි.

මේ අන්දමට අනුරාධපුර නගරාසන්නයේ වෙසෙන විවිධ වෘත්තිකයන් කිහිප දෙනකුම මෙම ක්‍රියාවේ – තවත් ‘‘බලු කපුටු දාන’’ දීමේ – යෙදෙන අතර එම වෘත්තිකයන් එක්ව මේ වන විට ‘‘අනුරාධපුර සුනඛ මිතුරු සංසදය’’ නම් සංවිධානයක් පිහිටුවා ගෙන ද තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ මුල් පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ හේරත් බණ්ඩාර රත්නායක මහතා එහි සභාපතිවරයාය.

වර්තමාන දරු පරපුර තුළ හැඟීමක් දැනීමක් නොමැතිවුව අතීත සමාජයේ ජීවත් වූ දරුවන් අතර ‘‘බලු කපුටු දාන’’ දීම මුල් තැනකට පත්විණි. තම නිවෙස්වලින් එකතු කර ගන්නා සහල්කරවලතුනපහ ආදිය එක්කොට වෙනම ස්ථානයක බතක් පිස ගන්නා එවක දරුවෝ වීල්බැරෝවක හෝ අත් කරත්තයක ආධාරයෙන් ඒවා ගමපුරා රැගෙන යමින් මගතොට හමුවන සුනඛයන්ට බෙදා දුන් අයුරු අපගේ ළමා වියේ අත්දැකීම් අතර අදටත් ‘‘සුරක්ෂිත’’ තිබේ. නමුදු ළමයින්ට විනෝදාංශයක් නොවූ මෙය. අතීත ගැමියන් අතර ද පැවැති එක්තරා දාන ක්‍රමයක් බව සනාථ වනුයේ ඒ සම්බන්ධ උප සංස්කෘතියක්ද ගොඩ නැගී ඇති බැවිනි. මෙම උප සංස්කෘතික ලක්ෂණ ප්‍රාදේශීය වශයෙන් වෙනස්ව ඇති බව පෙනෙයි. ඇතැම් ප්‍රදේශවල මෙම බලු කපුටු දානවලදී සුනඛයන් ‘‘බල්ලන්’’ යනුවෙන් නොහැඳින්වෙන බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ගැමියෝ මෙම දානමය කටයුතු බලුන්නැගේ (බලු + උන්නැහේ) යනුවෙන් හඳුන්වන අතර සුනඛ ධේනුව හැඳින්වීම පිණිස බලුන්දැ (බලු + උන්දෑ) යන වදන යෙදූහ. එමෙන්ම මෙම බලු කපුටු දානය බෙදීම සඳහා ඇතැම් ප්‍රදේශවල කෙසෙල් කොළ භාවිත නොකෙරේ.

