25 April, 2024

Blog

වෙන්නේ මොකද්ද ?

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයේ දස වන දිනයත් උදා වෙමින් තිබේ. ආර්ථිකය විශාල අවුලකට පත් වී තිබේ. රුපියලේ දැවැන්ත කඩා වැටීම නැවැත්වීමට රට අභ්‍යන්තරයේ ඩොලර් සැපයුම ඉහල දැමීමට විදේශ සංචිත වලින් ඩොලර් මිලියන පනහක් පසුගිය දිනක නිදහස් කළේය. එය අනාගතයේ දී බරපතල ප්‍රතිපල ගෙන දෙනු ඇත, එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය සතියේ නිකුත් කිරීමට තිබු ඩොලර් බිලියන 2 ක ණය මුදල වහාම නවතා දමා තිබේ, යහපාලන රජය බලු බැනුම් අසමින් රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරනු ලැබුවේ මෙම ණය මුදල ඉලක්ක කර ගනිමිනි. එය ලංකාවේ අනාගතය අවුලෙන් අවුලට පත් කරනු ඇත. සැබවින්ම කුමන්ත්‍රණකරුවන්ද එයින් අවුල් වී තිබේ. මන්ද ඔවුන් බලාපොරොත්තු වූයේ එම ඩොලර් බිලියන 2 න් මැජික් දැමීමටය. පැය කිහිපයක හදිසි වීමක් මත ඔවුන්ට එම අවස්ථාව මග හැරී ගියේය.

ජපානය ඔවුන්ගේ ආධාර නවතා දමා තිබේ. සියලුම සීලාචාර ජාතින් සංචාරක තහනමක් පනවා තිබේ. පාර්ලිමේන්තුව කැදවා හැකි ඉක්මනින් නිත්‍යානුකූල ආණ්ඩුවක් ගොඩනගන්නේ නැතිනම් යුරෝපා සංගමය සම්බාදක පැනවීමට සුදානමක් පවතී. පාර්ලිමේන්තුවේ මුදල් වර්ෂය අවසන් වී ඇති බැවින් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දේ අපනයනයට මුදල් වැය කල හැකි තත්ත්වයක් රට තුල නොමැති වේ. නිලධාරීන් තීන්දු තීරණ ගැනීමෙන් වැලකි සිටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණය ඇන හිට තිබේ.

රටේ සියලුම සම්ප්‍රදායික මාධ්‍ය පක්ෂග්‍රාහීව කුමන්ත්‍රණයට සම්බන්ද වී ඇත. දේශපාලකයින් අතර විශාල මුදල් හුවමාරුවක් සිදුවෙමින් පවතී. ජනතාව එක්තරා ප්‍රමාණයකට අවබෝධයෙන් යුතුව නිෂ්ශබ්දව එදිනෙදා කටයුතු වල නිරිත වේ. නමුත් මේ නිසල බව අර්බුදයේ ගැඹුර කියා පායි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙය වීමට තිර අදිටනක කටයුතු කරනු දැකිය හැකිය. එම පක්ෂයේ ඉතිහාසය තුළත් ලංකා ඉතිහාසය තුළත් මෙම අරගලය තරම් තීරණාත්මක සැබෑ දේශපාලන අරගලයක් ඇති වී නොමැත්තේය. අනිත් අතින් ලංකාව ඒකාධිපත්වයකට යට වීමේ අවදානමක්, මිනිස් අයිතිවාසිකම් අහිමි වීමේ අවදානමක්, නීතියේ ආධිපත්‍ය කැළැ වැදීමේ අවදානමක් උදා වී ඇත්තේය. මෙය ලංකාවේ අනාගතය පිළිබද බරපතල හා තීරණාත්මක අවස්ථාවකි.

කෙසේ වෙතත්, පසුගිය දින දෙක තුළ ජනධිපතිවරයා විසින් මහින්ද පාර්ශවයේ හෝ කතානායකතුමාගේ පාර්ශවයේ කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වා නොමැත. ලැබෙන ආරංචි මාර්ග අනුව කතානායකතුමා ජනාධිපතිවරයාට දුරකතන ඇමතුම් අටක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉලක්කයක්, අරමුණක් හෝ සීලාචාර බවක් නොමැතිව ආණ්ඩුවක් ගොඩනැගීමට උත්සහ කරමින් සිටි. මහින්දගේ පාර්ශවය මුළු කාලයම යොදා ඇත්තේ,මුහුණ දී තිබෙන මෙම උභතෝකෝටික තත්ත්වයෙන් ගොඩ ඒමට උපාය උපක්‍රම සොයා ගැනීමටය. ඔවුන්ට එම පිල පාලනය කල නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර ලැබෙන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය තුළ මැතිවරණයක් කැදවා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය තම මුළු ශක්තියම යොදා ඇත්තේ 2015 ජනවරි 08 වැනිදා එකතු වූ බල මුළු නැවත සටනට කැදවා ගැනීමටය, ඔවුන්ට අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍ය අහිමි වී තිබේ. සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවුල් වී තිබේ. එම නිසා රටේ සියලුම් පාර්ශවයන් එක කොඩියක් යටට ගෙන එමින් සටන ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අරමුණයි. එමෙන්ම ඔවුන්ගේ පළමු තේරීම වන්නේ ප්‍රථමයෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් හෝ රාජපක්ෂවරුන්ගේ පාර්ශවයෙන් කැමැත්තක් නොදක්වන්නේනම් සටන මහා පාරට කැදවීමට ඔවුන් බල මුළු සුදානම් කරමින් තිබේ. එය ලේ සෙලවෙන ජීවිත අහිමි වන සටනක් බවට පත් වනු ඇති බව එම පාර්ශවයේ තක්සේරුව වේ. දැනටමත් ජාත්‍යන්තරය රට අභ්‍යන්තරයේ සිවිල් ප්‍රජා, සමාජ මාධ්‍ය හා දේශපාලන පක්ෂවල සහයෝගය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම සටන් පෙරමුණට ලැබී තිබේ.

කෙසේ වෙතත් රට මුහුණ දුන් මෙම අර්බුදකාරී හා බරපතල අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස භාවිතා කරමින් මේ රටේ පුරවැසියන්ට එය සටන් මරමස්ථානයක් ලෙස පවත්වා ගනිමින් රට තුළ නීතියේ ආධිපත්‍ය, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නායකත්ව දීම, මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ගත හැකි හොදම හා එඩිතරම දේශපාලන තීන්දුවයි. පරිනත වගකීමක් සහිත දේශපාලන නායකයෙකු ලෙස අගමැතිතුමා සමග අතවැල් බැද ගැනීමට මේ රටේ සිවිල් ප්‍රජාව තීන්දු කරනු ලැබුවේ මෙම දේශපාලන හැසිරීම මතයි.

කෙසේ නමුත් අවසාන වශයෙන් කිව යුත්තේ මතුපිට පවතින නිසල බව මෙම අර්බුදයේ ගැඹුර පිළිබදව අපට අදහසක් ලබා දෙයි. මෙම නිසංසල බව යට ඇත්තේ ගිනියම් වූ ලෝදියයි. එය කොයියම් මොහොතක හෝ පුපුරා යනු ඇත. එම නිසා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවා මෙම අර්බුදයට විසදුමක් ලබා නොදුන්නහොත්, ලේ වැගිරීමකින් මෙය අවසන් වීමට තිබෙන ඉඩ කඩ ඉතා වැඩිය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    දැන් තවත් ගොන් කතා ලියන්න එපා. රනිල් ඉවරයි.ඔයාගේ කුලියට කැහිල්ලත් ඉවරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.