19 April, 2024

Blog

තවම​ අපි කුවේණි භීතියෙන් පෙලෙන්නෙමු

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය දාක මා හට ශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ 60 වෙනි සංවත්සර සාදයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. කිංස්බරි හෝටලයට ශ්‍රී ලාංකික ගෘහණියන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබුණි. මෙම සංගමය ආරම්භය වී තිබුනේ දැනට හැට වසරකට පෙරය. එනම් පනහේ දශකයේ දී ය. මා මෙතෙක් සහභාගී වී ඇති සියලුම සංගම් වල උත්සවවලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් මෙම සංගමයේ නියෝජනය කරන බොහෝ දෙනා තම දරු මල්ලන් හා සැමියන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ කාන්තාවන් වීමයි. ඔවුන් බොහෝ දෙනෙකු තම ජීවිතයේ එකම අරමුණ තම පවුලේ සුභසිද්ධිය කරගත් කාන්තාවෝ වෙති. ඔවුන් අතර ද්‍රවිඩ මුස්ලිම් හා සිංහල කාන්තාවන් විශාල ප්‍රතිශතයක නියෝජනයක් තිබුනේය. මෙම සංගමය තුල ජාතිය, ආගම, කුලය පිළිබඳ කිසි වෙනසක් නොමැතිව නියෝජනයක් දැකිය හැකි විය.

ලංකාවේ දේශපාලනය තුළ පසුගිය වසර හැත්තෑ වෙහි අප විසින් සිදුකරන ලද, කරන ලද විශාලතම වරදක් වන්නේ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ඉතා ම පහළ අඩියක පවත්වාගෙන යෑමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ දේශපාලනය ඉතාම නරක ප්‍රතිරූපයක් අත්කර ගත් අතර මේ රටේ මුළු ජනගහනයෙන් සියයට පනහකටත් වඩා වැඩි කොටසක් වු කාන්තාවන්ගේ නියෝජනය උදෙසා කාන්තාවන් පත්කර නොගනී. එසේම පිරිමි මූලික සමාජය විශ්වාස කරන පිරිමින් විසින් කාන්තාවන් නියෝජනය කිරීම නිසා රටට සිදුවු හානියේ තරම කියා නිම කල නොහැකිය. 

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ වැනි සූක්ෂම නායකයෙකු කාන්තාවන්ගේ ඡන්දය කිසිම දේශපාලන පදනමකින් තොරව රවටා ලබාගන්නා තත්වයකට පත්වුයේ මෙම කාන්තා දේශපාලන නියෝජනයේ තිබු දීර්ඝකාලීන දුර්වලතා නිසාය.

එක්සත් ජාතික පක්ෂය විටින් විට කාන්තා නියෝජනය ඉහළ දැමීමට උත්සාහ කළ ද එය එක්තරා ආකාරයක බලවේගයන් මගින් හැම අවස්ථාවකම පාහේ පහළට ඇද දමනු ලැබීය.

