26 April, 2024

Blog

ගුප්ත වෙදුන් සහ කූට මාධ්‍යකරුවන් එක්ව මිනිස් දඩයමක

තිලත් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

ගුප්ත සහ විකල්ප ක්‍රමවලින් රෝග සුව කරන පිළිගත් වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් හට සුවිසල් ප්‍රසිද්ධියක් ලබාදීමේ දැවැන්ත යාන්ත්‍රණයක් මේ වන විට ශ්‍රී ලාංකීය ජනමාධ්‍යයන් තුළ දැකිය හැක. ‛‛එක් තැඹිලි ගෙඩියකින් ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරන වෙද මහතෙක්’’, ‛‛විශ්ව ශක්ති කිරණවලින් පිළිකා දවන ජීවකයා’’, ‛‛මෛත්‍රී බලයෙන් නිදන්ගත රෝග රැසක් නිට්ටාවටම සුව කරන අසවල් මෑණියෝ’’ ආදී වශයෙන් පාඨකයන්ගේ කුතුහලය මුසු විමතිය පුබුදුවන ලිපි, විශේෂාංගවලින් මේ දිනවල අපගේ දිනපතා, ඉරිදා සහ සතිපතා පුවත්පත් පිරෙමින් තිබේ. එමෙන්ම කිසිදු වෛද්‍ය සභාවක නීතිමය ලියාපදංචියක් නොමැති මෙබඳු ගුප්ත සහ විකල්ප ක්‍රමවලින් රෝග සුව කරන්නවුන් හට අප රටේ විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ද පෙර නොවූ විරූ ඉඩ ප්‍රස්ථාවක් ලැබෙමින් තිබේ. ඒ ජනමාධ්‍යවලින් ද තම බොරු පුරාජේරුව රටට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන අතර ඒ පුද්ගලයන් සම්බන්ධ කරගත හැකි ඔවුන්ගේ ජංගම දුරකථන අංක පවා ඒ සමගම ප්‍රසිද්ධ කරවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ.

මහා හාස්කම් බලයක් සහිත මෑණි කෙනකුන් ලෙස එක් පුවත්පතක් මගින් සතිපතා හඳුන්වා දෙන තැනැත්තියක් වෙතට පසුගිය දිනයක අප දන්නා කාන්තාවක් ගියාය. ඒ ඇගේ පවුලේ අයකුට වැළඳී ඇති පිළිකා රෝගයක් සුවකර ගැනීම පිණිසය. බත්තරමුල්ලේදී ඇය හමුවී විනාඩි දෙක තුනක් කතා කිරීමට පමණක් රුපියල් දස දහසක මුදලක් රෝගීන්ගේ ඥාතීන්ගෙන් ඇය අය කරයි. අප දන්නා කාන්තාවද එලෙස එම මුදල ගෙවා එම ‛මෑණියන්’ හමුවිය. එහිදී ඇය කියා ඇත්තේ එම රෝගියාගේ වර්තමාන ස්වරූපයෙන් යුතු ඡායාරූපයක් වයිබර් තාක්ෂණය ඔස්සේ තමන් වෙත නොපමාවම ලැබෙන්නට සැලැස්සුවහොත් එම රෝගියාගේ තත්ත්වය නිශ්චිතවම පැවසිය හැකි බවකි. එම ඡායාරූපය එලෙස ලබාගෙන ඉන්පසු අප දන්නා කාන්තාවට දුරකථන ඇමතුමක් දුන් එම මෑණියන් අඟවා ඇත්තේ ඡායාරූපයේ හිඳින තැනැත්තා දින කිහිපයක් තුළ මිය යන බවක් තම අධිමානසික ශක්තියට වැටහෙන බවකි. එහෙත් තමන් ලවා ඔහු වෙනුවෙන් ’ප්‍රාණ ජීව යන්ත්‍රයක්’ ජීවම් කරගත හොත් ඔහු එම මරණයෙන් මුදාගත හැකි බව ද ඇය කියා තිබේ. එමෙන්ම එම යන්ත්‍රය ජීවම් කිරීම පිණිස රුපියල් ලක්ෂ හතර හමාරක මුදලක් ගෙවිය යුතු බවද ඇය කියා ඇත. එහෙත් ඇගේ එම අධිමානසික ශක්තියට හසු නොවූ විශේෂ දෙයක් ද එහි තිබිණි. ඒ මගේ උපදෙස් මත එම කාන්තාව ඇයට යවන ලද්දේ ඉහෙන් බහින රෝගයක් නැති වෙනත් පුද්ගලයකුගේ ඡායාරූපයක් බව ඇයට වැටහී නොතිබීමය. එම ඡායාරූපය වෙනුවෙන් රෝගියකු සේ ‛රඟපෑ’ ඔහු අතිශය නිරෝගී ක්‍රියාශීලී පුද්ගලයෙකි.

