ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය විරෝධී හැසිරීමකට සම්බන්ධවීමක් ආරංචිවීමත් සමග ඔහු මේ දිනවල සම්බන්ධවී සිටින දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදීම ජාත්‍යන්තර තරග තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.මෙම තහනමට හේතුව පැහැදිලිව සඳහන් කර නැති නමුත් නිල නොවන වාර්තා මගින් හෙළිවන්නේ ඔහු රාත්‍රී කාලයේ මිතුරෙකු සමග එක්ව කාන්තාවක් අතවර කිරීමට සම්බන්ධ වූ බවකි.
කටුනායක ගුවන්තොටුපල පොලීසියට අතවර සිද්ධියක් සම්බන්ධයෙන් විදේශික තරුණියන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ සහ තවත් තරුණයෙකුගේ නම සඳහන් වන බව පොලීසිය පවසා ඇත. මෙම පැමිණිල්ල අනුව අතවරය සිදු කරන්නට එක්වූ බව කියන ධනුෂ්කගේ මිතුරාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වල දී ධනුෂ්ක ගුණතිලක ද මෙම අතවරයට එක්වූ බව හෙළිව ඇත.
ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10 වන විට නවාතැනට පැමිණිය යුතු වුවත් සිද්ධිය වාර්තාවූ දිනයේ ඔහු එසේ පැමිණ නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සොයා ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. කාන්තාවකට අතවර කළ බවට වූ චෝදනාවට ධනුෂ්කවද අත්අඩංගුවට පත්වනු ඇති අතර සිද්ධියට අදාළ විනය කාරණා සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව වෙනම පරීක්ෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් ගනු ඇති බවට වාර්තා පළවේ.
ඔහු වෙත පනවා ඇති තරග තහනම මෙම තරගයෙන් පසුව ක්‍රියාත්මක වන අතර දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න විමර්ශන වලින් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පරිනත නිරෝගී තරුණයකු ලිංගික ක්‍රියාකාරකමක නිරතවීම නීති විරෝධී හෝ විනය විරෝධී හෝ නොවේ. එහෙත් යම්කිසි ආයතන ගත ව්‍යුහයකට බැදී සිටින අයකු එම ක්‍රියාකාරකමේ නිරත විය යුත්තේ ආචාරධර්ම පද්ධතියට එකගව ය. එසේම රටේ නීතිය නොතකා හැරීමට ද කිසිවකුට නොහැකි ය. ඒ අනුව පරිනත වූ පමණින් තම අභිමතය පරිදි ලිංගික කටයුතුවල යෙදෙන්නට කිසිවකුට අවස්ථාවක් නොමැත. ඔහු රටේ නීතියට යටත්විය යුතු අතර තමන් කටයුතු කරන ආයතනයේ ආචාරධාර්මික බැදීම් වලට ද යටත් විය යුතුය.
වාර්තා වන පරිදි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සාපරාධී ස්ත්‍රී දූෂණයක යෙදී ඇතැයි චෝදනා එල්ල වේ. ස්ත්‍රී දූෂණයක යෙදෙන්නට රටේ නීතිය අනුව කිසිවකුට අවස්ථාවක් නැත. මීට පෙර මෙවැනි චෝදනා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව එල්ල වූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රශ්නයෙන් මගහැර ගියේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිබව සදහන් කරමිනි. එහෙත් ආයතනයක් පවත්වාගෙන යෑමට නම් විනය අත්‍යවශ්‍ය බැවින් චෝදනාවක් එල්ලවූ වහා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම පැසසිය යුතු කරුණකි.