ඊට හේතුව එය බුද්ධ පූජාව ඇතුළු සාංඝික දාන සහ දේව දාන ඇතුළු අනෙකුත් පින්කම් සහ ශාන්ති කර්ම සඳහා යොදා ගැනෙන පවිත්‍රත්වය සංකේතනය කෙරෙන ශාක පත්‍රයක් බැවිනි. ඒ වෙනුවට ගැනෙනුයේ කැන්දහබරලතේක්කහල්මිල්ල වැනි ශාක පත්‍රය. මෙම දානය බලුකපුටු දානය යනුවෙන් නම් කළද මෙම දානය පිසීමේ සිට පිළිගැන්වීම දක්වා දෙයාකාර ලක්ෂණ පළ කරයි. සුනඛයන් සඳහා වන දානය සඳහා කරවලවට්ටක්කා තුනපහ ආදිය සමග මුසු කළ මිශ්‍ර බතක් පිළියෙල වූ අතර කපුටන් සඳහා පිළියෙල වූයේ එළඟිතෙල් මුසු බතකි. මෙහිදී එම කෑම දෙවර්ගය පිළියෙල කරන ගැමියෝ ඒවා වෙන වෙනම භාජන දෙකකට දමා අත් කරත්තයක් හෝ වීල්බැරෝවක් මගින් ගම පුරා ගෙන යති. එහිදී මග තොට දී හමුවන සුනඛයන්ට එම කරත්තයේ හෝ වීල්බැරෝවේ ඇති ශාක පත්‍රයක් බිම දමා ඒ මතට බත් බෙදන අතර කපුටන් සඳහා පිළියෙල කෙරුණු දානය එම ශාක පත්‍රයට දමා උස් ස්ථානයක තබනු ලැබේ. ඔවුන් එසේ නොකළ හොත් තමන්ට ලැබුණු දාන පංගුව හනි හනිකට ගිල දමන බලුන්නැහැහේලා සහ බලුන්දැලා කපුටන්ගේ දාන පංගුවද එක කටට දෙකට ගිල දමනු ඇත. මෙහිදී සුනඛයාට වඩා කපුටා නිරතුරු කුස ගින්නෙන් පෙළෙන බවට ගැමියන් තුළ පැවැති සාම්ප්‍රදායික විශ්වාසය මත කපුටන් සඳහා දෙන දාන පංගුව මත එළඟිතෙල් පෙඟවූ පහන් තිර වැනි රෙදි පාන්කඩ තැබීමටද පැරැන්නෝ පුරුදුව සිටියහ. ඒ එම පාන්කඩය ගිල දැමූ පසුව කපුටන් සිය නිරන්තර කුස ගින්නෙන් දිගු කාලීනව නිදහස් වෙතැයි යන මිථ්‍යා මතය මුල් කර ගනිමිනි. එහෙත් දානයක් වශයෙන් වුව සතකුට එවැනි දිරවිය නොහැකි ආහාරයක් ලබාදීම ඒ සතාගේ ජීවිතය අකාලයේ මරුමුවට යෙදීමකි. ඒ අනුව එළඟිතෙල් බත පමණක් ඔවුන්ට ප්‍රමාණවත්ය.

බොහෝ ගැමියන් මෙම බලු කපුටු දාන දීමට පෙලඹෙනුයේ වෙසක් හෝ පොසොන් සමයන් හිඳී පමණි. එලෙස නොකඩවා වසර හැටක් බලු කපුටු දානය දුන් ‘‘දානපතියකු’’ රඹුක්කනඅලවත්තේ දී හමුවූ අතර ඔහු එන්.එම්. සිරිමල් නමැත්තෙකි.

මෙම බලු කපුටු දාන පිළිබඳ ජන ප්‍රවාද පිළිබඳව විමැසිමේ දී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් සම්බන්ධ ප්‍රසිද්ධ පිරුළක් අපගේ සිහියට නැගෙයි. එනම් ‘‘සංඝරාජ හාමුදුරුවන්ගේ බලු – කපුටු දානය වගේ’’ යන්නය.

වත්මන් බුද්ධ ශාසනික පුනරුදයෙහි පීතෘන් වහන්සේ වශයෙන් සැලකෙන වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් (ක්‍රි.ව. 1698-1778) පිණ්ඩපාතයෙන් යැපුණු තෙර නමකි. මෙලෙස උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින විට මග තොට වෙසෙන අසරණ සුනඛයන් දැක මහත් සේ කම්පා වූ අවස්ථා අපමණය. එබැවින් කිනම් පෙර දිනකයක මහ මග වෙසෙන අසරණ සුනඛයන් හට කුස පුරා ආහාර දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සිතන සඟරජ හිමියෝ තම දායක කාරකාදීන්ගේද සහායෙන් එක් දිනයක එකම ස්ථානයක දී ප්‍රදේශයේ ජීවත් වන සිය ගණනක් වන අසරණ සුනඛයන් සඳහා වෙනම දානයක් සංවිධානය කළහ. එහෙත් එලෙස දානය සඳහා එක වර එහි ගෙනෙන ලද සිය ගණන් සුනඛයන් දානය පිළිගැනීම පසෙක ලා එකිනෙකා කා ගන්නට වූ අතර දායකයන් එම දැවැන්ත බලු පොරය බේරන්නට ඉදිරිපත් වීමේ දී දන් බඳුන් පවා පෙරළී සපා කෑම්වලට ලක් වූ සුනඛයන් විශාල පිරිසක් දරුණු තුවාලවලට ලක්ව තිබේ. මෙම ගාලගෝට්ටිය කෙතරම් උස්ව නැගුණද යත් මෙය රජ වාසලටද ඇසී කීර්ති ශ්‍රී රාජසිංහ රජුද ඒ පිළිබඳව විපරම් කොට තිබේ. රජවාසල සේවකයන් එම පුවත හෙළි කළ විට රජු ගත් කටටම කියා ඇත්තේ සංඝ රාජ වුණත් ඉතින් ගම තුම්පනේනේ යන්නය.