Avanthaමීට වසර කිහිපයකට පෙර ඇරඹුණු මෙම ගුප්ත සහ විකල්ප ක්‍රම මගින් රෝග සුව කිරීම පිළිබඳ මාධ්‍ය රැල්ල පිළිබඳ බොහෝ දෙනකු නොදන්නා අලුත්ම තත්ත්වයක් ද තිබේ. එනම් එය අද වනවිට එක්තරා ජාවාරම් පොළක් බවට පත්ව තිබීම ය. එය එම ගුප්ත රෝග සුව කරන්නවුන් සහ ඇතැම් මාධ්‍යකරුවන් අතර සිදුවන රහසිගත ජාවාරමකි. මුලදී තමන් පිළිබඳ එලෙස ප්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ට සන්තෝෂම් ප්‍රදානය කළ මෙවන් කපටි කයිරාටිකයෝ පසුව එම මාධ්‍ය ප්‍රචාරණය මගින් තමන්ට ලැබෙන විශාල මුදලින් එම මාධ්‍යකරුවන්ට කොමිස් සේම මාසික වැටුප් පවා ගෙවන බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මා වෙත සැලවී තිබේ. ඒ මුදල් ගෙවා පළකරන වෙළෙඳ දැන්වීම්වලට වඩා විශ්වසනීයත්වයක් එම ලිපි විශේෂාංග සහ රූපවාහිනී වැඩසටහන්වල තිබෙන බැවිනි. එහෙත් මෙම පහත් ජාවාරමට සම්බන්ධ වනුයේ නීති විරෝධී ගබ්සාවන්හි යෙදෙන වෛද්‍යවරුන් මෙන් අප මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නවුන්ගෙන් අතලොස්සක් පමණ බව ද වගකීමකින් යුතුව මෙහි සටහන් කරමි.

එමෙන්ම ඇතැම් රූපවාහිනී චැනල් ද මෙම කපටි කයිරාටිකයන් හට මුළු ගුවන් කාලය සඳහාම මුදල් ලබාගෙන ප්‍රචාරය කරන වැඩසටහන් ලබාදී බිහිසුණු සමාජ අනර්ථයක් සිදුකරන බව තවමත් බොහෝ දෙනෙක් නොදනිති. අප රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන සෑම විටකම මැතිවරණ ආඥා පනතට අනුව ‛මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි’ යන වැකිය ද ඉදිරිපත් කළ යුතු ය. එහෙත් මෙබඳු කපටි කයිරාටිකයන්ගෙන් එලෙස මුදල් ලබාගෙන ප්‍රචාරය කරන වැඩසටහන්වලදී එම ජනමාධ්‍ය මුනිවත රකිනුයේ මාධ්‍ය සදාචාරය ගණිකා වෘත්තියේ යොදවමින් එම දරුණු සමාජ විරෝධීන්ට එම බිහිසුණු සමාජ අනර්ථය හිතේ හැටියට කරගෙන යාමට මනා ඉඩකඩක් සලසා දෙමිනි.

මෙම ගණයේ පුද්ගලයකු සම්බන්ධ රසවත් අත්දැකීමක් මා සතුව ද තිබේ. එම එලොවින් ආ වෙද මහතා පිළිබඳ අපූරු පුවත මට මුල්වරට දැන ගත හැකි වූයේ පසුගිය කාලයේ ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් වෙතිනි. එම පුවතින් මා කෙතරම් ප්‍රමුදිත වීද යත් ඒ දිනවලම සිරිරතන හිමියන් සමඟ එම එලොවින් ආ වෙද මහතා “හමුවීමට යාමට” මම කැමැත්ත පළ කළෙමි

එලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනු පිණිස එම වෙද මහතා වරින් වර යළි මෙලොවට පැමිණෙනුයේ දැනට ජීවතුන් අතර හිඳින තම ඥාති මුණුපුරා මාර්ගයෙනි. එම මුණුපුරා පදිංචිව හිඳිනුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උප නගරයක් ආසන්නයේ පිහිටි කෘෂිකාර්මික ගම්මානයකය. ඔහුට අනියම් ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් එම ගම් ප්‍රදේශය හෝ මෙහි සඳහන් කිරීමට මම නොකැමැත්තෙමි.

එසේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එලොව සිට වරින් වර යළි මෙලොවට පැමිණෙනුයේ “කිරිහාමි” නම් වෙද මහතෙකි. කිරිහාමි කන්ද උඩරට රාජධානි සමයේ එහි නරපතියන්ට පවා ප්‍රතිකාර කළ වෙද පරපුරක සාමාජිකයෙකැයි එම ප්‍රදේශයේ වැඩිහිටියෝ කියති

“රන් බණ්ඩා” යනු එම කිරිහාමි වෙද මහතාගේ ඥාති මුණුපුරෙකි. නොඑසේ නම් ඔහුගේ සොයුරකුගේ මුණුපුරෙකි. එහෙත් කිරිහාමිගෙන් පසු ඔහුගේ පරපුරේ කිසිවෙක් එම පරම්පරාගත වෙදකම බාර ගන්නට නොසිටියහ. එබැවින් එය ඉබේටම අභාවයට යන්නට ඇත. කිරිහාමි වෙද මහතාගේ මුණුපුරු රන් බණ්ඩා ගොවියෙකි. ඔහුගේ වයස අවුරුදු හැටකට ආසන්න ය. ප්‍රදේශයේ සෙසු ගැමියන්ට සාපේක්ෂව ඔහු තරමක දැන උගත්කමක් ලබා ඇති වගක් මට පෙනිණ. රන්බණ්ඩාට දියණියන් දෙදෙනකි. ඔවුන් ද දැන් කලකට ඉහත දීග ගොසිනි. මේ අතර රන්බණ්ඩාගේ බිරිඳ මීට වසර එකහමාරකට පෙර මිය ගොසිනි. ඒ පිළිකා රෝගයකිනි. බිරිඳගේ මරණය රන්බණ්ඩාගේ සිතට තදින්ම දැනුණි. ඉන්පසු හෙතෙම මුළුමනින්ම හුදකලා දිවි පෙවෙතකට මුල පිරුවේය. ඒ දීගතල ගොස් සිය දරුවන් ලොකු මහත් කර ගනිමින් හිඳින දියණියන්ගෙන් ප්‍රමාණවත් අවධානයක් ද තමන් වෙත යොමු නොවන දුක්බර පසුබිමක ය. මේ අතරතුර රන්බණ්ඩා වෙතින් තම ගොවිතැන් කටයුතු ද මදින් මඳ ගිලිහෙන්නට ඇත. අවසානයේ ඔහුට උරුම වූයේ නිවස තුළටම කොටු වූ අතිශයින් අලස සෝමාරී දිවි පෙවෙතකි.

මේ අතරතුර එක්තරා දිනයෙක මියගිය බිරිඳ රන්බණ්ඩා හමුවේ සිහිනයෙන් පෙනී සිටියාය. එහිදී ඇය පවසා සිටියේ මියගිය වෙද මුත්තණුවන් සතු පැරණි බෙහෙත් වට්ටෝරුවල තම ජීවිතය පවා ගලවා ගත හැකි ප්‍රතිකාර ක්‍රම තිබූ බවකි. එමෙන්ම අභාවයට ගිය එම වෙද ශාස්ත්‍රය කෙසේ හෝ ඉගෙන ගන්නා ලෙස ද ඇය රන්බණ්ඩාගෙන් ඉල්ලා සිටියා ය. මේ අතර තවත් දිනයෙක මියගිය කිරිහාමි වෙද මහතාද තම ඥාති මුණුපුරු රන්බණ්ඩා හමුවේ සිහිනයෙන් පෙනී සිටියේය. එහිදී ඔහු කියා සිටියේ මියගිය මිනිපිරිය (රන්බණ්ඩාගේ බිරිඳ) ගේ ඉල්ලීමකට අනුව තම පැරණි රහස් වෙදකම් වර්තමාන සමාජයට ප්‍රදානය කිරීමට තමන් කැමැත්තෙන් හිඳින බවකි. ඒ සඳහා පුන්‍ය ශක්තියක් හිමිකර ගනු පිණිස තමන්ට පින් පෙත් පුද කරන මෙන් ද ඔහු රන්බණ්ඩා මුණුපුරා වෙතින් ඉල්ලා සිටියේ ය

