Colombo Telegraph

2020ට රෝස මලක්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ ඉතිහාසය තුල සිංහලයාගේ ආරම්භය පිළිබද පුරාවෘත්ත දෙකක් තිබේ. එකක් වන්නේ මහාවංශය කියන පරිදි සිංහබාහු හා සුප්පා දේවිය විසින් වංග දේශයේ සිට ලංකාවට පිටුවහල් කරන විජය නමැති ඔවුන්ගේ වැඩිමහල් කුමාරයා විසින් දේශීය යක්ෂ ගෝත්‍රික කුවේණියට ආලයක් පා ඇගේ ප්‍රේමය දිනාගෙන එය මත පදනම්ව, ඇගේ සහයෝගය ඇතිව කුවේණියගේ වර්ගයා පරදවා තම්බපන්නියේ මල්වතු ගගට දකුණින් (වර්තමානයේ විල්පත්තු වනාන්තරය) ගොඩනගා ගත් රාජධානියයි. එම රාජධානිය සිංහල ජනතාවගේ ආරම්භය හා ප්‍රථම සිංහල රාජ්‍ය ලෙස මහාවංශ කතුවරයා කියයි.

අනෙක් කතාව වන්නේ ඉන්දියානු රාමායනයේ එන රාම රාවණා හා සීතාගේ පෙම් පලහිලවුවයි. මෙහිදී රාම හා ඔහුගේ සහෝදර ලක්ෂමන සමග යුදවැදී සීතා පැහැරගෙන රාවණ විසින් ලංකාවට ගෙන එයි. එහිදී රාවණ හා සීතාගේ ප්‍රේමයත් මතින් සිංහල ජාතිය උපන් බව ලංකාවේ එක් ජාතිකවාදී කණ්ඩායමක් විශ්වාස කරයි. ලංකාවේ කෝනේෂ්වරන් කෝවිල වෙන් වී ඇත්තේ රාවණ වෙනුවෙනි. රාවණ යනු ලාංකික දෙමල, සිංහල සියලුම දෙනාගේ වීරයකි. වැඩියෙන් සීතාට ආදරය කරන ලද්දේ රාමද, රාවණද යන්න විමසන විවාද තරගයක්ද මේ ලියුම්කරු අසා තිබේ. ඉන් අදහස් වන්නේ මේ අන්දරය ලාංකික ජන සමාජය තුල හොදින් පැල පදියම් වී තිබෙන බවයි.

මේ කතා දෙක තුලින්ම අපට එක්තරා ආකාරයක ඉගියක් ලබාදෙයි. එනම් බලයට හා දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය පෙන්වා දීමටය. ලෝකයේ වැඩියෙන්ම ගීත ලියවී ඇත්තේ ප්‍රේමය පාදක කරගෙනය. සංගීතය නිර්මාණය වී ඇත්තේ ප්‍රේමය වෙනුවෙනි. සමාජයේ කුඩාම හා බහුලම සමාජ ආයතනය වන පවුල පවතින්නේ ප්‍රේමය මතය. මෙවන් තත්ත්වයක් තුල වසර දහස් ගනනකට පෙර සිංහල ජාතියේ ආරම්භය පිළිබද ජනප්‍රවාද ප්‍රේමය මුසු කොට ගොඩනැගීම ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා පටයක් මෙන් වෙතැයි මට සිතේ. ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා කෘතිය තුල ඇති ප්‍රධානතම තේමාව වන්නේ ප්‍රේමය හා ලිංගිකත්වය මත පදනම්ව මිනිස් සිත් තුල ඇතිවන රසායනික වෙනස්කම් වලින් ඔවුන්ගේ හැසිරීමට වන බලපෑම පිළිබදව වූ ෆැන්ටසියකි. නමුත් කළු කුමාර දෝෂය ලංකාවේ ගම්වල රූමත් කාන්තාවන්ට වැළදෙන බහුල මානසික ව්‍යාධියකි. විශේෂයෙන් රූමත් බව නිසාම දෙමාපියන්ගේ හෝ සැමියාගේ අධික රැකවල් යොදා පරිස්සම් කිරීමත්, එම නිසාම ආදරය හා ලිංගිකත්වය අඩුපාඩුව නිසාම එවැනි කාන්තාවන්ට ඇතිවන මානසික වියවුල නැතිනම් බිදවැටීම මෙම කළු කුමාර දෝෂය කියා හදුන්වයි. එම සිනමා පටයේදී කළු කුමාරයා ප්‍රේමය අබියසදී පරාජය වෙයි. නමුත් ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික තත්ත්වය මත මෙම පෙම් යුවලට ඔවුන්ගේ ප්‍රේමය සාක්ෂාත් කරගැනීමට නොලැබෙන අතර අවසානයේදී ඔවුන් නැවත හමුවන තුරු ප්‍රේමය නොමැරී සිත් තුල පවතී.