ආගම, කුලය හා ජාතිය තරන්ම ස්ත්‍රී පුරුෂ භාවය ද බෙදා වෙන් වුණු ප්‍රතිගාමී අදහසක් බවට අද වන විට පත්වී තිබේ. මුළු ලෝකයම ස්ත්‍රී පුරුෂභාවය අතාරින රටවල් බවට පත්වෙද්දී ලංකාව වැනි පසුගාමී සමාජ වල ස්ත්‍රී පුරුෂ භාවය තදින් සලකනු ලබන තත්වයක් බවට පත්ව තිබේ. ලාංකික සමාජයේ උසස් අධ්‍යාපන අවස්ථාව වැඩි වැඩියෙන් කාන්තා පාර්ශවය ලබා ගන්නා අතර රටේ රාජ්‍ය පරිපාලන ඉහළ තනතුරු බොහොමයක අද වන විට නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් ය. නමුත් දේශපාලනයේදී කාන්තා සහභාගිත්වය ඉතා අඩු ප්‍රතිශතයකින් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් සම්බන්ධ කරගැනීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ දක්වන අඩු උනන්දුව නිසාය. එය කෙතරම් බරපතළ තත්ත්වයක් බවට පත්වී ඇත්ද යතොත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණයේදී හා පලාත් පාලන හා පලාත් සභා මැතිවරණයේ දී ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව සියයට තිහක් වනතුරු කාන්තාවන් ඉදිරිපත් කළ යුතු බවට ව්‍යවස්ථාව මගින් යෝජනා කර තිබේ. එය එක්තරා ආකාරයකට ලංකාවේ කාන්තා දේශපාලන සහභාගිත්වය ඉහළ යාමට උපයෝගී වුවද. මේ රටේ පිරිමි හා දේශපාලන ක්ෂේත්‍රයෙන් නිරතවන්නන්ගේ අවංක උනන්දුවක් ඒ වෙනුවෙන් තිබේද යන්න තවමත් සැක සහිතය.

විශේෂයෙන් කාන්තාවන් තුළ ද ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමේ හෝ දේශපාලන ක්‍රියාවලියේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අඩු උනන්දුවක් පවතී. විශේෂයෙන්ම එවැනි කාන්තාවන්ට අපහාස කිරීමට දේශපාලනයේ නිරත වන පිරිමි දේශපාලනඥයින් දිග දිගටම කටයුතු කිරීම ද එක් හේතුවකි. මෙහිදී මට මතක් වන්නේ රෝසි සේනානායක මැතිණිය දේශපාලනයට පිවිසි මුල් යුගයේදී එතුමියට විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලකයින් විසින් ලන්සි පැපොල් කියමින් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව තුලදී අපහාස කිරීමයි. සැබවින්ම රෝසි සේනානායක වැනි ධෛර්යවන්ත කාන්තාවක් එම තත්ත්වය ඉවසාගෙන සිටියා මිස සාමාන්‍ය කාන්තාවක් නම් දේශපාලනය අතහැර යනු ඇත. විමල් වීරවංශ වැනි ග්‍රාම්‍ය දේශපාලන නායකයින් දිගින් දිගටම රෝසි සේනානායක හා වෙනත් කාන්තාවන් වෙනුවෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමට එරෙහිව රට තුළ විශාල මතයක් ගොඩනැගීමද විශේෂයෙන් ප්‍රසිද්ධ රැස්වීම්වලදී කාන්තාවන්ගේ ස්ත්‍රී භාවය ට අභියෝග කිරීම පොදු ජන එක්සත් පෙරමුණ හා විමල් වීරවංශ වැනි අශිලාචාර දේශපාලනඥයින්ගේ ප්‍රධාන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය මත කාන්තාවන් දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අඩු උනන්දුවක් දක්වයි. එමගින් රටට කාන්තා සහභාගීත්වය ප්‍රතිපත්ති සම්පාදනයට අහිමි වීමෙන් විශාල හානියක් සිදු ව ඇති බව මාගේ පෞද්ගලික අදහසයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකයේ ශීලාචාර සමාජයේ ඇති කතිකාවට අනුව කාන්තාවක් වූ පලියට වෙනස් කොට සැලකීමට ඇති අයිතිය සම්පූර්ණයෙන් අහෝසි කොට තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ගෘහණියන්ගේ සිට සියලුම වෘත්තිකයන් දක්වා සෑම ස්ථානයකම සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසා වෙනස් කොට සලකනු ලැබේ .එය කිසිම අවස්ථාවක කාන්තාවට වාසි සහගත සතුටුදායක ආකාරයෙන් සිදු නොවන අතර ඒ සෑම අවස්ථාවකම කාන්තාවක් වීම නිසාම සමාජය තුළ පීඩනයට හා අසාධාරණයට ලක්වන අවස්ථාවන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වේ .