මේ අතර දින කිහිපයක් ඉක්ම යත්ම දකුණු අත සිරුරින් ඉවත් වන්නාක් මෙන් අමුතුම හැඟීමක් වරින්වර රන්බණ්ඩාට දැනෙන්නට විය. ඒ දිනපතා තම මියගිය බිරිඳට සහ මුත්තණුවන්ට පින් පැමිණවීමෙන් පසුව ය. දිනක් එසේ සිරුරින් වෙන් වූ බවක් පළ කළ රන්බණ්ඩාගේ අත අවිඥානිකව මෙන් අද්දර තිබූ මේසය මත ඇති වූ පෑනක් සහ කරදාසියක් වෙත යොමු විය

“මම දෙන බේත් වට්ටෝරුවලින් ප්‍රයෝජන ගනින්” රන්බණ්ඩා සිහිනයකින් වත් නොසිතූ ලෙස තම පාලනයෙන් මිදුණු අත මේසය මත වූ පෑන වෙත යොමුවී එහි තිබූ කරදාසි කැබැල්ලක ස්වයංක්‍රීයව එසේ ලියැවුණි

තමන් ලද මෙම විස්මයජනක අත්දැකීම රන් බණ්ඩාට කෙසේවත් වටහා ගත නොහැකි විය. එබැවින් ඔහු හනික දිව ගියේ තම ප්‍රදේශයේ කාගෙත් ‍පොදු පිළිගැනීමකට ලක්ව සිටි උපාධිධාරී ගුරුවරයකු වූ ගුණතිලක මහතාගේ නිවෙසටය. එම අද්භූත සිදුවීම අසා විස්මයට පත්වූ ගුණතිලක මහතා ඒ මොහොතේම රන්බණ්ඩාගේ නිවසට ආවේය

“රන්බණ්ඩා මාමේ, එහෙම නම් ආයිමත් සැරයක් පන්සිල් සමාදන් වෙලා ඒ කිරි අත්තටයි, මැරුණු නැන්දටයි පින් දෙනවද බලන්න”එම සිදුවීම පිළිබඳ විමසුමින් පසු ගුණතිලක මහතා ඇසී ය. ඒ එම අද්භූත සිදුවීමෙහි සත්‍යතාව යළි පිරික්සනු පිණිසය. රන් බණ්ඩාද ඒ ඉල්ලීම එපරිද්දෙන්ම ඉටු කළේය. එකෙනෙහිම පෙර ලෙසින්ම සුරත තම පාලනයෙන් මිදෙන අයුරු රන් බණ්ඩාට දැනිණ. “දැන් හරි වගේ ගුණතිලක මහත්තයෝ” රන් බණ්ඩා කෙඳිරීය

“දැන් කාලෙක ඉඳලා මගේ බඩේ දැවිල්ලක් තියනවා”. එම අද්භූත සිද්ධියේ පසුබිම දැන සිටි ගුණතිලක මහතා ද හනික ඇසීය. එකෙනෙහිම මේසය මත වූ පෑන වෙත ගිය රන්බණ්ඩාගේ අප්‍රාණික සුරතින් එහි වූ හිස් කොළයක මෙලෙස ලියැවෙන්නට විය. “අත්තික්කා මුලකින් වෑහෙන වතුර බිපිය. සුවයි”

ඒ සිදුවීමත් සමඟම එතෙක් සාමාන්‍ය අලස සෝමාරි දිවියක් ගත කළ රන්බණ්ඩා අතිශය ප්‍රබෝධමත් චරිතයක් බවට පත් විය. ඔහු පිළිබඳව කවුරුත් පාහේ කතා බස් කරන්නට වූහ. එමෙන්ම ඉනි’ක්බිතිව තමන් හමුවට පැමිණි රෝගීන්ට ඔහු මෙලෙස අවිඥානිකව සරල බෙහෙත් වට්ටෝරු ලියා දීම ඇරඹීය. ඒ කිසිදු අය කිරීමකින් තොරවය. එමෙන්ම රන්බණ්ඩාගේ සිතින් අතටත් ආරූඪ වී මෙලෙස ප්‍රතිකාර කරනුයේ මීට වසර හතළිහකට පෙර මිය ගිය කිරි හාමි වෙදමහතා බව ද එහි ගැමියන්ට රහසක් නොවිණි. එමෙන්ම අප එහි යන විට ඔහු ලවා මිය ගිය වෙද මහතාගෙන් බෙහෙත් ලියවා ගැනීමට එන රෝගීන්ගේ සංඛ්‍යාව කෙමෙන් ඉහළ යමින් තිබිණ.

