20 October, 2021

Blog

දෙයියා කිරි අත්තලාගේ ගම්බද නිරෝධායනය 

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

කොරෝනා රෝගය ලෝක වසංගත තත්වයක් දක්වා ව්‍යාප්ත වීමත් සමඟම එතෙක් ව්‍යවහාරයෙන් සැඟව තිබූ නිරෝධායනය නම් වදන අප සමාජයේ වැඩිපුරම භාවිතා වන වදන් අතරට එක්ව තිබේ. සිංහල භාෂාවේ ව්‍යවහාර වන වදන් අතුරින් වඩාත් සම්භාව්‍ය ගණයේ වදනක් වන මෙහි ඉන්දු යුරෝපීය භාෂා මූලයක් ඇති බව පෙනේ. සංස්කෘත, ඇතුළු පෙරදිග භාෂා කිහිපයකම මෙම වදන ‘නිරෝධාන’ ලෙස ව්‍යවහාර වීමෙන් ඒ බව තහවුරු වෙයි. මෙම වදන සිරගත කිරීම, වෙන්කොට තැබීම, බාධා කිරීම, මර්දනය ආදී බහු විධ අරුත් පළ කරන්නකි. මෙම නිරෝධායනය හැඳින්වීම පිණිස ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන quarantine යන වදනේ අරුත මීට තරමක් සමාන ය. බාහිර ප්‍රදේශයකින් පැමිණි හෝ කිසියම් රෝගයක් සඳහා නිරාවරණය වූ මිනිසුන් හෝ සතුන් යම් කාලයක් සඳහා සෙසු මිනිස් හෝ සත්ව සමාජයෙන් වෙන් කොට තැබීම යන්න එහි අරුත ය. එමෙන්ම මෙම නිරෝධායනය විද්‍යාත්මක වශයෙන් විස්තර කළ හැකි ක්‍රියාවක් නිසා එය නවීන සමාජ භාවිතාවකැයි සමහරෙක් සිතති. එහෙත්, පැපොල, කම්මුල්ගාය, සරම්ප ඇතුළු වසංගත රෝග මුල් කොට ශ්‍රී ලාංකීය අතීත ජන සමාජයේ අදටත් වඩා විධිමත් සහ ප්‍රබල නිරෝධායන යාන්ත්‍රණයක් තිබූ බවට ප්‍රබල සාක්ෂි රැසක් ගොනු කර ගත හැක. 

පසුගිය දශක තුනක පමණ කාලය තුළ මේ සම්බන්ධව වත්මන් සමාජයෙන් සැඟවී ගත් බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට මට හැකි විය. ඒ අපගේ අතීත ජන සමාජයේ ‘දෙවියන්ගේ ලෙඩ’ නමින් හඳුන්වන ලද වසංගත රෝග සම්බන්ධ ජන විශ්වාස පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර කලාවිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරලය, කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරලය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලය ආශ්‍රිත පාරම්පරික ගම්මාන කිහිපයක් මගේ මෙම විමර්ශනය සඳහා පාදක විය.

පැපොල, සරම්ප, කම්මුල්ගාය ඇතුළු වසංගත රෝගවල පැතිරීම සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය වටහා නොගත් ලොව පුරා අතීත ජනයා ඒවා විශ්වයෙන් මිනිසා වෙත එල්ල වන නපුරු, අයහපත්, පාපී, දුෂ්ඨ, අඳුරු බලවේග වශයෙන් නම් කළ බව මානව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. එම වසංගත රෝග අතුරින් වඩාත් බිහිසුණුම රෝගය වූයේ 1980 වසරේදී මුළු ලොවින්ම සදහටම දුරු කරන ලද බවට නිල වශයෙන් ප්‍රකාශය වූ වසූරියයි. අතීතයේ අප රටේ ද දෙවියන් ගේ ලෙඩ අතුරින් වසූරියට මුල් තැනක් හිමි වූ අතර වසංගත රෝග සම්බන්ධ දේව යාදිනි, කන්නලව් වලදී පැවසෙන වදුරු වසංගත යන වදනේ ‘වදුරු’ යන්න වසූරිය හැඳින්වීම පිණිස යොදන ලද්දකි. ඒ බව කෝට්ටේ යුගයේදී ලියැවුණු ‘යෝගරත්නාකරය’ නම් ආයුර්වේද ග්‍රන්ථයෙන් ද සනාථ වෙයි.