මා පෞද්ගලිකව විශ්වාස කරනු ලබන්නේ කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට මීට වඩා ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ නම් රටේ අනාගතය මීට වඩා බොහෝ සුබදායි වීමට ඉඩ තිබේ. ඊට ප්‍රධාන හේතුව නම් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය මේ රටේ දේශපාලනය මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය සුබදායී තලයකට පැමිණීමට ඉඩ තිබේ. උදාහරණයක් හැටියට රාජ්‍ය සේවයට කාන්තාවන්ගේ සහභාගීත්වය විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන  අතර එමගින් රාජ්‍ය සේවයේ අල්ලස, දූෂණය අකාර්යක්ෂමතාවය දුරු වී තිබෙන බව මාගේ පෞද්ගලික මතයයි. කාන්තාවන් අද රාජ්‍ය සේවයේ සෑම මට්ටමකම තනතුරු දරයි. රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රධාන බලවේගය අද කාන්තාවන්ය. එම නිසා ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගී කරගත යුතු බව යථාර්තවාදී අදහසකි.

අපේ සමාජයේ අරුම පුදුම තත්වය නම් දරුවන් හැදීම හා මේ රටේ සමාජය අද තිබෙන තත්ත්වයට පත්කිරීමට කාන්තාවන්ට වගකීම පවරන පිරිමින් හා එම දරුවන් ද වැඩිහිටියන් වූ පසුව කාන්තාවන් මේ රට මේ රටේ දේශපාලනයට සම්බන්ධ වීමට සුදුසු නොවන පිරිසක් බවට විශ්වාස කිරීමයි. එම නිසා මෙම තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු වේ.

