20 June, 2021

Blog

ඉතිහාසයේ රාවණා සෙවීම සැතපුමකට ඇති “කිලෝග්‍රෑම්” සෙවීමක් !

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

අතීතයේ අප රට පාලනය කළ සුවිශේෂ නරපතියකු බව පැවසෙන රාවණා රජු පිළිබඳ පුවත වසර දහස් ගණනකට පසු ප‍්‍රබල සමාජ කතිකාවක් බවට පත්ව තිබේ. ඉකුත් දශක දෙක හමාරක් පුරා ශී‍්‍ර ලංකාවේ පැතිර තිබූ කොටි ත‍්‍රස්තවාදී අර්බුදය හමුවේ ශී‍්‍ර ලාංකීය සිංහල ජනතාව මානසික ශක්තිය, ජවය නඟා සිටුවීම පිණිස තමන් විසින්ම ගොඩනංවාගන්නා ලද දේශීයත්වය හඟවන ප‍්‍රබල ප‍්‍රතිරූප අතරේ මෙම රාවණා ප‍්‍රතිරූපය ද ඉහළින්ම වැජබුණු බව නිසැකය. නමුදු එම ත‍්‍රස්තවාදී අර්බුදය නිම වී දශකයක් ඉක්ම ගිය නමුදු රාවණා පිළිබඳව ඇති වූ දැවැන්ත සමාජමය ප‍්‍රතිරූපය අදටත් එලෙසම දක්නට ලැබේ. මේ අතර ඓතිහාසික, පුරාවිද්‍යාත්මක මුලාශ‍්‍ර ඔස්සේ රාවණා පුවතේ සැබෑ යටගියාව සෙවීමට වෙර දරන විද්වතුන්ගේ සිට සාදවලදී සේම අවන්හල්වලදී මත්පැන් පානය කරන අතරේ ‘රාවණා බයිට් එකක් කර ගන්නා රසවතුන් ද මට හමුව තිබේ. රාවණා සම්බන්ධ මෙම සමාජ උනන්දුව එපමණින්ම නිම නොවනුයේ රාවණාගේ බලය තේමාකොට ගනිමින් දේශපාලන, සමාජ, සංස්කෘතික බලපෑම් සිදුකිරීම පිණිස කැප වූ සංවිධාන සේම රාවණා නමැති වෛද්‍ය ශාස්ත‍්‍රයක් තමන් සතුව පවතින බව පවසමින් කායික රෝගී හා මානසික කම්කටොළු පීඩාවලින් පෙළෙන්නන්හට ගොඩ වෙදකම් කරන ජාවාරම්කාර පැලැන්තියක් ද මේ වන විට තම වැඩ ආරම්භ කොට ඇති බැවිනි. එමෙන්ම මෙම රාවණා උනන්දුවේ ආශ්වාදනීය සේම පැහැදිලි උන්මාදනීය පක්ෂයක් ද තිබේ. ඒ බව සනාථ කරන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනුයේ මේ වන විට මානසික රෝග සායන වෙත යොමු වන රෝගීන් අතරේ ද තමන් රාවණා රජු බව පවසන හා රාවණා රජු සතු අද්භූත බලයක් තමන් සතු බව පවසන රෝගීන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවකි. මෙය වර්තමාන රාවණා උනන්දුවේ තවත් අප‍්‍රකට පැති කඩකි.

මේ අතර දැනට සති අන්ත පුවත්පත්වල පළවන විශේෂාංග අතරේ ද රාවණාට සුවිශේෂ තැනක් හිමිව ඇති අතර ඒවායේ සඳහන් ඔහු සතුව ඇතැයි පැවසෙන අද්භූත කරුණුවලට සුවිසල් ජනපි‍්‍රයත්වයක් හිමිව ඇති බව පෙනේ. ඒ ජනපි‍්‍රයත්වය කොතෙක්ද යත් මහජන මුදලින් වැටුප් ලබමින් ජනතා සේවයක් සඳහා කැප වී හිඳින ඇතැම් රාජ්‍ය නිලධාරීන් සේම රාජ්‍ය නිලධාරිනියන් තම රාජකාරි කාලය කා දැමීම පිණිස මෙම රාවණාගේ අද්භූත බලය පිළිබඳ කතා ප‍්‍රවෘත්තීන් යොදා ගන්නා බවට තොරතුරු මා වෙත ලැබී තිබේ. ඒ සඳහා මුල්ව ඇත්තේ රාවණා රජු අඟහරු ලොව සමඟ ද සබඳතා පැවති බවට පසුගිය කාලයේ සති අග පුවත් පතක පළවූ විශේෂාංගයකි.