එහෙත් මෙය තුම්පනේ ගැමියන් අඥානයන් බව හැඟවීමට ගොතන ලද ප්‍රබන්ධයකටත් වඩා වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමියන් තමන් වහන්සේගේ බුද්ධ ශාසනික වැඩසටහනේ දී ප්‍රායෝගික පක්ෂය නොවිමසා හුදු න්‍යායික පක්ෂය පමණක් ක්‍රියාවට නැංවීම මුල් කොට ගනිමින් එක්තරා පිරිසක් විසින් පසුකාලීනව ප්‍රබන්ධය කෙරුණු රසවත් උපමා කතාවක් බව මගේ වැටහීමය.

ඒ කෙසේ හෝ අප කුඩා කාලයේ මෙවන් බලු කපුටු දාන දෙන අතරේ ලිහා දැමීමට නොහැකි නපුරු සුනඛයන් හිඳින නිවෙස්වල දරුවන් හෝ කාන්තාවන් දන් කරත්තය වෙත පැමිණ එම නපුරු බලුන්නැහේලාගේ සහ බලුන්දැලාගේ දන් පංගුව ඉල්ලා ගෙන යන විට අපේ පුංචි සිත් මහත් සතුටින් සහ අභිමානයෙන් පිරී ගිය අයුරු අපට තවමත් මතකය. ඒ අපගේ පුංචි දානයට කිනම් හෝ සමාජමය පිළිගැනීමක්ද ඇති බව එමගින් තහවුරු වන බැවිනි.

සතුන් සඳහා දෙනු ලබන දාන මාන අතුරින් සුනඛයන් සහ කපුටන් සඳහා වන දානය ප්‍රධානත්වයට ඒමට ඒ සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම ද ඉවහල්ව ඇති බව පෙනෙයි. ත්‍රිපිටක සාහිත්‍යයේ පැහැදිලි සඳහනක් නැතත් සඟ සතු දේපොළ පරිහරණයෙන් මිනිසුන් බල්ලන් සහ කපුටන් වී උපදින බවට දේශීය බෞද්ධ මූලාශ්‍රවල තිබේ.

ඒ අනුව පොළොන්නරුව වටදාගේඇල්ලවැවඅතුරපොලයාගම, කොට්ටන්ගේබුද්ධන්නෙහෙලමලගනේමඩඋල්පොත ඇතුළු ශිලා ලේඛන රැසක ඒ බව සඳහන්ව ඇත්තේ සුනඛයන්ගේ සහ කපුටන්ගේ රූපසටහන්ද කොටා තබමිනි. එමෙන්ම අප ජන සම්මතයට අනුව කපුටා කුසගින්නේ සංකේතය වශයෙන් සැලකෙන අතර නිරන්තර කුසගින්න හැඳින්වීම පිණිස යොදන ‘‘කපුටු ගින්න’’ යන යෙදුම ඊට කදිම නිදසුනකි. විද්‍යාත්මක සහ නවීන චින්තනයට අනුව මිනිසාගේ පරම මිතුරා සේ සැලකෙන සුනඛයා දේශීය සාම්ප්‍රදායික චින්තනයට අනුව ‘‘නීච’’ බව සංකේතයකි. නූතන ජනවහරට අනුව මිනිසුන් අධම තත්ත්වයට පත්වීම ‘‘බලු වීම’’ ලෙසින් හඳුන්වනුයේ ඒ අනුවය.

