24 April, 2024

Blog

ජනපතිවරණ ප්‍රතිඵලත් සමග ‍ජ්‍යොතිෂයටත් හෙනහුරා ලැබූ හැටි!

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

ලෝ වැසි සැමට එළඹෙන අපල උපද්‍රව පිළිබඳව කියා දෙමින් සිටි අප රටේ ‍ජ්‍යොතිෂයට ද දැන් ‘හෙනහුරු දසාවක්’ උදා වී තිබේ.

ඒ ‍ජ්‍යොතිෂය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව අසීමිත ලෙස විශ්වාස කිරීම නිසාම සිය ධුර කාලය වසර දෙකක් ඉදිරියට තිබියදී ශ්‍රී ලංකාවේ මුල්ම පුරවැසියාගේ භුමිය හැරදා ‘ගෙදර යාමට’ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සිදුවීමත් සමගිනි.

1948 නිදහස ලැබිමෙන් පසු අප රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයකුම පාහේ යම් යම් ප්‍රමාණයන්ගෙන් ‍ජ්‍යොතිෂයේ පිහිට පැතූහ.

එහෙත් එම පාලකයන්ගේ පිහිට පැතීමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ‍ජ්‍යොතිෂයේ ‘සරණ යාමට’ උත්සාහ කළ පාලකයකු බව පැවැසීම හුදු අතිශයෝක්තියක් නොවෙතැයි සිතමි.

රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නිල කාලය සම්පූර්ණ වීමට තිබුණේ 2016 වසරේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ප්‍රතිපාදනයක් මුල් කොට ගනිමින් 2015 වසරේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට එතුමන් තීරණය කළේය. එහෙත්, ඒ සඳහා බලපාන කිසිදු දේශපාලනික, සමාජ හෝ ආර්ථික සාධකයක් ගෙන හැර දැක්වීමට ද රාජපක්ෂ ජනාධිපතිවරයා අ‍පොහොසත් විය. එතුමන් තබා ජනාධිපතිවරණ වේදිකාවේ එතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කෑමොර දුන් කිසිවකුටත් මෙලෙස හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට බලපෑ යථාර්ථවාදී හේතුවක් ඉස්මතු කිරීමට නොහැකි විය.

Cartoon Sඑනිසාම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙම ගුප්ත ලෝලී බව ප්‍රබල ලෙස ප්‍රයෝජනයට ගත්තේය. එහිදී ඔහු අවධාරණය කොට සිටියේ ජනාධිපති රාජපක්ෂ මහතා මේ රටේ අනාගතය සම්බන්ධ තීරණ ගැනීම කපටි කේවට්ටයකුට පැවැරීමට තරම් මානසිකව බංකොළොත් වී හිඳින බවකි. ඒ කපටි කේවට්ට භූමිකාව රඟපෑ පුද්ගලයා ලෙස දිසානායක මහතා හඳුන්වන ලද්දේ රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පෞද්ගලික ‍ජ්‍යොතීර්වේදියා වන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතාය. ජනාධිපති රාජපක්ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කළ මෙම ‍දෛවඥයා රාජපක්ෂ කේන්ද්‍රයේ රාජ යෝග උච්චතම වකවානුවක් ලෙස පසුගිය ජනවාරි අට සහ ඒ ආශ්‍රිත සමය කල් ඇතිවම හඳුනාගෙන සිටි බව පැවැසේ. ඒ බව ඔහු ස්වාධීන රූපවාහිනියේ ඇතුළාන්තය නම් වැඩසටහනින් මුළු රටටම කීය. එතැනින් නොනැවතුණු ඔහු පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ සහ ඒ සඳහා නාම යෝජනා භාර දීමේ සිට ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහතාට නිසැක ජයග්‍රහණයක් අත්කර දීමට අවශ්‍ය නැකත් ද ‘ශුද්ධ කොට’ සකසා දුන් බව ජාතික පුවත්පත්වල, දේශපාලන වටරවුම් ලිපිවල පවා පළ විය.