පැපොල, කම්මුල්ගාය සහ සරම්ප ආදී වසංගත රෝග ‘දෙවියන් ගේ ලෙඩ’ යනුවෙන් හැඳින්වෙනුයේ ඒවා දෙවිවරුන් ගේ කෝපය මත සමාජයට පැමිණ ව්‍යාප්ත වන රෝග නිසා මෙන්ම දෙවියන් උදෙසා කරනු ලබන කන්නලව්, යාදිනි සහ පුද පිළිවෙත් මඟින් පමණක් ඒවා සුවපත් වන බවට අපගේ පැරණි ජන සමාජය පුරා ප්‍රබල විශ්වාසයක් තිබූ නිසා ය. එහෙත්, එලෙස මිනිසුන් රෝගී කරවන දෙවිවරුන් කවුරුන් ද යන්න පිළිබඳ ඒකමතික තීරණයක් පැරණි ජන සමාජයේ තුළ නොතිබිණ. මෙම සියළු වසංගත රෝග සුවපත් කිරීමේ සර්වාධිකාරී බලය පත්තිනි දේවිය සතුව ඇතැයි විශ්වාස කළ පැරණි ගැමියන් එලෙස වසංගත රෝග පතුරුවන දෙවිවරුන් ලෙස තම ප්‍රාදේශීය දෙවිවරුන් හැඳින් වූ අවස්ථා ද විය. නමුදු විෂ්ණු, නාථ, පත්තිනි, සමන් ආදී ශාන්තිවාදී ගුණෝපේත මතු බුදුවන බෝසත් දෙවිවරුන් කෙසේවත් එලෙස මිනිසුන්ට විපත් නොපමුණුවන බව ඒ සම්බන්ධ පොදු අදහස ය.

මේ තත්වය යටතේ දෙවියන් ගේ ලෙඩ නමින් හැඳින්වෙන වසංගත රෝග වලට බඳුන් වන්නවුන් මුල්කොට පළමුව ඔවුන් ද දෙවනුව ඔවුන්ගේ පවුලේ ඥාතීන් ද තෙවනුව එම පුද්ගලයන් සහ ඥාතීන් ගෙන් ගම්වැසියන් ද මුදාගැනීමේ අතීතයේ පැවැති විධිමත් නිරෝධායන යාන්ත්‍රණයේ තතු දැන් අපි විමසා බලමු.

මෙම දෙවියන් ගේ ලෙඩ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් මේවා බෝවීම පත්තිනි දේවිය ගේ කෝපයක් මුල්කොට සිදුවන බවක් හුවා දක්වති. එහෙත්, අප ගේ ජන සම්මතයට අනුව පත්තිනි දේවිය කන්නගී නමින් මිනිස් ආත්මයක් ලැබ සිටි සමයේ තම සැමියා වන පාලඟ හෙවත් කෝවලන් නිරපරාදේ මරා දැමීම මුල්කොට පඬි රජුට සහ එම රටට කළ මහා ශාපයෙන් සිදුවූ විනාශය දැක ඉන්පසු කිසිවකුටත් ශාප නොකිරීමට තීරණය කළ බව පත්තිනි පුරාවෘත්තයේ පැහැදිලිවම සඳහන් වෙයි. ඒ අනුව අපට ඉතා මැනවින් පසක් වනුයේ විවිධ දෙවිවරුන් විසින් පතුරුවන ලද වසංගත රෝග සුව කිරීමේ කාර්ය භාරය පමණක් පත්තිනි දේවිය විසින් සිය කැමැත්තෙන්ම භාර ගෙන ඇති බව ය.

