26 April, 2024

Blog

ළමා ලිංගික අපහරණය: ආදරණීය දෙමාපියන් වෙත​

නිලුශිකා වීරප්පෙරුම​ –

වෛද්‍ය නිලුශිකා වීරප්පෙරුම​

කුඩා දරුවන් සහ යොවුන් දරුවන් බලහත්කාරකමින් ලිංගික අපයෝජනයට ලක්වීම අප කම්පාවට පත් කරන්නක්. නිතර මේවා සිදු වුවත්, ඉදහිට සමහර සිද්ධින් වැඩිපුර සමාජය තුල කතා බහට ලක් වීම සිදුවෙයි. මේ ලිපිය තුල මා පැහැදිලි කරන්නේ ඊට වඩා සියුම් ලෙස සිදුවන, සිදුවිය හැකි, වැඩිපුර හෙලි නොවන ක්‍රියා දාමයක් ගැනයි. මෙය child sexual exploitation ලෙස ළමා රෝග වෛද්‍යවරුන් විසින් හඳුන්වනු ලබයි. දරුවන් සිටින දෙමාපියන් මෙන්ම, ගුරුවරුන් සහ සියලුම වැඩිහිටියන් මේ ගැන දැන ගැනීම ඉතා අවශ්‍ය බව මගේ අදහසයි. එසේ නොවූ විට, නොදැනුවත්වම මෙම අපරාධකරුවන් අපේ දරුවන් විනාශ කර දමන්නට හැකියි.

ළමා ලිංගික අපහරණය අප දන්නා ලිංගික අපයෝජනයෙන් වෙනස් වන්නේ මෙහි ඇති විශේෂ ලක්ෂණයක් නිසයි. මෙහිදී අපහරණයට ලක්වන දරුවා හෝ යොවුන් පුද්ගලයා, මෙයට කැමැත්තෙන් සහභාගි වීමයි මෙහි ඇති වෙනස.

කැමැත්තෙන් සහභාගි වෙනවා නම්, මෙය අපරාධයක් වන්නේ කෙසේද ?

තමා මානසික පෙළඹවීමක් තුල, අපයෝජනයට ලක් වන බව, මේ දරුවා වත් නොදැන සිටීමයි මෙහි වෙනස. කිසි බලහත්කාරකමක් මෙහිදී සිදු නොවෙයි. ඔහු හෝ ඇය මෙයට ඉතා සූක්ශම ලෙස පොළඹවා ගැනීම සිදුවෙයි. පොළඹවා ගැනීම විවිධ ලෙස සිදුවිය හැකියි.

තෑගි බෝග දීමෙන්, ආදරය සහ අවධානය දීමෙන්, ක්‍රීඩා කණ්ඩායමක ඉහල තැනක් හෝ නායකත්වයෙන් දීමෙන් දරුවන් මෙලෙස පොළඹවා ගන්නට මේ ගොදුරු සොයන්නන්ට හැකියි.

අපි උදාහරණ කිහිපයක් බලමු

පාසලේ ක්‍රීඩා පුහුණුකරු දරුවන් ඉදිරියේ කොයිතරම් වීර චරිතයක් ද? ඔහුට හොද ක්‍රීඩා හැකියාවක් සහ ආකර්ෂණීය කතා විලාශයක් තිබිය හැකියි. ඔහුට හැකියි අවුරුදු දහතරක පහලොවක දැරියකගේ වීරයා වීමට. ඔහුට තිබෙන බලය යොදාගෙන එක දැරියකට විශේෂ සැලකිලි දක්වමින් ඇය සෙමෙන් වසඟයට​ ගත හැකියි. ඇය අසන්නට කැමති දේ පවසමින් ඇයට ලොකු සිහින ලබා දීම සූක්ෂම ලෙස සිදු කල හැකියි. මෙසේ ටික කලක් ගත වන විට, දැරියට මේ පුද්ගලයා ගැන කැමැත්තක් ඇති වීමට ඉඩ තිබේ. ඔහු ටිකෙන් ටික මේ දැරියට ලං වෙයි. දැරියගේ දෙමාපියන්ටත් වඩා ඇයව තේරුම් ගතහැකි පුද්ගලයා ඔහු බව ඇයට හැගීමට ඉඩ හරියි. ටික කලකින් දැරියගේ මුලු ලෝකයම ඔහු බවට පත් වීම පුදුමයට කරුණක් නොවේ. ඔබ මෙතැනදී තේරුම් ගත යුතු සත්‍ය මෙයයි. මෙතැන ඉන්නේ මනසින් මුහුකුරා නොගිය කුඩා දැරියක් බවයි. ටික කලකින් දැරිය ඔහු කියන ඕනෑම දෙයක් කරන්න කැමති වන බවයි. මෙහි මතුපිටින් බැලූ විට කිසිදු බලහත්කාරකමක් දකින්නට නැහැ. ඒ නිසා බොහෝ විට මෙය රහසක්ව තබා ගන්නට දෙදෙනාම උනන්ඳු වනු ඇති. ඒහෙත්. මෙතැන මේ දැරියට සිදුවන්නේ අපරාධයකි. ඇය නොදැනුවත්ව ‘පිරිසිඳු ආදරයට’ මුවා වූ ළමා අපයෝජකයෙකුගේ ගොදුරක් බවට පත්වෙයි. සමහර විට ඇය ඔහුට රහස් පුද්ගලික ඡායාරූප පවා යැවිය හැකියි. ඇයත් නොදැන ඇයව ගොදුරක් බවට පත් වන්නේ ක්‍රම ක්‍රමයෙනි. ඇතැම් විට ඔහු ඇයව මිතුරන් අතරේ බෙදාගැනීමට පවා හැකියි. දැරියට ඔහු නැතිව බැරි වන තරමට ඔහු ඇයව මනසින් බැඳ​ ගනියි. මෙය ඉංග්‍රීසි භාෂාවේ දී grooming යනුවෙන් හැදින්වෙයි. එහෙත් ඇගේ කුඩා මනසින් ඇය තවම දැරියකි. ඇයට මෙයින් වන හානිය තේරුම් ගැනීමට නොහැකියි.