එසේ නොවුනහොත් වසර 2500ක් තිස්සේ කුවේණියට තිබු භීතිය අප සමාජය විනාශ කර දමනු ඇත. 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    තුෂාර කියනව වගේ “ප්‍රසිද්ධ රැස්වීම්වලදී කාන්තාවන්ගේ ස්ත්‍රී භාවයට අභියෝග කිරීම පොදු ජන එක්සත් පෙරමුණ හා විමල් වීරවංශ වැනි අශිලාචාර දේශපාලනඥයින්ගේ ප්‍රධාන වැඩපිළිවෙළක්” කියලා මම දන්නේ නැහැ. මම එහෙම එකක් කවදාවත් අහල නැහැ. නමුත් “එමගින් රටට කාන්තා සහභාගීත්වය ප්‍රතිපත්ති සම්පාදනයට අහිමි වීමෙන් විශාල හානියක් සිදුව ඇති බව මාගේ පෞද්ගලික අදහසයි” කියලා තුෂාර කියන එකට මට එකඟ වෙන්න බැහැ. උදාහරණයක් විදියට ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමති කාන්තාවක්. කාන්තා හා ළමා කටයුතු ඇමති කාන්තාවක්. හැබැයි ඒ දෙන්නගෙන් එක්කෙනක්වත් නීතිය පැත්තෙන්වත් සමාජමය පැත්තෙන්වත් කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කිසිම දායකත්වයක් කරලා නැහැ මේ දක්වා.
    .
    සිංහල වචන භාවිතයේ විවිධකාර ගැන තුෂාරගේ අවබෝධය හුඟක් අඩු බවයි පෙන්නේ. ලංසි පැපොල් කියලා විමල් කියන්නේ කාන්තාවකට කියන අපහාස නමක් විදියට නෙමෙයි. ඉහල පැලැන්තිය කියන අදහසින්. ගිය අවුරුද්දේ මට මතකයි පාර්ලිමේන්තුවේදී රනිල්ටත් කිව්වා ලංසි පැපොල් කියලා. ඒකෙන් අදහස් කලේ පුද්ගලයෙක් නෙමේ. සමාජයේ එක පැලැන්තියක්. ඒ කියන්නේ කොළොඹ හතේ ඉහල පැලැන්තිය එකයි අදහස් කලේ. එදාම මට මතකයි මෛත්‍රී පාර්ලිමේන්තුවේ ඉන්නකොට විමල් කිව්වා පොළොන්නරුවේ බණ්ඩක්ක කියලා. ඒකත් අපහාසයක් නෙමෙයි. ප්‍රශ්න වලින් ලිස්සල යනව කියන එකයි කිව්වේ.
    ලංසි පැපොල් කියපු හින්ද විමල්ව ග්‍රාම්ය දේශපාලකයෙක් විදියට හඳුන්වනවා නම්, ඩිජිටල් ඇමති, මහින්දානන්දට ඉතාම නරක වචනයක් කිව්වා පාර්ලිමේන්තුවේ. මට මතක හැටියට අනුර බණ්ඩාරනායක රණසිංහ ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේදී කිව්වා කෙසෙල්වත්තේ ලැවරිය කොල්ල කියලා. රණසිංහ ප්‍රේමදාස ඉන්දිරා ගාන්ධිටයි සංජය ගන්ධිටයි කිව්වා වස්සියි වහු පැටවයි කියලා. ඒ හින්ද විමල්ව විතරක් ලේබල් කරන එක වැරදියි. විමල් කියන සමහර ඒවා එකපාරට තේරුම් ගන්න අමාරුයි. දවසක් විමල් රනිල් ගැන කියන කොට කිව්වා රනිල් ගණිකාවක් කියලා. එතකොට මම විමල්ගේ website එකට ලියල ඇහැව්වා එහෙම කිව්ව එක වැරදියි. රනිල් කොහොමද ගණිකාවක් වෙන්නේ. ගණිකාවක් කියන්නේ ගැහැණියක්නේ කියලා. ඊට පස්සේ වෙන දවසක කරපු කතාවකදී එයා කිව්වා රනිල් දේශපාලන ගණිකාවක් කියල. ඊට පස්සේ ඒක පැහැදිලි කරලත් කිව්වා. එතකොට තමයි මට දෙකේ වෙනස තේරුනේ. සමහර වෙලාවට මමත් ලියලා තියෙනව ගැලරියට කතා කරන්න එපා කියලා. ඒ වුනාට අපිට නොතේරෙන දේ තමයි විමල්ගේ ශබ්ද කෝෂය එයාටම ආවේනික එකක් කියන එක.

