19 September, 2020

Blog

මළ නගරයක යුද විනාශයේ කම්පනය – මුලතිව් චාරිකාවේ අත්දැකීම්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

උදයාගේ කතාව

උදයා එක දිගටම කියවාගෙන යන්නේ ඔහුගේ දුක් ගැනවිල්ලයි. මගේ දෑස උදයාගේ දෙනෙතින් ඈත්ව නන්දිකඩාල් කළපුවේ එහාට මෙහාට දගලන දිය මත රැදුණි. පිළිකුල් සහගත පිළී ගදක් නාසයට දැනේ. මදකින් ප්‍රචණ්ඩ වන කලපු ජලය ඉවුරේ වැදී  සබන් පෙනවන් ජල බුබුළු සීසීකඩ යයි. යුද්දයත් එහි භීෂණයත් ගැන සිහිකරමින් සිටින විටත් අතරින් පතර මට ඇහෙන්නේ උදයාගේ දුක්ඛදෝමනස්සයයි. 

“පොකිස්සෙක් රුපියල් 4,200කට දෙන්න පුළුවන්. ඒත් අල්ලන එක ලේසි නැහැ. කොහොම හරි කරල අල්ල ගත්තොත් ජීවිතේ රැක ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ජීවිත්වීම හරි අමාරුයි” කැඩිච්ච සිංහලෙන් උදයා කියන කතා මට තේරුම් ගැනීම අපහසු ය. ඒ නිසා දෙතුන් වතාවක් විමසමින් ඔහුගේ කතාව පැහැදිලි කර ගැනීමට සිදුවිය.  

එල්ටීටීය පරාජය කිරීමේ අවසන් සටනේ දී එකම යුද භූමියක් වූ නන්දිකඩාල් කලපුවේ දී  එල්ල වූ ෂෙල් ප්‍රහාරයෙන් උදයාගේ දකුණු අත අහිමිවිය. ඔහුගේ පුත්‍රයාගේ කකුල් දෙකම අහිමි විය. ඒ වනවිටත් එල්ටීටීඊ සාමාජිකයකුව සිටි අනෙක් පුතා යුද්දයේ දී මිය ගොසිනි. උදයා පළමුව අනුරාධපුර රෝහලෙනුත් දෙවනුව වව්නියාව රෝහලෙනුත් නේවාසිකව ප්‍රථිකාර ගෙන ගෙදර ආවේ ය. ඔහු අදත් පොකිරිස්සන් බාන්නේ වම් අත පමණක් යොදා ගනිමිනි. 

කිලෝව දෙසිය පනහකට ගන්නා ඉස්සන් කිලෝවෙන් එක ඉස්සෙකු බැගින් සීරුවෙන් තෝරා ගන්නා වයස අවුරුදු 16ක පමණ කොළුවෙක් උදයාගේ පොකිරිස්සන් බාන උගුලේ කටු වලට අමුණයි. එසේ අමුණාදෙන උගුල ලතාවකට කරකවා කළපුවට වීසි කරන්නේ උදයා ය. අනතුරුව උගුල දෙස සීරුවෙන් බලා හිදිමින් යොත එහාට මෙහාට අදින්නේ පොකිරිස්සකු බා ගැනීමට ය. මා උදයා සමග ආගිය තොරතුරු කතා කළ පැය දෙකටම එකම පොකිරිස්සකු හෝ අල්ලා ගැනීමට උදයාට නොහැකිවිය. 

“මේ කව්ද?”

ඡයාරූප: චාමර හත්තොටුව

“ඔය මගෙ නංගිගෙ පුතා මහත්තයො, තාත්ත යුද්දෙන් මැරුණා. සහෝදර සහෝදරියො තුන්දෙනෙක් ඉන්නව. එයාල ඉස්කෝලෙ යවල බඩ පුරවන්නෙ මෙයා. මෙයා ඉස්කොලෙ යන්නෙ නැහැ”

කොල්ලා මා දෙස බලා මද සිනහවක් පෑවේ ය. කෙසග කළු පැහැ ඔහුගේ සිරුර නන්දිකඩාල් කලපුවේ රුදුරු අව් රශ්මියට වේලී ගොසිනි. සහෝදර සහෝදරියන්ගේ බඩ කට පුරවා පාසැල් යවන්නට අවශ්‍ය නිසා ජීවා තම පාසැල් ගමන නතර කර ඇත. ඔහු තම මාමාට උදව් කරන්නේ ලොකු වැඩ කරන්නට නොහැකි නිසා විය යුතු ය. 