ඇතැම් ප්‍රදේශවල දෙවියන් ගේ ලෙඩ නමින් හැඳින්වෙන මෙම වසංගත රෝග ඛාන්ඩය තවත් ප්‍රදේශවල හැඳින්වෙනුයේ ‘අම්මා වරුන් ගේ ලෙඩ’ යනුවෙනි. මෙම රෝග වැළඳීම, පැතිරීම සහ පත්තිනි දේවිය අතර යම් සබැඳියාවක් ඇතැයි සමහරුන් සිතනුයේ මෙම අම්මාවරුන් ගේ යන වදන මුල් කොට ගනිමිනි. එහෙත්, මෙම හැඳින්වීමේ දී අම්මාවරුන් යන්න බහු වචනයෙන්ම දක්වා තිබීම පිළිබඳව ද අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.

මෙහි අම්මාවරුන් යනුවෙන් සඳහන් වනුයේ මෙරට වැදි ජනතාවගේ ජන ආගමින් දේශීය ප්‍රධාන සංස්කෘතික ධාරාවට පැමිණි කිරි අම්මා දෙවිවරුන් බව පෙනෙයි. විවිධ මූලාශ්‍ර වලින් මෙම කිරි අම්මලාගේ සංඛ්‍යාව විවිධ අයුරින් ප්‍රකාශ වන බැවින් ඒ සම්බන්ධ නිශ්චයකට පැමිණීම අපහසු ය. නමුදු එම කිරි අම්මලා අතරේ එන කුකුළාපොළ කිරි අම්මා යනු කුවේණිය බව සෙලින්මාන් යුවල විසින් 1911 වසරේ නිකුත් කළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සම්බන්ධ පර්යේෂණ ග්‍රන්ථයෙන් ද තහවුරු කොට ඇත.

මෙහි දී විජය කුමරු බොරු දිව්රීමක් මුල් කොට තමන්ට සිදු කළ කුරිරු අසාධාරණය මත කුවේණිය ඇති කළ බව පැවසෙන දිවි දෝෂය සහ ඒ මඟින් පැතිර ගිය බව පැවසෙන වසූරිය වසංගතය පිළිබඳ පුවත ද අප සැලකිල්ලට ගත යුතුය. එය මුල් කොට අම්මාවරුන්ගේ රෝග සුව වීමෙන් පසු කිරි අම්මාවරුන් විෂයෙහි දුන් දානයට කෝට්ටේ යුගයේදී පිවිසි පත්තිනි දේවිය මහනුවර යුගයේ සිට චාරිත්‍රය තුළ ප්‍රධානත්වයට පත්ව හිඳින්නී ය. 

දෙවියන් ගේ හෙවත් අම්මාවරුන්ගේ ලෙඩ මුල් කොට සිදු කෙරෙන නිරෝධායන ක්‍රියාවලිය හැඳින්වෙනුයේ ‘කාවල් කිරීම’ යනුවෙනි. කාවල් යනු නිරෝධාන යන සංස්කෘත වදනේ ද්‍රවිඩ ස්වරූපයයි. වැලැක්වීම, අවහිර කිරීම, බාධා කිරීම යන අරුත දෙන මෙම කාවල් යන වදන මුරකිරීම හැඟවීම පිණිස පොළොන්නරු යුගයේදී ලියැවුණු ‘බුත්සරණ කෘතියේ ද දක්නට ලැබේ. අද පවා ආරක්ෂා කිරීම, රැකවල් ලෑම හඳුන්වනු පිණිස සිංහලයෙහි මුරකාවල් යන්න තනි වදනක් සේ යෙදෙනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. 

වර්තමාන සමාජයේ නිරෝධායන යාන්ත්‍රණය හුදෙක් විද්‍යාත්මක, භෞතික සහ ලෞකික ක්‍රියාවලියක් වුව ද අතීතයේ මෙය මුළුමනින්ම ආධ්‍යාත්මික පක්ෂයේ ක්‍රියාදාමයක් විය.

