26 April, 2024

Blog

අසඩක් ඔබ කොහේද?

ආදරණීය අසඩක් මැතිතුමා වෙත ගෞරවයෙන්,

අපේ ප්‍රධාන නඩුකාරයා නිසි ලෙස පත් කරලා නැහැ කියලා කලින් හිටපු විනිශ්චයකාරවරියටම ආපසු වැඩ භාර දීමේ නාටකය දැක්කට පස්සේ තමයි මට ඔබව සිහිපත් වුණේ. ඔබ ඉන්නා තැනක් දන්නේ නැති නිසා මම හිතුවා අන්තර්ජාලයට ලියලා බලනවා කියලා. නඩුකාරයා කියන එකා හැම තිස්සෙම හොරෙක්, මෙදා සැරේ හොරෙක් නඩුකාරයෙක් වෙනව කියලා යකඩයෝ ඔබතුමා පත් කරන කොට මම හිතුවේ එහෙම වෙන්නේ ගෘසිනියාවේ විතරයි කියලා. එත් අපේ රටේ නඩුකාරයෝ දිහා බැලුවහම ඇත්තටම නඩුකාරයෝ හැම තිස්සෙම හොරු ද කියන ප්‍රශ්නේ වගේම හොරෙන් නඩුකාරකමට පත්වෙනවද කියන ප්‍රශ්නෙත් මට මතු වෙනවා. ඊයේ තිරගත වෙච්ච අධිකරණ රංගනය දැක්කහම පුංචි පරීක්ෂණයේ දී ගෘසිනියාවේ මහා ආධිපාදවරයා හැටියට කරුණු ඉදිරිපත් කරපු ඔබේ හැකියාව තේරුම් ගන්න පුළුවන් විදියේ යකඩයෝ අපේ රටෙත් හිටියනම් හොඳයි කියලා මට හිතුනා.

Mohanඔබ හොරෙක් බව ආඩම්බරයෙන් පිළිගත්තට අපේ නඩුකාරයෝ නම් කවදාවත් එහෙම කරලා නැහැ. සමහර විට නඩුකාරකමට පත් වුණාට පස්සේ උන් වහන්සේලා හොරු වෙච්ච නිසා ලෝගුවේ උණුසුමට තමන් හොරු බව ඔවුන් නොදැන හිටියාද දන්නේ නැහැ. අපේ එක නඩුකාරයෙක්ට අනාචාරයේ හැසිරීම කියන වරද නිර්වචනය කරන්න හැකි වුණේ නැහැ. එතුමා ඒ බව පිළිගන්නේ නැතුව රට වටේ ආලවට්ටන් දාපු දවස්වල මට හිතුණේ ඔබතුමා හිටියනම් “ඔව් යකෝ, මම අනුන්ගේ ගෑනියක් තියාගෙන ඉන්නවා!” කියලා විවෘත අධිකරණයේ පිළිගනී කියලා. තවත් නඩුකාරවරියක් බැඳීයා පිළිගැටුම ගැන දැනන් ඉඳලා නැහැ. එයාගේ මහත්තයට ලොකු රස්සාවක් දෙන්න මහාදිපාදවරු කටයුතු කළේ අල්ලසක් හැටිය ද කියලා එයා දන්නේ නැහැ. ඊළඟට හිටපු නඩුකාරවරයෙක් ධුරයෙන් ඉවත් වුණාට පස්සෙත් මහාදිපාදයාගේ උපදේශක වෙලා එතුමාගේ බෑණනුවන් පිටරට යවා ගත්තා කියලාත් චෝදනා තිබ්බා. සමහරු ගෙදර යනකොට මෝටර් රථ, විශාල මුදල් අධිකරණයෙන් අරන් ගියාලු විශ්‍රාම සුවෙන් ඉන්න.

