28 March, 2024

Blog

ආණ්ඩුව, ප්‍රචාරය හා මිත්‍යාව 

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

යහපාලන රජය බලයට පත්වීමට ප්‍රථමයෙන් ලංකාවේ දේශපාලන සන්නිවේදනයේ කෙරුමෝ සියල්ල සිටියේ එවකට පැවති ආණ්ඩුව සමගිනි. ජනමාධ්‍ය ආයතන රාජපක්ෂවරුන්ට වහවැටී සිටියේය. මන්ද රජයේ මුදල්, ප්‍රචාරයට වියදම් කිරීමේදී කිසිදු වගවීමක් නොතිබුන රාජපක්ෂවරුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට ප්‍රචාරය දීමට ඔවුන් සැදී පැහැදී සිටියේය. රටේ සියලුම විද්‍යුත් ජනමාධ්‍ය ආයතන, පුවත් පත්, වෙබ් හා ලියන කියන මහත්වරු සියල්ල මහින්දගේ පැණිමුලට වහවැටී සිටියේය. විපක්ෂයට සතුව තිබුනේ මංගලගේ සම්බන්ධයන් තිබු වෙබ් පිටු කීපයත්, පිටරටවල සිට පවත්වගෙන ගිය රට හැර ගිය මාධ්‍යවේදීන් කිහිපදෙනුකු පවත්වාගෙන ගිය වෙබ් අඩවි කිහිපයකුත්, යුද හමුදාවේ බුද්ධි අංශය මගින් විපක්ෂයේ සටන් වලට යොදවා තිබු නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය වෙබ් පිටු 2ත් පමණි. (ඔවුන් කවුදැයි අප හදුනාගෙන සිටි අතර දැලිපිහියෙන් කිරි කෑමට ඉගැන්වූයේ අප අතරින් සදහටම වෙන් වූ අසංග කරුණාරත්නය. ඒ ගැන පොතක් වුව ලිවිය හැකිය) අවසාන මොහොතේදී හිරු එකතු වූ අතර සිරස වැනෙමින් නමුත් විපක්ෂයට යම් සහයක් ලබා දෙනු ලැබුවේය. මෙම තත්ත්වය නිසාම නිර්මාණශීලි තරුණ තරුණියන්ට සැලකිය යුතු ඉඩක් විවර වූ අතර නව යොවුන් වියේ සිටි කණ්ඩායම් ආණ්ඩු විරෝධී වෙබ් පිටු හා සමාජ ජාලා වැඩසටහන් වෙනුවෙන් පෙළ ගැසුණි. විශේෂයෙන් එවකට විපක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් බාරව සිටි බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය පිළිබද අද තරම් අවබෝධයක් නොතිබුන බැවින් තරුණ කණ්ඩායම් වලට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණි. මාගේ පුද්ගලික තක්සේරුවනම් මුළු රටේම ලක්ෂ පහක පමණ තරුණ පිරිසක් අවිදිමත් ආකාරයෙන් එම මැතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීමට කටයුතු කල අතර එය ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක වැඩිම ජන ක්‍රියාකාරිත්වයක් ලැබුණු අවස්ථාවයි. එම මැතිවරණ ව්‍යාපාරයේදී සමාජ මාධ්‍ය වෙනුවෙන් මුදල් වෙන් නොවුණු අතර ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශයකින් සිදු විය. කලකට ඉහත සමාජ ක්‍රියාකාරීන් වහවැටී සිටි PR ක්‍රමය හොදින් භාවිතයට ගත් අවස්ථාවක් විය. සමාජ මාධ්‍ය යනු තොරතුරු තාක්ෂණයට අදාළ විෂයක් නොව මනෝ සමාජයීය විෂයක් බව මා ලියු විට දේශපාලන සන්නිවේදක කෙරුමෙකු මේ ලියුම්කරුට සත පහ දැමු හැටි තවම මතකයේ තිබේ. (අවුරුදු තුනයිනේ )

ජනවාරි නමවැනිදායින් පසු යුගය ඊට පෙර දිනයට වඩා වෙනස් දිනයකි. සියලුම දෙනා වෙහෙස මහන්සි වී වැඩ කරද්දී එදා විපක්ෂ බලවේගය තුල තවත් අපුරු කණ්ඩායමක් විය. ඒ දේශපාලන සන්නිවේදන කෙරුමෝය. ඔවුන් බොහෝ කාලයක් විපක්ෂයේ ගතකොට පරාජිත මැතිවරණ රාශියක කටයුතු කොට විපක්ෂ බලවේග අතර නම් දරු කණ්ඩායමයි. ඔවුන් තුල අපුරු ආකල්පයක්ද විය. එනම් උඹලා ආණ්ඩුව ගනිල්ලකෝ අපිනේ රට කොරන්නේ යන ආකල්පයයි. සමහර අවස්ථාවල ඔවුන් එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කල අතර සබෑ ලෙසම එය එලෙසම සිදු විය.