හුදෙක් සත්ත්ව කරුණාවට පරිබාහිරව සෙනසුරු ග්‍රහයාට බියෙන්සෙනසුරු අපලවලින් අත්මිදීම පිණිස ද සමහරෙක් බලු කපුටු දානවලට පෙලඹෙති. මෙහිදී සෙනසුරුගේ පක්ෂියා වශයෙන් කපුටන් මෙම දන් ලැබීමට සුදුසුවන අතර සෙනසුරුගේ බලපෑමෙන් ඇතිවන ජීවිතයේ ඇදවැටීම් හෙවත් නීච බව මගහැරීම පිණිස ජ්‍යොතිර්වේදීන් විසින් මෙම බලු කපුටු දාන නිර්දේශ කරනු ලැබේ.

එම සාම්ප්‍රදායික මති මතාන්තර කෙසේ වෙතත් මේ මිහිතලය මිනිසුන්ගේ සේම සතුන්ගේද සම උරුමයක්ය යන නවීන චින්තනයට හුරු වූ ඉහළ නාගරික මධ්‍යම පන්තියේ ඇතැම්හු ද මහමග වෙසෙන සුනඛාදී සතුන්ට නිතිපතා ආහාර දෙන අන්දම අගනුවර තදාසන්න නාගරික ප්‍රදේශවලදී ඔබට දැක ගන්නට පුළුවන.

ඔවුන් අතුරින් ඇවිදීම සහ දිවීම වෙනුවෙන් හඳින ඇඳුම් කට්ටලවලින් සැරසී කැන්වස් පාවහන් සහ හිස් වැසුම් පැලඳ නවීන වාහනවලින් පැමිණ අත්වැසුම් පවා භාවිත කරමින් සෞඛ්‍යාරක්ෂිත ලෙසද සුනඛයන්ගේ සාපාසාව නිවන ඉහළ මධ්‍යම පාන්තික මහත්වරුන්ට වඩා නෝනාවරුන් අපගේ නෙත ගැටී තිබේ.

‘‘අපේ පැරණි ගැමි සමාජයේ තිබුණු හුඟක් උතුම් ගුණධර්ම අද වෙන කොට ශීඝ්‍රයෙන් අභාවයට යමින් තියෙනවා. නොයෙක් අරමුණු පෙරදැරිව කලින් ඔය බලු කපුටු දානය කියන එකත් අපේ ජන සමාජයේ සිත් කරුණාවෙන් මෛත්‍රියෙන් පුරවන උතුම් ක්‍රියාවක්”. අප හා එසේ ප්‍රකාශ කොට සිටියේ අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්ය.

ඥානතිලක හිමියන් පැවසූ එම කාලීන අවශ්‍යතාව කෙතරම් ප්‍රබලව නැගී ඇත්දැයි අපටම වටහා ගත හැකි සිද්ධීන් ඉවක් බවක් නොමැතිව වාර්තා වෙමින් පවතී.

මීට මඳ කලෙකට ඉහත තම සැමියා සහ දරුවන් ද සමග වෑන් රථයකින් එවන් බලු කපුටු දානයක් දෙමින් සිටි දෙනිපිටියපොල්වත්තේ පදිංචි තිස් අට වියැති කාන්තාවකගේ රන් මාලයක් මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු විසින් කඩා ගෙන යෑම ඊට එක් නිදසුනක් පමණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ මෙවන් බලු කපුටු දානවලදී සුනඛයන් හැඳින්වීම පිණිස බලුන්නැහේබලුන්දෑ යන වදන් යෙදීමෙන් පසු ඉවත දැමෙන ‘‘බල්ලා’ යන වදන ආරෝපණය කිරීමට නිසි සුදුසුකම් ලැබූවන් ඕනෑවටත් වඩා නූතන මිනිස් සමාජයේ හිඳින බවයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.