22 June, 2024

Blog

අපේ මීළඟ ජනපති එළාර මාදිලියේ කෙනෙක් වුණොත් කොහොමද?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට බලයට පත් වන්නා කවරකු වුවද ඔහු මෙරට නව වන විධායක ජනාධිපති ධූරයට පත් වනු ඇත. එමෙන්ම 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද මෙම විධායක ජනාධිපතිධූරය තරම් සංවාදයට ලක් වූ වෙනත් කරුණක් හැත්තෑ හය වසරක් නිදහස් ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ නොමැති තරම් ය.

අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ ජනපතිවරුන්ට ඇති බලතල වලට බි්‍රතාන්‍ය රැජින සතු වරප්‍රසාද සුසංයෝග කිරීමෙන් මෙරට ජනාධිපති ක්‍රමය නිර්මාණය කොට ඇති බව දේශපාලන විචාරකයෝ කියති. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් මඟින්
ඒකාධිපතියෙකු බිහි විය හැකි විධිවිධාන ද මෙම විධායක ජනාධිපති ක්‍රමය තුළ පවතින බව විද්වත් මතයයි.

මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් රචිත “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්” නම් කෘතිය ද 1978 ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන පිළිබඳ බරපතල විවේචනයකි. යමකුගේ ඒක පුද්ගල අභිමතාර්ථ මත පදනම්ව රාජ්‍ය පාලනය පවත්වා ගෙන යාමේ අනතුරුදායක බව එමඟින් පෙන්වා දී තිබේ.

1978 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගන්නා ලද මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත වූ වසර තුළ සංශෝධනයන් විස්සකට අධික ප්‍රමාණයකට බඳුන් වී තිබේ. එහෙත්,විධායක ජනාධිපති පදවිය නම් වන එහි මුදුන් මුල සිඳලීමට ඒ කිසිදු සංශෝධනයකට හැකි වී නැත. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් එම සංශෝධන මගින් සිදුව ඇත්තේ එම ව්‍යවස්ථාව තුළින් පෙර දක්නට නොලැබුණු ව්‍යාකූලතා ඉස්මතු වීම පමණි.

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් හිට්ලර් කෙනෙක් ලෙසින් රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන මෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතින් 2018 ජූනි 20 වන දා ඔහුගේ හැට නව වන උපන් දිනය නිමිත්තෙන් ඒ මහතාගේ මිරිහාන නිවසේ දී කළ ඉල්ලීම එවක ප්‍රබල සමාජ කතිකාවකට ලක් විය.”ඔබ තුමා හිට්ලර් වරයෙක් විදියටත් හඳුන්වලා තියෙනවා. ඉතින් හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ,” යනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමියන් ගෝඨාභය රාජපක්ෂට අනුශාසනා කරන අන්දම බොහෝ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය කරත්ම බොහෝ දෙනෙක් අන්ද මන්ද වූහ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇතැමුන් කියා සිටියේ වෙඬරුවේ උපාලි අනු නා හිමියන් ගෝඨාභය රාජපක්ෂට හිට්ලර් කෙනකු වන ලෙස කළ ඉල්ලීමට මහා සංඝරත්නයේ නම ගාවා ගැනීම බරපතල අවභාවිතාවක් බව ය. එමෙන්ම මානව ඉතිහාසයේ මෙලොව පහළ වූ කුරිරු හා ම්ලේච්ඡතම පාලකයකු බඳුව ක්‍රියා කරන ලෙස උන් වහන්සේ කළ ඉල්ලීම උන් වහන්සේ ගේ අනුනායක පදවියට, භික්ෂූත්වයට සේම උන් වහන්සේ කලක් ගුරු වෘත්තියේ යෙදුණු මහනුවර ධර්මරාජ විද්‍යාලයට සේම සමස්ත ගුරු ප්‍රජාවට ද නිගරුවක් බව ද ඇතැම්හු කීහ.