නන්දිකඩාල් කළපුවේ එක් කෙලවරක වූ ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරයේ චෛතයේ කොත ඈත දී දුටු විට ඒ අසලට යන්නට අපට සිතුණි. එහෙත් පන්සල අසලට ආ අපට හැගී ගියේ එම පන්සල වසා දමා ඇති බව ය. අසල හමුදා කදවුර විසින් ගොඩනංවා ඇති පන්සලෙහි ස්ථිරව වැඩ වාසය කරන භික්ෂුවක් නොමැත. උත්සව අවස්ථාවන්ට පමණක්  වෙනත් ප්‍රදේශයක පන්සලකින් භික්ෂූන් වැඩමවා ගෙන එති.

ඡයාරූප: චාමර හත්තොටුව

“අපට හමුදාවෙන් සලකනව මහත්තයො. එයාල නැත්නම් අපි නැහැ. ඒත් සල්ලි තියෙන එක දෙමළ මිනිහෙක් අපට සලකන්නෙ නැහැ. සිංහල මිනිස්සුත් ආවහම එකතු කරල අපට සල්ලි ටිකක් දෙනව. අතන හන්දියෙ කඩේ දා ගන්න මම බලන්නෙ. ඒත් ඒකට සල්ලි නැහැ.”

නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති මුලතිව් – පරන්තන් ප්‍රධාන මහා මාර්ගය ගමන් කරන්නේ වඩ්ඩුවකල් පාළම මතිනි. එම පාළමට කිට්ටුව වූ සිලාවත්ත පස්වැනි කිලෝමීටර් කණුව අසල වසා දමා ඇති කුඩා කඩයට බඩු මුට්ටු ටිකක් දමා අලුතෙන් පටන් ගැනීම උදයාගේ බලාපොරුත්තුවයි. ඒත් ඒ සිහිනය මල්ඵල දරන්නට තරම් උදයාගේ ආර්ථිකය ශක්තිමත් නැත.

මහජන නියෝජිතයන් සිටින්නේ මහජනතාව නියෝජනය කරන්නට ය. එහි උදයලාගේ මහජන නියෝජිතයන් වන දෙමළ ජාතික සංධානය කෙරෙහි  ඔහුට ප්‍රසාදයක් නැත. ඔවුන් ගැන විමසූ විට උදයා දැක්වූයේ අප්‍රසන්න ප්‍රතිචාරයකි. “දේශපාලකයො අපි ගැන බලන්නෙ නැහැ මහත්තයෝ” උදයා කිව් විට මට සිහිවූයේ දකුණේ තත්ත්වයයි. 1988/89 මහත් විනාශය අවසන් වූ විට මහජන දුක බැලීමට දකුණේ ද දේශපාලකයන් පැමිණියේ පක්ෂ දේශපාලන අරමුණෙනි. උතුරේ උදයලා ද මුහුණදෙන්නේ එවැනිම දුෂ්කර තත්ත්වයකටයි.

තමන් වගකිව යුතු නැති යුද්දයක් නිසා දකුණු අත අහිමි වූ උදයාට රජයෙන් වන්දියක් ලැබී නැත. දෙකකුළ අහිමි වූ පුත්‍රයාට ද යුද්දයේ දී මිය ගිය එල්ටීටීඊ සාමාජික පුත්‍රයාට ද වන්දි ලැබී නැත.  ඒ වන්දි මේ අසරණයන්ට රැගෙනදීමට දෙමළ ජාතික සංධානය ද උනන්දු වන්නේ නැති බව උදයාගේ චෝදනාවයි.

දහස් ගණනක් ජීවිත ගොදුරු කර ගත් නන්දිකඩාල් කළපුව දෙස බලා සිටින සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ කටවුට් එකක් හන්දියේ ලයිට් කණුවක ඉල්ලී සිටින්නේ උත්ප්‍රාසජනක ලෙස  ය. අහිමි වූ ජීවිත ලබාදෙන්නට නොහැකි වුවත් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නට ආණ්ඩුවකට බැරිකමක් නොමැත. පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස දෙමළ ප්‍රදේශ වලින් 80%ක උපරිම චන්ද ලබා ගැනීමට සමත් විය. එහෙත් ඔවුන්ගේ ආණ්ඩු කාලයේ දී යුද වින්දිතයන්ට කල්පවත්නා විසදුමක් ලබාදෙන්නට අසමත් විය.

