
මීට කලකට ඉහත ෆේස්බුක් සමාජ ජාලයේ මගේ මිතුරෙක් විහිලුවට බෙදා ගත් හාස්‍යජනක පොස්ටුවක් මගේ මතකයේ ගලින් කෙටූ අකුරක් මෙන් පවතී. එහි කියවෙන්නේ “හොඳ ලී පාට නැත – පාටලී හොඳ නැත” යනුවෙනි.
පාඨලී චම්පික රණවක එල්ල කරගෙන ලියවුනු එම අහිංසක විහිලුව මට අද මතකයට ආවේ ඔහු අද දින මා සතියක් ම කවුරුන් හෝ කරයි කියා බලා සිටි “වික්‍රමය” කිරීම හේතුවෙනි. නමුත් පොස්ටුවට ඌණ පූරණයක් කර “හොඳ ලී පාට නැත- පාටලී හොඳ නැත – හැබැයි ඔහු බය නැත” යනුවෙන් එය වෙනස් විය යුතු යයි මම සිතමි.
2018 ඔක්තෝම්බර් 26 දින පක්ෂ, පාට, ජාති භේද දිය කරමින් දේශපාලන ලෝකයද, සාමාන්‍ය ජන ජීවිතයද කළඹවමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විසින් සිදු කරන ලද ප්රජාතන්ත්රවාදයේ මහා පාවා දීම ගැන අලුතින් කරුණු නොකිවමනාය. තමා රටේ නීත්‍යානුකූල අගමැති බවට රනිල් වීක්‍රමසිංහ පුන පුනා කීවද, එම ප්‍රකාශයට හෝ යහපාලනයට අවම ගරුත්වයක් වත් නොදක්වමින් “තක්කඩි අගමැති” මහින්ද සහ සිරිසේන විසින් පහසු ගෙවීමේ ක්‍රමයට කෑලි කඩා කැබිනෙට්ටුවක්ද, අමාත්‍යංශ ලේකම්වරුන්ද පත් කරගන්නා ලදී. මෙවැනි සසල වීමකට ඇත්තෙන්ම සූදානම් නැති එජාප ඇමතිවරුන්, මන්ත්‍රී වරුන් දිනක් පමණ වික්ෂිප්තව සිට ඊළඟට මෙම නින්දිත පාවාදීමට එරෙහිව පෙළගැසීම ආරම්භ කළ අතර ඉන් සමහරක් පොදු ජනයා සිතූ ලෙසම රාජපක්ෂ වෙන්දේසි පොලේ විකිණේන්නට පටන් ගත්හ.
රනිල් වික්‍රමසිංහ විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබුවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත්, තමා හට පාර්ලිමේන්තු බහුතරය ඇති බවත් ය. ජාතියේ මේ ඛේදජනක ඉරණමට වැඩියෙන්ම වගකිව යුතු පුද්ගලයකු බව බොහෝ දෙනාට අමතකව ගොස් ඇති කරු ජයසුරිය සිය බෑණා වන නවීන් දිසානායක සහ ඔහුගේ සොහොයුරා මයන්ත දිසානායක සමග 2018 දෙවන මහා පාවා දීම ඔවුන් එක වරක් ද කෙරූ ලෙස කරත් යයි ඉතිහාසය අමතක නැත්තෝ සිතූහ. නමුත් තවමත් කරු ජයසුරිය පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය පාවා දී නැත. එජාප මන්ත්‍රී වරු 17 දෙනෙක් සමග එජාප ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදු කර මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය කරු ජයසුරිය ජනප්රවාදයේ කියවෙන පරිදි මහින්ද රාජපක්ෂගෙන් කුණුහරුපයෙන් බැනුම් අසා කම්මුල් පහරක් කෑමෙන් පසු පියවි දේශපාලන සිහියට පැමිණ මල්වට්ටියක් අතින් ගෙන සිරිකොතට බඩගාගෙන පැමිණියේය. අඩුම වශයෙන් ඒ එන විට තමාගේ බෑණාව වත් රැගෙන එන්නට ඔහු අසමත් විය. එම මල් වට්ටිය සිරිකොතේ බුදු පිළිමයට පූජා කළ ඔහු නැවත එජාපයට පැමිණි අතර සිරිසේනට පමණක් දෙවැනි වන නින්දිත පාවා දෙන්නෙකි. නවීන් – මයන්ත බෑණලා ද, කරු ජයසුරියද කොයි මොහොතේ වුවද එජාපය පාවා දිය හැක. සිහි එලවාගෙන යූඑන්පී දේශපාලනයේ යෙදෙන දේශපාලන කිරිසප්පයෙකවත්, කරුණු කාරණා විශ්ලේෂණය කිරීමට සිහි බුද්ධියක් ඇති නිදහස් මතධාරී යූඑන්පී කාරයෙක්වත් මේ තිදෙනා ව විශ්වාස කරන්නේ නැත.
