20 July, 2019

Blog

ජනාධිපති සිරිසේනගේ අසාධාරණ විවේචනයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිලිතුරු

2019.03.07 දින පාර්ලිමේන්තුවේදී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ තීරණ මාධ්‍ය වෙත නිකුත් කිරීම

කතානායක​

1. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කල පී. එච්.මනතුංග මහතාගේ ධුරකාලය පසුගිය 2019.02.08 දිනෙන්අවසන්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත අතිගරු ජනාධිපතිතුමන් විසින් නව​ සාමාජික මණ්ඩලය පත්කර ඇති අතර, ඔවුන් විසින් පොලිස් කොමිෂන් සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගෙනයනු ලබනබව දන්වාඇත. ඒ අනුව නිල වශයෙන් නිත්‍ය​ සභාපතිවරයෙකු ඉදිරියේදී නම්කිරීමට තීරණය කරන ලදී.

2. 2002 වර්ෂයේ දී එවක පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යොදා ගන්නා ලද නිර්ණායක වර්තමානයට ද ගැලපෙන බැවින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිය මාර්ගෝපදේශ වශයෙන් යොදා ගැනීමට තීරණය කර අතිගරු ජනාධිපතිතුමන් හා පාර්ලිමේන්තුව දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන වෙතොත් ඒ සඳහා නීතිපතිවරයා විමසීමට තීරණය විය.

3. 2019.02.21 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳ කල්තැබීමේ විවාදයේ දී පළවුණු නිරවද්‍ය නොවූ කරුණු ගැන පැහැදිලි කරමින් අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාමාජිකයන් බොහෝ දෙනෙකු සභාපතිවරයා වෙත කරුණු දක්වා තිබිණි. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට හා එම කරුණු මාධ්‍යයට පැහැදිලි කිරීමටත් තීරණය කරන ලදි. 

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අරබයා මෑතකදී පලවූ විවිධ වාර්ථා පිළිබඳ සැබෑ තත්වය ජනතාවට පැහැදිලි කිරීමද ජාතික යුතුකමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වේ. →

අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳ කල්තැබීමේ විවාදයේ දී (2019.02.21) අතිගරු ජනාධිපතිතුමන්ගේ කථාවේ දී මතු කළ ගැටළු පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියේ සාරාංශය පහත දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ප්‍රතිපාදන සලසා ඇති පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම් සඳහා සෘජුව ම සම්බන්ධවන පාර්ශවයක් වශයෙන් එම විවාදය සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ දායකත්වය අගය කොට සලකමු.

එම විවාදයේ දී, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් අදහස් ප්‍රකාශ කළ අතර, මතු කරන ලද බොහෝ කරුණු වලට අදාල සත්‍ය තත්ත්වය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ සහ වත්මන් සාමාජිකයන් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදි. 

නමුත්, මීට පෙර ද සඳහන් කළ ආකාරයට සභාවේ  ක්‍රියාකාරකම් සඳහා සෘජුවම සම්බන්ධවන පාර්ශවයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් මතු කළ විවිධ ගැටළු පිළිබඳ සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම ජාතික යුතුකමක් සේ සලකමු.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකස් වී තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතියේ බහුතර නියෝජනය සිවිල් සමාජ නියෝජිතයන් වෙත ලබා දීමට වුවත්, එම අනුපාතය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තිබූ විරෝධය මත, කාරක සභා අවස්ථාවේ ගෙන ආ සංශෝධන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය සකස් කරන ලදි.  

අතිගරු ජනාධිපතිතුමන් සේම අප ද සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතියේ බහුතර නියෝජනය සිවිල් සමාජ නියෝජිතයන් වෙත ලබා දිය යුතුය යන මතයෙහිය නමුත්, උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතිය මත සකස් වූ වත්මන් සංයුතිය සහ එම පත්වීම් ක්‍රමවේදය තුළ, සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ අදහස් නියෝජනය වන බව අපගේ අදහසයි. 