දැන් මෙය කියවන ඔබ සිතනු ඇති, “මේ ගැටවර වයසට කරන දේවල් නෙ, මෙහි ඇති වරද කුමක්ද” කියා. ඔබ හොදින් විමසා බැලුවහොත් මෙහි වෙනසක් ඔබට පෙනෙනු ඇති. අපහරණයකදි, දෙදෙනා අතර බලයෙන් වෙනසක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. (power imbalance). මේ වෙනස මුදල් මත, වයස් පරතරය මත හෝ ගුරු ගෝල සබදතාවක් මත විය හැකියි. ඇතැම් විට වටිනා තෑගි බෝග ලබාදීම තුලින් දරුවා ආකර්ෂණය කරගත හැකියි. දරුවකුගේ පහසුවෙන් රැවටෙන ස්වභාවය මොවුහු හොදින් හදුනති.

වසර පහලොවක ගැහැණු දරුවෙකු එම වයසේ හෝ සම වයසක පිරිමි දරුවෙකු සමග පෙම් සබදතාවක් ඇති කර ගැනීම මීට වෙනස්ය. දෙදෙනාගේම තේරුම් ගැනීමේ හැකියාව සමාන මට්ටමක පවතින බැවිනි. අපහරණයේදි එසේ නොවෙයි. පැහැදිලි බල වෙනසක්, අරමුණු වල වෙනසක් තිබිය යුතුමයි. ඔබට මේ දෙවර්ගයේ වෙනස යම් දුරකට දැන් වැටහෙනු ඇතැයි මා සිතමි. ඔබ මොහොතක් සිතා බැලුවහොත් ඔබ දන්නා මිතුරන්ට හෝ මිතුරියන්ට සිදුවූ මෙවන් සිදුවීම් සිහිපත් වියහැකියි.

ඔබේ නිවසේ, පාසැල් වෑන් රථයේ රියදුරාට හැකියි ඔබේ ලාබාල දියණිය​ හෝ පුතා මෙලෙසින් පොලබවා ගැනීමට. මා මුලින් සදහන් කලා මෙන් මෙහිදී ද බලයෙන් වෙනසක් තිබේ. ඒ ඔවුන් අතර ඇති වයස් පරතරය නිසයි. මෙය ආදරයේ නාමයෙන් සිදු කෙරෙන ගොදුරු ගැනීමක් බව තමයි යතාර්ථය. දෙමාපියන් හොදින් අවධියෙන් සිටිය යුත්තේ එනිසායි.
දූ වරුන් මෙන්ම, පිරිමි දරුවනුත් මෙසේ ගොදුරු බවට පත් විය හැකියි.

අන්තර් ජාලය තුල ගොදුරු සොයන්නෝ

මෙවන් අපහරණ අන්තර් ජාලය හරහාත් ඉතා සුලබව සිදු වෙයි. වසංගතය රෝග තත්ත්වය සමග ඇතිවූ වෙනස් කම් නිසා අපේ දරුවන් පාඩම් වැඩ වලට අන්තර් ජාලය බහුලව යොදාගැනීම සිදුවෙයි. මේ සමාජ ජාලා අතර ගොදුරු සොයන්නන් බහුලව සිටින බව ආදරණීය දෙමාපියන් නොදන්නවා විය හැකියි. මෙවැන්නන් පෙනී ඉන්නෙ අඩු වයස් වලින්. එසේ පෙනී සිටිය විට, අඩු වයස් වල දරුවන් මිතුරු කරගැනීම එතරම් අපහසු නොවෙයි. ඇතැම් විට මුහුනු පොතේ පිංතූරයකට අදහස් (comments) පල කිරීමෙන් මිතුරු දමක් ගොඩනගා ගත හැකියි. මේ වයසේ දරුවන් අවධානයට කැමතියි. වර්ණනා වලට ඉක්මනින් රැවටීමට හැකියි. ඔබේ දරුවා රෑ බෝවී පාඩම් කරන වේලාවේ මේ ගොදුරු සොයන්නන් ඉතා අවදියෙන් අන්තර්ජාලය තුල සැරිසරන බව ඔබ සමහර විට නොදන්නවා විය හැකියි. අන්තර්ජාලය හරහා, නිවසේ දොර අගුලු දමා තිබුනත් ඔවුන්ට දරුවාගේ කාමරයට පැමිණිය හැකියි. දරුවන් සුන්දර වදන් වලින් පොලබවා ගෙන, දරුවන් ලවා අසභ්‍ය ‍පිංතූර ගෙන්වා ගැන්මට මොවුන්ට හැකියි.