ඊයේ දින පාඨලී විසින් සිය අමාත්‍යංශයට ගොස් එහි නාමිකව හෝ සිටීමෙන් පෙන්වූ ධෛර්යය වැදගත් වන්නේ ඉහත සන්ධර්භය තුළය. ඓතිහාසික ව මුදලට විකිණේන්නන් සහ දශකයකට වඩා සිරස මාධ ජාලය හා එක්වී යූඑන්පිය උලා කන සජිත්, බුද්ධික පතිරණ වැන්නවූන් යූඑන්පියේ ජාතික පාක්ෂික ගහණය සෝදා පාලු කිරීමට දී ඇති දායකත්වය මෙතෙකැයි කිව නොහැක. රනිල්ට මුහුණට මුහුණ අභියෝග කර හෝ මහත්මා ලෙස පෞද්ගලිකව හෝ හමුවී ඊළඟ නායකත්වය සඳහා හෙට්ටු කිරීමට තරම් පෞරුෂයක් නැති දෙවන පෙළ දේශපාලකයන්ගේ නිවට බව හමුවේ එජාපයට පිටතින් ආගමනය වුනු පාඨලී එජාපයේ දෙවන පෙළ වෙනත් නායකයන්ට මෙවැනි විකෘත, සංකීර්ණ අවස්තාවක පෙන්විය නොහැකි වූ නායකත්වයක් සහ චරිත ශක්තියක් අද දින පෙන්වා ඇත. එය සංකේතාත්මක වුවද ඔහුව මේ ජරාජීරණ මඩ ගොහොරුවෙන් උඩට ඔසවා තබනු ඇත.
හොඳ ලී පාට නැත
ඉතා වටිනා සළු පිලි දෑස් නිලංකාර කරමින් දිලිසෙන්නේ නැත. ඉතා වටිනා දියමන්ති, ප්ලැටිනම් කෘතීම වීදුරු ගල් මෙන් දිලිසෙන්නේ ද නැත. වටිනා දැව වලින් තනන ගෘහභාණ්ඩ පොලිෂ් කරනවා විනා එවායේ ලාභ, පාට-පාට තීන්ත ගාන්නේ නැත. ඉතාම උගත්, ප්‍රභාශ්වර මනසින් යුතු සැබෑ විද්වතුන් අපිස් ජීවිත ගත කරන අතර කෑ මොර දෙන්නේ නැත. සජිත් ලන්ඩන් හි ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිලිබඳ ලෝක ප්‍රකට LSE විශ්ව විද්‍යාලයේ “ග්‍රීෂ්ම පාඨමාලාවක්” හදාරන්නට ගොස් එයද සම්පූර්ණ කර ගත නොහී නැවත පැමිණියේය. ඔහු ඉහත LSE හි උපාධිධරයෙක් ලෙස පෙනී සිටියදී සත්‍යය විකෘති කළ බව හෙළි වීමෙන් පසු ව්‍යාජ සුදුසුකම් ප්‍රකාශ කිරීම නවත්වා දැමුවේය. ඉතිරි එජාප දෙවන පෙළ නායකයන් ගැන මේ අවස්ථාවේ විශ්ලේෂණය නොකරන අතර මතු දිනකදී එය කිරීමට බලාපොරොත්තු වෙමි. කෙසේ වුවද පහල මධ්‍යම පන්තික පවුලක ඉපිද මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරුවකු ලෙස උපාධියක් ලත් පාටලී නිසග ධීමත් බවකින් යුක්තය. කරුණු විච්චේදනයෙහි සහ භාෂා කෞශල්‍යයෙන් හෙබි ඔහු ජනතාව ආලෝලනයෙහි සමත් චතුර කථිකයෙකි. ඔහු දේශපාලන අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් පොහොසත්ය. ඔහු ජන විඥානයෙන්,සාහිතයෙන් ද පොහොසත්ය. ප්රවේණි දේශපාලනයෙන් නොපැමිණි නිසා තාත්තලා, අම්මලාගේ මළ ගිය දේශපාලනය විකුණන්නේ නැත. සුමට ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය නොහැකි වුවද සංකීර්ණ සිතුවිලි ඉංග්‍රීසි භාෂාවෙන් තෙපලීමට ඔහු සමත්ය. සාමාන්‍ය පොදු ජනයා දැඩිව අප්‍රිය කරන “එජාපයේ කුල්ටුර් – කොළඹ සන්නිය” පාටලී ගෙන් විද්‍යාමාන නොවෙයි.