එමෙන්ම ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කළ සුවිශේෂ චරිතයක් ද අතීත ජන සමාජයේ විසූ බව පෙනෙයි. දෙවියන් ගේ හෝ අම්මාවරුන්ගේ ලෙඩ සඳහා ගමේ වෙද මහතා ගෙන් පිහිටක් ලබා ගත නොහැකි පසුබිමක ඒ සඳහා ක්‍රියාත්මක වූ මෙම චරිතය විවිධ ප්‍රදේශවල වෙද ගුරුන්නාන්සේ, පත්තිනි රාළ, ගම්බාර රාළ, දෙයියා කිරි අත්තා ආදී විවිධ නම් වලින් හැඳින්වුණු අතර නුවර කලාවියේ දී ඔහු අනුමැති රාළ හෙවත් ඇනමිති රාළ නමින් හඳුන්වන ලදී. දෙවියන් ගෙන් අවසර ලබා ගත යුතු යැයි ගැමියන් විශ්වාස කළ කිසියම් සමාජමය, පවුල්මය හෝ පුද්ගල බද්ධ කටයුත්තක දී ඒ සඳහා දිව්‍යමය අවසරය ගෙන දුන් මෙම අනුමැති රාළ අයියනායක දෙවියන් උදෙසා සිදු කළ මුට්ටි මංගල්‍යය නම් යාතු කර්මයේ දී ඉටු කරන ලද භූමිකාව පිළිබඳව දහ අට වන සියවසේ අගභාගයේ දී නුවර කලාවියේ දිසාපති පදවිය හෙබවූ ආර්. ඩබ්ලියු. අයිවර්ස් විසින් වී ගොවිතැන හා සබැඳි චාරිත්‍ර සහ සැමරුම් යනුවෙන් 1880 වසරේ එළි දක්වන ලද ලේඛනයක ද සඳහන් කොට ඇත.

‘ගමේ කාට හරි දෙවියන් ගේ ලෙඩක් හැදුණම පිහිටට එන දෙයියා කිරි අත්තා කියලා කෙනෙක් ගැන ඉස්සර අපේ අම්මලා කතා වෙනවා අපි අහලා තියනවා. ගමේ කාට හරි දෙවියන් ගේ ලෙඩක් හැදුණම ඒ දෙයියා කිරි අත්තාව ඒ ගෙදරට ගෙන්වනවා. කිරි අත්තා සළඹත් අරගෙන ඒ ගෙදරට ඇවිත් දෙයියන්ට කන්නලව් කරලා දෙයියෝ මායම් වෙලා කියවන්න පටන් ගන්නවා’. වත්මන් සමාජයෙන් සැඟව ගත් මෙම අපූරු චරිතය සම්බන්ධයෙන් මීට විසි වසරකට පමණ පෙර එම විස්තරය මා හමුවේ පවසන ලද්දේ ඇහැටුවැව, දිවුල්ගනේ පාරම්පරික ගැමියකු වන එච්. එම්. ගුණතිලක මහතා විසිනි.

එහි දී එම දෙයියා කිරි අත්තා නමැති චරිතය විසින් එම නිවසේ වැසියන්ට දෙවියන් ගේ රෝගය වැළඳීමට හේතුව පවා ආරූඪයෙන් ම පවසන බවත් ඉන්පසුව නිවසේ හතර කොණේ තහංචි ගල් වළලා ගෙවත්තට පිවිසෙන කඩුල්ල හරහා වේළුව නමින් හැඳින්වෙන පිදුරු කඹයක් ඇද කඩුල්ලේ කොහොඹ අත්තක් එල්ලා එම නිවස කාවල් කරන බවත් ගුණතිලක මහතා කීය. මෙම වේළුව නුවර කලාවියේ දී ‘වෙනිය’ යනුවෙන් හඳුන්වන බව ද මට පසුව දැනගත හැකි විය. ඉන් පසුව එම රෝගියා හමුවට ගොස් ඔහු වෙනුවෙන් දේව කන්නලව්වක් කර රෝගය සුවවීමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයට කිරිබත් ප්‍රජාවක් කොට පත්තිනි දේවියට පින් පමුණුවා එම බාරය නිදහස් කිරීමට අණ දීම දෙවියා කිරි අත්තා ගේ රාජකාරියක් වූ බව තමන් අසා ඇතැයි ගුණතිලක මහතා වැඩිදුරටත් කීය. විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් හැඳින්වුණ ද එම වසංගත රෝගයේ ස්වභාවය අනුව දින දා හතර, විසි එක ආදී වශයෙන් වෙන් කොට දක්වන එම සුවිශේෂී චරිතය එතැන් සිට එම නිවස හා එම රෝගියා සම්බන්ධ නිල භාරකාරත්වය දරන බව ද ඒ සම්බන්ධයෙන් සෙසු ප්‍රදේශ ඇසුරින් කරනු ලබන විමසුම් මඟින් ද තහවුරු කරගැනීමට මට හැකි විය.