වෙඬරුවාවේ උපාලි අනු නා හිමියන් ගේ ඉහත සඳහන් ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කළ බහුතරයක ගේ මතය වූයේ ගෝඨාභය රාජපක්ෂට දුටුගැමුණු මාදිලියේ රාජ්‍ය පාලකයකු වන ලෙසට අනුශාසනා කළ යුතුව තිබියදී උපාලි අනු නා හිමියන් ඊට මුළු ලෝකයටම එපා වූ හිට්ලර් කෙනෙකු සම්බන්ධ කර ගැනීමට ගොස් තම අනුශාසනාව නම් ‘කිරි කලයට ගොම පිඬක්’ හෙළාගත් බව ය.

අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල බෞද්ධ ප්‍රජාවගේ පරමාදර්ශී රාජ්‍ය නායකයා දුටුගැමුණු රජු බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. එහෙත්, එම ජනවාර්ගික හා ආගමික සීමාවෙන් බැහැරට ගොස් යම් විමසීමක් කරන්නකු හට දුටුගැමුණු රාජ චරිතයට කෙසේවත් දෙවන නොවන පරමාදර්ශී රාජ චරිතයක් ඉස්මතුකර ගැනීමට හැකිවේ. ඒ දුටුගැමුණු රජු ගේ වීරත්වය ඉහළ නැංවෙන තරමට ඔහුට පරාජය වූ දුෂ්ඨ නරපතියකු ලෙස අතිශය අසාධාරණ විවේචන වලට ලක්වන එළාර රජතුමා ය.

අප රටේ ඉතිහාසය පිළිබඳ අසම සම මූලාශ්‍රය දුටුගැමුණු රාජ චරිතය කේන්ද්‍ර කරගත් වීර කාව්‍යයක් සේ හඳුන්වන්නෝ ද වෙති. ඒ එහි පරිච්ඡේද දහයක් පුරා ගාථා පාඨ 853ක් දුටුගැමුණු චරිත උත්කෘෂ්ටත්වයට පත් කිරීම වෙනුවෙන් ලියැවී ඇති බැවිනි. නමුදු මහා වංශය එළාර රජතුමන් උදෙසා වෙන් කොට ඇත්තේ එහි විසි එක් වන පරිච්ඡේදයේ ගාථා පාඨ 21 ක් පමණි. නමුත් එහි විශේෂත්වය වනුයේ එම සීමිත ඉඩ ප්‍රමාණය තුළින් එළාර රජුගේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම පිළිබඳ විශිෂ්ට විවරණයක් ගෙන හැර දැක්වීමට වංශකතා කතුවරයා විස්මිත අයුරින් සමත් වීම ය.

මහාවංශයේ විසි එක් වන පරිච්ඡේදයේ දහතුන් වන ගාථා පාඨයෙන් පැවසෙන අන්දමට සොලී රටින් මෙහි පැමිණ රාජ්‍ය බලය අල්ලා ගත් එළාර රජු හතලිස් හතර අවුරුද්දක් මෙහි පාලන බලය හොබවා ඇත.ඒ ක්‍රි.පූ 205-161 අතර බව පොදු සම්මතයයි. එමෙන්ම එළාර රජතුමා සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථ ලෙස රාජ්‍ය පාලනය කළ බව එහි සඳහන් වීමෙන් ඔහු අපක්ෂපාතී යුක්ති ගරුක පාලකයකු බව සනාථ වේ.

