27 April, 2024

Blog

66 වියැති මහල්ලාගේ ගමනක අවසානය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි මහා සමුළුව පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය සනිටුහන් කළ තිඹිරි ගෙය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ උන්නතිකාමයයි.

මහ මුදලි පුත් එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වීමේ සිහිනය විශාල අභියෝගයක් ලෙස සැලකූ එක්සත් ජාතික පක්ෂයේ සේනානායකවරුන්, විජේවර්ධනලා, කොතලාවලලා බණ්ඩාරනායක කෙරෙහි දැක්වූ විරෝධයත්, සියුම් ඉරිසියාවත් නිසාම බණ්ඩාරනායක සිතෙහි එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ඇතිවූ වෛරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපතේ තිඹිරි ගෙයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේදී බණ්ඩාරනායක මහතා විසින් තෝරාගන්නා ලද සිංහල ජාතිකත්ව පදනම ඔහු පවා විශ්වාස නොකළ, ඔහුට පවා අවබෝධයක් නොතිබූ දේශපාලන තෝරාගැනීමක් විය.

1952 වන විටත් ඉංග්‍රීසියෙන් කතා කරන, හැඳි ගෑරුප්පුවලින් කනබොන කළු සුද්දෙකු වූ බණ්ඩාරනායක මහතා විසින් තෝරා ගන්නා ලද එකම රෙදි බැනියම් අඳින සිංහල ගැමියා වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂයි.

කොතලාවල වලව්වට රුහුණු මීකිරි ඇදීමෙන් විශ්‍රාම ගත් ඩී.ඒ. රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුව එම වේදිකාවේ ප්‍රධානතම සිංහල බෞද්ධ සංකේතීය නායකයා බවට පත්විය.

පසුකාලයක මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන ලද පුරෝගාමී කතාන්දරය එයයි.

කොම්පදෝරු ධනපතියන් වූ බණ්ඩාරනායකලාට, නිශ්ශංකලාට රාජපක්ෂවරු බලය ලබාගැනීම උදෙසා වූ දේශපාලන උපකරණ වූවා මිස දේශපාලන නායකයන් ලෙස කවදත් නොපෙනිණි.

උපන්ගෙයි  ප්‍රතිගාමීන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් රටට ඉදිරිපත් කළ මතවාදය වෙනුවෙන් හැකියාවක්ද, දැනුමක්ද, නොවුණු අතර, එයට වන්දි ගෙවීමට වූයේ විමලා විජේවර්ධන, කොල්ලුපිටියේ බුද්ධරක්ඛිත සුසංයෝගය සිදුකළ කුප්‍රකට කුමන්ත්‍රණයෙන් තම දිවි අහිමි කරගනිමිනි.

කොල්ලුපිටියේ බුද්ධරක්ඛිතවත්, විමලා විජේවර්ධනවත්, බණ්ඩාරනායකවත්, ශ්‍රී නිශ්ශංකවත්, රාජපක්ෂවරුවත් අවංක සිංහල බෞද්ධ නායකයන් නොවූ අතර, අඩුම තරමින් රාජපක්ෂවරු සතුව රෙදි බැනියම් අඳින සිංහල බෞද්ධ පෙනුමක් තිබුණි.

එම පෙනුමට මැලේවරුන්ගේ සාටකයද එකතු වූ විට සිංහල බෞද්ධ, ඉන්දියානු නොවන මැලේ පෙනුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කළේය.

මෙසේ ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 ආරම්භයේ සිට අද දක්වාම දේශපාලන අවස්ථාවාදීන්ගේත්, අවස්ථාවාදී නායකයන්ගේත් මහගෙදර වූ අතර, විටක එය මාක්ස්වාදී, සමාජවාදී දේශපාලන ව්‍යාපාරය වැලඳගත් පක්ෂයක් විය. 1970 – 77දී අත්හදා බැලූ පොල්පොට් පන්නයේ ආර්ථික වැඩපිළිවෙළ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ලංකාවේ සියලුම වාමාංශික පක්ෂවලටත් සිදුකරන ලද හානිය අතිමහත්ය.

