26 April, 2024

Blog

රනිල්ගේ මොහොතයි ..

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේනම් ඒ ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුල ජාතිවාදී නායකයෙකුට බලයට පත්වීම සම්පුර්ණයෙන් වැළැක්වීමට කටයුතු කොට තිබුණි. මන්ද රටේ ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතින් අතරද 50 50 ලබා ගනිතියි පුර්ව නිගමනයක් අනුව 1978 දී ජනාධිපති ධූරය බිහි කෙරිණි. 1978 දී රටේ සිවිල් යුද්ධයක් නොතිබුන අතර ප්‍රභාකරන්ද දේශපාලනය තුල නොසිටියේය. එවැනි තත්ත්වයක් තුල ප්‍රධාන පක්ෂ දෙකට ලග ලග ප්‍රබල තරගයක් දී ආකර්ෂණීය නායකයා ජනාධිපතිවරණයක් දිනනනු ඇත. 1982 දීත්, 1989 දීත්, ගාමිණී දිසානායක ජීවත්ව සිටියේනම් 1994 දීත් සිදු වන්නේ එයයි. නමුත් 1989 ජනාධිපතිවරණයෙන් පසු 2010 දක්වා සියලුම ජනාධිපති මැතිවරණ වල ජයග්‍රාහකයා තීරණය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එහිදී රනිල් ඉදිරිපත් වූ 2001 හා 2005 මැතිවරණයන් වල තීරක බලය වුයේ ප්‍රභාකරන්ය. එනම් 1999 මැතිවරණයේදී වැරදුනු බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට චන්ද්‍රිකා මැතිණිය නිකම්ම දිනුවේය. එසේම 2005 දී මහින්ද හා ප්‍රභාකරන් හවුල උතුරේ හා නැගෙනහිර දෙමල ජනතාවට මැතිවරණ වර්ජනයකට බල කොට වැඩි ඡන්ද හතලිස්දහසකින් රනිල් පරාජය කළේය. ප්‍රභාකරන් නොසිටියේනම් එම මැතිවරණ දෙකම ජයගන්නේ රනිල් වික්‍රමසිංහයි.

ඉන් පසු එළඹි යුගය තුල සිංහල ජාතිකවාදී පදනමකින් රාජපක්ෂවරු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකුණේ වැඩි බලයක් ගොඩනගා ගත්තේය. සැබවින්ම රටේ සියලුම සුළු ජාතීන්ට රනිල් වික්‍රමසිංහ හැර සියලුම ජාතික මට්ටමේ නායකයින් කොකා පෙන්වමින් ඔවුන්ගේ දේපල හා ජිවිත අනතුරේ හෙලන්නේය. ලංකාවේ ජනගහනයෙන් 31% වන සිංහල නොවන ජන කොටස් වල විශ්වාසය 80% ටත් වඩා දිනාගත් නායකයා රනිල් වික්‍රමසිංහය. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම ඕනෑම තත්ත්වයක් යටතේ 35%කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වන අවස්ථාවක කිසිදු වෙනත් අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයක් ජයගත නොහැක්කේය. සැබවින්ම 2015 ජනාධිපතිවරණයේදී ලංකාවේ දකුණේ සියලුම සිංහල ආසන වලින් ජනාධිපති සිරිසේන පරාජයට පත් වූ අතර ඔහු ජයග්‍රහණය කරනු ලැබුවේ උතුරු නැගෙනහිර ඡන්ද වලින්ය. එම ඡන්ද සියල්ල ලැබුනේ රනිල් වික්‍රමසිංහට වන අතර උතුරු, නැගෙනහිර ජනතාවගෙන් 33% ක් සිරිසේනගේ නමවත් අසා නොතිබුණු බව එවකට සමීක්ෂණයකින් හෙළිවිය. මා පෞද්ගලිකව කල්පනා කරනුයේ 2015 මැතිවරණයද රනිල් ඉදිරිපත්කොට එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට හැකිව තිබුණු බවයි.