එමෙන්ම එළාර රජු තම රාජ්‍ය බලයට ඉහළින් යුක්ති ධර්මය ස්ථාපිත කොට තිබුණේ ද යත් හෙතෙම යුක්තිය පසිඳුවාලීමට තමන් වෙත යොමු වන්නවුන් හට ඒ සඳහා තමන් සෘජුවම ආමන්ත්‍රණය කිරීමට හැකි කදිම උපාය මාර්ගයක් යොදවා තිබූ බව මහා වංශයේ විසි එක් වන පරිච්ඡේදයේ පහලොස් වන ගාථා පාඨයෙන් පැවසෙයි. ඒ තම සයනාගාරයට රැහැනකින් සම්බන්ධ කොට තිබූ මිණි ගෙඩියකි. රජතුමාට එක් පුතකු හා එක් දියණියක සිටි බව ද එම පරිච්ඡේදයේම සඳහන් ය. වරක් රජතුමා ගේ පුතු තිසා වැවට යන අතරේ ඔහු නොදැනුවත්වම මව් එළදෙන හා මාර්ගයේ ගමන් කරමින් සිටි වසු පැටවකු කුමරුන්ගේ රියට යට වී මිය ගිය අතර ඉන් සංවේගයටත් කෝපයටත් පත් මව් එළදෙන රජ වාසලට විත් රජුගේ සයනාගාරයේ මිණි ගෙඩිය හඬවන්නී ය. මෙහි දී එළාර රජතුමා මෙම මිණි ගෙඩිය තම සයනාගාරයට සම්බන්ධ කළ බව පැවසීමෙන් ඉතා හොඳින් පැහැදිලි වන දෙයක් තිබේ.

එනම් තමන් විවේක සුවයෙන් හෝ නිදි සුවයෙන් පසුවන අවස්ථාවක පවා රජතුමා රාජ්‍යයේ වෙසෙන ජනී ජනයා ගේ මෙන්ම තිරිසන් සතුන් ගේ දුක් ගැනවිලි වලට පවා කන් දීමට සූදානමින් සිටි බවකි. මෙම රාජ පුරාවෘත්තය තරමක් හෝ සමාන වන්නේ ක්‍රි. පූ. 300-273 අතර භාරතයේ රජකම් කළ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සය වන ගිරි ලිපියේ සටහන් ව ඇති පාඨයකට ය. ඉන් පැවසෙනුයේ තමන් නිදිකුටියේ දී වැසිකිලියේදී පවා ජනතාවට සවන් දීමට සූදානම් බවකි. පසුව එම එළදෙන ගේ පැමිණිල්ල ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් විනිශ්චයකට එළැඹෙන රජතුමා රාජ්‍ය විචාරීම සම්බන්ධ කෙතරම් යුක්ති සහගත ස්ථාවරයක් දරන ලද්දේ ද යත් තම එකම පුතු එම රථයටම යට කොට මාරා දැමීමට නියෝග කළ බව වංශ කතාවේ දැක්වෙයි.

“මාගේ මෙම ව්‍යායාමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස රජ සැප පිණිස නොවේ” යන්න දුටුගැමුණු කුමරු විසින් පවසන ලදැයි සැලකෙන සිංහල බෞද්ධ සමාජයේ පරමාදර්ශී වාක්‍යයකි. ඒ කරුණ පදනම් ව ඔහුගේ පස මිතුරු එළාර රජු සිංහල ජාතියටත් බුදු සසුනටත් එරෙහි වූ බවට මුළුමනින්ම සාවද්‍ය මතවාදයක් වත්මන් සිංහල බෞද්ධ ජන සමාජය තුළ පැතිර පවතී. එහෙත් දුටුගැමුණු කුමරුන් තම ජාතිය හා ආගම කෙරෙහි සුවිශේෂත්වයක් පළ කළ පසුබිමක තමන්ගේ පාලන කාල සීමාව තුළ එළාර රජු එවන් විශේෂිත අභිමතාර්ථයන් කිසිවක් කෙරෙහි යොමු නොවූ බවට ඉතා පැහැදිලි සාක්ෂි මහා වංශයේ තිබේ. එහි විසිඑක් වන පරිච්ඡේදයේ 21-26 ගාථා පාඨවලින් ඒ බව මනාව තහවුරු කර ගත හැක.