දරුවාට වන හානිය

මෙවන් සබඳතාවයක ඇත්තේ එක් පුද්ගලයෙකුගේ යටි අරමුණ සපුරා ගැනිමකි. මෙයින් දරුවාගේ නොමේරූ මනස වියවුල් වි, අධ්‍යාපනය විනාශ වී යා හැකියි. දරුවා දෙමාපියන්ගෙන්, පවුලෙන් ඈත් වීමට සහ එම පුද්ගලයා පමණක් විශ්වාස කිරීමට හැකියි. ඇය හෝ ඔහු ලිංගික රෝගවලට ගොදුරු විය හැකියි. HIV වැනි රෝග පවා සෑදීමට ඉඩක් තිබෙයි. අඩු වයස් ගැබ් ගැනීම්, අනාරක්ෂිත ගබ්සා කිරීම් වලට පෙළඹිය​ හැකියි. මත්ද්‍රව්‍ය භාවිතයට, ප්‍රචණ්ඩකාරීත්වයට (physical violence and abuse) ලක්විය හැකියි. මානසික ආතතිය මෙන්ම, අනාගතයේ කිසිවෙකු විශ්වාස කරන්නට බැරිව හීනමානයට පත්විය හැකියි. විශාදය (depression), සියදිවි හානි කරගැනීම උවත් සිදු විය හැකියි.

කාලයත් සමග සිදුවූ තේරුම් ගැනීම

මෙයට වසර පහකට හයකට පෙර මේ සිද්ධි ගැන එතරම් දැනුමක් ළමා රෝග වෛද්‍යවරුන්ටත් තිබුනේ නැත. එහෙත් පසුගිය කාලය තුල, වැරදුනු සිද්ධිදාමයන් පරීක්ෂා කිරීමෙන් පසු මේ ගැන ක්‍රමයෙන් අවබෝධය වැඩිවී ඇත. සමහර දැරියන් රෝහලට පැමිනෙන්නේ පහර කෑමකට පසුවයි. ඇතැම් විට නාරිවේද අංශයට පැමිණෙන​ ලාබාල ගැබිනි දැරියක් මගින් කතාවක් හෙලිවෙයි. ඇතැම් විට මේ දරුවන් මානසික ආබාධ තත්වයකින් හෝ ආහාර අරුචියෙන් රෝහලට එනු ඇති. එවන් විටක, එහි ඇති අන්තර්ගතය සොයා බලා දරුවා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීම ප්‍රමුඛත්වයකි.

බටහිර රටවල මෙය බරපතළ අපරාධයක් ලෙස නීති සම්පාදනය කර තිබේ. පසු කාලීනව මෙසේ අපහරණයට ලක්වූ දරුවන් පැමිණ පවත්වන සාකච්ඡා මම අසා ඇත්තෙමි. ඔවුන්ට සිදුවුනු හානිය යලි සුවපත් කල නොහැකි තුවාල සේ ඔවුන්ගේ මනස් තුල තැන්පත් වී ඇති අයුරු මගේ සේවාව තුල මා දැක ඇත්තෙමි.

දෙමාපියන් හා ගුරුවරුන් වන ඔබ දැනුවත් වන්නේ කෙසේද?

Child sexual exploitation හෙවත් ළමා ලිංගික අපහරණ ගැන අන්තර්ජාලය තුල කියවා බලන ලෙස මා ඔබට ආරාධනා කරමි. ලෝකයේ රජ පවුල් වල සාමාජිකයන් පවා මෙසේ ලාබාල දැරියන් සමග පැවැත්වූ සබදතා නිසා කරදර වලට වැටී ඇති අයුරු ඔබට කියවිය හැකි වෙයි. දරුවන් රැක ගැනීමට කැපවුණු ආදරණීය දෙමාපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් මගේ මේ කෙටි ලිපියේ අරමුණයි. දැනුවත් වී ඔබේ ආදරණීය දරුවන් මේ මානසික අහසනකාරි ගොදුරු සොයන්නන් ගෙන් බේරාගන්නා ලෙසත් මේ ගැන දරුවන් දැනුවත් කරන ලෙසත් මා ඔබට ඇරයුම් කරමි.

* වෛද්‍ය නිලුශිකා වීරප්පෙරුම​ – MBBS, MD, DCH, MRCPCH

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.