    • 0
      0

      තුෂාරගේ ලංසිපැපොල් කතාවට තව ටිකක් ලියන්න හිතුන. ඒ මොකොද කිව්වා නම් තුෂාර වගේම තවත් අය ඒ දිහා පටු විදියට බලන එකෙන් විමල්ට අසාධාරණයක් වෙන හින්ද.
      විමල්ගේ කතාවල අතුරු කතා කියලා ජාතියක් තියෙනව. ඒවා කියන්නේ තමන්ගේ කතාවට අවධානය දිගටම තියා ගන්න කියලා මම හිතනවා. අනිත් එක දිග කතාවක් කරන කොට මිනිස්සු වුනත් ආසයි ටිකක් හිනා යන දෙයක් කියනව නම්. හුඟක් දෙනෙක් දන්නේ නැති වුනාට අපේ සිංහල සමාජය හාස්‍යයට හුඟක් කැමතියි. අපේ ඉස්සර රජවරු කවටයෙක් තියාගෙන හිටියේ ඒකයි. අපේ මිනිස්සු බුම්මගෙන මූණු එල්ලගෙන ඉන්න කැමති මිනිස්සු නෙමෙයි. කෙනෙක් දුකෙන් ඉන්න වෙලාවක වුනත් අඬන කෙනෙක්ට වුණත් අපි හදන්නේ මොකක් හරි කරලා හිනස්සන්න. ඒ හින්ද විමල් කියන අතුරු කතාවල වලින් හෝ වචන වලින් ග්‍රාම්ය හෝ අශිලාචාර කියලා කියන එක වැරදියි. සමහර නාලිකා විමල්ගේ අතුරු කතා උලුප්පපු අවස්ථා මම දැකල තියෙනව.
      අනිත් එක මම වුනත් විමල්ට නොයෙකුත් විහිළු ලියල තියෙනව එයාගේ website එකට. විමල්ට හුඟක් කරදර තිබ්බ අවස්ථාවල, විමල්ට දිගින් දිගටම මඩ ගහපු වෙලාවල, විමල්ව මානසිකව වැටෙයි කියලා බයට හුඟක් ආදරෙන් දේවල් ලියලා තියෙනව. විමල්ට දහිරිය දෙන්න දේවල් ලියලා තියෙනව. රණ්ඩු වෙලත් තියෙනව. තරහ වෙලත් තියෙනව. විමලුත් මම අකමැති පාටවල් ඇඳලා, තව අරකමේක කරල මම ලියන ඒවාට තරහ පෙන්නලා තියෙනව. මම විමල්ට හුඟක් ආදරෙයි කියලත් ලියල තියෙනව. මහින්දට ආදරෙයි කියලා ලියල තියෙනව. මම 2015 ඉඳන්ම ඒවා කියනවා. සාමාන්‍යයෙන් අපේ සමාජයේ දේශපාලකයන්ට ආදරෙයි කියලා මිනිස්සු ලියනවා මම දැකල නැහැ. ඒ වුනාට මට ඒ කාලේ ඉඳන්ම ඒක ගානක් නැහැ. අපේ ගෙදර මිනිස්සු ඕනේ හැටියේ love you කියලා කියනව. එතකොට අනිත් කෙනා love you too කියනව. හරිම සාමාන්‍ය දෙයක්. මම කියන්න ගියේ කෙනෙක් පාවිච්චි කරන වෙනස් වචන වලින් හරි අතුරු කතා වලින් හරි ලියන දෙයින් හරි එයාව වැරදි විදියට මනින එක වැරදියි. වැදගත් වෙන්නේ ක්‍රියාව. අර කතාවකුත් තියෙනවනේ naughty in words not in deeds කියලා.
      ඒ හින්ද තුෂාර මීට පස්සේ ග්‍රාම්ය හරි අශිලාචාර හරි කියන වචන විරුද්ධ දේශපාලකයෝ ගැන පාවිච්චි කරන කොට ඔයිට වඩා පුළුල් විදිහට බලන්න, හොඳද.

