25 July, 2017

නව මුදල් ඇමතිවරයාගේ අවධානය පිණිසයි

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

රටේ ආර්ථිකය හැසිරවීම පැවරී ඇත්තේ මංගල සමරවීර මහතාටය. එය අතිශයින් භාරදූර කාර්යයකි. එහෙත් එය ඔහුගේ මෙහෙයවීම යටතේ වත් නිසි අයුරින් සිදුවන බවට බලාපොරොත්තු ඇතිකර ගත යුතු වේ. මක්නිසාද අවසාන කැබිනට් අමාත්‍ය සංශෝධනයේදී ජනාධිපතිවරයා එබඳු අපේක්ෂාවන් ඇතිකර ගැනීමට හේතුවන ආකාරයේ ප‍්‍රකාශයක් කළ බැවින්ය. රජයේ කටයුතු වඩාත් යහපත් ලෙසින් පවත්වාගෙන යාම එම ප‍්‍රකාශයෙන් ජනිත වූ මුඛ්‍ය පරමාර්ථයයි.

කරුණු කිහිපයක්ම එයින් පැන නැගේ. පළමුවැන්න නම් කලින් තිබුණ තත්ත්වය එතරම් සතුටුදායක නොවූ බවයි. එනිසාම එය වෙනස් කිරීමට සිදුවුන බවද එයින්ම ගම්‍ය වේ. වෙනස් කිරීමේදී අනිවාර්යෙන්ම වඩා හොඳ තත්ත්වයක් ඇතිකළ යුතු බවද එයින්ම කියැවේ. එනිසා ජනාධිපතිවරයා විශ්වාස කරන ආකාරය අනුව මංගල සමරවීර ඇමතිවරයා වඩා හොඳ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ජනතාවට බලාපොරොත්තු තැබිය හැක.

2015 ජනවාරි 08 වන දින ඇති වූ දේශපාලන පෙරළිය අනපේක්ෂිත ලෙසින් රාජ්‍ය පාලනය සම්බන්ධ කරුණු ගණනාවක්ම දියත් කිරීමට පෙළඹවුන අවස්ථාවක් බවට විවාදයක් නැත. පාලනයේ සිටි රජයක් තිබියදී ජනාධිපති වෙනස් වීම හේතුවෙන් හදිසි නව පාලනයක් පිහිටුවා ගැනීම ඒ අවස්ථාවේදී සිදුවිය. ආරම්භයේදීම දින 100 ක කාල සීමාවකට යටත්ව තාවකාලික සංක‍්‍රාන්ති යුගයක් වශයෙන් සලකමින් ලහි ලහියේම රාජ්‍ය පාලන වෙනස් කිරීම් කරන ලදි.

අමාත්‍යංශ පැවරීම, ඒ වායේ විෂයයන් හා බලතල බෙදීම වැනි කරුණු ඒ යටතේ සිදු විය. රවී කරුණානායක මහතා මුදල් ඇමති වශයෙන් පත් කරනු ලැබුවේ මෙම වැඩපිළිවෙල යටතේය. පසුව උද්ගත වූ තත්ත්වයනට අනුව පැහැදිලි වන එක් කාරණයක් නම් එම අවස්ථාවේදී සිටම සම්පූර්ණ විෂය මාලාව අයත්වන මුදල් අමාත්‍යංශය ඔහුට ලබා නොදීමට කිසියම් හේතුවක් තිබී ඇත. එනිසා සාමාන්‍ය සම්ප‍්‍රදායානුකූලව මුදල් අමාත්‍යංශය යටතට වැටෙන ප‍්‍රධාන විෂයයන් ගණනාවක්ම සහ ආයතන රාශියක්ම ඉවත් කරන ලද මුදල් අමාත්‍යංශයක් පළමු වතාවට මේ රටේ ඇති විය. අදාල උපකල්පනයන් නිවැරදි බව ජනතාවට දැන් ඒන්තු ගොස් ඇත. එසේ බලතල සීමා කරන ලද අමාත්‍යංශයක කටයුතු පවා මහජන තෘප්තියට භාජනය වන ආකාරයට පවත්වාගෙන යාමට හිටපු මුදල් ඇමතිවරයා අසමත් වීමෙන්ම එය ඔප්පු වන්නේය. එදා සිදුකළ වෙනස්කම් අතර මුදල් අමාත්‍යංශය යටතේ අනිවාර්යෙන්ම පැවතිය යුතු බැංකු පද්ධතිය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉවත් කිරීම ප‍්‍රධාන තැනක් ගනී.