රටේ ආර්ථිකය පිළිබද දැක්මක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් ජීවිතයම කැපකළ, ජාත්‍යන්තරය දිනාගත්, රටේ සියලුම ජනකොටස් එක මිටකට ගොනු කල හැකි පරිනත නායකයා රනිල් වික්‍රමසිංහය. ඔහු දේශපාලන භූමියෙන් අතුගාදැමීමට සතුරන් දශක ගණනාවක් තිස්සේ උත්සහ කලද ඔහු නොදැවී දසක හතරක් දේශපාලන භූමියේ ප්‍රධාන භූමිකාව ඉටුකරයි. පසුගිය දශක හතර තුල ඔහු රටේ ප්‍රධාන ධාරාවේ පත්තරවල, ගුවන්විදුලියේ, රුපවාහිනියේ හා අද සමාජ මාධ්‍යවල කතා බහට ලක්වන නායකයාය. දශක හතරක් අඛණ්ඩව දේශපාලනය තුල මධ්‍යගතවීම ඉතා අසීරු කාරණයකි. පසුගිය දශක තුන තුල ඔහුගේ නම මාධ්‍ය වල නොකියවුණු දවසක් නොමැති තරම්ය. එවන් නායකයෙකු සතු එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන හා ලැබිය යුතු, ජයග්‍රහණ කලහැකි නායකයා රනිල්ය.

එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක් පවත්වාගෙන යාම ඉතා අසීරු කාර්යකි. එහි පුර්ණකාලින සේවකයින් සියගනනකි. ඔවුන්ට පඩිනඩි ගෙවිය යුතුය. පැමිණෙන සෑම මැතිවරණයකටම මුදල් වියදම් කොට තරග කල යුතුය. දේශපාලන අර්බුද වලදී වුවද බොර දියේ මාළු බාන ජනතා සේවකයින්ට කෝටි ගනනින ගෙවිය යුතුය .පක්ෂ සම්මේලන, මැයි දින පැවැත්විය යුතුය. මේවාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවශ්‍ය අතර එම මුදල් ලබාදෙන පාක්ෂිකයින් සිය ගණනක් සමග ලග සම්බන්ධයක් පවත්වාගත යුතුය. එවැනි භාරධූර තනතුරක් ආණ්ඩුවේ සල්ලිවලින් උදේට කෑමවේල ගන්න, දාන මාන දෙන හිස් මිනිසුන්ට කල නොහැකි වේ. එසේම ලක්ෂ 40ක් ඡන්දය දෙන පක්ෂෙක දිනපතා දහසකුත් ප්‍රශ්න ඇති වේ. ඒවාට මුහුණ දිය යුතුය. ආණ්ඩුවේ කටයුතු, පක්ෂයේ කටයුතු, සතුරු කරදර සමග කටයුතු කිරීමට ඉතා දියුණු දැක්මක් හා හැකියාවක් තිබිය යුතු අතර රනිල්ට එය හොදින්ම තිබේ. මාධ්‍යවේදී ළමයෙකුගේ මයික් එකකකට ප්‍රකාශයක් දුන් පලියට නායකයෙකු වී පක්ෂයක්, ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැක්කේය. රුපියලක් වියදම් නොකොට මිනිසුන් සියයක් කැදවා ගෙන නොපැමිණ විනාඩි පනස් පහක් ජනතාව ඇමතිය හැකි ලජ්ජා නැති නායකයින්ද සිටින පක්ෂයක් පවත්වා ගෙන යාම ඊටත් වඩා අබියෝගයකි. රටේ මාධ්‍ය මාපියාව කකුලෙන් අදිමින් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් එයට අඩු වැඩි වශයෙන් කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතිගාමී බලවේග සම්බධවෙද්දීත් පක්ෂයත්, රටත්, තමනුත් ආරක්ෂා වෙමින් යාම සෑහෙන අසීරු දක්ෂ වැඩකි. බොහෝ සීනි බෝල නායකයින් වීරයින් වන්නේ මයික් ඉදිරියේය. සැබවින් ඔවුන් පුස් වෙඩිය, ගැලරි සර්කස් වරුය.

