26 April, 2024

Blog

ශිරන්ති චින්තන

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් අතර ඇතිවී තිබෙන අර්බුදයේ අලූත්ම තත්ත්වය වන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ තේරීම බවට ශිරන්ති රාජපක්ෂ පත්වෙමින් තිබීමයි. රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලයේ මර්මස්ථානය, නැතහොත් කේන්ද්‍රය වන්නේ මහින්ද රාජපක්ෂයි. එබැවින් මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුලේ දේශපාලන අභිලාෂයන් ඔවුන්ගේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ න්‍යෂ්ටික පවුලේ දේශපාලන අනාගතය යනු නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයයි. මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන තීරණ සියල්ලම ගනු ලබනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය පමණක් නොව රෝහිත රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂගේ අනාගතය ද ආරක්ෂාවන සහ පැවැත්මක් ඇතිවන නිවැරදි දේශපාලන තීන්දු තීරණ ලෙසය.

මෙහිදී සිංහල බෞද්ධ බලවේග වල හා මහින්ද රාජපක්ෂ සමඟ එක්කාසු වන මිලිටරි බලවේගවල ප්‍රමුඛ තේරීම ගෝඨාභය රාජපක්ෂ වුවද බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ ප්‍රමුඛ තේරීම වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයයි. නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මේ අවස්ථාවේදී රාජපක්ෂවරුන්ට ගත හැකි හොඳම තීන්දුව වන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා හෝ ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමයි. මන්දයත් එසේ දේශපාලන අධිකාරියට විශාල අභියෝගයක් එල්ල විය හැකියැයි මේ පිළිබඳව ඉතා හොඳ තක්සේරුවක් ඇති මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ රට තුළ ගොඩනැගෙමින් පවතින විපක්ෂයේ දේශපාලන බලවේග සියල්ල ගොනුකර ගත යුත්තේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මත ගන්නා තීන්දු තීරණ වලට බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණ ද වෙනත් දේශපාලන බලවේග වලට මුහුණ දිය හැකි එම කුරිරු සරදමට මුහුණදීමට රාජපක්ෂවරු තවදුරටත් සූදානම් නැති බව ඔවුන්ගේ වර්තමාන දේශපාලන හැසිරීමෙන් හොඳින්ම විද්‍යාමාන වේ.

නාමල් රාජපක්ෂද මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හෝ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වීමට තවත් අවුරුදු හත අටක් සිටිය යුතු අතර එතෙක් රාජපක්ෂවරුන්ගේ අභිලාෂය වන්නේ රාජපක්ෂවරුන් සතුව ඇති දේශපාලන වාසිය ශ්‍රී ලාංකික සමාජය තුළ තවදුරටත් පවත්වාගෙන යාමය. සැබැවින්ම ඔවුන් නාමල් රාජපක්ෂ සූදානම් වීමට පෙර නැවත බලයට පැමිණියහොත් එම අවස්ථාව ගිලිහී යනු ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි. එසේම ඔවුන් උත්සහ කරනුයේ එම අවස්ථාව ද හැකිතාක් දුරට නාමල් රාජපක්ෂට සමීප බලවේගයකට ලබාගැනීමයි. මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයාට ඉදිරිපත්වීම තාර්කික නොවන අතර ඔවුන්ගේ ප්‍රමුඛ සහ එකම තේරීම බවට පත්විය හැක්කේ ශිරන්ති රාජපක්ෂ මැතිනියයි. නාමල් රාජපක්ෂගේ දේශපාලනය වෙනුවෙන් තම ජීවිතය කැප කළ හැකි එකම මෙලොව වෙසෙන පුද්ගලයා ඒ නාමල් රාජපක්ෂගේ මව වන ශිරන්ති රාජපක්ෂ මැතිනියයි. ඒ අනුව 2020 ජනාධිපතිවරණයේ දී අපට බොහෝ විට හමුවිය හැක්කේ ශිරන්ති රාජපක්ෂ මැතිණිය බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. බැලූ බැල්මට ඔවුන්ගේ ගණන් බැලීම වන්නේ සිංහල බෞද්ධ ඡන්ද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේග ගොඩට ලබාගත හැකි අතර ද්‍රවිඩ හා සිංහල කතෝලික ඡන්ද ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂගේ නායකත්වයෙන් ඉතා පහසු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ශිරන්ති රාජපක්ෂට සහයෝගය දක්වන පිළෙහි තක්සේරුවයි. අප එකඟ වන්නේ මහින්ද රාජපක්ෂගේ තීන්දුවට බව පුනපුනා කීමේ කතාන්දරයේ යතාර්ථය වන්නේ ඔවුන් එකඟ වන්නේ ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂකත්වයට බවයි.