බෞද්ධ ප්‍රතිපත්තීන් පිළිබඳව නොදැන සිටි මුත් චේතියගිරියට ගොස් එහි භික්ෂුන් බැහැ දැකීමේ සිරිතක් අනුගමනය කළ එළාර රජතුමා එහි යන ගමනක දී වරක් ඔහු ද නොදැනුවත්වම ඔහුගේ රථයේ විය ගසක කොනක් ගැටීමෙන් එහි සෑයකට යම් හානියක් සිදු වී තිබේ. ඇමතිවරුන් විසින් එය රජතුමාට දැන් වූ විට ඔහු ඉන් කොතරම් ප්‍රකම්පිත වූයේ ද යත් “එසේ නම් මේ රිය සකෙන්ම මගේ ගෙල සිඳ මා මරව” යනුවෙන් පවසා මහ මඟ වැතිර ගත් බවක් පැවසෙයි. එවැනි කරුණක් මුල් කොට තම රාජ්‍යත්වය පමණක් නොව ජීවිතය ද අත්හැරීමට සැරසී සිටි එළාර රජ තුමන් ගේ බල ලෝභීත්වය කෙබඳු දැයි තීරණය කිරීම ඔබටම භාර කරමි. පසුව එහි රැස් වූ පිරිස් “මහ රජාණෙනි;අපගේ ශාස්තෘන් වහන්සේ හිංසාව අනුමත නොකරන සේක. එබැවින් මෙම දාගැබ පිළිසකර කොට සමාව අයැද සිටීම පමණක් සෑහේ” යනුවෙන් පැවසූ බවත් පසුව රජතුමන් එහි හානියට පත් ගඩොල් පිළිසකර කිරීම පිණිස කහවනු පහලොස් දහසක් තමන්ම (තම පෞද්ගලික ධනයෙන්) දුන් බවත් වංශ කතාකරු සඳහන් කරයි. ඒ අනුව මහජන මුදලින් සේම රටේ ජනතාව විසින් ගෙවිය යුතු කෝටි ප්‍රකෝටි ගණන් වන ණය මුදල් වලින් යම් යම් මහා පරිමාන ඉදිකිරීම් කොට ඒවායේ තමන් ගේ නම් වලින් හඳුන්වා ගන්නා නූතන පාලකයන් හා එළාර රජුගේ වෙනස වටහා ගැනීම ඉතා වැදගත් ය.

එමෙන්ම මහා වංශයේ විසි එක් වන පරිච්ඡේදයේම 27 වන ගාථා පාඨයකින් ඇරඹෙන තවත් කතා ප්‍රවෘත්තියකට අනුව වරක් රජතුමන් විසින් රට වැසියන්ගේ හඬට කන් දීම පිණිස තම සයනාගාරයට සම්බන්ධ කොට ඇති මිණි ගෙඩිය හඬවනු ලබන්නී දුගී වියපත් කාන්තාවකි. ඇගේ පැමිණිල්ල ද අපූරු එකකි. එනම් තමන් අව්වේ වියැලෙන්නට දැමූ වී අකල් වැස්සකින් විනාශ වූ බවත් ඊට රජතුමා වග කිව යුතු බවත්ය. මෙම කතා ප්‍රවෘත්තිය අපට සිහි ගන්වන්නේ “ඕනෑම දේකට ආණ්ඩුව පලි” බවට අදටත් ඇතැමුන් නඟන චෝදනාව ය. ඒ අනුව මෙවන් ඔල්මාද චෝදනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් එම කාන්තාව දඟ ගෙට යැවීමට හෝ ඇය මරණ දණ්ඩනයට ලක් කිරීමට පූර්ණ හැකියාව ඇති රජතුමන් ඒ වෙනුවට කරනුයේ එවැනි චෝදනාවක් කිරීමට පදනම් වන කරුණ ඇගෙන් විමසා සිටීමය.