  • 0
    0

    මේ මොකක්ද තුෂාර කියන්නේ? “..විශේෂයෙන් මහින්ද රාජපක්ෂ වැනි සූක්ෂම නායකයෙකු කාන්තාවන්ගේ ඡන්දය කිසිම දේශපාලන පදනමකින් තොරව රවටා ලබාගන්නා තත්වයකට පත්වුයේ මෙම කාන්තා දේශපාලන නියෝජනයේ තිබු දීර්ඝකාලීන දුර්වලතා නිසාය..” කියන්නේ? කිසිම දේශපාලන පදනමකින් තොරව කාන්තා චන්ද රවටා ලබා ගන්නව? එහෙම කොහොමද කියන්නේ? කොහොමද රවට්ටලා ගන්නේ? මහින්දට කාන්තා චන්ද හුඟක් ලැබෙන හේතුව ලංකාවේ කාන්තාවෝ වැඩි දෙනෙක් එක්සත් ජනතා නිදහස් සංවිධානය නියෝජනය කරන නිසා වෙන්නැති. ඒක රැවටීමක් වෙන්නේ කොහොමද? අනිත් එක ලංකාවේ කාන්තාවො එහෙම චන්ද ගන්න රවට්ටන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. එහෙම වුනත් ටික කාලයයි. ඊට පස්සේ විශ්වාසේ බිඳුනොත් ආයේ චන්ද ඉල්ලන් යන්න බැරි වෙනවා. ඉල්ලුවත් දෙන එහෙකුත් නැහැ. මම හිතන්නේ මහින්ද දේශපාලනය පටන් ගත්ත දවසේ ඉඳන්ම කාන්තා චන්ද ලැබෙනවා ඇති. ඉතින් සූක්ෂම විදියට රවට්ටලා චන්ද ගත්ත කියලා කියනවා නම් ඒක හරිම විහිළුවක්.
    විශේෂයෙන් කියන්න ඕනේ මම කවදාවත් අහල නැහැ මහින්ද කාන්තාවන්ට අපහාස කරනවවත්, පහත් කරලා කතා කරනවවත්. කාන්තාවන් ඉන්න වේදිකාවක හෝ උත්සවයක වුනත් මහින්ද රනිල්ට වඩා හුඟක් ආචාරශීලව හැසිරෙනවා. ඉස්සර 2015 අගෝස්තු චන්දෙ කාලේ මහින්ද රැස්වීම් වලට යනකොට කාන්තාවෝ පොරකනව මහින්දගේ අත අල්ලන්න. ඒ වගේ වෙලාවකවත් මම කවදාවත් දැකල නැහැ මහින්ද කාන්තාවන් abuse කරනවා. ඒ අතින් මහින්ද රනිල්ට වඩා හුඟක් ඉස්සරහින් ඉන්නව. කාන්තාවන් ඉන්න තැන්වල රනිල්ට වඩා හුඟක් වැදගත් විදියට මහින්ද හැසිරෙනවා.
    තුෂාරගේ ලිපියට මට තව හිනා යන එකක් තියෙනවා. ඒ තමයි, කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනේ කියලා කෑගහන තුෂාරම තමයි මේ ලඟදි දවසක සහ ඊට කලින් දෙපාරක්ද කොහෙද මහින්ද කාන්තාවක් ජනාධිපති අපේක්ෂිකාව විදියට දාන්න යනව කියලා විවේචනය කලේ. කාන්තාව ශිරන්ති රාජපක්ෂ වීම වෙනම කතාවක්. හැබැයි තුෂාර ඒක විවේචනය කළා. වැරදි අඩුපාඩු කිව්වා. ඇත්තටම එහෙම කරන්න හිතුව නම් අධෛර්යමත් වෙන විදියට කතා කලා. කාන්තාවකට ලැබෙන්න තියෙන අවස්ථාවක් දේශපාලන හේතු මත තුෂාර නැති කරන්න හැදුව. ඒ හින්ද මීට පස්සේ practice what you preach or change your speech, ok. Cheers!

