20 April, 2024

Blog

පරණ හොරුන් ආයෙත් එයිද ?

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලෝකයේ දැනට පවතින සියලුම සමාජ ක්‍රමවල ආණ්ඩුවක් සැප පහසු ලෙස පවත්වාගෙන යා හැක්කේ දශකයක කාලයක් පමණි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින සියලුම පාලන ක්‍රමවල ධූර කාලයන් වසර 5 කට වඩා අඩුකොට ඇත්තේ එබැවිනි. ඒ ධූර කාලයන් දෙකක් පාලන බලය එක් රෙජීමයකට ඒ දශකය තුළ පවත්වාගෙන යන පරිදිය. ලංකාවේ නිදහසින් පසු දශක 7 තුළම එක් රෙජීමයකට පාලන බලය පවත්වාගෙන යාමට හැකිවූයේ උපරිම දශකයක කාලයකට පමණි. එසේ නොවු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ පාලන කාලයේ දස වසරකට පසු උදා වූ අවසන් වසර දෙක ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ ඛේදවාචකයකි. ගඩාෆි, කැස්ට්‍රෝ, පූටින් වැනි නායකයින් පාලනය කරනු ලබන සමාජ සිටිනුයේ ගිනි කන්ද පාමුලය. එවැනි සමාජ බිද වැටී මහා විනාශයක් සිදු වීමට ඇති ඉඩකඩ පිළිබද උදාහරණ බොහෝය. ලිබියාවට, ඉරාකයට හා සිරියාවට අද සිදු වී තිබෙන දුක්ඛිත ඛේදජනක ඉරණමට මූලික හේතුව, එක් රෙජීමයක් එක් දශකයක් පාලනය කිරීම යන ස්වර්ණමය නීතියට පිටුපෑමයි.

මහින්ද රාජපක්ෂ තෙවැනි වර ජයග්‍රහණය කළේ නම් මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මගින් පැනවු සම්බාදක නිසාවෙන් පැන නැගුණු වියවුල් තත්ත්වය කරණකොට ගෙන රජයේ හමුදාත්, සිවිල් ජනතාවත් අතර සිවිල් යුධ වාතාවරණයක් ඇති වී තිබිය යුතුය. එසේ වූයේනම් ඉන්ධන, කෑම බීම හා එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් සටන් කරන ආයුධ සන්නද්ධ තරුණයන්ගෙන් ගම් දනවු පිරී ඉතිරෙන්නට තිබුණි. ජනවාරි 8 මෙම රජය බලයට පත්වන විට අප දැනටමත් දන්නා පරිදි රටේ ආර්ථිකය අවුලින් අවුලට පත් වී තිබුණි. ජනතාව දරාගත නොහැකි තරමට ජීවන වියදම ඉහළ ගොස් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිද වැටී අධිකරණයේ හා නීතියේ ආධිපත්‍ය, තිබු රෙජීමයේ යකඩ සපත්තුවට පෑගී තිබුණි. රටේ ජනතාව ප්‍රකාශ කළ නොහැකි නිශ්ශබ්දතාවයකිනුත් එතරම්ම පීඩනයකිනුත් කල් ගත කරමින් තිබුණි.

එම රෙජීමය තුළ සිදු කරන ලද සංදර්ශන සංවර්ධනයේ (Exhibition Development) අනුහසින් ජනතාවගේ එක් කොටසක් ගිනි කන වැටී තිබු අතර රටේ දැනුම් තේරුම් ඇති ජනතාව ඔවුන් ඉදිරියේ ඇති අභාග්‍යසම්පන්න ඉරණම පිළිබදව අවබෝධයෙන් සිටියේය. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ, සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය වැනි අවිධිමත් නාස්තිකාර සංවර්ධන ව්‍යාපෘති ලාංකික ජන ජීවිතය අවුල් කරන ප්‍රධාන ණය උගුල් වේ. මෙම රජයේ කේන්ද්‍රීය ප්‍රමුඛතාව වන්නේ පසුගිය රජය හසු වී සිටි මෙම ණය උගුලෙන් ගොඩ ඒමයි. ඒ සදහා අගමැතිවරයා ප්‍රමුඛ රජය ආර්ථික ක්‍රමෝපායන් හා නීති රෙගුලාසි රටට යෝජනා කරමින් ක්‍රියාත්මක කරයි.