හතරවන ප්‍රේමය පිළිබද මගේ කතාව වන්නේ 19 වන සියවසේ එංගලන්තයේ රජකම් කල වික්ටෝරිය රැජින සම්බන්ධයෙනි. ලෝකයේ අද පවතින් පවුල් සංස්ථාව ගොඩනගන ලද්දේ එම රැජින විසිනි. එනම් ප්‍රථම වතාවට උපත් මරණ හා විවාහ ලියාපදිංචි කොට පවත්වාගෙන යාමත්, එසේම පවුල නමැති සමාජ ඒකකයට අවශ්‍ය ආචාරධර්ම පද්ධතිය ගොඩනැගුවේත් එම රැජිනියගේ කාලයේය. නමුත් ඇය විවාහවී සිටි ඇල්බට් කුමරුට අමතරව මුල් කාලයේදී ලෝර්ඩ් මෙල්බරෝන් සමගත්, ඇල්බට් හා මෙල්බරෝන් මියගිය පසු අබ්දුල් නමැති තමන්ගේ සේවකයෙකු සමගත් ගැඹුරු පෙම් සබදතාවයක් පවත්වාගෙන ගියේය. ඉන්දියාව, අප්‍රිකාව මෙන් සුරාකන ලද මහද්වීපයක් බවට පත් නොවුනේ රැජිනගේ හා අබ්දුල්ගේ පෙම් පලහිලුව නිසා ඇයට ඉන්දියාව කෙරෙහි වූ කැමැත්ත නිසා බව ඉතිහාසඥයෝ කියති.

මා මෙම ප්‍රේම කතාවන් හතරම කියන ලද්දේ එක කාරණයක් පැහැදිලි කිරිමටය. එනම් දේශපාලනයේදීත්, කලාවේදීත්, ඉතිහාසයේදීත්, ජතිකත්වයේදීත් ප්‍රේමය කෙතරම් බලගතු සාධකයක්ද යන්න පැහැදිලි කිරීමටය. ඒ අනුව 2020 දී එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද පාර්ශ්වය මගින් උත්කර්ෂයට පත්කොට ඉදිරිපත් කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂගේ ආදරය දිනු අපේක්ෂකාවියකි. ඇය ශිරන්ති රාජපක්ෂයි. රාජපක්ෂවරුන්ගේ අභ්‍යන්තර ප්‍රේම සමාගම විසින් එය සාදරයෙන් පිලිගනු ලබන අතර ඔවුන්ගේ දේශපාලනයේ මූලික පදනම වන නාමල් රාජපක්ෂ හා අනෙකුත් මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහින්ද තුල ඇති ප්‍රේමය 2020 අපේක්ෂකයා තෝරා ගැනීමේ මුලික හේතුවයි.

ශිරන්ති රාජපක්ෂ අපේක්ෂකයා වූ විට එය සාධාරණය කිරීමට ඉදිරිපත් කරනු ලබන හේතු, ප්‍රබන්ධ, විශ්වාසකරන ඒ මත යැපෙන ජාතියක් වශයෙන් ඔවුන්ගේ පිලේ අය ඒවා ඉතා පහසුවෙන් පිළිගනු ඇත. 2020 දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට මුහුණදීමට සිදුවනුයේ බල අරගලයකට නොව ප්‍රේම අරගලයකටය. එය ඉතිහාසයේ සිදු වුවාක් මෙන් ජනප්‍රවාදයට යන කාරණයක් වනු ඇත. එනම් ජාතියක හරි අඩක බලාපොරොත්තු ප්‍රේමය වෙනුවෙන් පාවා දුන් නායකයෙකු හෝ කණ්ඩායමක් ලෙස රාජපක්ෂවරු ඉතිහාස ගතවනු ඇත. වහලුන් නිදහස ලබන්නේ එදිනටය.

Back to Home page