අපි පොඩි කාලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්නකොට ඒකේ තිබ්බා අධිකරණ කියලා වෙනම කොටසක්. නඩුකාරයන්ගේ ස්වාධීනභාවය, අපක්ෂපාතිත්වය ආරක්ෂා කරන්න, හොර මැරකම්වලට එක්වෙන එක වළක්වන්නත්, ගෞරවාන්විත ලෙස ඉන්නත් ඕන නිසා ජනතා මුදලින් නොමසුරුව ඒ උතුමන්ට වියදම් කරලා හොඳ විශ්‍රාම වැටුපකුත් දෙනවා කියලා අපට පාඩම් කියා දීපු ඉස්කෝල හාමිනේ කිව්වේ නඩුකාරයන් හොරු වෙන බව නොදැන කියලයි මට හිතෙන්නේ. අද ඉන්න බහුතරයක් නඩුකාරයෝ වැඩ කරන හැටි බැලුවහම මේ සුදුසුකම් ගැන අහලා තියෙනවද කියලත් සැකයි.

පහුගිය කාලේ එක නඩුකාරියකට එල්ල කරපු චෝදනා ගැන හොයන්න ගියාම අනිත් නඩුකාරවරු ගත්ත ගෙවල් ඉඩම් ගැනත් දිගට හරහට තොරතුරු අවා. මේවා බොරු චෝදනා කියලා කිව්වට මේ ගෙවල් දොරවල් නම් හැබෑට තියෙනවාලු. කොහොම වුණත් නඩුකාරවරුන්ට එරෙහිව කාලෙන් කාලෙට සෝඩා බෝතල කැඩුවා වගේ කෑ ගැහුවට කවදාවත් හරි හමන් පරීක්ෂණ කරලා නැහැ. යකඩ නගුලටත් ගුල්ලෝ ගහන බව පිළිගන්න එකේ මේ ඉලව් ගැන හොයන එක ධන සම්පත් නාස්තියක් කියලයි අපේ සීයා කියන්නේ.

ඉතින් අසඩක් මේ ඊයේ ආපහු වැඩ භාරගත්ත නෝනා ඉක්මණින්ම ගෙදර යනවාලු. එතකොට හිස් වෙන නඩුකාර ධුරයට ඔබතුමාට එන්න බැරි ද කියලා අහන්නයි මම මේ ලියුම ලියන්නේ. මට මතකයි ඔබතුමා ප්‍රසිද්ධියේ කියනවා “මම ගන්නවා” කියලා. අපේ නඩුකාරවරු දිහා බලපුවහම විවෘත අධිකරණයේ ඒ වගේ සිංහ ගර්ජනා කරන ඔබතුමා ගැන ඇති වන්නේ පුදුම ආදරයක්. නටාලියා අබශ්විල්ලිගෙන් පගාව ගත්තට ඔබතුමා මයිකල්ව ගෘෂාට භාර දෙන කොට මට නම් හිතුණේ නැහැ ඒක අබ මල් රේණුවකවත් අයුක්තියක් කියලා. හැබැයි හොඳ වෙලාවට DNA සාක්ෂි ඉල්ලුවේ නැත්තේ. නැත්තම් මයිකල් අදත් දුක් විඳිනවා.

ඔබතුමා පගාව ගන්න බවට ගෘෂා චෝදනා කළාම ඔබතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අපි මස් රාත්තලක් ගන්න මුදල් අරන් ගියාට නීතිය ඉටු කරගන්න එන්නේ හිස් අතින්. ඒක දන්න මේ නඩුකාර හාමුදුරුවරු කරන්නේ පගාව දෙන මිනිහටම යුක්තියත් දීමයි. අපට ඕන උන්ගෙන් පගාව අරන් යුක්තිය අපට දෙන ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨයෙක්. අන්න ඒ නිසයි බංකොලොත්වෙලා ඉන්න අපට ඔබතුමාව නඩු කාරයා හැටියට ඕන.

අනික ඔබතුමා ඉදිරියේ ඕන දෙයක් භය නැතුව කියන්න අපි වගේ ගැත්තන්ට පුළුවන්. ඔබතුමාට මේ වගේ ලිපියක් ලියන මමත් “හොඳ අපූරු දවසක්, යමු බිලී බාන්න” කිව්ව බිම් පණුවා වගේ එකෙක්. එත් මම හැම වෙලාවේම හිතනවා “උඹලා මගේ දරුවෝ” කියලා උන්ගේ හිස ගසා දමන සාර් අධිරාජයා ඉස්සරහට ගිහින් උනත් “මම මගේ ස්වාමියා” කියලා බෙල්ල කපාගන්න පුළුවන් මිනිහෙක් මම කියලා. ඉතින් අපි වගේ මිනිස්සුන්ට සාධාරණයක් යුක්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබතුමා වගේ නඩුකාරයෙක් පත් වුණොත් විතරයි.