රන්බණ්ඩා සතු මෙම අද්භූත හැකියාව ඔහුට පමණක් උරුම වූවක් නොවේ. එය ලොව සෑම දේශයකින්ම, සෑම ජන සමාජයකින්ම වාර්තා වන්නකි. ලොව පුරා අධ්‍යාත්මවේදය පිළිබඳ විස්තර කරන්නවුන් මෙය විස්තර කරනුයේ භූතරූඪ ‍ලේඛනය (Mediumistic writing or automatic writing) යනුවෙනි. මිය ගිය පුද්ගලයකු නැතහොත් මේ විශ්වයෙහි සැරිසරන භූත හෝ දේව ආදී අද්භූත බලයක් ජීවත් වන අයකුගේ සිරුරට ආරූඪ වූ පසු ඒ තැනැත්තාට මෙම අද්භූත හැකියාව ලැබෙන බවට විශ්වාසයක් පවතී. එමෙන්ම මෙම තත්ත්වය කිසියම් විශේෂිත මානසික තත්ත්වයක් මත පදනම් වන ස්වයං ‍ලේඛනයක් හෝ මනෝ රේඛනයක් (Automatic writing or Psychography) ලෙස ද සමහරෙක් හඳුන්වති.

රන්බණ්ඩාට හිමි වූ මෙම ස්වයංක්‍රීයව බෙහෙත් වට්ටෝරු ලිවීමේ සුවිශේෂ බලය අප සමාජයේ එතරම් ප්‍රචලිත වූවක් නොවේ. එහෙත් කනප්පු පාදයක පැන්සලක් බැඳ එම කනප්පුව මතට දෙදෙනකු අත් තබා කරන ‘කනප්පු ‍ලේඛනය’ ද මෙම සිද්ධාන්තය මතම පදනම් වූවකි. ජීවම් කරන ලද ‍පොල් ගෙඩියක් මතට පැන්සලයක් තැබූ පසු භූත බලයෙන් ඉබේ අකුරු ලියැවෙන ක්‍රමයක් පිළිබඳ විශ්වාසයක් ද අප සමාජයේ බොහෝ දෙනකු තුළ පවතී. බටහිරින් අපට දායාද වූ භූත පුවරුව (Ouija board) සහ කාසි භූතයා (Spirit of Coin) ද මෙම සිද්ධාන්තය මතම පදනම් වේ.

ස්වයංක්‍රීය ‍ලේඛනය යනු හුදු යටි සිතේ ක්‍රියාකාරිත්වයේම කොටසක් මිස කිසිදු අද්භූත හෝ වෙනයම් බාහිර බලපෑමකින් සිදුනොවන්නක් බව මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී තිබේ. තමන් ද නොදැනුවත්ම, යටි සිතේ බලපෑමෙන් සිදුවන මෙවන් චර්යාත්මක සංසිද්ධීන් විද්‍යාත්මක හැඳින්වෙනුයේ මනෝ චාලක අනුඵල (Ide motor Effect) යනුවෙනි. විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයන්ගෙන් අප රටේ ඉහළම අධ්‍යාපනික සුදුසුකම් ලත් ඇතැම් මහාචාර්යවරුන් පවා අදටත් අද්භූත ක්‍රියාකාරකම් වශයෙන් සලකන මෙම මනෝ චාලක ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රථම විද්‍යාත්මක පත්‍රිකාව නිකුත් කොට ඇත්තේ මීට වසර එකසිය පනස් හතරකට කලින් වීමද විශේෂත්වයකි. එම සුවිශේෂ අනාවරණය කරන ලද්දේ 1852 වසරේ බ්‍රිතාන්‍ය ජාතික භෞත සහ ස්නායු විශේෂඥයකු වන විලියම් බෙන්ජමින් කාපෙන්ටර් විසිනි.