රටේ මුල්‍ය කටයුතු පාලනය සම්බන්ධව කොතරම් දුරට බැංකු පද්ධතිය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව සෘජු බලපෑමක් ඇති කරන්නේද යන්න පිළිබඳව අමුතු අටුවා ටීකා අවශ්‍ය නැත. රටේ ආර්ථිකයට අවශ්‍ය මූල්‍ය සැපයුම වාණිජ බැංකු හරහාම සිදුවිය යුතු කාර්යයකි. එය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිපත්තිමය මැදිහත්වීම සහිතව මුදල් අමාත්‍යංශයේ වැඩ පිළිවෙලට අනුකූල ලෙසින්ම සිදුවිය යුත්තකි. මෙම හේතුව නිසා බැංකු හා මහ බැංකුව මුදල් අමාත්‍යංශය යටතේම තිබිය යුතුය. ඒ සඳහා බල පවත්නා තවත් කරුණු කාරණා ගණනාවක්ම ඇත.

මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කිරීම සහ ඉන් පසුව මහා බැංකු බැඳුම්කර මගඩිය ඇතුළුව ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා රටේ ආර්ථිකයට ඇති වූ අහිතකර ප‍්‍රතිඵල ගැන අද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. සිදුකල ජංජාලය අදත් අවුල් ජාලයක්ව පවතී. ජනාධිපති කොමිෂන් සභා හරහා විමර්ෂණයට භාජනය කළ යුතු තරමේ මහා පරිමාණ අකටයුතුකම් එම සන්දර්භය තුල සිදුව ඇත.

රාජ්‍ය බැංකු තුලද එබඳුම තත්වයක් පවතින බව සලකා බැලීමටද කාලය පැමිණ ඇත. සංක‍්‍රාන්ති රාජ්‍ය කාලයෙන් පසුවද අමාත්‍ය මණ්ඩල විෂයය පථයන් වෙනස් කිරීමක් සිදු නොවූ අතර කලින් විධියටම සීමා කරන ලද විෂය මාලාවක් යටතේම මුදල් අමාත්‍යංශය තවදුරටත් ක‍්‍රියාත්මක විය. ඇතැම් විට මුල් මුදල් ඇමතිවරයාම තවදුරටත් සිටිය නිසා එසේ වූවා විය හැකිය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. නව මුදල් ඇමතිවරයාට පූර්ණ බලතල හා පුළුල් විෂය පථයක් සහිත මුදල් අමාත්‍යංශයක් හරහා වඩාත් සංවිධානාත්මක ලෙසින් ආර්ථිකයට සම්බන්ධ සියලූ අංශ විධිමත් ලෙස බද්ධ වූ ආයතන සමූහයක් මුල් කරගෙන මෙහෙයවීමට අවස්ථාව සලසා දිය යුතුය. විශේෂයෙන්ම රටේ බැංකු පද්ධතියන්, රාජ්‍ය අයිතිය පවත්නා රාජ්‍ය බැංකුත්, කෙලින්ම මුදල් අමාත්‍යංශ පාලනය යටතට පැවරුන විෂය පථයට ඇතුලත් විය යුතුය. එසේ නොකිරීම නව මුදල් ඇමතිවරයාගේ අතපය බැඳ දැමීමක් හා සමානය. කලින් මෙන් සැක පහල කිරීමට අවශ්‍යතාවයක් නැතිනම් අප‍්‍රමාදව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම තුලින් මෙම වෙනස සිදුකළ යුතු වේ. මංගල සමරවීර ඇමතිවරයාගේ පෙර අත්දැකීම් තුල අනා ගැනීම් ගැන දැනගන්නට නැත. එනිසා අඩපණ කළ අමාත්‍යංශයක් ඔහුට පැවරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.

