24 April, 2024

Blog

සමාජයේ ‘හූනියම් මේනියාව’ ඉහළ නැංවූ මෛත්‍රීට එරෙහි කැබිතිගොල්ලෑවේ හූනියම

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් රජයේ තවත් කිහිප දෙනෙකුටත් එරෙහිව කරන ලද හූනියමක් පිළිබඳ පුවතට මේ වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලැබී තිබේ.  බොහෝ මාධ්‍ය මෙම පුවත විවිධාකාරයෙන් ‘තළුමරනු’ පෙනේ.

මෙම ‘හූනියම’ යනුවෙන් සඳහන් වනුයේ කැබිතිගොල්ලෑවේ සොහොන් බිමක තිබී හමුවූ කුඩා තඹ පතක් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් පමණි. එවැනි ද්‍රව්‍ය කිහිපයක් දුටු සැනින් එය හූනියමක් ලෙස අර්ථ ගන්වන ලද්දේ කවුරුන් විසින්ද? මෙරට ජනමාධ්‍ය විසිනි. එසේ නොමැතිනම් එය කිසිවෙකුටත් කිසිදු වැදගැම්මකට නැති තඹ පතක් පමණි.

සාමාන්‍යයෙන් මානසික රෝගීන්, මානසික අර්බුද වලින් පෙළෙන්නවුන්, ගුප්ත ශාස්ත්‍රවල සරණ යන්න වුන් සේම සමාජය නොමඟ යැවීමට වෙරදරන කපටි කයිරාටිකයන් ද පුද්ගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් මෙබඳු කටයුතු වල නියැලෙන බව නොරහසකි. එබඳු සිදුවීම් මීට පෙර අපි කොතෙකුත් අත්දැක ඇත්තෙමු. ‍

මෙය එක්තරා අන්තගාමී අදහසක් වුවද ‘ප්‍රවෘත්ති අහේනියෙන් පෙළෙන’ ජනමාධ්‍ය ආයතනයකට, මාධ්‍යවේදීයෙකුට වුවද මෙවැනි තඹ තහඩුවකින් ජාතියම ලොමු දැහැගැන්වෙන අන්දමේ ප්‍රවෘත්තියක් මවා ගැනීමට නොහැකියාවක් නැත. නමුත් මෙහිදී එවැන්නක් නම් සිදු නොවූ බව අපගේ පෞද්ගලික අදහසය.

ඒ කෙසේ හෝ අණවින හදිහූනීයම් ලොව පුරා හැඳින්වෙනුයේ කලු අභිචාර (Black Magic) යනුවෙනි. කලු අභිචාර වලින් මිනිසුන්ට විපත් පැමිණවීමට ඇති හැකියාවම ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ සුදු අභිචාර (white Magic) ඔස්සේ මිනිසුන්ට යහපතක් කිරීමට යොදා ගත හැකි බව ලොව පුරා පොදු පිළිගැනීමකි.

ඒ අනුව මෙවැනි කලු අභිචාර ගණයේ හූනියමකට ජනාධිපතිවරයා බලයෙන් පහ කළ හැකිනම් එවැනි සුදු අභිචාර වලින් අලුතෙන් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට ද හැකි විය යුතුය.

මෙවැනි ගුප්ත විශ්වාස මගින් සමාජයේ ගාමක බලය මෙහෙයවෙන බව පිළිගැනෙනුයේ අප නොදියුණු යැයි සලකන ගෝත්‍රික සමාජයන් වල පමණි. එහෙත් පැය කිහිපයක් තුළ මුළු මහත් ජාතියේම අවධානය ‍යොමු කර ගැනීමට සේම ජනාධිපතිවරයාගෙන් පවා අදහසක් ලබා ගැනීමට තරම්  මෙම හූනියම ප්‍රබල වී නම් එමගින් අනියම් ලෙස පැවසෙනුයේ අප සමාජයෙහි මුල්බැස ගත් මෙවන් අන්ධ විශ්වාස ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය ද ඉක්මවා ඉහළ තලයක වැජඹෙන බවය. මෙවන් තත්ත්වයක් තුළ ‘සංවර්ධනය’ පිළිබඳව තවදුරටත් විමසා බැලීම සිහිනෙන් දුටු ඉඩමක ඔප්පු පරීක්ෂා කිරීම සඳහා ඉඩම් කච්චේරියට යාමටත් වඩා විහිළු සහගත වැඩකි.

කිසියම් මානසික රෝගීයෙකු, අඥානයකු, කපටි කයිරාටියෙකු හෝ  එවැනි කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මිනීවලක් මත තබන ලද කුඩා තඹ තහඩුවක් ජාතික මට්ටමේ කැළබීමකට මුල් වූයේ නම් ශ්‍රී ලංකීය ජනසමාජය විනාශ වීමට ඊට වඩා තවත් බරපතල ‘හූනියමක්’ අවශ්‍ය නොවන බව මගේ ඒකායන පිළිගැනීමයි.