එවිට ඇය දෙන ලද පිළිතුර “රජ දරුවන් ධාර්මික වන විට අකල් වැසි නොවසී” යන අමුතු ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කළ රජතුමා එහි සත්‍යතාව විමසා බැලීම පිණිස උපෝසථයෙහි යෙදුණු බව වංශ කතාවේ සඳහන් ය. එවිට ඒ ශීල තේජසින් කම්පාවට පත් රාජ්‍යය හා සම්බන්ධ දේව පුත්‍රයා වහා ඒ පුවත සතර වරම් දෙවිවරුන්ට දැන්වූ අතර ඔවුන් එය ශක්‍ර දේවේන්ද්‍රයා වෙත දන්වා තිබේ. පසුව ශක්‍රයා අදාළ විෂය භාර වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයා කැඳවා එම කරුණ විමසා ඉන්පසු ජන ජීවිතයට හානිකර අන්දමින් දිවා කාලයේ වර්ෂාව ලබා නොදෙන ලෙසත් රාත්‍රියේ පමණක් වර්ෂාව ලබා දෙන ලෙසත් කළ ඉල්ලීම පසුව රාජ්‍යය තුළ ප්‍රායෝගිකවම ක්‍රියාවට නැංවුණු බව වංශ කතාකරු කියයි.

යථාර්ථවාදී දෘෂ්ඨියට අනුව මේවා මුළුමනින්ම සත්‍ය කතා පුවත් විය නොහැකි බව සැබෑ ය.නමුදු මෙවන් සංකේතාත්මක කතා ප්‍රවෘත්තීන් තුළින් මතු වන එළාර රජු තුළ පැවැති උත්තරීතර මිනිසත් බව පිළිබඳ දාර්ශනික පණිවිඩය නොතකා හැරීම හෝ ඉවත ලෑම හුදෙක් මිනිසත් බව කෙරෙහි අප විසින් සිදුකරනු ලබන බරපතල අසාධාරණයක් බව අපගේ වැටහීමය. එමෙන්ම මහාවංශයේ විසි පස් වන පරිච්ඡේදයේ 67-70 ගාථා පාඨවලින් පැවසෙන අන්දමට දුටුගැමුණු එළාර යුද්ධයේ දී ගැමුණු කුමරුන් ගේ තෝමර පහරකින් එසැනින් මිය යනුයේ එවිට සැත්තෑ විය ද ඉක්මවා සිටි වයෝවෘද්ධ එළාර රජු බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. එවන් උතුම් ගති ගුණ සහ සෘජු රාජධර්ම සහිත එළාර රජතුමා සම්බන්ධයෙන් නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ එතරම් තැකීමක් නොමැති වුවද එළාර රජුගේ එම ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මනා වැටහීමක් දුටුගැමුණු රජු තුළ තිබෙන්නට ඇත. එළාර රජු මියගිය ස්ථානයේ ඔහු වෙනුවෙන් ස්මාරකයක් තැනීමටත් ඒ සඳහා ගරු බුහුමන් දක්වන ලෙස රාජාඥාවක් පැනවීමටත් දුටු ගැමුණු රජු නියම කරනුයේ ඒ අනුව ය.ඒ පුවත මහා වංශයේ විසි පස් වන පරිච්ඡේදයේ 72-74 ගාථා පාඨ වලින් පැවසෙයි.

අපගේ වංශකතා තුළ සැඟව ඇති මෙම එළාර රජු ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කතා පුවත් රාශියක් තවමත් දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල පැතිර පවතී. ක්‍රි. පූර්ව තුන්වන සියවසේ සිට දහතුන් වන සියවස තෙක් වන දිගු ඉතිහාසයක් සහිත සිංහල බසින් සොලී යනුවෙන් හැඳින්වෙන චෝල රාජ වංශය මුල් යුගයේ මනුෂ්‍යත්වය මත පදනම් වූ උතුම් රාජධර්ම පද්ධතියක් මත ස්ථාපිත දියුණු පාලන ක්‍රමයක් බව ඓතිහාසික සහ මානව විද්‍යාත්මක වශයෙන් මේ වන විට අනාවරණය වී තිබේ. ‘මනු නීධී චෝලන්’ මනුෂ්‍යත්වය මත පදනම් වන රාජධර්ම යනු එම පාලන ක්‍රමයේ මූලික හරය බව පැවසෙයි. චෝල රාජ වංශය සතුව තිබූ එම උතුම් රාජ ධර්ම පසු කාලීනව වැනසී ගිය බව ඒ සම්බන්ධ තත්කාලීන විමසුම් වලදී පෙනෙයි.