මෑතකදී මහජන බැංකුවට බිලියන 5 ක රාජ්‍ය සහනාධාරයක් ලබාදීමේ ප‍්‍රවෘත්තියක් පුවත්පත්වල ඵල විය. එම බැංකුවේ ප‍්‍රාග්ධන ඌණතාවයක් පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදෙන බව එහි සඳහන් විය. සත්‍ය වශයෙන්ම කරුණු රැුසක් නිසා මෙම කටයුත්ත කෙලින්ම මුදල් අමාත්‍යංශය හරහා එහි අධීක්ෂණය යටතේ සලකා බැලිය යුතුව තිබූ කාරණයකි. නමුත් දැන් මහජන බැංකුව පවතින්නේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් යටතේය. එමනිසා මෙයට කලින් මුදල් අමාත්‍යංශය හරහා මේ ආකාරයටම ප‍්‍රාග්ධන ඌණතාවයන් පියවා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම මෙම බැංකුවට මුදල් ලබාදීමේ අවස්ථා සහ එම අවස්ථා වලදී පණවා තිබූ කොන්දේසි යනාදිය කෙරෙහි නිසි අවධානයක් කැබිනට් මණ්ඩලයේදී යොමුවීද යන්න පැහැදිලි නැත. එහෙත් කෙලින්ම මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් වූයේ නම්, අනිවාර්යෙන්ම එම කරුණු සලකා බැලීමට භාජනය වන්නේය. බැංකු අංශය කෙලින්ම මහ භාණ්ඩාගාරය යටතේ පැවතිය යුතු වීමට තවත් හේතුවක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය.

1992 වසරේදී මහජන බැංකුව බුන්වත් නැතහොත් බංකොලොත් භාවයට පත්ව ඇති බව එවකට මුදල් ඇමතිවරයා වූ ඞී.බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළේය. රටේ ආර්තික ක්ෂේත‍්‍රය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් එම ප‍්‍රකාශයෙන් පසුව වෘත්තීය අංශවල සහ බැංකු ස්වකයන් තුලින් පැන නැඟුන ප‍්‍රබල විරෝධතා හමුවේ බැංකු පෞද්ගලීකරණය කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් හකුලා ගැනීමට රජයට සිදු විය. ඒ අවස්ථාවේදී බැංකුවේ හඳුනාගත් ප‍්‍රාග්ධන අහේනිය පියවා ගැනීම සඳහා සුවිශේෂ කොන්දේසි යටතේ රුපියල් බිලියන 10 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් බැංකුවේ ප‍්‍රාග්ධනය වෙනුවෙන් ලබා දීමට රජයට සිදු විය. එවකට රජය සමග ඇතිකරගත් ගිවිසුම වසර 30 ක් දක්වා වලංගුව පවතින බැවින් මේ වන විට එම ගිවිසුමේ

ප‍්‍රතිපාදන වලට අනුව බැංකුව කටයුතු කරමින් සිටින්නේද යන වග මහා භාණ්ඩාගාරය තහවුරු කර ගත යුතු වන්නේය.

1996 දී නැවතත් වරක් රාජ්‍ය ආයතනවලට ලබා දුන් ණය මුදල් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් මහජන බැංකුවට විශේෂ බැඳුම්කර හරහා ලබා දීමට එවකට බලයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග රජයට සිදුවිය. එයද ලබා දුන්නේ අවුරුදු 10 කට වලංගු වන විශේෂ කොන්දේසි සහිත ගිවිසුමක් යටතේය.

බැංකුවේ මුල්‍ය තත්වයට අනුව පැන නැඟුන අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා 2008 වසරේ පටන් අවස්ථා කීපයකදීම ණයකර නිකුතු මගින් බැංකුව විසින් පිහිටුවා ඇති සේවකයින්ගේ විශ‍්‍රාම භාර අරමුදලේ මුදල් වලින් රුපියල් බිලියන 15 ක් ලබාගෙන ඇත. එ් අතරින් රුපියල් බිලියන 10 ක් තවමත් ගෙවීමට පවතින ශේෂයක් වශයෙන් පවතින බවද වාර්තා වේ.

රජයේ භාණ්ඩාගාරයෙන් අවස්ථා 4 කදී 2005, 2006, 2007 සහ 2008 යන වසර වලදී පිළිවෙලින් රුපියල් බිලියන 1, බිලියන 2, බිලියන 1.5 සහ බිලියන 1.5 යනවෙන් කොටස් වශයෙන් ප‍්‍රාග්ධනය වැඩිකර ගැනීම සඳහා මුදල් ලබා දී ඇත.

මෙවර තවත් රුපියල් බිලියන 5 ක් ලබා ගැනීමට යන්නේද එම අවශ්‍යතාවය සඳහාමය. මෙබඳු කාරණාවලදී මුදල් අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීම, මෙහෙයවීම, පාලනය සහ පසුවිපරම් අත්‍යවශ්‍යම කාරණයක් බව හොඳින්ම පැහැදිලි වන්නේය.

එනිසා නව මුදල් ඇමතිවරයා මෙම සියලු කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් රාජ්‍ය බැංකු ඇතුළු බැංකු අංශය මුදල් අමාත්‍යංශය යටතට ගැනීමට කටයුතු කළ යුතුමය.

Print Friendly

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.