රාවණා රජු පිළිබඳ කතා ප‍්‍රවෘත්තිය ශී‍්‍ර ලාංකීය අපට දැන ගැනීමට ලැබෙනුයේ ලෝක ප‍්‍රකට භාරතීය වීර කාව්‍යයක් වන රාමායනයෙනි. දුරාතීතයේ මධ්‍ය ආසියාතික තණ බිම් වලින් ඉන්දියාවට සංක‍්‍රමණය වූ ආර්ය ජනතාව විසින් එහි ඇති මහා ගංගාධාර ප‍්‍රදේශ මුල්කොට තනාගත් යෝධ කෘෂි ශිෂ්ටාචාරය පදනම්ව ගොඩනඟාගත් දැවැන්තම පුරාවෘත්තය ‘රාමායනය’ බව ඒ පිළිබඳ හැදැරීම කළ විද්වතුන්ගේ පොදු මතයයි. එහි කතා නායිකාවගේ නම වන සීතා යන්නෙන් සී සෑම හැඟවීම, සීතාගේ මව පෘථිවිය ලෙස හැඳින්වීම ආදී තවත් බොහෝ කරුණු මතින් එම විද්වත්හු මෙම මතය සනාථ කොට තිබේ. මුලදී අසන්නවුන් විස්මයට පත් කරන අත්භූතවාදී පසුබිමකින් ගොඩනැඟුණු ස්ති‍්‍රය, පතිභක්තිය, ගෘහ ජීවිතය සහ සදාචාරය පදනම්කොට ලියැවුණු රාමායනය වීර කාව්‍යයේ කතුවරයා ද අද්භූත පුද්ගලයෙකි.

වසර ලක්ෂ ගණනක් අඛණ්ඩව ධ්‍යාන වැඩීම නිසා දීර්ඝ කාලයක් තුඹසකින් වැසී සිටි රත්නාකර නම් වන ඔහු සෘෂිවරයෙකි. පසුව වැසී සිටි තුඹස මුල්කොට තමන් තුඹස (වාල්මිකී) යන නමින් හැඳින්වුණු බව ඔහු රාමායනයේ හයවන කාණ්ඩයේ සඳහන් කර තිබේ.

ඛාණ්ඩ වශයෙන් හතක් සහ ශ්ලෝකවශයෙන් විසිහතර දහසකින් යුතු රාමායනය කිහිපවරක් යාවත්කාලීන කෘතියක් සේ සැලකෙන අතර අවසන් යාවත්කාලීන සංස්කරණයන් බුද්ධ කාලයට ආසන්නම යුගයක සිදු වූ බව පැවසේ. සංස්කෘත පිළිබඳ පඬිවරයෙකු වන මොනියුම් විලියම්ස් මහතා පවසනුයේ රාමායනයේ අවසන් සංස්කරන කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසේදී පමණ සිදු වූ බවය. අයෝධ්‍යා, මිථිලා සහ විශාලා යන නගරවල නම් එහි සඳහන් වීමෙන් ඒ බව තහවුරු වේ.