එහෙත් අවසානයේ සිදුවූයේ කුමක්ද? මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල ජාතියට නිකුත් කිරීමටත් පෙර එදින තමන්ට අත්වන ඉරණම වටහා ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළේ වහාම තම හිත මිතුරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයට කැඳවා ගැනීමය. සුපුරුදු ලෙස වික්‍රමසිංහ මහතාට පිරිනමන කෝපි කෝප්පයවත් නොදී තම පරාජය පිළිගෙන අරලියගහ මැදුරෙන් නික්ම මැදමුලනේ පිහිටි තම මහගෙදර බලා යාමට හෙලිකොප්ටර් දෙකකින් ‘ඩ්‍රොප් එකක්’ ඉල්ලා සිටීමට තරම් සුමනදාස අබේගුණවර්ධනගේ ජ්‍යොතිෂය විසින් ඒ වනවිට හිටපු ජනපතිවරයා අසරණ කොට තිබිණ.

ඒ කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගත් නායකයා සේම ගුප්ත විශ්වාස මුල්කොට දේශපාලන වශයෙන් බරපතළම අභාග්‍යයට ලක්වූ රාජ්‍ය නායකයා ලෙස ද මහින්ද රාජපක්ෂ නාමය ඉතිහාස ගත වනු නියතය.

එහෙත් මෙහි හොඳම කතාව එය නොවේ.

‍ජ්‍යොතිෂයේ නාමයෙන් රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙලෙස ‘බරපතල ඇන්දවීමකට’ ලක් කළ සුමනදාස අබේගුණවර්ධන මහතා ඉන් පසුව මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකි.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව තමන් කල් ඇතිව දැන සිටි බව ය. එහෙත් රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇති බිය නිසා ඒ බව දැනුම් දීමට තමන් අසමත් වූ බව හෙතෙම කියා තිබේ.

එහෙත් ඔහුගේ මෙම ප්‍රකාශය ද පට්ටපල් බොරුවකි. ඒ බවට මේ ඔස්සේ ඔබට නැරඹිය හැකි ස්වාධීන රූපවාහිනියේ ඇතුළාන්තය වැඩ සටහන කදිම සාක්ෂියක් සපයයි.

එමෙන්ම ඔහු පසුව රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පරාජයට හේතු දෙකක් මාධ්‍යයට දක්වා තිබිණ. රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කේන්ද්‍රයට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රය බලවත් වීම ඉන් මුල් හේතුවය. පසුගිය 2013 නොවැම්බර් 15 දා රාජපක්ෂ ජනාධිපතිතුමන් ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වයට පත්වීම මෙවර ඔහුගේ පරාජයට තුඩු දුන් දෙවන හේතුව බව අබේගුණවර්ධන මහතා කියා තිබේ. එක අතකින් බලන විට මෙය ද යකාගේ කතාවකි.

සාමාන්‍ය සමාජයේ පිළිගැනීමට අනුව පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රය පිරික්සීමෙන් ඒ තැනැත්තා පිළිබඳ සම්පූර්ණ ජීවන පලාපල විස්තරයක් දැන ගත හැක. ඒ ඔස්සේ අබේගුණවර්ධනයන් කරන තර්කය අනුව පෙනී යන්නේ ‍ජ්‍යොතිෂයට පදනම් වන නව ග්‍රහයන් ‘‍පොදු රාජ්‍ය මණ්ඩලය’ කියා දෙයක් මෙලොව ඇති බව නොදැන සිටි බවකි. එමෙන්ම 2011 ඔක්තෝබර් 28 දා සිට 2013 ජුනි 27 දා දක්වා ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති පදවිය හෙබ වූ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජූලියා ගිලාඩ් මහත්මිය බලයෙන් පහවීමට ද එම සභාපති ධුරය සම්බන්ධ ‘ග්‍රහ දෝෂය’ ඉවහල් වූ බව ඔහු විදෙස් මාධ්‍යයකට පවසා තිබිණ. ඒ අනුව ජනාධිපති රාජපක්ෂ මහතාට දැන් ‘නයාට අඳු කොළ මෙන්’ පෙනිය හැකි තමන්ට ‍පොදුරාජ්‍ය මණ්ඩලයේ නිල ‍ජ්‍යොතීර්වේදියා ලෙස පත්වීමක් ලබා ගත හැකි වෙතැයි මේ අසරණ බොළඳ මිනිසා සිතනවා වන්නට ද පුළුවන.

“මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කේන්ද්‍රය හරිම ප්‍රබලයි. ඒ වගේම එතුමා මගේ හොඳ මිත්‍රයෙක්.” යනුවෙන්ද සුමනදාස අබේගුණවර්ධන මාධ්‍යයට පවසා ඇත. ඒ තුළින් ඔහු පැහැදිලිවම තවත් ‘මුට්ටිය දැමීමක්’ සිදුකොට ඇත.

ඒ අනුව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට මෙහිදී වැදගත් උපදෙසක් දීමට කැමැත්තෙමි. එනම් සුමනදාස අබේගුණවර්ධන නම් ‍ජ්‍යොතීර්වේදියා බැරි වෙලාවත් ඔබතුමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටිය හොත් අපේ ගමේ ගොඩේ වහරින්ම කිව හොත් ‘පස්ස නොබලා දුවන’ ලෙස ය. නැතිනම් ඔබතුමන්ට සිදුවන්නේද ජනපති රාජපක්ෂට සිදුවූ සන්තෑසියමය.

මෙවර ජනාධිපතිවරණයත් සමග ‍ජ්‍යොතීර්වේදය මෙතරම් බාල බොළඳ තත්ත්වයට පත් වීමට දෙවන හේතුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන ලද අනාවැකිවලින් ‘වෙඩි තබා ගැනීම්’ සහ ‘ගිනි තබා ගැනීම්’ ද ප්‍රකාශ වූ බැවිනි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති ලෙස බලයට පත් නොවුවහොත් තමන් සහතිකවම වෙඩි තබා ගන්නා බවත් මාධ්‍ය මගින් ප්‍රකාශ කොට ඇත්තේ චන්ද්‍රසිරි බණ්ඩාර නම් පුද්ගලයකු විසිනි. ඒ සිරස රූපවාහිනියේ ‘සටන’ දේශපාලන සංවාද වැඩසටහන මගිනි. එහිදී එම රූපවාහිනී මැදිරියට පැමිණ වෙඩි තබා ගන්නා බව කියත්ම ඔහුගෙන් ඊට අදාළ ප්‍රශ්නය ඇසූ ප්‍රවීන නිවේදක කිංස්ලි රත්නායක ‘මේ මේ අපිව ඕවාට සම්බන්ධ කරගන්න එපා’ කීයේ එම රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ සැම සිනා සයුරේ ගිල්වමිනි. එම අවස්ථාව නැරඹිය හැකිය;

මීට වසර කිහිපයකට ඉහත රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයක පෙරවරු වැඩසටහන් මගින් ආධ්‍යාත්මවේදියකු ලෙසින් පෙනී සිටි මොහු මදුරු දඟරයක් හැඩරුව ඇති මෝහන චක්‍රය (Hynotic Cycle) නම් රූප සටහනක් දෙස දිනකට යම් කාල සීමාවක් බලා සිටීමෙන් ප්‍රඥාව දියුණු වන බවට අති බිහිසුණු මතයක් සමාජයට පිවිසුවා තිබිණ. සැබැවින්ම දෘශ්‍ය මායා (optical illusion) නමින් හැඳින්වෙන එවැනි දේ දෙස බලා සිටීම මානසික සෞඛ්‍යය කෙරෙහි අනර්ථකාරී බලපෑම් ඇති කරවීමට හේතුවන බව මනෝ විද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ඇති ඕනෑම අයකුට වැටහෙනු ඇත. ඒ අනුව එහි දී ද මොහු සිදු කොට ඇත්තේ ජාතික මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් බිහිසුණු අනර්ථයකි. බරපතළ අපරාධයකි. ඒ අතර ඔහු ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහනින් තවත් හාස්‍ය උපදවන විශේෂාංගයක් ද ඉදිරිපත් කළේය. ඔහු මිනිස්නුගේ සිතේ කෝපය ඇතිවීම වැළැක්වීම පිණිස මෙම වැඩසටහන ඔස්සේ අපූරු ඖෂධීය පානයක් හදුන්වා දුන අතර, එය බැලූ බැල්මටම ඔහු විසින් සකස් කළ විකාර වට්ටෝරුවක් බව පැහැදිලි විය. ඔහු පැවසූ පරිදි මෙය පානය කළ යුත්තේ අලුයම් කාලයේදීය. මේ ආකාරයට කෝපය තුරන්කිරීම පිණිස ඖෂධ වට්ටෝරුවක් රූපවාහිනිය ඔස්සේ හදුන්වාදුන් පුද්ගලයාම ඊට පසු දිනෙක තවත් රූපවාහිනි වැඩසටහනකදී ප්‍රේක්ෂයකුට බූරුවා යැයි පවසමින් බැණ වදිනු දක්නට හැකිවිය. එම හාස්‍යජනක අවස්ථාව මෙතැනින් නැරඹිය හැකිය;