මුලතිව් යුද සංස්කෘතිය

මුලතිව් ප්‍රදේශය මළ ගිය නගරයක් වැනිය. ජනී ජනයා සුලභව දකින්නට නැත. එහෙත් හමුදා වාහන ඔබ මොබ ගමන් කිරීම සුලභ දසුනකි.  අදටත් බොහෝ සේවාවන් කරන්නේ ආරක්ෂක අංශ වලිනි. එහෙත් ඔවුහු සුහදව ඒ කටයුතු වල යෙදී සිටිති. මුලතිව් වෙරළාසන්නයේ ඉදිකර ඇති ආරක්ෂක සේවා අවන්හල නගරයට පිවිසෙන සිංහල අමුත්තන්ට ක්ෂේම භූමියකි. නගරයේ සියළුම රජයේ ගොඩනැගිලි අලුතෙන් ඉදිවී තිබේ. ඉදහිට තවමත් ඇති ගොඩනැගිල්ලක දෙකක යුද්දයේ නටඹුන් නැතිවාම නොවේ.  මහා මාර්ගයන් කාපට් කර අලුත් ගොඩනැගිලි ඉදිවී ඇතත් මහජනයාගේ අධ්‍යාත්මය නම් තවමත් පවතින්නේ දුක්ඛදෝමනස්සයන් ගොඩක් මැද ය. 

අනුරාධපුරයෙන් එහාට යනවිට ටිකෙන් ටික ආරක්ෂක හමුදාවන්ගේ බලය වැඩිවෙමින් තිබේ. ඒ අතර පිරික්සුම් ආරක්ෂක කපොළු ද අලුතෙන් ඇති කර තිබේ. වව්නියාවෙන් ආරම්භ වූ අපේ බස් ගමනට නෙදුන්කර්නි නගරයේ දී එවැනි බාධාවක් එල්ල විය. නෙදුර්කර්නි නගරයේ ඇති හමුදා මාර්ග බාධකය තුළ දී දැඩි සෝදිසි කිරීමකට මගීන්ව ලක් කෙරේ. වව්නියාව හා මුලතිව් නගර අතර යන එනවිට එවැනි පිටික්සුම් මුර කපොළු දෙක තුනක් පවතී.  ඒ සියල්ල සිවිල් පාලනයකට අවශ්‍ය මූලික පදනම් වලට බාධාවකි.

නිදහස් දිනය දා මුලතිව් නගරයේ රජයේ සේවකයන් නිදහස සැමරීමට තම කාර්යාලයට යන අන්දම දකින්නට ලැබුනේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ චක්‍රලේඛයට අනුව විය යුතු ය. ජාතික ධජ රජයේ කාර්යාලයක දෙකක දක්නට ලැබුණි. එහෙත් සැමරිය යුතු නිදහසක් සම්බන්ධයෙන් වූ අවබෝධයක් මුලතිව් ජනයාගේ මුහුණවල දකින්නට නොතිබුණි.

කටුක පරිසරය නිසාදෝ මුලතිව් නගරයේ මහජනතාවගේ වියළී ගිය, කෙසග ශරීරවල කළු පැහැ ස්වභාවය කියාපාන්නේ ඔවුන් දුක්විදින අන්දම ය. යුද්දය අහවර වී දස වසරක් ගෙවී ගොස් ඇතත් ඒ දුක්බර අතීතය අමතක කරන්නට තරම් ඔවුන්ට ශක්තියක් නොමැත. ඔවුහු එදිනෙදා රාජකාරීවල යුහුසුළුව යෙදුන ද චිත්තප්‍රීතියක් ඇති බවක් නම් දක්නට නොලැබුණි. 

“ටීඑන්ඒ අය ගැන මිනිසුන්ගෙ පැහැදීමක් නැහැ. එයාල මිනිස්සුන්ට කරන දෙයක් නැහැ. මෙහෙ මිනිස්සුන්ට යන්තම් හරි සහනයක් වෙන්නෙ රාජ්‍ය නොවන සංවිධාන” එහෙම තම අදහස ප්‍රකාශ කළේ මුලතිව් වල දී  හමුවූ උපාධිධාරී තරුණ රාජ්‍ය සේවකයෙකි. ඔහු අබාධිත දෙමළ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක සහායෙන් යම් යම් කටයුතු සිදු කරන අතර දෙමළ ජාතික සංධානයේ දේශපාලකයන් සමග ද සබදතා පවත්වන්නෙකි.

