පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝකප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙලේ ලිපියක් පලකරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත්වීම පිළිබඳව විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරු විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදුකරන ලද සුවිශාල අක්‍රමිකතා රාශියක් හෙළිකරන ලද අතර මහින්ද රාජපක්ෂ විසින් එම වරාය ඉදිකිරීමේ මුලික කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීමේ දී විශාල ආර්ථික පාඩුවක් ද, අක්‍රමිකතාවයන් ද සිදුකර ඇති බව හෙළිකරන ලදී. එසේම එම ඉදිකිරීම් කටයුතු වලදී ඉදිරිපත් වූ පරිසර හා ශක්‍යතා වාර්තා සියල්ලම යෝජනා කරන ලද්දේ වරාය ඉදිකරන ලෙස නොව එය අසාර්ථක ව්‍යාපෘතියක් වීමට ඉඩ ඇති බවත් මෙම ව්‍යාපෘතිය ඉදි නොකර සිටින ලෙසත්ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හැටපස්වන උපන්දිනයට ප්‍රථම එම වරාය ඉදිකොට විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් රාජපක්ෂවරුන්ට තිබූ බව එම පුවත්පත හෙළිකොට තිබේ. එසේම එම වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රථමයෙන් ලබාදීමට අපේක්ෂා කොට ඇත්තේ ඉන්දියාවට වුවත් ඉන්දියාව ඒ ඉදිකිරීම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ වෙනුවෙන් ඉදිරිපත් කොට තිබූ ශක්‍යතා වාර්තා වල තිබූ නිර්දේශ වලට අනුවයි. නමුත් ඔවුන් එම වාර්තා තඹ සතයකට මායිම් නොකර චීන සමාගමකට මෙම වරාය ඉදිකිරීමේ අතිවිශාල කොන්ත්‍රාත්තුව අධික පොලියට ලබාගත් ණය මුදලක් මත ලබා දී තිබේ. එම අවස්ථාවේදී ජපානය 0.5% ක පොලියක ණය මුදලකට එකඟ වී තිබියදීත් මෙහි මුල් කොටස චීනය විසින් ලබාගන්නා ලද්දේ සියයට තුනක අතිවිශාල පොලී අනුපාතයකට බව මෙම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. එසේම වරාය ඉදිකිරීමේ දෙවන සහ තුන්වන පියවරයන් සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති පොලී අනුපාතයන් සියයට තුනේ, හතරේ හා ඵවැනි ඉහළ පොලී අනුපාතයන් වේ. එසේම කෙටි කාලීන ණය මුදල්වල එම ණය මුදල් හැකි ඉක්මනින් ගෙවීමට ලංකාවේ ආණ්ඩුවට සිදුවන ලෙස අවාසි සහගත ගිවිසුම් වලට එළඹ ඇති බව එම ලිපිය පෙන්වාදෙයි. පසුගිය වසර තුන තුළ යහපාලන ආණ්ඩුව මුහුණදුන් දහසකුත් ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වූයේ හම්බන්තොට සුදුඅලි වරායයි.
එම වරායේ නඩත්තුව වෙනුවෙන් කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමට ඉඩ තිබූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබුණේය. එයට ප්‍රධාන හේතුව වූයේ හම්බන්තොට වරායෙන් කිසිදු ආදායමක් නොලබන අතර චීනයට ගෙවිය යුතු ණය වාරිකය ගෙවීම හා නඩත්තුව කොළඹ වරායේ ආදායම මගින් සිදුකිරීමට සිදුවී තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායද අර්බුදයට යමින් තිබුණි. ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතන කිහිපයෙන් එකක් වන කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමේ අවදානමකට ලක්විය. අවසානයේ මෙහි ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය එය ඉදි කළ china harbour සමාගමට වසර 99 කට හිමි වීමයි. එසේම ඒ වෙනුවෙන් ආණ්ඩුවට ඩොලර් බිලියන 1.26 මුදලක් ද ලැබුණි. නමුත් එම මුදල චීන සමාගම ලබාගත් ණය මුදලට වඩා අඩු වන අතර ඔවුන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ එම වරායේ කටයුතු මෙහෙයවීම සඳහා ආර්ථික මර්මස්ථානයක් ඉදිකරන බවට වූ පොරොන්දුවක් නිසාවෙන් එය වාසිදායක පස් ගනුදෙනුවක් ලෙස දක්වා සිටිය හැක.
ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඔහුගේ 2014 අග භාගයේ ජනාධිපතිවරණය සඳහා චීනයෙන් ඩොලර් මිලියන 7.5 ක අති විශාල මුදලක් ලබාගත් බවට ද එම ලිපිය මගින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි. සැබෑ ලෙසම ලංකාවේ ආර්ථිකය අති විශාල අර්බුදයකට පත්කිරීමට හේතු වූ මෙම චීන – ශ්‍රී ලංකා ගනුදෙනුවල සැබෑ තත්ත්වය ලංකාවේ ජනතාවට අවබෝධ කරදීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. විශේෂයෙන් ලංකාවේ ජාතික ආදායමෙන් රජයේ ආදායම 11% මට්ටමට ගෙන ඒමේ අති විශාල හානියක් ලංකාවේ ආර්ථිකයට සිදුකරන ලද්දේ මෙම චීන – ශ්‍රී ලංකා ණය ගනුදෙනු වලිනි. ලංකාවේ ආර්ථිකයට අනුව රජයේ ආදායම අඩුම තරමින් 22% මට්ටමේ තිබිය යුතු බවත් එය එසේ නොවන්නේනම් ලෝකය පිළිගත් මූල්‍ය ආයතනවලින් ලංකාවට ණය ලබා ගැනීමේ හැකියාව අහිමි වන බවත් ආර්ථික විශේෂඥයින් පෙන්වාදී තිබේ. නමුත් රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද්දේ රජයේ ආදායම ඉහල දමාගැනීම වෙනුවට චීන ණය මුදල් මගින් ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමයි. එහි උපරිම මට්ටමට 2014 වන විට ලංකා ආණ්ඩුව පත්ව තිබුණු අතර එම ණය මුදල් නැවත ගෙවීම ආරම්භවීමට නියමිතව තිබුණේ 2015 වසරේ සිටයි. යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ලංකාවේ ආර්ථිකය විශාල ගිනිකන්දක තත්ත්වයට පත්වී තිබුණි.
රාජපක්ෂවරු වසර පහකින් ජනාධිපතිවරණයට යොමුවන්නේ ජාත්‍යන්තර බලපෑමෙන් එම ආර්ථිකය තවදුරටත් චීන ණය මත ගෙන යා හැකි තත්ත්වයක් නොමැති අවස්ථාවකය. යහපාලන ආණ්ඩුව මේ රට බාරගත් දා සිට ආණ්ඩුවට තිබූ ලොකුම අභියෝගය වූයේ පාපැදි ආර්ථිකයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. මන්දයත් බංකොලොත් තත්ත්වයක තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට පවා ශක්තියක් නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ප්‍රතිසංස්කරණ ඉටුකිරීම පොරොන්දු වී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවට එම ප්‍රතිසංස්කරණ ඉටුකිරීමටත් වඩා, හොරු ඇල්ලීමටත් වඩා තම කාලයෙන් වැඩි කොටසක් වැය වූයේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමටයි. එනම් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකි තත්ත්වයට ලංකාවේ ආර්ථිකය ගෙනඒමටයි. එය දේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට යහපාලන ආණ්ඩුව පත්කළ ද එම කටයුතු සිදු කිරීම අනිවාර්ය කොන්දේසියක්ව තිබුණි.
රාජපක්ෂවරුන්ගේ විශාල දූෂණ හා අක්‍රමිකතා නිසා හපවී තිබූ ලංකාවේ ආර්ථිකය අද වන විට නිවැරදි පීල්ලට පැමිණ තිබේ. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යාමේ කිසිදු අපහසුවක් නොවන අතර රාජ්‍ය ආදායම 11% ක සිට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන 22% සීමාවේ ආසන්නයට යාමටත් ඒ අනුව අනාගතයේදී ඉතාම අඩු පොලියට දීර්ඝ කාලීන ණය මුදල් ලබා ගත හැකි තත්ත්වයකටත් රට පත්වී තිබේ.