අපගේ මාතෘකාවට බඳුන් වන රාවණා චරිතය හමුවනුයේ එහි ආරණ්‍යයක, කිෂ්කින්ධ, සුන්දර සහ ලංකා යන 3 – 6 තෙක් කාණ්ඩවලිනි. එහි පැවසෙන අන්දමට ලංකාධිපති රාවණා රජු විසින් රාම කුමරුන්ගේ පි‍්‍රයම්බිකාව වන සීතාව පැහැර ගනු ලබනුයේ රාමා විසින් රාවණාගේ සොයුරියක වන ශූර්පනඛාගේ කන්, නාසා කැපීමේ කෲර කි‍්‍රයාවට සිදුකරන පළිගැනීමක් ලෙස විනා වෙනයම් අදහසක් ඇතිව නොවේ. මේ අතර රාවණා රජුගේ එම සොයුරිය තමන් බව පවසමින් අසරණයන් බරපතල ලෙස මුදල් කොල්ලකන ජාවාරම්කාර “මෑණි” කෙනෙකුන් පිළිබඳ බොහෝ තොරතුරු ද මා වෙත වාර්තා වී තිබේ.

රාමායන කෘතිය හා ඒ සම්බන්ධ පුරාණෝක්තිවලට අනුව රාම – රාවණා යුද්ධය ඉන්දියාවට සංක‍්‍රමණය වූ ආර්යයන් හා එවක වින්ද්‍යා කඳුවැටිය දකුණෙහි පිහිටි දකුණු ඉන්දියාව ආශි‍්‍රතව ජීවත් වූ ස්වදේශිකයන් අතර හටගත් සමාජ, ආර්ථික, සංස්කෘතික ගැටුම සංකේතාත්මකව නිරූපණය වන්නක් බව ඒ සම්බන්ධයෙන් හැදෑරීම් කළ විද්වතුන්ගේ පොදු අදහසය. එමෙන්ම රාමායන කෘතිය අවසානයේ රාවණාගේ බලය යළි ඉස්මතු විය හැකි බවට පළ කොට ඇති ඉඟිය සම්බන්ධයෙන් විද්වතුන්ගේ පොදු මතය වනුයේ අනාගතයේ යම් කලකදී උතුරු ඉන්දීය ආර්ය ශිෂ්ටාචාරය අභිබවා දකුණු ඉන්දීය අනාර්ය ශිෂ්ටාචාරයක් ඉස්මතු වීම පිළිබඳ ආර්යයන් තුළ පැවැති බිය ඉන් සංකේතනය වන බවය. මහනුවර යුගයේ දී ලියැවුණු සුළු රාජාවලියේ පැවසෙනුයේ ද රාවණා තෙළිගු බස කතා කළ බවකි.

පසුකාලීනව රාවණා මෙසේ කොන්වීමට මහින්දාගමනය මුල් කොට අප රට පුරා පැතිර ගිය ඉන්දියානු ආර්ය සංස්කෘතික බලපෑම ද හේතු වූ බවපෙනේ. මෙරට සිංහලයන් ද ඉන්දීය ආර්යයන් ගෙන් පැවැත එන බවට ප‍්‍රකට මතයක් අප රට පුරා පැතිරුණි. දැනට අප රටේ ප‍්‍රමුඛතම ඉතිහාස ග‍්‍රන්ථය වන මහාවංශය සහ ඊට පූර්වගාමී දීපවංශය ඇතුළු මෙරට වංශකතා සාහිත්‍යය ගොඩනැගෙන ලද්දේ එම ආර්යවාදී චින්තනය මුල්කර ගනිමිනි. එමෙන්ම කි‍්‍රස්තු පූර්ව සයවන සියවසේ දී පමණ ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට සිදු වූ ආර්ය සංක‍්‍රමණය සංකේතනය කරමින් ‘විජය’ නම් කල්පිත චරිතයක් මුල් කොට නව සමාජ සංස්කෘතික සම්ප‍්‍රදායක් ගොඩනැඟූ වංශ කතාකරුවන් ඊට පෙර අප රටේ පැවැති දියුණු ශිෂ්ටාචාරය යක්‍ෂයන් විසින් ගොඩනඟන ලද එකක් බව සමාජ ගත කරන ලදී. ඒ ඉන්දු ආර්යයන් තමන් දෙවිවරුන් හෙවත් සුරයන්ටත් ආර්යයන් නොවන්නවුන් රාක්ෂකයන්, යක්ෂයන් හෙවත් අසුරයන්ටත් උපමා කොට ලොව දැවැන්තම සාහිත්‍යාංගයක් ගොඩනඟා තිබූ පසුබිමකය. ඒ අනුව ශී‍්‍ර ලාංකීය ජන සමාජය පුරා ශ‍්‍රීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ ආර්ය සිංහල මතවාදය මතින් රාවණා ද යක්ෂයන්ගේ ගොඩටම ඇද දමන ලදී. මෙම මතවාදය දාහත් වන සියවස පමණ වන විට අප සමාජයේ කොතෙක් ව්‍යාප්ත වී තිබිණි ද යත් රාවණාගේ අධර්මිෂ්ඨකම් නිසා අතීතයේ පහන් තුඩක් සේ තිබුණු මන්නාරමින් එපිට තූත්තුකුඩිය තෙක් රාවණා කෝට්ටෙ මාළිගා විසිපහක් සහ වීදි හාරලක්ෂයක් මුහුදට බිලි වූ බව එවක සමකාලීනව ලියැවුණු රාජාවලියේ සඳහන්ය. එලෙස අප සමාජයේ ශීඝ‍්‍රයෙන් පැතිර යන්නට වූ ආර්ය සිංහල මතවාදය කෙමෙන් සමාජයේ කෙතෙක් ජනපි‍්‍රය වීද යත් පසු කාලෙක සිංහලයාගේ ජාතික ඇඳුම ආර්ය සිංහල ඇඳුම නමින් හැඳින් වූ අතර ආර්ය සිංහල නමින් යුතු හෝටල් අවන්හල් පවා බිහිවන්නට විය. අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන ආදී ජාති හිතෛෂීන් නව පන්නරයක් ලත් පරිදි මේ සියලූ ජන සම්මතයන් බිහිවූයේ අද අපගේ මාතෘකාව රාවණාට ප‍්‍රතිපක්ෂව බවද කිව යුතුය.