විනය විරෝධී කටයුතු කරන්නට තරුණයන් බොහෝවිට පෙළඹෙන්නේ පාසැල් අවධියේ විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන අවස්ථාවේ පටන්ම ය. සාමාන්‍යයෙන් ක්‍රීඩා, බාල දක්ෂ හා වෙනත් විෂය බාහිර කටයුතු වල යෙදෙන විට තරුණ පාසැල් ශිෂ්‍යයන්ට යම්කිසි නිදහසක් ලැබේ. ඒ නිදහස ඔවුන් භාවිතා කිරීමට පෙළඹෙන්නේ විනය විරෝධී අන්දමිනි. ක්‍රීඩා, කැඩෙටිං, බාල දක්ෂ හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වල දී බැහැරට ගොස් දින කිහිපයක් ගත කරන්නට සිදුවන අවස්ථා වල ලිංගික ක්‍රියා හා මත්ද්‍රව්‍ය පානය වැනි කටයුතු වලට තරුණ පාසැල් ශිෂ්‍යයන් යොමු වේ. බොහෝවිට ඔවුන් මේ කටයුතු කරන්නේ තම විෂය බාහිර ක්‍රියාකාරකමේ පුහුණුකරු සමග ය. එවිට එම කටයුත්ත කෙතරම් විනය විරෝධී වුවත් නොසලකා හැරේ. ක්‍රිකට්, පා පන්දු, රගර් හා කැඩෙට් වැනි විෂය බාහිට ක්‍රියාකාරකම් වල යෙදෙන ශිෂ්‍යයෝ ඒ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති ලිංගික සංස්කෘතිය ගැන හොද අවබෝධයක සිටිති. බොහෝවිට ඒ කටයුතු වලින් ඉහළට එන්නට නම් දක්ෂතාව මෙන්ම පුහුණුකරුට අවනතවීම ද අවශ්‍ය වේ.
බොහෝ පාසැල්වල විෂය බාහිර කටයුතු වල යෙදෙන පුහුණුකරුවන් ලිංගික අවශ්‍යතා සදහා ශිෂ්‍යයන් පොළඹවා ගන්නා අතර පසුව එවැනි කටයුතු සාමාන්‍ය සංස්කෘතික පුරුද්දක් වේ. ක්‍රීඩාවේ පාසැල් කණ්ඩායමට තෝරා ගැනීමට හෝ වෙනත් විශේෂ සැලකිල්ලකට ලක් කිරීමට නම් පුහුණුකරුට හෝ වෙනත් අදාළ වගකිවයුත්තෙකුට ලිංගික අල්ලස් ලබාදීම එතරම් දුලභ කරුණක් නොවේ. මේ සිද්ධී පාසැලක විදුහල්පතිවරයා හා ගුරු මණ්ඩලය පවා දනිති. එහෙත් පාසැලට යමක් කරන්නේ හා පාසැලේ නම බබලවන්නේ ඔවුන් යන සිවිල් බලය නිසා එවැනි ආචාර ධාර්මික නොවන හැසිරීම් වල යෙදෙන සිසුන්ට එරෙහිව විනය පියවර නොගනී.
ධනුෂ්ක ගුණතිලකලා බිහිවන්නේ මෙවැනි සංස්කෘතික පරිසරයක ය. එසේම මේ අන්දමින් ලිංගික චෝදනා එල්ල වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ද ඔහු නොවේ. බොහෝ විදේශ සංචාරයන් වල දී රෑ එළිවෙනකම් කාන්තාවන් සමග හෝටලවල ගත කර උදේ ක්‍රීඩාංගනයට පැමිණ අන්ත පරාජයක් අත්කර ගත් අවස්ථා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුලබ ය. එසේම වරක් එක් ක්රීඩකයකුට දඩුවම් කළේ අන්තර් ජාතික ක්‍රිකට් තරගයකට ගාල්ලට ගිය අවස්ථාවක දී පවා විනය ගරුකව සිටින්නට නොහැකි වූ නිසා ය. ඔහු ක්‍රිකට් තරගය පසෙක තිබිය දී කාන්තාවක සමග හෝටලයකට ගොස් රතී ක්‍රීඩාවේ යෙදී තිබුණි.
විරුද්ධ ලිංගික හැසිරීම් වල පමණක් නොව සමලිංගික හැසිරීම් වල යෙදීම නිසා ද ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් විනය ප්‍රශ්න වලට මුහුණ පා ඇත. වරක් එක් ප්‍රකට පන්දු යවන්නෙකුට චෝදනා එල්ල වූයේ විදේශ සංචාරයකට ඔහුගේ ප්‍රේමවන්තයකු කැටුව ගොස් තිබූ නිසා ය. එසේම විදේශ සංචාරයන් වල දී සාප්පු සවාරියේ යෙදී භාණ්ඩ හොරකම් කිරීම නිසා ද මීට පෙර ක්‍රිකට් ක්රීඩකයන්චෝදනා ලැබීය. මේ කුමන කටයුත්තක යෙදුනත් ඒ සියළු හැසිරීම් නීතියට හෝ ආයතන ගත විනයට හෝ එරෙහි විය හැකිය. එවිට ඔවුන්ට එරෙහිව විනය පියවර ගත යුතුය.