ඉන්පසු පසුගිය වසර තුන තුල සැබෑ ලෙසම මෙම ආණ්ඩුව බලයට පත්කල බලවේග ආණ්ඩුවේ හෝ පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයට සම්බන්ධකරගැනීමට කිසිදු උත්සහයක් නොගත් අතර එම බලවේග පිළිබද එක්කෝ අවොබෝධයක් නොතිබිණි. නැතිනම් ඔවුන්ට සත පහ දැමිණි. එහි ප්‍රතිඵලය වුයේ සුපුරුදු හැම ආණ්ඩුවක් සමගම ගනුදෙනු කරන කණ්ඩායම් සමග කටයුතු කිරීමයි. එමගින් සිදු වී ඇති හානියෙහි දිග පළල මේ වන විට සියල්ලන්ටම අවබෝධ වී තිබේ. එසේ මෙම ප්‍රචාරක යාන්ත්‍රණයට පාක්ෂිකයින් සම්බන්ධ කරගැනීමට හැකියාව තිබූ බලවත් පුද්ගලයින් අදාළ තනතුරු සියල්ල පත්කරනු ලැබුවේ අරුම පුදුම දේශපාලනයකටය. එහි ගද අද ආණ්ඩුව පුරාමය.

දැන් ආණ්ඩුව පැමිණ තිබෙනුයේ තීරණාත්මක තලයකටය. ඉදිරි මාස දහඅටක කාලය තීරණාත්මකය. මොලය සේවයට කැදවිය යුතු මොහොත මෙයයි. මොලය පාවිච්චියෙන් මිස වෙන කිසිදු ශරීර අවයවයකින් මෙම මොහොත ජයගත නොහැක්කේය. මේ මොහොතේ භාවිතයට ගත හැකි සෑම සම්පතක්ම, පුද්ගලයෙක්ම හා අදහසක්ම වටින්නේය. කුඩුකේඩුකම් වලට ඉඩක් හෝ කාලයක් නැත්තේය. නිවැරදිව මේ මොහොත කළමනාකරණය කල නොගතහොත් ආණ්ඩුව පමණක් නොව රටද, ජීවිතද අහිමි වනු ඇත.

නැවත සමාජ මාධ්‍ය වලට දේශපාලන අධිකාරී බලයක් ලැබෙනුයේ ජාතික මැතිවරණයක් තුලදීය. එය කෘතිමව පාලනය කල හැකි සීමාවක් තිබේ. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රචාරයට නිවැරදිව යොදා ගැනීමත්, එම තත්ත්වය පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය මෙහෙයවීමත් කල යුතුය. ආණ්ඩුවට අද දේශපාලන තර්ජනයක් තිබෙනවානම් ඒ ප්‍රධාන වශයෙන් ලංකාවේ ⁣පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකින්. ඒවා කලමනාකරණය කරන අතරම රජය මාධ්‍ය දේශපාලනිකව කලමනාකරණය කල යුතුය. ඉදිරියේදී පැමිණෙන පළමු මැතිවරණය පැහැදිලිය. ඒ ජනාධිපතිවරණයයි. ඒ සදහා ඉදිරිපත්වීමට සුදුසුම පුද්ගලයා වනුයේ රනිල් වික්‍රමසිංහය. ඔහු ඉදිරිපත් නොවන්නේනම් පමණක් තවත් එක්සත් ජාතික පක්ෂ නායකයෙකුට ඉඩ ඇත්තේය. 

අවසාන වශයෙන් කිවයුත්තේ වර්ථමාන ආණ්ඩුව තුල සියලුම වර්ගයේ මිනිසුන් සිටි. මෙවැනි සංකීර්ණ ආණ්ඩුවක් නිදහසින් පසු බිහිවී නැත්තේය. එසේම ආණ්ඩුව විසින් රටට ලබාදී ඇති ජයග්‍රහණ බොහෝය. ඒවා ඉටුකරගන්නා මාර්ගය ඇත්තේ කටු උගුල් වලින් පිරි මාර්ගයකය. මෙම මාර්ගයේ සීරුවෙන් ඉදිරි කාලය ගමන් කිරීමෙන් පමණක් 2020 ජයගත හැකිය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    THUSHARA: Ranil is always meditating saying IAM GOOD, I KNOW EVERY THING AND SOME HOW I WILL COME BACK. So, do not worry. Inter Religious group will nominate him when the time comes. Mahinda Rajapske may be come the Prime minister.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.