එහෙත් සිංහල බස පිළිබඳ සුවිශිෂ්ට අධ්‍යයනයක් කළ ජර්මන් ජාතික මහ පඬුවකු වන මහාචාර්ය විල්හෙම් ගයිගර් විසින් රචනා කරන ලද සිංහල ශබ්ද කෝෂය (A Dictionary of the Sinhalese language) නම් ග‍්‍රන්ථයේ සිංහල භාෂාවේ පරිනාමය කොටස් තුනකට බෙදා ඇති අතර කි‍්‍රස්තු පූර්ව 03 කි‍්‍රස්තුවර්ෂ 04 සියවස් අතර කාලයේ භාවිතා වූ සිංහලය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ප‍්‍රාකෘත සිංහල’ යනුවෙනි. ආර්යයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමට පෙර පැවැති මෙම පැරණිතම සිංහල බසෙහි සඳහන් අද දක්වාම භාවිතා වන ඇපය, ඔළුව, කකුල, කට, කළව, කුල්ල, තොල, පැදුර, පොත්ත, බඩ, ළිද, ලිප, විලූඹ ආදී වචන බොහොමයක හුදු ස්වාධීන ආරක් මිස ඉන්දු ආර්ය මුහුණුවරක් දක්නට නොලැබේ. එබැවින් සිංහලය යනු පසුකාලීනව ඉන්දු යුරෝපීය සහ ද්‍රවිඩ යන භාෂා මූලයන් ගෙන් පෝෂණය ලත් ස්වාධීන මූලයක් සහිත භාෂාවක් බවට මතයක් සමාජ ගත කෙරිණ.

විසිවන සියවසේ මුල් භාගයේ තියඩෝර් ජී. පෙරේරා පියතුමන් වැනි භාෂා ශාස්ත‍්‍ර විශාරදයන් විසින් අරඹන ලද මෙම සමාජ කතිකාව වඩාත් ප‍්‍රබල තත්වයකට පමුණුවන ලද්දේ මුනිදාස කුමාරතුංග මහ පඬුවාණන්ගේ ප‍්‍රධානත්වයෙන් 1941 ජනවාරි 11 දා අරඹන ලද ‘හෙළ හවුල’ නම් ජාතික සංවිධානය මගිනි. ඒ වන විට පැවැති යටත් විජිතවාදී පාලනය යටතේ මානසික වශයෙන් බටහිරට ගැතිවී සිටි සිංහලයන්ගේ දේශීයත්වය ඔද ගැන්වීම පිණිස පිහිටුවන ලද මෙම සංවිධානයේ තේමාව වූයේ දෙස, රැස, බස, තෙරුවන් සේ සලකා රැකගත යුතුය යන්නය.

