26 April, 2024

Blog

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද?

මංගල සමරවීර

මංගල සමරවීර​

2019.02.08 

පොලිස්පතිතුමා 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

කොළඹ 07.

පොලිස්පතිතුමනි,

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද? විමර්ශනයක් ඉල්ලා සිටීම

1. ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා හා ඔහු සමග සිටි පිරිසක් ඩුබාහි දී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය මේ වන විට රටේ ඉමහත් ආන්දෝලනයට ලක්ව ඇත.

2. එසේ අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා වන මාගේ මාධ්‍ය ලේකම්වරයෙකු සිටින බවටත්, ඔහුට මා විසින් රාජ්‍යතන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත්, පසුගිය දින කිහිපයෙහි සමාජ මාධ්‍ය කිහිපයක වාර්තා පළ වී තිබිණ.

3. එම වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව මා විසින් පෙරේදා (06) කැඳවූ මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටි නමුත්, ඒ කිසිවක් නොසලකා ඊයේ (07) දිනයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු අදහස් පළකර තිබු අතර  පෞද්ගලික මාධ්‍ය හරහා ඊට පුළුල් ප්‍රචාරයක් ද ලබාදී තිබිණ.

4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්තානයේ දී පැවති එවැනි මාධ්‍ය හමුවක් අමතමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා, පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත්‍රීක ගමන් බලපත් හිමි පුද්ගලයා මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු බව පවසා තිබිණ.

5. එසේම, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, අදාළ රාජතාන්ත්‍රීක හැදුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් ඇමතිවරයා සමග සිටින ලේකම්වරයෙකු හරහා බවයි.

මෙම මහා මත්කුඩු ජාවාරම මෙහෙයවන අය සිටින්නේ මුදල් ඇමතිවරයාගේ ඔඩොක්කුවේ යයි ද මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබිණි.

6. මෙවැනි අභූත ප්‍රකාශ හරහා 30 වසරකට වැඩි මගේ පාර්ලිමේන්තු ජිවිතයේ කීර්ති නාමයට හිතාමතා හානි පැමිණවීමටත්, එසේම මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැබෑ පුද්ගලයින් බේරාගැනීමත් මෙවන් ප්‍රකාශවල සැබෑ අරමුණ බව  ප්‍රකාශ කරමි.

රාජපක්ෂ පාලන සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට දේශපාලනඥයින් රැකවරණ ලබාදුන් අපකීර්තිමත් ඉතිහාසය මෙරට ජනතාවට අදටත් අමතක නැත.

7. එහෙයින් මාකඳුරේ මධුෂ් නැමැත්තා සමග අත්අඩංගුවට පත් අයකු මගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බවටත් මා විසින් ඔහුට රාජ්‍යතන්ත්‍රීක විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත් පලවන වාර්තා සම්බන්ධයෙන් ඉතා ඉක්මන් විමර්ශනයක් සිදුකර, ඇත්ත නැත්ත රටටත්, ජනතාවටත් හෙළිදරව් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

8. එසේම, එහි දී මාකඳුරේ මධුෂ් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇති දේශපාලකයින් පිළිබඳවත් විශේෂයෙන් ඔහුව රටින් පැන්නීම සඳහා ගුවන් තොටුපළට නිරුපද්‍රිතව රැගෙන ගිය මහජන නියෝජිතයින් කවුරුන් ද යන කාරණා ද මෙහි දී විමර්ශනයට භාජනය කරන ලෙසත් විශේෂයෙන් ඉල්ලා සිටිමි.

9. තවද, මෙම කාරණයට අදාළව මා සම්බන්ධයෙන් මාධ්‍යවලට ප්‍රකාශ ලබාදුන් මහජන නියෝජිතයන්ගෙන් හා එම ප්‍රකාශ වගවිභාගයකින් තොරව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවල වගකිවයුත්තන්ගෙන්  ද මීට අදාළව වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

10. මා සම්බන්ධයෙන් අභූත චෝදනා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පුද්ගලයන්ට සහ ඒවා වගකීම් විරහිතව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටිමි. 

11. මේ සම්බන්ධ විමර්ශනයන්හි ප්‍රයෝජනය සඳහා ඊට අදාළ වීඩියෝ පට කිහිපයක් හා සමාජ මාධ්‍ය වාර්තා කිහිපයක් ඔබතුමාගේ අවධානය සඳහා මේ සමග ඉදිරිපත් කරමි.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

මංගල සමරවීර
මුදල් හා මාධ්‍ය අමාත්‍ය 

පිටපත් –

  1. රවී සෙනෙවිරත්න මහතා- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂ අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව 

2.   සියලුම මාධ්‍ය ආයතන

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.