එමෙන්ම මෙලෙස සිරස රූපවාහිනියේ ‘සටන’ වැඩසටහන මගින් මහින්ද රාජපක්ෂ ජනපතිගේ පරාජය හමුවේ වෙඩි තබා ගන්නා බව පැවසීමට තරම් ආවේගාත්මක වන මොහුට දෙදහස් නවය වසරේදී දවස් නවයක් ‍පොලිස් අත්අඩංගුවේ ළඟින්නටද සිදුව තිබේ. ඒ ඊට ආසන්නම දිනයෙක ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය වීමකට හෝ බලයෙන් පහ කිරීමකට ලක්වනු ඇතැයි මොහු පළ කළ අනාවැකියක් නිසාය. ඒ සමයේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පිවිසි ඔහු රටේ මීළඟ ජනාධිපති ලෙස හඳුන්වා ඇත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.

ඒ අතර 2012 වසරේ වෙසක් ‍පොහොය දින අප රටේ ප්‍රදේශ ගණනාවකින් බුදු රැස් විහිදෙනු ඇතැයි ද මොහු එකල සති අන්ත පුවත්පතකට පවසා තිබිණ. ඒ බැරිවෙලාවත් එය කියවූ අයකු වෙල්ඩින් වැඩපළක් අද්දරින් යන විට විහිදෙන ආර්ක් වෙල්ඩින් ආලෝකයකට රැවටී එය අන්‍යයන්ට කිවහොත් එය බුදු රැස් විහිදීමක් පිළිබඳ සමාජ මිථ්‍යාවක් (mass hysteria) ලෙස රට පුරා පැතිර යාමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් විය හැක. එමෙන්ම බැරිවෙලාවත් ඒ අනාවැකිය හරි ගියහොත් එම බුදු රැස් පැතිරීමේ, නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරද තමන්ටම අත්පත් කර ගත හැකි යැයි මොහු සිතන්නට ඇත. එහෙත් ඔහුගේම නරක වෙලාවට ඔහුගේ ‘ඒ මෝල් ගහද පත්තු වූයේ’ නැත.

එමෙන්ම පසුගිය 2014 වසරේ මුල් භාගයේ “දෙරණ” රූපවාහිනියේ වාද පිටියට එක්වූ මොහු “සහතිකවම” (definitely) ආදී වදන් යොදමින් දිවුරමින් පවසා සිටියේ 2014 අප්‍රේල් මාසයට පෙර ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවය. තම අනාවැකියේ සත්‍යතාව උරගා බලනු පිණිස තම ප්‍රකාශය කොළයක සටහන් කර ගන්නා මෙන්ද ඔහු මහත් ආඩම්බරයෙන් ප්‍රේක්ෂයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙය ඔස්සේ ඔබට මෙම විනෝදමත් දර්ශනය නැරඹිය හැකිය;