නමුත් ඉතිහාසය තුළ ක්‍රීඩකයන් විනය විරෝධීව කටයුතු කරන විට විනය පියවර ගත් අවස්ථා අල්පය. විරුද්ධ ලිංගික හෝ සම ලිංගික හෝ ඕනෑම ලිංගික ක්‍රියාකාරකම යෙදෙන්නට ක්‍රීඩකයන්ට අයිතියක් පවතී. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ ආයතනයේ විනයට හා රටේ නීතියට එකගව ය. මෙහිදී ප්‍රශ්න පැන නගින්නේ මේ ක්‍රීඩකයන් විනය ගරුක නොවන නිසා ය. ඊට හේතුව වන්නේ දැන් ක්‍රීඩාවේ අරමුණ විනයගරුක පුරවැසියන් බිහි කිරීම නොවන නිස විය හැකිය.
ඕනෑම ක්‍රීඩාවක අරමුණ වූයේ පෞර්ෂවත් සමාජයක් බිහි කිරීමයි. එහෙත් සමාජ පරිවර්තනයත් සමග ක්‍රීඩාවේ අරමුණු ද වෙනස් වී තිබේ. දැන් තරුණ තරුණියන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමුවන්නේ පෞර්ෂවත් චරිතයක් ගොඩනගා ගන්නට නොවේ. ඒ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට වෙළෙද පළක් පවතී. මේ නිසා බොහෝ ක්‍රීඩකයන් උත්සාහ ගන්නේ වෙළෙද පළ තුළ උපරිම වාසිය තමන් සතු කර ගන්නට ය.
ක්‍රීඩාවට ප්‍රවේශ වන තරුණයන් දැන් සිහින දකින්නේ මුදල් ඉපයීම ය. විශාල නිවාසයක් තනන්නට ය. සුඛෝපභෝගී වාහනයක් සතු කර ගන්නට ය. කහ පාටින් බැබලෙන කාන්තාවක් සරණ පාවා ගන්නට ය. මනුෂ්‍යයකුට මේ සියල්ල අවශ්‍ය විය හැකිය. එහෙත් ක්‍රීඩාවක අරමුණ විය යුත්තේ ඒවා නොවේ. ක්‍රීඩාවක් පැවතිය යුත්තේ මනුෂ්‍ය පෞර්ෂය ගොඩ නගන්නට ය.
නමුත් දැන් ඒ සමාජ පෙරලිය සිදුවී අවසන් ය. රන්ජන් මඩුගල්ලේලා, සිදත් වෙත්තමුනිලා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සමාජ වටිනාකම් දැන් ක්‍රීඩකයන්ගෙන් සමාජයට නොලැබෙන අතර ඔවුහු ක්‍රීඩාව නිසා ලැබෙන සිවිල් බලයෙන් විනය විරෝධීව හැසිරෙති.
සමාජයක් පාදඩකරණය වන්නට වීමත් සමග ඒ සමාජයේ ඉහළ ස්ථර වලින් විනය ගරුක සමාජ තීරු ඉවතට තල්ලු වේ. මේ වන විට ශ්‍රී ලංකා සමාජයේ සෑම සමාජ ස්ථරයකම මතු මහලේ ආධිපත්‍ය දරන්නේ පාදඩ සමාජ කොටස ය. එය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ආගමික සංස්ථා, විද්වත් ආයතන, රාජ්‍ය සේවය, අධිකරණය හා මෙකී නොකී සියළු සමාජ සංස්ථා වලට පොදු කරුණකි. එනිසා විනය ප්‍රශ්න පැන නැගීම සුලබ කරුණකි. නමුත් මෙහිදී අතිශය වැදගත් වන්නේ විනය විරෝධී චෝදනා එල්ල වූ වහා ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පරීක්ෂණ පවත්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙළඹීමයි. එය අගය කළ යුතු අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාජ සංස්ථා ද තම සේවාවන්ට එරෙහිව එල්ල වන එවැනි චෝදනා වල දී ඉක්මන් පියවර ගැනීමට මෙය පූර්වාදර්ශයක් කරගත යුතුය.