  • 0
    0

    නැහැ , කාන්තාවක් වූ පලියට ශිරන්ති රාජපක්ෂ වැනි මිනි මරු ගැහැනියක් (තජුදින් ව අපිට නම් තාම අමතක නැහැ) අපේක්ෂිකාවක් වීම අනුමත කිරීමට තුෂාර බැඳිලා නැහැ. පළමුවෙන්ම මම මේ වැදගත් ලිපියට දාල තියන පින්තුරයට එකඟ නැහැ. රෝසි ගෙන් තොර කාන්තාවන් ගේ දේශපාලනයක් හිතන්න බැරි, ලංකාවේ කාන්තාවන් මොන වගේ ද කියා දන්නේ නැති, අවුරුද්ය් 60ක් වත් වයස රෝසිගේ ලස්සනින් තාමත් ගොඩ යන්න හදන ඉතාම බොළඳ උත්සාහයක් මේ පින්තුරය. රෝසිව සන්ධර්භයක තියල බලන්න බැරි ලෙඩක් ජනමාධ්‍ය කරුවන්ට තියනවා. ඔවුන් වෙනුවෙන් මගේ විනාඩි දෙකක නිහඬතාවය. රෝසි ගේ පිතුරය දැම්මම ආර්ටිකල් කියවනවා කියල හිතන අයටත් මගේ සංවේගය. ශ්‍රී ලංකාවේ කාන්තාවගේ කතාව රෝසි ගේ බෝටෝක්ස් මුහුණෙන් වහන්න බැහැ. ඇය නියෝජනය කරන්නේද ලිංගික දේශපාලනයයි. ඒ ගැන මීට පෙර ලිපියක් CT හි පළවුනා. මේ කාන්තාවන් බල දේශපාලනයේ අතකොලු පමණයි. හැබැයි අද අවන තුරු අඩුම වශයෙන් දරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරන්නට උත්සාහයක්වත් අරගෙන තියෙන්නේ රෝසි පමණයි. ඉතුරු කාන්තාවන් ඇත්තෙන්ම දේශපාලන ගණිකාවන් පමණයි. හිරුනිකා පවිත්‍රා ගැන කතා නොකර ඉමු. වැඩක් නැහැ . අඩුම වශයෙන් සුදර්ශනී ෆ්ර්නන්ඩෝපුල්ලේ කාන්තා නියජනය ගැන, ගබ්සාව නීතිගත කිරීම ගැන මුස්ලිම් විවාහ නීතිය ගැන කතා කරනවාද? නැහැ . එයා බලන් ඉන්නේ කතෝලික චන්ද ගොඩ දිහා. තලතා අතුකෝරල මුස්ලිම් විවාහ නීතියට සංශෝධනයට තිබෙන විශාලතම බාධාවයි. මේ කාන්තාවන් සහ මර්වින් සිල්වා, රත්තරන් , තෙවරාපෙරුම අතර වෙනසක් නැහැ. මොවුන් සාරි අඳින පිරිමි දේශපාලකයෝ. ඔවුන් ගණිකාවන්ට අන්තයි. තමාගේ ගැහැණු බැවින් උපයනවා. ඇත්ත ලිංගික ශ්‍රමිකයන්ව පාර්ලිමේන්තුවට යැව්වා නම් අඩු ගානේ ඔවුන් අවංකව කතා කරයි. පිරුවට ඇඳ ගත දේශපාලන ගණිකාවන්ගෙන් තමයි මේ ජාතියට ප්‍රශනයක් තියෙන්නේ. ඔවුන් පිළිබඳව ජාතියක් විදිහට අපි ලජ්ජා විය යුතුයි. ගැහැණු පිරිමි බේධයකින් තොරව ලංකාවේ පාර්ලිමෙන්ටුහ්වේ ඉන්නේ ගණිකාවන් තමයි.

    • 0
      0

      ශිරන්ති රාජපක්ෂ ගැන කතා කලේ කාන්තාවක් විදියට අරගෙන. ඒක උදාහරණයක්. ශිරන්ති රාජපක්ෂව පිළිනොගන්න හේතුවක් විදියට තුෂාර කිව්වේ මහින්ද නාමල්ට තැනක් දෙන්න එහෙම කරනවා කියලයි. මිනීමැරුමක් ගැන කිව්වේ නැහැ. ඔබ එහෙම කතාවක් කියපු එක ගැන මම කණගාටු වෙනවා. චන්දෙ දෙන නොදෙන එක ජනතාවට අයිති දෙයක්.
      පිරිමියෙක් ගැන හෝ කාන්තාවක් ගැන මම චරිත ඝාතන වලට විරුද්ධ නිසා ඔබේ උත්තරේ අනිත් ඒවා ගැන කතා කරන්නේ නැහැ.