මුණිදාස කුමාරතුංගයන් ඇතුළු දේශමාමක පඬිවරුන් විසින් දියත් කරනු ලැබූ මෙම ජාතික චින්තනය යටතේ ඓතිහාසික වශයෙන් සනාථ කළ නොහැකි වුවත් මානව විද්‍යාත්මක වශයෙන් විජයාවතරණයට පෙර අපරට පැවති අධීන, නිවහල් ශිෂ්ටාචාරයක් පිළිබඳ ප‍්‍රබුද්ධ මතවාදය සමාජ ගත කරන ලදී. එහිදී ඉන්දීයආර්යවාදීන් විසින් අසුරයන්, රකුසන් වශයෙන් හංවඩු ගසන ලද බලි, තාරකා (තරු) රාවණා ආදී දේශීය නරපතියන් විරුවන් ලෙසින් නම් කරනු ලැබීම ද හෙළ හවුල විසින් පාන ලද තවත් වික‍්‍රමයකි. හෙළ හවුලේ පුරෝගාමියකු වූ අරිසෙන් අහුබුදු සූරීන් විසින් ලියන ලදුව හෙළ හවුලේ එවැනිම මුල් පෙළේ සාමාජිකයකු සුනිල් සාන්තයන් විසින් ගයනු ලැබූ ‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතය ඒ සඳහා එක් නිදසුනක් පමණි. එමෙන්ම මානව විද්‍යාත්මක වශයෙන් මෙම රාවණා සංකල්පය ඔවුන් විසින් කෙතරම් අගැයුමට ලක් කරන ලද්දේ ද යන්න කිවහොත් ආර්යවාදී චින්තනයක් පෙරදැරිව 1886 මැයි 31 දින මුල්වරට කරලියට නැංවූ ජෝන්ද සිල්වා සූරීන් රාමායනය නාටකයට ඉඳුරාම වෙනස් දේශීය චින්තනයක් මුල්කොට ගනිමින් ඊට දශක කිහිපයකට පසු අරිසෙන් අහුබුදු සූරීන් විසින්ම ‘සක්විති රාවණ’ නාටකය කරළියට ගෙන ඒම රාවණා පිළිබඳ වත්මන් ප‍්‍රබෝධයට, උනන්දුවට සහ උන්මාදයට පූර්වගාමීව සිදු වූවක් බවපෙනේ.

එහෙත් රාවණා උනන්දුවක් සහිත වර්තමානිකයන් පොට වරද්දාගෙන ඇත්තේ හුදෙක් මානව විද්‍යාත්මක (Anthropology) සහ මානව වංශ විද්‍යාත්මක (Ethnology) ප‍්‍රවේශයකින් යුතුව විමසුමට ගත යුතු රාවණා කතිකාවට ඊට කෙසේවත් නොගැළපෙන ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ප‍්‍රවේශයක් ලබා දීමෙනි. යම් කිසි සංසිද්ධියක් පිළිබඳ ඓතිහාසික විවරණයක් ලබාදීමේදී ඒ සඳහා පදනම් වන මුලාශ‍්‍ර සේම එම සංසිද්ධියට අදාල කාලවකවානුව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලද යුතුය. එසේ නොකළහොත් එය මායිම් නොමැති ඉඩමකට ඔප්පු ලිවීමක් මෙනි.