මෙහි දී එම රෝගියා සම්බන්ධයෙන් සහ පිටස්තරයන් සම්බන්ධයෙන් එම නිවැසියන් පිළිපැදිය යුතු වත් පිළිවෙත් සේම එම රෝගියා සහ නිවැසියන් විසින් නොකළ යුතු, ඒ ගෙදරට ගෙන්වා නොගත යුතු ආහාර ආදී සෑම දෙයක් සම්බන්ධයෙන්ම ම අනුමැති රාළ හෝ වෙනයම් නමකින් හඳුන්වනු ලබන එම තනතුර දරන පුද්ගලයා විසින් උපදෙස් දීම ද නොවැරදීම සිදුවන්නකි.

වැලකුම් හෙවත් ‘වාරිත්‍ර’ වශයෙන් හඳුන්වනු ලබන මෙම තහංචි (Taboos) යනු නීති පද්ධතිය සම්මත නොවූ ප්‍රාථමික සමාජයන් හි පවා යහපැවැත්මට බෙහෙවින් ඉවහල් වී ඇති මානව ධර්ම සමූහයකි. ඒ ඇතැම් තහංචි දියුණු සමාජයන් තුළ පවත්නා සම්මත නීති පද්ධතීන්ටත් වඩා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් මෙහි දී අනාවරණය කර ගැනීමට මට හැකි විය.

දෙවියන් ගේ හෝ අම්මාවරුන් ගේ ලෙඩ යනුවෙන් හඳුන්වා ඇති මෙම වසංගත රෝග සම්බන්ධයෙන් මෙම සුවිශේෂ චරිතය විසින් දක්වනු ලබන දායකත්වය පරිසමාප්තියට පත් වනුයේ එම රෝගය වැළඳී දින දා හතරකට පසුව එම රෝගියා නෑවීමෙන් සහ දින විසි එකකට පසුව සිදු කෙරෙන එම තහංචි කැපීමේ හෙවත් තහංචි ගල් ඉවත් කිරීමේ ක්‍රියාවලියෙනි. ඉන් පසු එම රෝගය වෙනුවෙන් වූ බාරය ඔප්පු කිරීමට නිවැසියන්ට අවකාශ හිමි වේ. නමුදු ඒ කාලය තුළ එසේ පනවන ලද තහංචි සිඳලීම ඒකාන්ත වශයෙන්ම දේව කෝපය තමන් වෙත යොමු වීමට හේතුවන්නක් නිසා එම රෝගියා හෝ එම නිවැසියෝ කිසිවිටෙකත් එසේ නොකරති. එවිට එසේ තහංචි සිඳලන හෙවත් නිරෝධායන නීති කඩන රෝගීන් හා එම පවුල්වල සෙසු සමාජිකයන් පොදු සමාජයෙන් කොන් වීම ද නිරායාසයෙන් සිදු වන්නකි. ඒ අනුව එවැනි රෝගියකු සිටින පවුලක සාමාජිකයකු එම තහංචි කපන තුරු වැවක නානතොටුපළකින් දිය නෑම පවා අත්හැර ඒ සඳහා විකල්ප ක්‍රම අනුගමනය කළ බව පෙනේ. එහිදී එම අනුමැති රාළ හෝ දෙයියා කිරි අත්තා තුළින් දෙවියන් මායම් වීම තුළින් ගොඩනඟා ගන්නා ද්විතීයික පෞරුෂය ගැමියන් තුළ ඔහු සම්බන්ධ භය, පක්ෂපාතීත්වය මුසු වූ යටහත් බවක් ඇති කරන්නට සමත් වූ බව නිසැක ය.