මේ අතර පසුගිය මාර්තු 08 දා මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ බෝයිං එම් එච්370 දරන මැ‍ලේසියානු ගුවන් යානය පිළිබඳවද ඔහු අපූරු අනාවැකියක් කීය. එනම් එය අනතුරකට පත් නොවී නියමුවා විසින් කිසියම් ස්ථානයකට ආරක්ෂිතව ගොඩබා ඇති බවත් අතුරුදන් වී දින දාහතරක් ඉක්මගිය පසු ඒ පිළිබඳ ආරංචියක් ලැබෙන බවත්ය. නමුත් ඔහු කී ඒ කාලවකවානුව තවම එළඹී නැත. ඔහු මැලේසියානු ගුවන් යානයේ සිදුවීම පිළිබද කළ අනාවැකිය මෙතැනින් නැරඹිය හැකිය;

ආධ්‍යාත්මවේදියකු සේ පෙනී සිටින මේ තැනැත්තා ඕනෑම ප්‍රබලයකු හට කඩේ යන සහ කුලියට කහින පුද්ගලයකු බව මා හා කීයේ කලක් ඔහු හා සමීපව සිටි රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයක සිටි ප්‍රධානියෙකි. ඔහුගේ එම කියුම ඇස් පනා පිට සත්‍ය කරවන ප්‍රකාශයක් ද මෙම බණ්ඩාර නමැත්තා පසුගිය කාලයේ සිදු කොට තිබිණ. එනම් පසුගිය කාලයේ රජරටට බලපෑ බරපතළ ගංවතුර තර්ජනයට හේතුව එම ප්‍රදේශයේ ජීවත් වන පාපිෂ්ඨයකු බවට ජාතික රූපවාහිනියට කළ ප්‍රකාශයයි. මෙහිදී ඔහු නම නොකියා ඒ පාපිෂ්ඨයා ලෙස හඳුන්වන ලද්දේ අනෙකකු නොව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ය. ඔහුගේ එම ප්‍රකාශය එවක ජාතික රූපවාහිනිය විසින් තමන්ගේ ඕනෑකමට ඔහු ලවා ලබා ගත් එකක් බව පැවසේ. එනිසාම නීති, සදාචාර ධර්ම සහ මාධ්‍ය සම්ප්‍රදායන් කුණු කාණු පල්ලට දමමින් පසුගිය රජයේ දේශපාලන හොරණෑවක් සේ ක්‍රියා කළ එම විද්‍යුත් මාධ්‍යය ඔහුගේ එම අඳබාල ඔල්මාද ප්‍රකාශය තම ප්‍රවෘත්ති ප්‍රකාශයකින් ද විසුරුවා හැර තිබිණ. ඔහුගේ එම ප්‍රකාශය;

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බව කීමට තමන් බියපත්වූයේ පණට ඇති ආදරය නිසා බව මෙම බණ්ඩාර නමැත්තා පසුව මාධ්‍යයට පවසා තිබිණ. එය කිතුල් ගහට ගිය මිනිහාගේ කතාවකි. එහෙත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපතිවරණ මංගල රැළියේදී පරෙවියකු මුදා හැරීම මුල්කොට මොහු ජාතික රූපවාහිනියෙන් කළ මෙම ප්‍රකාශය කෙතරම් මුග්ධ, අඳබාල එකක්දැයි පරෙවියන් ඇති කරන කුඩා දරුවන් පවා මනාව වටහා ගනු ඇත. මෙහිදී මුදා හැරීමෙන් පසු ඒ සතා යන එන් තැන්, කරන කියන දෑ පිළිබදව සොයා බැලීමක් සිදු නොකෙරේ. සාමාන්‍යයෙන් ගෘහස්ථ පරෙවියන් මුදාහැරීමෙන් පසු උන් ඒ මොහොතේම තමන්ට හුරුපුරුදු ස්ථානය කරා යනු ඇත. එසේ නොවීමට නම් කළ යුත්තේ වල් පරෙවියකු අල්ලා මුදා හැරීමය. එවන් සරල සාමාන්‍ය සිදුවීමකට ගුප්ත ආරෝපණයක් දීම තුළින් ඔහු කරනුයේ රාජ්‍ය මාධ්‍යයක් ඔස්සේ තවත් බරපතල මිථ්‍යා මතයක් සමාජ ගතකිරීම පමණි. එමෙන්ම ඔහුගේ එම ප්‍රකාශය තුළින් ඔහු කෙතරම් අලජ්ජී තත්වයට පත්ව ඇත්ද යන්න වටහාගැනීම ඔබට බාරය. ඔහුගේ එම ප්‍රකාශය මෙම අඩවිය ඔස්සේ නැරඹිය හැක.

මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් නොවුවහොත් තමන් රූපවාහිනී ආයතනයකට පැමිණ ගිනි තබා ගන්නා බව මාධ්‍ය මගින් පවසා සිටි ‘මේ කුලයේ’ ඊළඟ ‍ජ්‍යොතීර්වේදියා මාපලගම විමලරත්න නමැත්තෙකි. ඔහු වෘත්තියෙන් නීතිඥයකු බවද පැවැසෙයි. එමෙන්ම තම අනාවැකිය පට්ටපල් බොරුවක් වීමෙන් පසු ඔහු ඒ සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය විකට රසයෙන් අනූන එකකි.

“මම ඇඟට ගිනි තබා ගන්නවා හරි ගිනි තියාගෙන මැරෙනවා හරි කියලා කිව්වේ නැහැ. මම කිව්වේ රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදුණහොත් ගිනි තියාගන්නවා කියලා විතරයි. මම ගිනි තියා ගන්නේ මගේ සරමට. මම එහෙම ගිනි තියා ගන්නවා දකින කවුරුවත් මට මැරෙන්න දෙන්නේ නෑනේ. කවුරු හරි පැනලා මාව බේරා ගනියි.”

මාපලගම විමලරත්නයන් කී පරිදි ඔහු එසේ සරමට ගිනි තබා ගන්නා අන්දම දකින අයකු වහා ඉදිරිපත් වී විමලරත්නයන් බේරා ගත්තේ යැයි සිතමු. එය මාධ්‍ය ආයතනයක සිදුවන්නක් බැවින් එවිට ඔහුට රට ඉදිරියේ පෙනී සිටීමට සිදුවනුයේ ද සරමද නැතිව ය. එහෙත් මෙවර ජනාධිපතිවරණය මුල් කොට බරපතළ ලෙස ‘කොළය ඉරාගත්’ සෙසු ‍ජ්‍යොතිෂ සගයන් දෙදෙනා සමග එසේ සරම නොමැතිව සමාජය හමුවේ පෙනී සිටීමට මාපලගම විමලරත්නයන්ට ද පහසුවෙන්ම හැකි වනු ඇත. මක්නිසාද යත් ඔවුන් තිදෙනා බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජන සමාජය හමුවේ අද වන විටත් ඒ තත්ත්වයට ඇද වැටී ඇති බැවිනි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මම නම් කවදාවත් ජ්‍යොතිෂයට සහ දෙවියන්ට මගේ අනාගත අපේක්‍ෂාවන් ගැන බර නොතැබීමි. නමුත් යම් අයෙක් ජ්‍යොතිෂය සහ එ්ක දේව හෝ බහු දේව අාශිර්වාද විශ්වාස කරන්නේ නම් රටට ජාතියට හානියක් නැති තාක් එය මට ප්‍රශ්ණයක් නොවේ.

    සමස්තයක් වශයෙන් සියළු ජ්‍යොතිෂ කාරයින්ට වැරදී නැති බවත් වැරදී අැත්තේ කට්ටියකට බවත් අප අමතක නොකල යුතුය. එසේම ජ්‍යොතිෂ සහ දේව විශ්වාස අපේ සංස්කෘතියේ කොටසක් බවත් සිහි තබාගත යුතුය. එනිසාත් ජ්‍යොතිෂයෙන් සහ දෙවියන්ගෙන් යැපෙන්නන් ලක්‍ෂ ගනනක් මේ ලංකාවේ සිටින නිසාත් ජ්‍යොතිෂ සහ දේව අාශිර්වාද පිළිඹද විශ්වාසය සුළුවෙන් හෝ අඩුවේ යයි මම නම් විශ්වාස නොකරමි.

