28 March, 2024

Blog

අමු කැවී ඇත  

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ සිදුවූ කුප්‍රකට රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ලෝක ඉතිහාසයේම විශේෂිත සිදුවීමකි. මන්දයත් රටක ජනාධිපතිවරයෙකු තමන්ගේම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කළ පළමු වතාව එය බැවිනි. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් රාජ්‍ය බලය පැහැරගත් අතර එතුමන් විසින් තවදුරටත් එම ධූරය දැරීමට අසමත් බව පෙන්වාදුන්නේය. දේශපාලනයේදී සදාකාලික සතුරෝත්, සදාකාලික මිතුරෝත් නැති බව සැබෑවකි. නමුත් මේ රටේ හැටදෙලක්ෂයක් ජනතාව තම දිවි පරදුවට තබා රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දැමීමට පාවිච්චි කරන ලද ජනවරම හිමි වර්තමාන ජනාධිපතිවරයා නැවත රාජපක්ෂවරු බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මුලසුන ගැනීම දෛවයේ සරදමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හැර වෙනත් කිසිවකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපති කිරීමේ සටනට උරදෙනු නොලැබීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහමින් බුක්තිවිදිමින් සිටි, රාජ්‍ය බලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරන ලද නායකයාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට පිටින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනවාරි 8 බලවේගවලට නායකත්වය ලබාදී, එම බලවේගය විසින් රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා (තෝරා ගන්නා ලද) තුරුම්පුවයි. ඒ අනුව ජනාධිපතිවරයා කුමන මට්ටමේ පුද්ගල‍යෙකු වුවද මාගේ පෞද්ගලික තක්සේරුව නම් බුදුන්වහන්සේගේ තත්ත්වයට දශමයක් පහල තත්ත්වයකට පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය, ආදරය හා ප්‍රේමය දිනාගත නොහැකි වනු ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සිහින දකින්න උත්සහ කරන්නේ නම් එය තකතීරු කමකි. විශාල දේශපාලන වැරැද්දකි. නමුත් ඔහු දිගින් දිගටම තවදුරටත් එකම වරද සිදුකරමින් සිටි.

මේ මොහොතේ ජනාධිපතිවරයා වටා සිටින සියලුම දෙනාගේ ඉරණම ද එයයි. නමුත් ඔවුන්ට ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුවට එරෙහිව යාමෙන්, එක රැයකින් විපක්ෂයේ කණ්ඩායම් අතර පැවැත්මක් සකසාගත හැකි වෙයි. නමුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වුවද, අග්‍රාමාත්‍යවරයා සමඟ මාරාන්තික සටනකට එක්වූවද, රාජපක්ෂවරුන්ට මල් පහන් තබා පුද පූජා කළ ද, මෙම ජන පදනම තුළ පැවැත්ම සකසා ගත නොහැක්කේය. ජනාධිපතිවරයාගේ ජන පදනම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ලැදි ජනතාවගේ ජන පදනමයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන ගණන් හැදීම මගින් එම ජන පදනම තුළ ඔහු හුදෙකලා වී හෝ කොන්වී තිබේ. එසේම සමහර කොටස් වල මාරාන්තික විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි තිබේ.

අග්‍රාමාත්‍යවරයා සෑමවිටම පාහේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා ආශිර්වාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි තබා ගැනීමට දැඩි උත්සහයක් ගනී. එසේ වුවද ජනාධිපතිවරයා කල්පනා කරනුයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නගන අවලාද වලට යම්කිසි ආකාරයකින් අනුගත වෙමිනි. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබුවේ ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයා කියාය. වර්තමානයේදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට විශාල වගකීමක් පැවරී ඇති අතර ඔහු කටයුතු කරමින් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හෝ ඒ ආසන්නයටය. එය එසේ කළ යුතු බවට ජනාධිපතිවරයා එදිරිව කොන්දේසි ගොඩනැගෙමින් තිබේ. 

2015 ජන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් තුළම ජනාධිපතිවරයා ගොඩවූයේ වැරදි බෝට්ටුවටය. තමන් අතහැර පැමිණි, එසේම තමන්ට ජනාධිපතිවරණයේදී ප්‍රබලතම සතුරා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීම එක්තරා ආකාරයකින් දෛවෝපගත සරදමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ කිසිදු වරදක් නොදකින නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එළිපිට කටයුතු කිරීමට උත්සහ කිරීම (ජනාධිපතිවරයාගේ කණ්ඩායම) ලක්ෂ හැටදෙකක් වූ ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි තරහක්, වෛරයක් ඇති කිරීමට හේතුවී තිබේ. දේශපාලනඥයෙකු නම් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහුගේ පක්ෂය, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් හා ඔහු හැදුණු වැඩුණු ජන සමාජය තුළ ආශිර්වාදය තිබිය යුතුවේ. නැතිනම් විශාල ජන සමාජයක හුදෙකලා චරිතයක් බවට පත්වේ. ජනාධිපතිවරයෙකු එම ඉරණමට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

ජනාධිපතිතුමා ඡන්ද පදනමක් නැති රාජ්‍ය නායකයා බවට පත්ව තිබේ. තමන්ට සැබෑ ලෙසම ආදරය කරන බිරිදක්, පවුලක් සිටියදී සතුරාගේ බිරිඳ සමඟ පවුල් කෑමට කල්පනා කරනු ලබන්නෙකුගේ තත්ත්වයට ජනාධිපතිතුමා ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිතුමා පැවැත්මක් අපේක්ෂා කරන්නේ නම් එය මිරිඟුවකි. මන්දයත් ජනාධිපතිතුමා වටේ සිටින බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවාදීමට පසුබට නොවේ.

අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දීගෙන් ලැබුණු කෙංගෙඩියක් නැති අතර රටට ලැබුණු කෙංගෙඩියක්ද නැත. තුනෙන් දෙකක බලයක් තිබුණද එම බලය උපයෝගී කොටගෙන ජනවාරි 8 හෝ අගෝස්තු 17 වෙනිදා ජනවරමට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි මට්ටමට ආණ්ඩුව පත්ව තිබුණියැයි  මට සිතේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේදී මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන් සතුරන් වන්නේද, ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝද එතරම්ම සතුරන් වෙති. එම තත්ත්වය වහා වෙනස් කළ යුතු තත්ත්වයකි. ජනාධිපතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේත්, එම දේශපාලකයින්ගේත් විශ්වාසය දිනාගැනීමට වහ වහා කටයුතු කළ යුතුය. එම නිසා තම තනතුරේ තමන්ට හිමිව ඇති ඉදිරි මාස 10 ක පමණ කාලය දහමින් සෙමින් ගත කොට ගෞරවාන්විත් සමුගැනීමකට ඉඩ සලසා ගැනීම එතුමාගේ වගකීමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.