එහෙත්, කිසියම් පුද්ගලයකු නොදැනුවත්වම ඔහු අතින් යමක් ලියැවෙන්නේ කෙසේද යන්න බොහෝ දෙනකු තුළ පැන නැගිය හැකි ගැටලුවකි. එහෙත් මේ සඳහා මෝහනමය සිද්ධාන්ත ඉවහල් වන බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ බටහිර වෛද්‍ය විද්‍යාත්මක මෝහනයේ පියා වන ක්‍රි.ව. 1795 – 1860 අතර විසූ ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍ය ජේම්ස් බ්‍රෙයිඩ් විසින් ද සනාථ කොට තිබේ. ඒ අනුව මේවා භූත හෝ අත්භූත ක්‍රියාකාරකම් ලෙස සැලකීම විද්‍යාත්මක චින්තනයේ කුණු බක්කි අහුලා කෑමකි.

දැන් අපි රන්බණ්ඩාගේ මෙම අරුම පුදුම හැකියාවේ ඇතුල් පැත්ත විමසා බලමු. බිරිඳගේ මරණයත් සමග රන්බණ්ඩා ජීවිතයේ හුදකලා වූ බව නොරහසකි. ඔහුගේ ඒ හුදකලා බව තවත් තීව්‍ර වූයේ විවාහක දියණිවරුන් දෙදෙනාගේ අවධානය ද ඔහු වෙත යොමු නොවීම නිසා ය. ඒ අනුව නිවෙස තුළ අලස හුදකලා සෝමාරි දිවි පෙවෙතක් ගත කළ රන්බණ්ඩා තම අසරණ බව මුල් කොට විඝටන ආබාධය (Dissociative disorders) නම් මානසික අර්බුදකාරී තත්ත්වයකට පත්වූ බවට අනුමාන කළ හැක. එහෙත් ඒ අතරේ තම මියගිය බිරිඳ හා මුත්තණුවන් මුල් කොට ඔවුන් සිහිනයෙන් පෙනීම (ඇතැම් විට මෙය ඔහුගේ පරිකල්පනයක් ද විය හැක.) මතින් ලත් තීව්‍ර මානසික උද්දීපනයක් සමග රන්බණ්ඩා තුළින් ද්විතීයික පෞරුෂයක් ඉස්මතු වී ඇති බව පැහැදිලි ය. මුත්තණුවන්ගේ වෙද වට්ටෝරු ඔහුගේ අතින් ලියැවෙන්නට පටන් ගත්තේ ඔහු ද නොදැනුවත්වම ඔහු තුළත් ඒ ද්විතීයික පෞරුෂය ක්‍රියාත්මක වීමෙනි. ඔහු තම මියගිය බිරිඳට සහ වෙද මුත්තණුවන්ට පින් දීමෙන් ඒ සඳහා තීව්‍ර මානසික උද්දීපනයක් ලබා ගන්නා බව පෙනේ. අපගේ ජන සංස්කෘතියේ ‘වරම් ගැනීම’ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම තීව්‍ර මානසික උද්දීපනයයි.

එහෙත් අවිඥානිකව ලියැවෙන මෙම වෙද වට්ටෝරු ලෙසින් බොහෝ විට එළි දැක්වෙනුයේ රන්බණ්ඩාගේ මනැසේ ගැබ් වූ සාමාන්‍ය මතකය සහ අවරෝධිත හෙවත් යටපත් මතකයන් (repressed memories) බව කිව යුතු ය. ඒවා මියගිය මුත්තණුවන් ජීවත්ව සිටි කාලයේ ඔහුගෙන් අසා ගත් සහ එදිනෙදා ජීවිතයේ දී එක් රොක් කරගත් ඒවා මිස කිසියම් අද්භූත ක්‍රමයකින් ඔහුගේ මනැසට ආරෝපණය වන ඒවා නොවේ. එහෙත්, මෙවැනි ප්‍රතිකාර ක්‍රමවල අප බොහෝ දෙනකු නොසිතන අවදානමක්ද තිබේ. එනම් මෙබඳු ස්වයං සරල මෝහනයකදී ඒ පුද්ගලයන්ගේ යටි සිත් තුළ ඇති විස්මෘති පූරක හෙවත් මතකය පුරවාලීමට යොදන හිස් වදන් (confabulation) ද බෙහෙත් වට්ටෝරු ලෙසින් එළි දැක්වීමට පහසු අවකාශයක් තිබිම ය. ඒ අනුව එවැනි ‘හිස් වදන්’ බෙහෙත් වට්ටෝරු ලෙස සලකන අයෙකුට සිදුවන්නේ “සයිබුගෙන් බෙහෙත් කෑ” මිනිහාට සිදුවූ දෙයමය.