විශේෂයෙන් වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම වැනි අය ගෝඨාභය රාජපක්ෂට එල්ල කරනු ලබන ප්‍රධානතම චෝදනාවක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශීය ධනපති පංතියේ ගැහැණුන් හා පිරිමින් මෙන්ම හමුදාමය නායකත්වයෙන් යුත් නායකයින්ගෙන් සමන්විත වූ ගෝඨාභය රාජපක්ෂගේ බලවේගය මේ රටට ඉතාම අහිතකර හා මේ රටේ ජනතාව හා සමාජය සූරාකන්නන්ගේ අභිලාෂයන් ඉටු කරන්නන් බවයි. එම නිසා එම තත්ත්වයෙන් මිදීමට මෙන්ම වහා ක්‍රියාත්මක වන පරිදි මහින්ද රාජපක්ෂගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම උදෙසාද ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ වෙනත් කිසිදු රාජපක්ෂවරයකු හෝ වෙනත් අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ජය ගැනීමට ඇති ඉඩකඩ අහුරාගැනීමක් බව ඔවුන්ගේ මතයයි. එසේම දෙමළ මුස්ලිම් හා කතෝලික ඡන්ද දිනා ගැනීමට ශිරන්ති රාජපක්ෂ වැනි අයෙකු යොදාගැනීම ඉතා හොඳ තීරණයක් බව එම පිලේ දේශපාලන විශ්ලේෂකයන්ගේ ද මතය වී තිබේ. විශේෂයෙන් විධායක ජනාධිපති ධූරය වැනි භාරධූර තනතුරක් දැරීමට ශිරන්ති රාජපක්ෂට හැකියාවක් ඇත්ද යන්න යම් අය ප්‍රශ්න කරන නමුදු ඔවුන් ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ ශිරන්ති රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධූරයට පත්වුවහොත් සැබෑ ලෙසම මේ රට පාලනය කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ විසින් බව ජනතාවට ඒත්තු ගැන්විය හැකි බවයි. මගේ පෞද්ගලික මතය නම් මෙම තර්කය මේ රටේ හෝ ලෝකයේ ඇති සියලුම සීලාචාර දේශපාලන ක්‍රමවේදයන්ට පටහැනි මුග්ධ තීන්දුවක් බවයි.

කෙසේ වුවත් විපක්ෂයේ මෙම ව්‍යාකූල තත්ත්වය තුළ ආණ්ඩුව උපරිම වාසි ගනිමින් ආර්ථික හා සමාජ දේශපාලනික සංශෝධන සිදු කරමින් තිබේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුළ බදු සංශෝධන පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර විගණන පනත දැනට සතියකට පමණ පෙර සම්මත කරගත්තේය. ඒ අනුව මෙම ආණ්ඩුව බලයට පැමිණීමේ දී ලබාදුන් බොහෝ පොරොන්දු ඉටුකරමින් තිබෙන බව කිව හැකිය. නමුත් මේ රටේ පොදු ජනතාව සමග ඉතාම පරිස්සමෙන් කටයුතු කළයුතු අසීරු දේශපාලන කාරණා සමඟ ගනුදෙනු කිරීම නිසාම මේ ආණ්ඩුවට එක්තරා ආකාරයක හානියක් ද සිදුවී තිබෙන බව කිවයුතුය. කෙසේ නමුත් 2015 ජනවාරි 8 වෙනිදා බලයට පැමිණ මෙසේ ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෙම ආණ්ඩුව බැඳී සිටී. ඒ වෙනුවෙන් ගෙවීමට ඇති වන්දිය කෙතරම් බරපතළ වුවද ජනවරමට පිටුපා යෑම කිසිදු ආණ්ඩුවකට කළ නොහැකිය. කෙසේ වෙතත් ජනවරම මත රැඳී සිටිමින් ඔවුන්ට පොරොන්දු වූ පොරොන්දු ඉටුකිරීම කළ යුතුය. එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව ප්‍රකාශකර සිටින්නේ ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂකත්වය පොදු දේශපාලන අවස්ථාවක තර්ජනයක් ලෙස නොසලකන බවයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.