ඉහත සඳහන් එළාර රජු එළදෙනකට සාධාරණත්වය ඉටු කිරීම සම්බන්ධ කතා ප්‍රවෘත්තිය විවිධ නැඟීම් ඔස්සේ අදටත් දකුණු ඉන්දියාවේ ජනප්‍රියව පවතී. එහි එළාර යන නාමය එල්ලාලන් යනුවෙන් හැඳින්වෙන අතර එහි අරුත ‘ප්‍රාදේශීය පාලකයා’ යන්න ය. ඔහුගේ රාජධානිය තිරුවුරර් බව ද එහි සඳහන් ය.තිරුවුරර් යනු වත්මන් තමිල්නාඩු ප්‍රාන්තයට අයත් ප්‍රදේශයකි. එහි ප්‍රචලිත එක් කතා ප්‍රවෘත්තියක සඳහන් අන්දමට රජතුමා රාජ්‍යයේ ප්‍රශ්න තමන් වෙතට යොමු කර ගැනීමට සවි කොට ඇති මිණි ගෙඩිය එල්ලා ඇත්තේ අධිකරණ ශාලාවේ මිස අප වංශ කතාවේ සඳහන් වන පරිදි රජුගේ සයනාගාරයේ නොවේ. වරක් කිසිවකු විසින් ඒ මිණි ගෙඩිය හඬවනු ඇසී ඒ සම්බන්ධයෙන් විපරම් කරන රජතුමන්ට දැන ගැනීමට ලැබෙනුයේ අයාලේ යන එළදෙනක විසින් එම මිණි ගෙඩිය හඬවන ලද බව ය. ඒ සමඟම එයට හේතු දක්වන අමාත්‍යවරුන් රජතුමන්ට එසැනින් සැල කරනුයේ එය නියං සමයක් වීම මත පරිසරයේ තණ කොළ හිඟ බැවින් එම එළදෙන එම මිණි ගෙඩිය සහිත වරපට ආහාරයට ගත හැකිද? යන්න විමසා බැලීමට එහි වර පට ලනුව දිවෙන් ඇදීම මත ඒ මිණි ගෙඩිය හඬ නැංවී ඇති බවකි. මෙහිදී එක් වරට අපගේ සිහියට නැංවෙනුයේ අප රටේ වුව නියං කාලවලදී නගරබදව ජීවත් වන ගවයන් හා එළුවන් ඒවායේ තාප්ප වල ඇති පෝස්ටර් ආදියේ පාප්ප ආදිය පවා ආහාරයට ගැනීමට දරන උත්සාහයන් ය.