මෙම වාතාවරණය යටතේත් පසුගිය රෙජීමයේ රාජපක්ෂවරුන් රාජ්‍ය බලය ඉක්මනින්ම ලබාගන්නා බව ඔවුන්ගේ අනුගාමිකයන්ට ප්‍රකාශ කරමින් අවිධිමත් දේශපාලන ව්‍යාපෘතියක යෙදී සිටී. සැබවින්ම එය අපූරු වැඩකි. එම පැරණි වැරදි නිවැරදි කර නොගෙන පරණ හොරුන්, පරණ දූෂකයින් හා පරණ මිනීමරුවන්, පරණ රාජපක්ෂලා සමග එකතු වී අලුත් බලයක් ඉල්ලීම ඓතිහාසික වරදකි. එජාපය අමානන්දයට පත් කරනු ලබන වරදකි. එසේම ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල හැසිරීම නිසාවෙන් ජනතාව ආණ්ඩුවට පලුයන්න බනිනවායැයි, යන යන තැන කණින් කොණින් ඇසේ. සවසට විද්‍යුත් ජනමාධ්‍ය තුළ ප්‍රවෘත්ති නරඹන්නෙකුට මෙම රජය හෙට උදෑසන වැටෙතැයි සිතේ. නමුත් ඔවුන් ආණ්ඩු විරෝධී ජනමතයක් සමාජ ගත කරන්නට තැත්කළද ආණ්ඩුවකට බැනීම, විවේචනය කිරීම හා ආණ්ඩු විරෝධය අතර විශාල වෙනස්කමක් තිබේ. රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදෙන විද්‍යුත් මාධ්‍ය දැනගත යුතු කාරණයක් තිබේ. රටේ පවතින නීතිරීති කෙසේ වෙතත් එම ආයතන පවතින්නේ රජය මගින් ලබාදෙනු ලබන කෝටි ගණන් වූ වෙළද දැන්වීම් මතය.

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් පමණක් ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් උපයණු ලබන වාර්ෂික දැන්වීම් ආදායම් මෙසේය.

සිරස ටී.වී. – මිලියන 29

සිරස එෆ්.එම් – මිලියන 17

Y එෆ්.එම් – මිලියන 06

හිරු ටී.වී. – මිලියන 22

හිරු එෆ්.එම් – මිලියන 19

දෙරණ ටී.වී. – මිලියන 20

දෙරණ එෆ්.එම් – මිලියන 12

මේ එක් රජයේ ආයතනයක වෙළද දැන්වීම් පමණි.

එවැනි රජයේ විශාල ආයතන ප්‍රමාණයකින් රජයේ වෙළද දැන්වීම් ලබාදේ. විද්‍යුත් මාධ්‍ය ආයතන තවදුරටත් රජයේ කටයුතුවලට බාධාකරන්නේනම් කළයුතු නිවැරදිම කාර්ය වන්නේ රජයේ වෙළද දැන්වීම් හැකි ඉක්මනින් නවතා දැමීම හෝ එම ආයතන සමග අදාළ අංශ යහපත් සබදතාවයක් ගොඩනගා ගැනීමයි. 

දස වසරක මෙම යහපාලන රෙජීමයේ පාලන කාලයෙන් පසුවත් රාජපක්ෂලාට නැවත බලයට පත් විය හැකිද? මාගේ තක්සේරුව වන්නේ ඔවුන්ට නැවත බලයට පත් විය නොහැකි බවයි. එම රෙජීමයේ අසහාය හා ජනප්‍රිය නායක මහින්ද රාජපක්ෂට වසර 10 කට පසු වයස අවුරුදු 81 කි. ගෝඨාභය රාජපක්ෂට මෙරට සිවිල් බුද්ධිමතුන් හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජන මතය ගොඩනගන්නන් (Opinion Makers) අතර මාරාන්තික විරෝධයක් පවතී. බැසිල් රාජපක්ෂ මිනිසුන් පසුපසට හිනාවෙන මට්ටමේ දූෂිතයෙකි. නාමල් රාජපක්ෂ දස වසරකට පසු මෙරට බිහිවෙතැයි සිතිය හැකි සමකාලීන නායකයින් අතර නොපැසුණු, නොවැඩුණු, අපචාරයට ලක්වූ නායකයෙකි. එබැවින් මාගේ තක්සේරුව වන්නේ, දස වසරකට පසු බලයෙන් ඉවත්වන එක්සත් ජාතික පක්ෂයේ මීළග අනුප්‍රාප්තික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා තවම සිටිනුයේ තිඹිරිගෙදරට යන ගමනෙනි. ඔහු හෝ ඇය කරළියට පැමිණෙතැයි අපේක්ෂා කළ හැක්කේ 2020 දීය. එසේම 2020 දී වත් ඉන්පසුවත් නීරෝගී ද්වීපක්ෂ ක්‍රමයක් පවතින ලංකාවේ පොදු අපේක්ෂකයෙකුට නැවත ඉඩකඩ විවර නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.