රාවණා රජු විසින් ලියන ද සංස්කෘත පොත පත කිහිපයක් පිළිබඳ ප‍්‍රවාද තිබේ. එසේ නම් රාවණා රජු නිසැක වශයෙන්ම මීට වසර තුන් දහස් පන්සියයකට පසුව මෙලොව ජීවත් වූවකු විය යුතුය. මන්ද යත් සංස්කෘත භාෂාවේ මූලරූප ලොව පහළ වී දැනට වසර තුන්දහස් පන්සියයක් නොඉක්මවන බව සනාථව ඇති බැවිනි. රාවණා ජීවත් වූ සමය වශයෙන් නොයෙකුත් තැන්වල විවිධ ලෙස සඳහන් වන අතර ඒ සමහරක් දක්වා ඇත්තේ කලියුගවර්ෂ වශයෙනි. කලියුග හෝ වෙනත් කවර හෝ වර්ෂ ක‍්‍රමයක් නුතන ව්‍යවහාර වර්ෂ ක‍්‍රමයට හරවා ගැනීම තත්පර කිහිපයක වැඩකි. නමුදු කලියුග වර්ෂ හැඳින්වීම පිණිස විවිධ නිර්වචන තිබීම රාවණා පිළිබඳ සත්‍යය සඟවා තැබෙන ‘මුර පදයක්’ සේ මට හැඟෙයි. ඒ කෙසේ හෝ පූර්ව ඓතිහාසික හෝ ප‍්‍රාග් ඓතිහාසික යුගයක රාවණා රජු රජකම් කරන ලද්දේ නම් එවක පැවති බව පැවසෙන දියුණු ශිෂ්ටාචාරය සහ ඔහු පරිහරණය කළ බව පැවසෙන දඬුමොණර යන්ත‍්‍රය පිළිබඳ ප‍්‍රවාද මනඃකල්පිත කතා ගොඩට ඇද දැමිය යුතුය. බෞද්ධ සාහිත්‍යයේ ධම්ම පදඨ කථාවේ අභය රාජ කුමාර වස්තුවේද දැවයෙන් තැනූ යානයකින් සිය දරු පවුල ද සමඟ අහසින් ගමන් ගත් වඩුවෙකු පිළිබඳ කතාවක් තිබේ.

ඉතා අවාසනාවන්ත තත්වයක් ලෙස කිව යුත්තේ ලොව විශිෂ්ටතම පිළිගැනීමක් ඇති හා විස්මිතසොයා ගැනීම් සිදුකොට ඇති මානව විද්‍යා සහ මානව වංශ විද්‍යා යන විෂය පථයන් අපගේ උසස් අධ්‍යාපන ධාරාවෙන් මුලුමනින් බැහැරව තිබීම මත අප සමාජයේ ඇතැම් විද්වතුන් ඉතිහාසය සහ පුරා විද්‍යාව යන නොගැළපෙන විෂය ඔස්සේ රාවණා ගවේෂණ ආරම්භ කොට ඇති බවකි. එහෙත් එමගින් කිසිදු පුද්ගලත්වයක් නොමැති මෙම රාවණනම් මානව විද්‍යාත්මක යථාර්ථය විමසා බැලීම මා හට වැටහී යනුයේ සැතපුමකට ඇති “කිලෝ ග‍්‍රෑම්’ ප‍්‍රමාණය සොයමින් මංමාවත් ඔස්සේ සැතපුම් ගණන් නිකරුණේ රස්තියාදු වීමක් ලෙසිනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Rama was name for sun god in northern parts of india.And ravana was name of sun god in southern parts of india. Ramayana is a fiction.