පාඨලී සම්ප්‍රදායික යූඑන්පී ප්රවේණි දේශපාලනයෙන් මතු නොවුණු හෙයින් ඔහුට කෲරත්වය, පීඩනය, අහිමි වීම දරා ගැනීමට විශාල හැකියාවක් ඇත. ඔහු ගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිදු හේතුවක් නිසා මා අදහස් නොදක්වන නමුත් ඔහුගේ පෞද්ගලිකත්වය සහ ලිංගික ජීවිතය මාධ්‍ය විසින් අපයෝජනයට ලක්කරමින්, ඔහු දියණයන් දෙදෙනෙකුගේ පියකු බව පවා අමතක කළ දේශපාලන-මාධ්‍ය ගරිල්ලන් ඔහුගේ චරිත ඝාතනය කළ ආකාරය අපි සැවොම දනිමු. නමුත් පාඨලී ඒ කිසිදු පාටක් සිය දේශපාලනයේ ගාවා ගත් බවක් නොපෙන්වා අවසානයේ එම කෲරත්වය කෙරෙහි තාදී ගුණය පෙන්වීමට සමත් විය. (ඔහුගේ සැබෑ ප්‍රතික්‍රියාව කෙසේ වීදැයි නොදනිමි. දේශපාලන කියවීම පමණක් සටහන් කර තබමි)
පාටලී හොඳ නැත
පාඨලීගේ ජාතිවාදී අතීතයේ හොල්මන් ඔහුගේ දේශපාලන ප්රතීකයන් තුළට නොදන්වා කඩා වදියි. ඔහු ගේ සිහල උරුමය, හෙළ උරුමය අතීතය, සිංහල වීර විදහන, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයට ආදියට ඇති සම්බන්ධය වැනි ලිබරල් ප්‍රජාත්නත්‍රවාදයට පටහැනි හෝ ඉන් අපගමනය වන අතීතය ඔහුගේ දේශපාලනය තුළ හොල්මන් කරයි.