    අද ප්‍රශ්ණය වී අැත්තේ ජ්‍යොතිෂයවත් දෙවියන්වත් නොවේ. අද මාතෘකාව වී අැත්තේ වත්මත් චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුවේ ඊනියා යහපාලනයයි. සුළුතරයේ බහුතරයෙන් සහ බහුතරයේ සුළුතරයෙන් ලබාගත් 250,000 ක් වැනි සුළු වැඩි චන්ද ගනනකින් බලයට පත්වූ චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුව BASL සභාපති උපුල් ජයසූරිය සහ කල්ලියට නීතිය තමන් අතට ගෙන මැරයන් ලෙස හැසිරීමට ඉඩ හැරීය. ජයසූරිය සහ කල්ලිය විසින් පාර්ලිමේන්තුවේ දේශාභියෝග කමිටුවේ නිර්දේශ ගැන කථානායකවරයා විසින් ජනපතිට යැවූ ලිපිය අර්ථ දක්වන්නේ 43 වන අගවිනිසුරුවරිය ඉවත් කරන ලෙස එහි නිර්දේශ කර නැති සේය. ඉන්පසු ඊනියා යහපාලන නඩයේ නිතිඥ මැරයන් ඔවුන්ගේ පළමු වෙඩි මුරය ලෙස අගවිනිසුරුට විශ්‍රාම යන ලෙස පෙලපාලි ගියේය.

    එ් අනුව චන්ද්‍රිකා-රනිල්-සිරිසේන ‘යහපාලන’ අාණ්ඩුව විසින් උපුල් ජයසූරිය සහ ගැන්සිය තෝරාගත් අර්ථ කථන සහ ක්‍රියාපටිපාටි නිවැරදි යයි පිළිගෙන ජනාධිපති සිරිසේන විසින් නිකුත් කල ලිපියක් මගින් දේශාභියෝගයෙන් පහ කල 43 වන අගවිනිසුරුවරිය නැවත අගවිනිසුරු ලෙස 2015 ජනවාරි 28වන දින පත් කර අැත්තේ 44 වන අගවිනිසුරු එම තනතුරේ සිටියදීමය. මේ නම් ලොකයේ කොහේවත් කර නැති විගඩමකි. දැන් අපට ඉතාම පැහැදිලි වන කරුනක් වන්නේ චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුව විසින් රජයේ මැත්තන් සහ අසාත් සැලි වැනි අැම්බැට්ටයන් සහ ඔවුන්ගේ මැරයන් යොදා 44වන අගවිනිසුරුට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කලේ කුමක් සඳහාද යන්න. මේ නාඩගම් සියල්ල යහපාලනය මතින් උන්ට අවශ්‍ය අගවිනිසුරුවරයෙකු පත්කර ගැනීම සඳහාය.

    දැන් ව්‍යවස්ථාදායකයයි, විධායකයයි, අධිකරණයයි යන තුනම ජ්‍යොතිෂ එක මල්ලකට දා ගෙන අැති බව පැහැදිලිය. අද චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුව ඔවුන්ට විරුද්ධව චන්දය දුන් 47.5% ගේ මතය තුට්ටුවකට මායිම් කර නැත. පැහැදිළිවම මේ යන්නෙ 2001-3 පාලන සමයේ ක්‍රමයටයි. එකම වෙනස අද ‘යහපාලනය’ ගෙනෙන්නට ජාතියන්තරය විසින් රනිල්ට චන්ද්‍රිකා සහ සිරිසේන පමනක් නෙවෙයි ජවිපෙත් අෑඳලාය. ශ්‍රිලනිපයේ මංත්‍රිවරු රෙදි නැතුව චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුවට කඩේ යනවා. ඉදිරියේදී මේ හැත්ත බුරුත්ත තම තමන්ගේ අභිප්‍රායන් වෙනුවෙන් ඔිනෑම ජඩ වැඩක් කර කොටින්ට ඊලමත් සහ ජිහාඩියන්ට නසරිස්තානයත් ලබාගැනීමට පාර කපා දී දේශපාලන වශයෙන් මුලු රටම අස්තාවර කරයි කියන එක ගැනයි මගේ ලතවිල්ල.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.