මේ මොහොතේ මේ රටේ හා ජාත්‍යන්තරයේ දේශපාලනය කළමනාකරණයට මෙන්ම, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැකි, එමෙන්ම ඒවා විශ්වාශ කරන නායකයා රනිල් වික්‍රමසිංහ වේ. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පෙනෙන තෙක් මානයක තවම නැත. නමුත් ආණ්ඩුව පවතින මොහොතේ නායකයින් බිහිවනු ඇත. එසේ බිහිවන නායකයින්ට පක්ෂයේ වගකීම් පවරා දෙමින් හතලිස් වසර නොදැවුණු දේශපාලන ඉනිමක් ක්‍රීඩා කල රනිල් නම් පරිනත නායකයාගෙන් මෙරටේ සුක්කානම ලබාදී, හැකි උපරිම සේවය ලබාගත යුතුය.

කවුරුන් කෙසේ කීවද, කෙතරම් කුමන්ත්‍රණ තිබුනද රටේ ආර්ථිකය 2014 තිබුනාට වඩා නිරෝගීය. එය නැවත බලාපොරොත්තු තබාගත හැකි මට්ටමට පත්වී තිබේ. එම ක්‍රියාවලිය සාර්ථක කිරීමට විභවහාත්මක හැකියාවක් ඇති නායකයා රනිල්ය. මේ මොහොතේ පක්ෂයත් ආණ්ඩුවත් වෙනුවෙන් කිඹුල්කදුළු හෙලනුයේ එහි සතුරන්ය. එමෙන්ම මිතුරු වෙසින් සිටින සතුරන්ය. එබැවින් පක්ෂයේ ශක්තිය රනිල්ට ලබාදිය යුතුවේ.

එසේම මෙම මැතිවරණයේ තීරණාත්මක බලවේගය වන්නේ සිංහල මධ්‍යම පන්තියයි .පසුගිය වසර කීපය තුල මෙම පන්තිය ශ්‍රී ලංකික සමාජය තුල වේගයෙන් ප්‍රසාරණය විය. මෙය ලංකාවේ දැන උගත් පන්තියයි. යමක් පැහැදිලි කර දී අවබෝද කල හැකි සමාජ කණ්ඩායමයි. එසේම තමන්ගේ හැකියාවන් කුසලතාවයන් විශ්වාස කරන ඒවා තමන් සතු රටේ ආර්ථිකයට ක්‍රියාකාරීව දායක වන අන්තර් තොරතුරු නිරන්තරයෙන් හුවමාරු වන කොටසයි. මෙම කණ්ඩායමට ඇමතීම රනිල් වික්‍රමසිංහට අපහසු නොවන අතර එම ජන්ද ඉතාම ලේසියෙන් ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ අගමැතිවරයාය. එසේම මේ මොහොතේ එම පන්තියේ වඩාත් ජනප්‍රිය නායකයා වන චම්පික රණවක ඇමතිවරයාගේ හා එකස්ත් ජාතික පෙරමුණේ ආශිර්වාදය හිමිව ඇත්තේද අගමැතිවරයාට බැවින් මේ මොහොත ඇත්තේ රනිල් වෙනුවෙන් බව මාගේ හැගීමයි .ඉන්පසු 

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහිකොට රටේ මුළු බලය ප්‍රතිසංස්කරණ සදහා ඉල්ලා සිටිය යුතුය. එසේම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සිවී වැඩ කල යුතු පක්ෂයේ තරුණ පිරිස් වෙත බලය ලබා දියයුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    2

    වන්නිආරච්චි මහත්තයෝ මහ බැංකුවේ මං‌ෙකොල්ලය ගැනත් වචන කීපයක් හරි ලියන්න බැරිද?

  • 2
    2

    තුෂාර වන්නිආරචිචි ඔයා ශ්‍රීලංකාවෙද ඉන්නෙ? මෝඩ කතා ලියල රට හිනස්සවන්න එපා. UNP විනාශ කළේ රනිල්. මෙි ගෞරවනීය පක්ෂය බිංදුවට බැස්සුවෙි රනිල්.
    මහබැංකු අධිපතිධූරයට අර්ජුන් මහේන්ද්‍රන් පත්කර UNP යේ මඩ තැවරැවෙි රනිල්.
    ඉතින් ඔයා කියන විදියට රනිල්ට දිනන්න පුළුවන් නමි ඇයි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පඹයො දාන්නෙ.
    ඔබල වගේ කුලියට ලියන අය නිසා තමයි UNP යට ගොඩඑන්න බැරි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.