එහෙත් එලෙස යමක් සම්බන්ධ බාහිර පුද්ගලයන් ගේ ප්‍රකාශ මත එලෙස යමක් පිළිබඳ නිවැරදි විනිශ්චයකට ඒමට චෝල රාජ ධර්ම මතින් රජතුමන් හට කිසිදු අවකාශයක් නැත. එනිසා ඔහු එම එළදෙන මිණි ගෙඩිය හැඬවීම පිණිස පූර්ණ අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නවුන්ට පවසනුයේ තම රාජ්‍යය තුළ තිරිසන් සතෙකුට වුව අගතියක් අසාධාරණයක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබමිනි. එහිදී ඒ සම්බන්ධ බිම් මට්ටමේ විමර්ශනයක් කරන්නවුන්ට විස්මිත කරුණක් අනාවරණය කර ගැනීමට අවකාශ ලැබේ. එනම් මීට කලකට ඉහත සිය එකම පුතු වීදි විඩංගන් ගේ රථයට යට වී එම එළදෙනගේ පැටවකු මියගොස් ඇති බවකි. ඒ අනුව එම එළදෙන මිණි ගෙඩිය හැඬවීමේ අරමුණ කුමක් වුවද තම පුතු අතින් සිදු වූ වරදට චෝල රාජ ධර්ම වලට අනුව දිය යුතු නිශ්චිත දඬුවමක් තිබේ. එනම් ඒ තැනැත්තා ද එම ක්‍රමයටම මරණ දඬුවම පැමිණ විය යුතු බවකි. එබැවින් ඒ සඳහා වන රාජාඥාව නිකුත් කරන රජතුමා තම එකම පුතු මරණ දඬුවමට යටත් වන මොහොතේ තම ප්‍රාණය වන් එකම පුතු මරණයට ලක් කොට රාජ ධර්ම ආරක්ෂා කළ අන්දම මුල් කොට සත්‍ය ක්‍රියාවක යෙදෙනුයේ අප දන්නා අන්දමට තම රාජ ධර්ම සුරැකීම සම්බන්ධයෙන් මානව ඉතිහාසයේ කිසිදු පාලකයෙකු හෝ රාජ්‍ය නායකයකු නොකළ අන්දමිනි. සාමාන්‍ය මිනිසෙකුට කිරීමට තබා සිතීමටවත් නොහැකි මෙම විස්මිත කැප කිරීම සම්බන්ධයෙන් රජතුමා වෙත විශේෂ දිව්‍යමය තිළිණයක් හිමි කිරීමට ඊට කන් දෙන ශිව දෙවියන් තීරණය කරනුයේ ඉන් පසුව ය. ඒ අනුව ඔහු මියගිය පුත් කුමරුවාට යළි ජීවදානය කොට රජ තුමන්ටත් මියගිය වසු පැටවාට ජීව දානය කොට මව් එළදෙනටත් ලබා දුන් බව එම අසිරිමත් කතා පුවතෙහි දැක්වේ.මේවා හුදෙක් සංකේතාත්තම කතා පුවත් බව නොරහසකි.නමුත් එනිසාම මේවායින් මතු වන දාර්ශනික අරුත අප ඉහත දැමිය යුතු නැත.

යහසාධක ඒකාධිපතිවාදය (Benevolent dictatorship ) යනු පූර්ණ දේශපාලන බලයක් ඇති ඒකාධිපති පාලනයකි. නමුත් එය ජනතාවගේ යහපත සඳහා පූර්ණ වශයෙන් කැප වූ පාලනයකි. දේශපාලන විද්‍යාවේදී, යහසාධක ඒකාධිපතියා යනු ප්‍රජාතන්ත්‍රවාදී නොවන මුත් තම පෞද්ගකලික අවශ්‍යතා යටපත් කොට රාජ්‍යයේ අවශ්‍යතා කෙරෙහි සුවිශේෂ යොමු කරන නායකයෙකි. ඔවුන්ට අධිපති බලය ඇත. නමුත් ඔව්හු ඒ බලය තමන්ගේ රාජ්‍යයේ යහපත උදෙසා මුළුමනින්ම කැපකිරීම උදෙසා ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරති.චෝල රාජ ධර්ම වල එන දණ්ඩනය කොටස ඉවත් කළ විට බෞද්ධ සාහිත්‍යයේ එන ලෞකිකත්වයේ පරමාදර්ශය වන චක්කවත්ති රාජ්‍යයේ පාලකයා වන සක්විති රජතුමා මෙවැන්නකු බව සාධාරණ ලෙස අනුමාන කළ හැක.ඉහත දැක්වුණු කරුණු මත ඉදිරි ජනාධිපතිවරණයෙන් බලයට පත් වන විධායක ජනාධිපතිවරයා කවරකු වුව ඔහු හිට්ලර් මාදිලියට අයත් නොවී දුටුගැමුණු සේම එළාර මාදිලියේ පාලකයෙකු වීමේ ද කිසිදු දොසක් නැතැයි මට සිතෙයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.