අද ලංකාවේ පැරණි වමට මෝචරියෙන් පිටතට පැමිණීමට නොහැකිව ඇත්තේ එදා 70-77 යුගයේදී ශ්‍රී ලංකා පක්ෂයේ දුර්ධාන්ත පාලනයේ ප්‍රතිඵල නිසාවෙනි.

88-89දී දහස් ගණනක් කාඩර්වරු මරාදමා විනාශ කළ නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 -2006 දෙවසර තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් චන්ද්‍රිකා මැතිනියගේ සහභාගිත්වයෙන් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත් කරන ලදී.

1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊනියා විප්ලවය දෙමළුන් හා සිංහලුන් හරි මැදින් බෙදා වෙන් කළේය. එහි ප්‍රතිඵල වසර 30ක් දිග්ගැස්සුණු යුද්ධයකින්, ජීවිත ලක්ෂ ගණනකින් වන්දි ගෙවීමෙන්, රට සියවසක් පමණ පස්සට ඇද දමමින් විශාල විනාශයක් සිදුකළේය.

එමෙන්ම රාජපක්ෂ යුගයේදී ගලබොඩ අත්තේ ඥානසාර වැනි අබුද්ධික බෞද්ධ නායකයන් ශක්තිමත් කර මුසල්මානුවන්ට එරෙහිව කැරලි ගසා සිංහලුන් හා මුස්ලිම්වරුන් අතර තීරණාත්මක බෙදීම් රේඛා සනිටුහන් කළේය.

එහි ප්‍රතිඵල කෙසේදැයි දැන ගැනීමට අපට තාමත් කල් වැඩිය. නමුත් එක් කරුණක් නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. එනම් සිංහල මුස්ලිම් බෙදීම ශ්‍රී ලංකාවේ අනාගතයට හිතකර නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 66ක කාලය තුළ රටට දැයට හෝ ආගමට හිතකර කිසිවක් සිදුනොකරන නමුත්  ඔවුහු ප්‍රචාරණයේ කෙලපැමිණියෝ වෙති. වයස අවුරුදු 66ක මහලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෙවන ලද දුෂ්ට පවුකාර ජීවිතයේ අවසානයකට පැමිණ ඇත.

මෙහි අපූර්වත්වය වන්නේ එහි අවසාන කාලයේ දුකට සැපට බලාකියා ගැනීමට සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මුළු ජීවිත කාලයේම වෛර කරන ලද සතුරුකම් කරන ලද කුඩුකේරුකම් කරන ලද එක්සත් ජාතික පක්ෂය වීමයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ සරණය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද පවතින අර්බුධයෙන් ගොඩ ඒමට නම් ස්වයං විවේචනයකට යායුතු අතර, ප්‍රගතිශීලී දියුණු ලොවකට ගැළපෙන මතවාදයකට යොමුවිය යුතුය.

ඉතාම වේදනා සහගත ශල්‍යකර්ම රාශියක් මගින් කොටස් ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ යුතු අතර, අලුතින් වර්තමානයට ගැළපෙන කොටස් බද්ධ කළ යුතුය.

එසේ නොකළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ බෙදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය සනිටුහන් කරනු ඇත.

කවුරුන් කෙසේ කීවද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාර්ථනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානයයි. එබැවින් එජාපයේ කිඹුල් කඳුළුවලට නොරැවටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුතින් සිතීමට, අලුතින් සංවිධානය වීමට, අලුත් මිනිසුන් බිහිකර ගැනීමට කාලය එළැඹ තිබේ.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    What a load of crap! I would never waste my time on this muck raking ‘pattarakaraya’ again. Thank you for revealing your slavish party colors while being in the Yahapalana government, paid by poor tax-payers.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.