වර්තමානයේ ලෞකික, භෞතික සහ විද්‍යාත්මක පදනමකට පිවිස ඇති නිරෝධායනය අතීතයේ මිථ්‍යාව පදනම් කර ගත් ගුප්ත ආධ්‍යාත්මික ස්වරූපයක් ගෙන ඇති බව මින් අපට පෙනේ. එහෙත්, අදටත් වඩා ඉන් අපේක්‍ෂිත ප්‍රතිඵලය සාක්ෂාත් විණි නම් එක් අතකට එහි ද වරදක් නැතැයි ද මට සිතෙයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ස්රීලන්කව කියන්නෙ, කකුල් දෙකේ තිරිසන්නුගෙන පිරුනු තවත් රටක් කියන එක, මට පැහැදිලි වුනෙ, දිවිනැගුම නිස රට වනසපු බැසිල් බල්ලිගෙ පුත ඉයේ මහ පුරසාරම් දමන්කොට, රටේ ඉන්න පිටිපසු ලෙවකන ජන මාධ්‍ය කාරයො හරියට අර අසුචි කන්දේ පොරකන නිල මැස්සො වාගෙ අහනව, “ ඔබතුමා දේශපාලනය එන එක ගැන“: මුන්ට මේ සින්හල ජාතියට, ඇත්තටම, මොලය කලන්දක් වත් නැතිද යන්න මම විතරක් නොව ඕනැම සුලුවෙන් හෝ මොලොඅය අබ ඇටයක් තරම් ඇත් නම්, ක්රියා කලාපය එහෙමයි. අපි පකිස්ටනයට බොහෝ පැති ඉන්දියාවට දොස්කියනව, ඒනමුත් ඒ රටවල තිබෙන්නෙ, නූගත කම දොඅල පාරෙ ගමන් කරන සමාජයක්… එනමුත් මිලියන 22 ජීවත්වන අපේ කුඩා ජාතියට එලෙස වෙන්නෙ කොහොමද ? රටේ පවතින රජයන් කොපමන මුදල් ගෙවල මේ රටේ නිදහස් අද්යාපනය රකිනවඩාද, එනමුත් එයින් බිහිවෙලා. .රටේ විනිශ්චයකාර කියල ගොඩ නැගෙන එවුන්, එක රජයකදි… එක විදියකටත්, ඊලන්ග රජයෙදි… තමාට පුලු පුලුවන් විදියට නඩු වලින් බේරාදැනීම, මොන තරම් පහත්ද ? මේ දියුනු යුරෝපයේ මේවට ඇති තැන ඉතාමත් සුලුයි… නීතිඅය මැන්තිඅ, අගමැති ඇමති කාටත් එකයි… අපේ රටවලින් දියුනු රටවල ඉන්නා තානාපති කියල ඉන්න එවුන් මේ ගැන රටේ පාලන ත්රන්තයන්ට… පහදල දෙන්නෙ නැත්තේ ඇයි ? ඒක තමයි මේ රටේ ජාති ඇති… නිවට කම.. එවුන් හොද නරක තේරුම් ගැන ඈලි මැලි කම් පාන්නෙ.. අද වෙනකොට අසරන “හිරකාරයන්“ ට මරන තර්ජන, එනමුත රාජපක්ශ මිනිමරුවන්ට .. රජ සැප. අපේ නිවට ජාතියගේ ඇස් ඇරෙන්නෙ කවදා කියල අපිට දැක ගන්න බැහැ.. ඒක අපිට ශාපයක්… ඉතා බලවත් ශාපයක්…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.