    • 0
      0

      කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වෙන කාරණා අතරින් ප්‍රධානම දේ සමාජ-ආර්ථික ප්‍රශ්න, අතවරවීම, රැවටීම, නොමඟයාම, ජීවන ප්‍රශ්න. ඔවුන්ට අපේ අනුකම්පාව ලැබිය යුතුයි. ඒ එක්කම එයින් ගොඩ එන්න ඔවුන්ට මාර්ගය හදාදිය යුතුයි.
      ඊට අමතරව කාන්තාවන් පිරිමින්ගෙන් වරප්‍රසාද/තනතුර ගන්න හෝ දේශපාලනයට එන්න ගණිකාවක් වෙනවා කියන එක ගැන මට කියන්න මුකුත් නැහැ.
      ලිංගික දේශපාලනය කියල එකක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒකට වැරදිකාරයා කාන්තාවකගේ දුර්වල කමින් හෝ හිතහොඳ කමින් අයුතු ප්‍රයෝජන ගන්න ඉන්න පිරිමියයි.
      මම හිතන්නේ නැහැ කිසිම කාන්තාවක් දේශපාලනයට එන්න එහෙම offer එකක් කෙරුවා හෝ කරනවා කියලා. ඒ වගේ දේවල් වලදී හැම තිස්සෙම වැරැද්ද පැටවෙන්නේ කාන්තාවන්ට. ඔබත් ඒකම තමයි කරලා තියෙන්නේ.
      කාන්තාවෝ දේශපාලනයට එන්න අකැමති තවත් එක හේතුවක් තමයි එහෙම ආපු ගමන් ඒ කාන්තාවව එතන ඉන්න පිරිමි සම්බන්ධ කරලා කතාවක් හදන එක. ඒ කාන්තාව ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි වෙන්න පුලුවන්. නමුත් සමාජය පුරුදු වෙලා ඉන්නවා ඒ විදියට හිතන්න. කොටින්ම කාන්තාවකට දේශපාලන අදහසක් දරන්න හෝ තමන් දරන දේශපාලන අදහස සමාජයට ඉදිරිපත් කරන්න හෝ තමන් කැමති දේශපාලකයට උදව් කරන්නවත් නිදහසක් නැහැ පිරිමින්ගේ ගැරහුමට ලක් නොවී. එහෙම නැත්නම් ගණිකාව කියන ලේබල් එක නොවැදී. අපේ සමාජයේ ඉන්නේ ඒ තරම් පහත් අදහස් තියෙන පිරිමි. කාන්තාව පහත් කර සැලකීම, ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් යොදා ගැනීම, චරිත ඝාතන කිරීම, බිය වැද්දීම, අඩන්තේට්ටම් කිරීම – සමාජයේ ඉන්න පිරිමින් හිතැන්නේ ඔවුන්ට හිමි අයිතිවාසිකම් විදියට.
      එක පැත්තකින් තුෂාර කියන දේ හරි.
      කාන්තාවන්ට සමාජයෙන් ලැබෙන ගැරහුම් අවමාන නින්දා අපහාස අසමාන සැලකීම් යන මේවා හරිගස්සන නම්, ඉස්සරහට එන්න ඕනේ කාන්තාවන්ම තමයි.
      හැබැයි එහෙම එන්න නම් ඒ කාන්තාවෝ එක්කෝ සාමාන්‍ය කාන්තාවන්ට වඩා හම ඝනකම වුනු, පිරිමිත් එක්ක හරිහරියට ගැටිලා වැඩ කරන්න පුළුවන් කාන්තාවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ ස්ත්‍රිත්වයත් ආරක්ෂා කරගෙන, හොඳ ගතිගුණත් ආරක්ෂා කරගෙන, දයාවෙන්, කරුණාවෙන්, ආදරෙන් සමාජය හොඳ මඟට ගන්න පුළුවන් ස්වාධීනව හිතන කාන්තාවන් වෙන්න ඕනේ.
      නමුත් දේශපාලනයට කාන්තාවන්ගේ ඉදිරිපත්වීම තියෙන්නේ හුඟක් පසු මට්ටමක. අවස්ථාත් අඩුයි. ඒ හින්ද ලංකාවේ කාන්තාවන්ට මීට වඩා වෙනස් පරිසරයක් ලැබෙන්න තියෙන අවස්ථාව හුඟක් සෘණ අගයක තියෙන්නේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.