යුද මානසිකත්වය අහෝසි කිරීම සදහා  සිදු කර ඇති විශාල කාර්යභාරය අතර යුද කෞතුකාගාරය ඉවත් කිරීම වැදගත් ක්‍රියාවකි. මුලතිව් – පරන්තන් මහා මාර්ගයේ පුදිකුඩුඉරිප්පු නගරය ආසන්න මන්තුවිල් පිල්ලෙයාර් කෝවිල අසල ඉදිකර තිබූ එම කෞතුකාගාරය දැන් එහි දක්නට නොමැත. එහෙත් ඒ ආසන්න කුඩා කළපුවේ ඉදිකර ඇති රණවිරු ස්මාරකයට දකුණෙන් එහි යන ජනයා ගෞරව කිරීම තවමත් නතර වී නොමැත. දෙමළ ජනතාවට එම රණවිරු ස්මාරකයේ වැදගත්කමක් නැතත් සිංහල ජනයාට එහි වැදගත්කමක් තිබීම තාර්කික ය.

මුලතිව් ජනයාගේ අධ්‍යාත්මය

මුලතිව් වෙරළ තීරය අසල යුද හමුදාව විසින් පවත්වාගෙන යන ආපන ශාලාවේ තරුණ යුද භටයන් සේවයේ යෙදී සිටින්නේ සිවිල් ඇදුමිනි. ඔවුන් මිත්‍රශීලීවන අතර සාමාන්‍ය යුද හමුදා ශෛලිය දකින්නට නොමැත. එහි සේවයේ යොදවා ඇත්තේ සක්‍රීය යුද සේවය තුළ දී විවිධ අනතුරු වලට ලක්වූවන් ය. එවැනි එක් තරුණයකුගේ හිස තුළ මූනිස්සමක් පවතින බවත් මාස දෙකකට පමණ වරක් කොළඹ ගොස් ඊට ප්‍රතිකාර කරන බවත් පැවසී ය. එතැන සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයෝ තොරතෝන්චියක් නැතිව ජංගම දුරකථනයෙන් කතාබස්වල යෙදෙමින් සිටියහ. ප්‍රියන්ගෙන් වෙන්වී ඈත කටුක පළාතක තම තාරුණ්‍යය ගෙවා දමන ඔවුන්ට පිහිටට ඇත්තේ ජංගම දුරකථනයක්වීම  තේරුම් ගත යුත්තකි.

යුද්දයෙන් පසුව ඇතිවූ කම්පනය හා මානසික පීඩාව සම්බන්ධයෙන් චිකිස්සක ප්‍රථිකාර ලබාදිය යුතුවීම අනිවාර්ය අවශ්‍යතාවකි. එහෙත් යුද්දයෙන් ඇතිවූ භෞතික හානීන්ට පවා වන්දියක් නොදෙන රටක අධ්‍යාත්මයේ ඇතිවන කම්පනයන්ට ප්‍රථිකාර ලබාදීමට ඉක්මන්වේ යැයි සිතිය නොහැක. එවැනි ප්‍රතිකාර අවශ්‍ය පිරිස් ආරක්ෂක හමුදාව තුළ පමණක් නොව සිවිල් ජනතාව අතර ද සිටින බව නොරහසකි. 

කළපු නගරයක් වන මුලතිව් ජනාකීර්ණ නොවේ. බස්නැවතුම් පළ පිහිටා ඇත්තේ නගරයෙන් ඈත කෙලවරයක ය. එය බස් නැවතුම් පළක් වන්නේ බස් නතර කරන නිසා මිස පර්යන්තයක් ඇති නිසා නොවේ. විවිධ පළාත් වලට ගමන් කරන බස් රථ ආරම්භ කරන එහි උදේ අටවන විටත් සිටියේ මා හා මගේ ගමන් සගයා පමණි. බස් රථ වලට මගීන් ගොඩ වන්නේ ගමනාරම්භයෙන් පසුව නගරය පුරා වීථිවල සංචාරය කරන විට ය. ඒ මදිපාඩුව පුරවා ගන්නට බසයේ ගමන්මගෙන් බැහැරව අතුරු පාරවල ගමන් කරන්නේ ජනයා පිරි ගම් දනව් වලින් මගීන් එකතු කර ගන්නට ය. 

කණ් අඩි පැළෙන්නට තරම් අධික ශබ්දයකින් යුතු දෙමළ ගීයක් බස් රථයේ වාදනය වූ අතර ඒ හඩ පරයා යන්නට මෙන් බස් රථයේ රියදුරා වේගය තවත් වැඩි කරන්නට විය.  කෙතරම් බාධාවක් වුවත් සංස්කෘතික විවිධත්වය ගැන සිතමින් වට පිට බලමින් මුලතිව් නගයෙන්  අපි පිටවුනෙමු. 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Tamil people can’t keep hope there poor life….

  • 0
    0

    Very sad 😢 story………T.N.A.please

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.