    • 0
      0

      සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මූල්‍යමය කාරණා සම්බන්ධයෙන් වුවද, 2015 ට පෙර මෙම දෙදෙනාම ක්‍රියා කරන ආකාරය අපි දනිමු. නොදන්නා වකුගඩු රෝගයට ගොදුරු වූ ගොවි ප්‍රජාවේ අහිංසක තරුණයින් සිටියහ. රාජපක්ෂේ යටතේ ඔවුන්ට නිසි සැලකිල්ලක් ලබා දී තිබුණේ නැත. පරස්පර විරෝධි ලෙස, රාජාක්ෂේ සහ ඔවුන්ගේ වැඩවසම්වාදීන් වැඩි වැඩියෙන් නීති විරෝධී ලෙස අන්තරායකර කෘෂි හා වෙනත් රසායනික ද්‍රව්‍ය රට තුළට ගෙන ඒමට උනන්දු කළහ. ඒ ඔවුන් මිලියන ගණනින් කළු සල්ලි උපයා ගත් නිසා පමණි. මෙම කළු සල්ලි පසුව ඩෙරනා ටීවී හෝ ඒ හා සමාන ආයතනවල ආයෝජනය කරන ලදී. ඔවුන්ගේ ආදරණීයයන්ට රිදවීමට හෝ වෙනත් ජනයාට සහ ඔවුන්ගේ හදවතේ සිතුවිලි හා මනස රිදවීමට ඉඩ තිබුනත්, රාජපක්ෂ මුහුණුවර ඔවුන්ගේ දේශපාලනයට ගොස් පරාජයකට මුහුණ දීමට සිදුවිය. එහෙත් ඔවුන් විසින් ගොඩනඟන ලද ඔවුන්ගේ මිනිසුන් සහ ආයතන තවදුරටත් ක්‍රියාකාරී විය. ඔවුන්ට මූල්‍යමය වශයෙන් හෝ මහජනයාට වාසිදායක ලෙස නිසි කළමනාකරණයක් නැත.
      ෆැසිස්ට්වාදීන්ට අපව කබලෙන් ලිපට තල්ලු කර දැමිය හැක්කේ අපව ඇන්ගෝලා බවට පත් කිරීම පමණි.

  • 0
    0

    “කිසිදු පුද්ගලත්වයක් නොමැති මෙම රාවණනම් මානව විද්‍යාත්මක යථාර්ථය” වශයෙන් ඔබ හෑල්ලු කරන රාවණා රජ්ජුරුවෝ ගැන කතා කරන්න ඉස්සෙල්ල, ඔබ මානව විද්‍යාව සහ මානව වංශ විද්‍යාව (දෙකම Anthropology. Ethnology කියන්නේ මම දන්නා විදිහට ජනවාර්ගික විද්‍යාව), මම කියන්න ගියේ ලෝක මානව විද්‍යාවේ ලංකාවට හිමි තැනක් දැනටම තියෙනවා.
    ඒ තමයි අවුරුදු 30,000කට පෙර සිටි බවට හඳුනා ගෙන තිබෙන බලංගොඩ මානවයා ((Homo sapiens balangodensis) හෙවත් නූතන මානවයා.
    ඔහු සිටිය ලෙන අවුරුදු 38,000ක් පැරණි බවත්, ඔහු පාවිච්චි කල ජ්‍යාමිතික හැඩය ගත් ආයුධ සහ මෙවලම් අවුරුදු 28,000ක් පැරණි බවත් සොයාගෙන තියෙනව.
    අපි පාසල් සහ විශ්ව විද්‍යාල වලට මානව විද්‍යාව ලෙස හඳුන්වා දෙනවා නම් දෙන්න ඕනේ, සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම, ලංකාවෙන් සොයා ගත් මේ නූතන මානවය හෙවත් බලංගොඩ මානවය පිලිබඳ විෂය. ඒ මොකොද කිව්වා නම් මේ ලෙන්; ෆාහියන් ලෙන, බෙලි ලෙන, දොරවක ලෙන සහ ඔහුගේ වගා බිම හෝටන් තැන්න අදටත් පවතින නිසා.
    ලංකාවේ රාවණා රාජ වංශය මානව විද්‍යාව වගේ පුළුල් විෂයකට ඇතුල් කරලා හෑල්ලු කරන්න බැරි තරම් අති විශිෂ්ඨ ඉතිහාසයක්.
    හරි නම් අපේ පාසල් සහ විශ්ව විද්‍යාල වලට “ඉපැරණි සිව්හෙලේ සම්භාව්‍ය ශිෂ්ඨාචාරය (Ancient Classical Civilization of SiwHela” කියලා රාවණා රාජාවලිය පිලිබඳ ඉතිහාසය සහ පුරා විද්‍යාත්මක ගවේෂණ ඇතුලත් විෂයක් අලුතින් හඳුන්වා දෙන්න ඕනේ.
    ඔබේ ලිපියේ රාවණා ගැන කියල තියෙන ඉතුරු ටිකට වෙනම උත්තර දෙනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.