දැන් ඔබතුමා හිතන්න පුළුවන් බේබද්දෙක් හැටියට නම් දරාපු, පාදඩයන් ආශ්‍රය කරපු ඔබතුමා නිසා අපේ රටේ නඩුකාර ධුරයට අගතියක් වෙයි කියලා. පසුගිය දවස් වල නඩුකාරවරුන්ගේ කියුම් කෙරුවාවන් ඇහුවහම ‘වාතයට නහයක් නැහැ’ කියලා සයිමන් සශාවා කිව්වේ කට කහනවට නෙමෙයි කියලා හිතුණා. ඒක කිව්වට ඔබතුමා අධිකරණයට අපහාස කරා කියලා සයිමන්ට රිදී 10 දඩ ගැහුවා. ඒ වුණාට අපේ රටේ අධිකරණයට ඇත්තටම අපහාස කරන්නේ සයිමන්ලා, අපි වගේ සුළු මිනිස්සු ද නැත්තම් ලෝකේ පුරා බොරුකාරයෙක් ලෙස ප්‍රසිද්ධ වෙච්ච, අනාචාරයේ හැසිරෙන, සම්බන්ධකම් නිසා සිදුවන අගතීන් දන්නේ නැති, අපරාධකාරයන් ලවා විනිසුරුවරු පුරුදු පුහුණු කරන ආයතන පවා බලා කියා ගන්නා නඩුකාරයන් නිසා ද කියලා මට නම් තාම තේරුම් ගන්න බැහැ.

ඔබතුමා අයිරාක්ලී එක්ක අඩියක් ගැහුවා කියලා අපේ රටේ නඩුකාර ධුරයට ගැලපෙන්නේ නැහැ කියලා හිතන්නත් එපා. ඊට වඩා නමගිය වැඩ කරපු රෝහණ අයියා වගේ පොරවල් එක්කත් කාපු බීපු අය අපේ රටේ නඩු ඇහුවා. ආයෙත් මම කියන්නේ එහෙම කරලත් උන්නැහේලා යුක්තිය දුන්නේ සල්ලි කාරයාට මිසක් අපිට නෙමෙයි. අන්න ඒ නිසා ඔබතුමාට හැකිනම් අපේ රටේ මීළඟ නඩුකාරයා වෙලා අපේ අධිකරණය සුද්ද කරලා දෙන්න. අපි වගේ එවුන්ට එහෙම ආරාධනයක් එවන්න පුළුවන් වුණාට දෙන්න දෙයක් පොරොන්දු වෙන්න බැහැ මොකද මස් කැල්ලක් තියා කටුවක් ගන්නත් අපි ගාව පිච්චිය නැහැ. ඉඳලා හිටලා වඩියක් පෙරාගත්ත වෙලාවට නම් නොමසුරුව දෙන්නම්.

මේ ලිපියට ඔබතුමා යහපත් ප්‍රතිචාරයක් ඉක්මණින්ම දක්වනු ඇතැයි සිතනවා. මොකද මේ අධිකරණෙ සුද්ද කරන්න තියෙන්නේ දින සීයක් විතරක් නිසා. ඊට පස්සේ කොමිසමක් ද මොකක්ද එකකින්ලු නඩුකාරයා පත් කරන්නේ. දැන්ම අධිකරණෙ සුද්ද කරගත්තේ නැත්තම් ඒ වෙනකොට මොන මොන සෙල්ලම් බලන්න වෙයිද කියන භයෙන් අපි ඉන්නේ. ඉතින් අසඩක් මැතිතුමනි අපේ බලාපොරොත්තු සුන් නොකරන්න.

මීට ආදර

පුරවැසියා

ප.ලි. රිදීවලින් දඩ ගැහුවොත් ඔබතුමාට දින සියය ඇතුළත රිදී මාළිගයක් හදාගන්න පුළුවන් තරම් සුළු වැරදි අපේ රටේ වෙන බව මතක් කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.