ඒ කෙසේ හෝ මෙම විද්‍යාත්මක චින්තනය යටපත් කොට රන්බණ්ඩා තුළට පිවිසෙන මෙම එලොවින් ආ වෙද මහතා පිළිබඳ මතුපිට පුවත මාධ්‍ය මගින් රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මට ද පහසු අවකාශයක් තිබේ. එසේ කොට මා ඉන්පසු එම රන්බණ්ඩාගේ කළමනාකරු හෝ සම්බන්ධීකාරක ලෙස පෙනී සිටියහොත් එමගින් ඔහුට රුපියල් කෝටි ගණනක් උපයා දෙමින් අඩුම තරමින් රුපියල් ලක්ෂ ගණනක ආර්ථික ලාභයක් අත්කර ගැනීමට මට ද බැරිකමක් නැත. එහෙත් මාධ්‍යකරුවකු ලෙස පෙනී සිටිමින් මෙරට අසරණයන්ගේ ඉහ ඉන කණකර, ගේ දොර ඉඩකඩම් අහිමි කරමින් සහ එම රෝගීන්ට අකල් මරණ උදාකර දෙමින් එවන් ධනස්කන්ධයක් හිමිකර ගැනීම මට කෙසේවත් කළ නොහැක. ඒ වෙනුවට කිසිවක් කරකියා ගත නොහැකි දිනයක ජීවත්වීම පිණිස ඔබගේ ගේ දොරකඩට විත් ඔබට දොහොත් මුදුන් දී වැඳ ඔබගෙන් සිඟමන් යැදීම මට ඊට වඩා දහස් ගුණයක අභිමානයක් සහ ආඩම්බරයක් ගෙන දෙන්නක් බව හදවතට එකඟවම මෙහි සටහන් කරමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    මාධ්‍යවල මේ වගේ අයව ප්‍රමෝට් කරන්නෙ අත යට කුට්ටියක් ලැබෙන නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. සමහර විට එසේ ලැබෙන මුදල මාධටකරුවාගේ මාසික පඩියටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගෙ පසුම්බිය පිම්බෙනවා නම්.

  • 1
    0

    මෙය මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින පිළිකාවක් වැනි දැවැන්ත අර්බුදයකි. ඒ බව අපට පවසන්නේ ද මාධ්‍යවේදියකු විසිනි.මෙය මාධ්‍යවේදියකු විසින් පැවසීමෙන්ම මෙය කෙතරම් උග්‍ර තත්වයට පත් අර්බුදයක් ද යන්න පැහැදිලිය. සාමාන්‍යයෙන් කිසිදු ක්ෂේත්‍රයකයට අයත් පුද්ගලයෙක් සිය ක්ෂේත්‍රයට එරෛහිව අදහස් දක්වන්නේ නැත. එබැවින් මෙම මිනිස් දඩයම්වල එරෙහිව සියලුදෙනා එක්ව ක්‍රියා කළ යුතුය.

  • 0
    0

    මෙය බරපතල ප්‍රශ්නයක්.පාරිභෝගිකයා රැක ගැනිමට හරි හමන් නිති නැති රටක මෙවැනි අයට කල හැකි විනාශය අති මහත්.හොඳින් බලන්න.මොවුන් සැම විටම ඉලක්ක කරන්නේ බටහිර වෙදකමේ නශ්චිත.ප්‍රතිකාර නැති පිලිකා ,ඇදුම,දියවැඩියාව,වැනි රෝගයන්ය.එක් කාන්තාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ඩෙංගු නිට්ටාවටම සනීප කරන බව කීවා.මේ සියල්ලන් අහිංසක රෝගින් ගේ ජීවිත ඇපයට තබා තම මඩිය තරකරගන්නා දුෂිත අමනයන්ය.මෙවන් අයව අල්ලා නිසි දඩුවම් දිමට FCID එක වැනි බලගතු ආයතනයක් ඇති කල යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.