ඔහුගෙන් ගම්‍ය වන දේශපාලන කර්කශභාවය ඔහු ව ප්‍රධාන ධාරාවේ මැදහත් පරිනත නායකයකු වීමට ඔහු තුළ ඇති ශක්‍යතාවය ප්‍රශ්නයට ලක් කරයි. පාඨලීගේ සාමාන්‍ය කතා විලාශය, මුහුණේ සෞම්‍ය පෙනුමක් අඩුවෙන් දක්නට ලැබීම, ඔහු කෙරෙහි තමාටම සැහැල්ලුවෙන් සිනාසීමට ඇති නොහැකියාව ඔහුව දේශපාලනය තුළ හුදකලා වීමට හේතු විය හැක. රනිල්ගේ අඳුරු පැයේදී ඔහුගේ හොඳ දැකීමට ඇතැමෙක් මැලි වුවද අඩ සියවසකට ආසන්න කාලයක් දේශපාලනයේ යෙදුනු ඔහුගෙන් පාඨලීට ඉගෙන ගත හැකි එක පාඩමක් ඇත. එනම් රනිල් පුද්ගලයකු වශයෙන් කෙතරම් සියුම් ගතිගුණ වගා කොට ගෙන ඇතිද යන්නයි. ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වෙද්දී මුහුණෙන් හෝ වචනයෙන් තරහ නොපෙන්වා සවන් දෙන ඔහුගේ මටසිලුටු ගති ගුණය ඔහුගේ දේශපාලන කල් පැවැත්ම සහතික කරයි. රනිල් අන් මත ක්‍රියාත්මක කළ ද නොකළ ද, ඔහු ස්වාර්ථය දේශපාලනය කෙසේ වුවද දේශපාලනයේ නොනැසී සිටීමට නම් කෝපය, කෲරත්වය, දැඩි මතධාරීත්වය, අනුන්ට ඇහුම්කම් නොදීම, තමන්ට අභියෝගයක් වන්නාව විනාශ කිරීම හෝ කොන් කිරීම වැනි තමාවම දවා හළු කරවන විභවයන්ගෙන් ඈත් විය යුතුය. රනිල් සර්වතෝභද්‍ර නොවෙයි. නමුත් සිය පෞද්ගලික ගෞරවය නොසිදවා දේශපාලන පීඩනයට ඔරොත්තු දීමේ කලාවෙහි කෙළ පැමිණියෙකි.
සුළු ජාතින් පිලිබඳ සැබෑ දායර්ද බවක් නැති වීම, සුළු ජාතීන්ගේ ජන දුක සුළු ජාතික දේශපාලනය හා පටලවා ගැනීම, ඔවුන්ගේ මානව අයිතීන් පිළිගැනීමට මැලි වීම පාඨලීගේ දුර්වලතාය. උතුරේ ජනයාට ඔවුන්ගේ මිය ගිය දරුවන් වෙනුවෙන් හඬා වැලපීමට, මරණ සහතිකයක් ඉල්ලීමට අයිතියක් ඇති බව පිළිගැනීමට පාඨලී මුලින්ම සිය හදවත නම්මවා ගත යුතුය.
ඒත් ඔහු බය නැත
අද දින පාඨලී සංකේතාත්මකව හෝ පෙන්වා ඇත්තේ ඔහු තුළ ඇති අදීන බවේ සහ නිර්භයත්වයේ ශක්‍යතාවයි. ඔහු තීරණ ගැනීමට නොපසුබට බවයි. 2006 වසරේදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ සමුළුව අමතමින් එවක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යව සිටි ටෝනි බ්ලෙයාර්ගේ විශිෂ්ටතම කථනයක් ලෙස සැලකෙන 2006 කම්කරු පක්ෂ සම්මේලනයේ කළ කතාවේදී ඔහු මෙසේ කියයි. “විසි හතර පැයේ විකාශනය වන ප්රවෘත්ති වලට වඩා ඕපා දූප වලට ගරු කරන නුතන ලෝකයේ සියලු දෙනා සතුටු කරවන දේශපාලනය කළ නොහැක. ජනතාව අපට වැරදුන හොත් එයට සමාව දීමට සූදානම්ය, නමුත් තීරණ නොගෙන අත් බැඳ සිටීමට නම් ඔවුහු සමාව නොදෙති” ඒ ප්‍රකාශය පාඨලීට “හැදෙන්නට” හොඳ අදහසකි. ඒ හැරුණු කොට ප්රජාතන්ත්රවාදයේ මරණය අභියස අපි සියලු දෙනා සීරුවෙන් සිටගෙන සිටින මොහොතක ටෝනි බ්ලෙයාර්ගේ වචන ජවිපෙ සහෝදරයන්ටද ඉතා වටිනා අවවාදයකි.
ධනුෂ්ක / November 4, 2018
ඉතා වැදගත් කියවීමක්
/
sarath de alwis / November 4, 2018
Sorry. I cannot res[pond in Sinhala. A new perspective that certainly provoked a deep resonance .
/