මෙම සිද්ධිය මුල්කොට මගේ මතකයට නැගෙන භාරතීය සංස්කෘත සාහිත්‍යයෙහි එන එක්තරා රසවත් කතාවක් තිබේ.

ඒ මෙලෙසිනි.

අතීතයේ එක් රජ කෙනෙක් රාජ්‍යයේ තොරතුරු විමසීම පිණිස රහසින් වීදි සංචාරය කිරීම පුරුද්දක් වශයෙන්  සිදුකළේය. ඒ එක් ගමනක දී රජතුමා කුඩා දරුවන් වැලි බත් උයන තැනකට ගොස් ඔවුන් කරන කියන දේවල් කෙරෙහි විමසිල්ලෙන් පසුවිය. එහි දී එක් දරුවෙකු මෙතෙක් අසා නොපුරුදු අමුතුම වදනක් කියමින් කෑ ගසනු රජතුමාට ඇසිණ. තමන් මින් පෙර එවන් වදනක් අසා නොමැති බැවින් රජතුමා ඒ වචනය මතකයේ තබාගෙන අවුත් රාජසභාවේ පූරෝහිතයාට ඒ බව දැනුම් දුන්නේය.  ඒ එහි අරුත කුමක් දැයි දැනගැනීමය.  එහෙත් ඉන් පැහැදිළි අරුතක් පළ නොවූ බැවින්  ශබ්ද ශාස්ත්‍රානුකූලව ඒ වදන විමසුමට ලක් කළ පුරෝහිත බමුණා එම වචනය මහා ව්‍යසනකාරී එකක් බවත් එය උච්චාරණය කෙරෙන වාරයක් පාසා රාජ්‍යයට මහා විනාශයක් සිදුවන බව රජතුමාට දැනුම් දුන්නේය.

ඉන් පසු ඉන් මහත් සේ තැති ගත් රජතුමා ඒ පිළිබඳව තවදුරටත් විමසීම පිණිස වේදයෙහි පරප්‍රාප්ත බමුණු පිරිසකට භාර කළේය. ඒ සියළුම දෙනාගේ ද  පොදු නිගමනය වූයේ මෙය කිසියම් ශබ්ද ශාස්ත්‍රයේ නිපුන පඬිවරයකු විසින් රජතුමා සහ රාජ්‍යය විනාශ කිරීම පිණිස ගණ පිහිටුවා ප්‍රබන්ධය කරන ලද අතිශය ව්‍යසනකාරී වැකියක් බවය.  කෙසේ හෝ මේ තොරතුර බමුණන් වෙතින් සාමාන්‍ය ජනසමාජය අතරේද පැතිරයන්නට විය..

ඉන්පසු රටෙහි ඇතිවූ සියළු කාලගුණික, දේශගුණික ආදී විපර්යාස  පිළිබඳව පවා  ජනතාව සිතන ලද්දේ ඒ සියල්ල ඉහත සඳහන් ව්‍යසනකාරී වැකිය නිසා සිදුවන දේවල් ලෙසය. අවසානයේ එම ජාතික ව්‍යසනයෙන් රාජ්‍යය බේරා ගත හැකි එකම ක්‍රමය ලෙස බොහෝ දෙනෙකු දැක ඇත්තේ රජතුමා බලයෙන් පහකිරීමය. ඒ අනුව රහස් කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහකෙරුණු රජතුමා අප්‍රකට දිවියකට මුල පිරීය.  ඉන්පසු දිනක ඉහත සඳහන් වීදිය ඔස්සේ ගමන්කරන රජතුමාට නැවතත් එම කෙළිබත් උයන දරු පිරිස  අහම්බෙන් මුණසුණි. එහි සිටි  එම වදන කියූ දරුවා වෙත පි‍විසි රජතුමා දරුවාට එම වදන උගන්වන ලද්දේ කවුරුන් විසින් දැයි විමසූ විට සෙසු දරුවෝ වහා ඉදිරිපත් වී එයට පිළිතුරු දෙන්නට වූහ.

“අපේ මේ මිත්‍රයාට හුඟක් වචන හරියට උච්චාරණය කරන්න බැහැ. ඒකත් ඔහුගේ ඒ නොහැකියාව මත ඔහුට පැටලුණු වචනයක් විතරයි. නමුත් මේ රටේ හිටපු මෝඩ රජා ඒක ඔලුවට අරගෙන රජකමත් නැතිකරගත්තා.”

ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද කැබිතිගොල්ලෑවේ හූනියම මුල්කොට එවන් ඛේදවාචකයකට මුහුණදීමට සිදු නොවේවායි අපි එක සිතින් පතමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.