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කරන ආකාරයේ ව්‍යවස්ථානුකූලබව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නේ ද යන්න ගැටළු සහගත බවටත්, සභාව විසින් විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා නොයා යුතු බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් බලය බෙදීම ගරු නොකරන බවටත්, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ක්ෂේත්‍ර තුනම සභාව විසින් පාලනය කරන බවටත්, අතිගරු ජනාධිපතිතුමන් විසින් කළ ප්‍රකාශය ඉතා බරපතල හා අසාධාරණ බව අපගේ හැඟීමයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණු අතුරින් විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීම ප්‍රධාන වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වා දීම එහිලා ගත් ප්‍රධානතම පියවරයි.එහිදී, විධායක ජනාධිපතිවරයාට රටේ ප්‍රධාන තනතුරු සඳහා පත්වීම් සිදුකිරීමේ දී තිබූ තනි බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වා දීම හරහා යම්තාක් දුරකට තුලනය කරනු ලැබීය.මෙහිදී, පැහැදිලි කල යුතු වැදගත් ම කාරණය වන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල කිසිසේත් අභිබවා යෑමක් සිදුනොවන බවත්, පත් කිරීම් බලධරයා වශයෙන් විධායක ජනාධිපතිවරයා සතු බලතල එසේම පවතින බවත් ය. →                                                                                      2

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම කෙසේ වියයුතු ද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII අ වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, සභාව විසින් නිර්දේශ කළ යුතු පත්වීම් පිළිබඳවත්, සභාව විසින් අනුමත කළ යුතු පත්වීම් පිළිබඳවත් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවන් හි සාමාජිකයන් ලෙස තැනැත්තන් පත් කිරීම සඳහා පත් කිරීම් බලධරයා වන අතිගරු ජනාධිපතිතුමන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කර්තව්‍යයක් වන අතර,  41 ඇ ව්‍යවස්ථාවේ දක්වා ඇති තනතුරු සඳහා පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කරන නිර්දේශයන් සලකා බලා අනුමතිය ලබා දීම – නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කර්තව්‍යයක් වේ. එකී සෑම අවස්ථාවකම පත් කිරීම් බලධරයා  වන්නේ ජනාධිපතිවරයා වන අතර, එම පත් කිරීම් ක්‍රමවේදයේ දී කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිය තනි අභිමතය මත කටයුතු කළ නොහැකි අතර, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය තුලනය කිරීමක් පමණක්ම සිදු වී ඇති බව යළිත් පැහැදිලි කළ යුතුය.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි කිසිදු මැදිහත් වීමක් සිදු නොකරන බව අප ඉතා වගකීමෙන් දන්වා සිටින අතර, අධිකරණය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සම්බන්ධවීම සිදුවන එකම අවස්ථාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ ව්‍යවස්ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමන් විසින් එවන නිර්දේශ සලකා බැලීමේ දී පමණක්ම වන අතර, ජනාධිපතිතුමන් විසින් එවන නිර්දේශයන් ට පරිබාහිර කිසිදු පුද්ගලයෙක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවධානයට ලක් නොකරයි. එවන් පසුබිමක් තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අධිකරණය පාලනය කරනුයේ  කෙසේ ද යන්න ගැටළු සහගත වේ. එමෙන්ම, එම චෝදනාව එල්ල කිරීම කිසිසේත්ම සාධාරණ නොවේ.

  1. උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ පත් කිරීම් සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් එවන ලද නාමයෝජනා

උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ පත් කිරීම් සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් එවන ලද නාමයෝජනා දහහතරක් (14) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඊට හේතු කිසිදු අවස්ථාවක ජනාධිපතිතුමන් වෙත දන්වා නොමැති බවත් එතුමන් විසින් අවස්ථා කිහිපයක දී ම දක්වා ඇත.

නමුත්, අප පෙර අවස්ථාවන් හිදී පැහැදිලි කළ ආකාරයටම උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පත් කිරීම් වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් එවන ලද නාමයෝජනා අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත්තේ නාමයෝජනා හතරක් (04) පමණක් බවත්, ප්‍රතික්ෂේප කිරීමට හේතු පිළිබඳ ප්‍රමාණවත් දැනුම් දීමක් ජනාධිපතිතුමන් වෙත සිදු කර ඇති බවත් දන්වනු කැමැත්තෙමු. එක් පුරප්පාඩුවක් වෙනුවෙන් නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් කල විට අපට තෝරා ගත හැක්කේ එක් නාමයෝජනාවක් පමණි. එහෙයින් අනෙක් නම් තෝරා නොගැනීම සම්බන්ධයෙන් අප වෙත චෝදනා කිරීම යුක්ති සහගත නොවේ.

උක්ත කරුණ සම්බන්ධයෙන්, අප විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලද ලිපි මගින් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට හේතු වූ කරුණු පිළිබඳව දන්වන ලදි.ස්වකීය තීරණ පිළිබඳ කරුණු දැක්වීමක් මෙවැනි වගකීම් සහිත සභාවක් මගින් සිදුකිරීම දේශීයව හෝ විදේශීයව සිදුනොවන බවට ද ගෞරවයෙන් දැනුවත් කළ යුතුය.

නමුත්, එම ප්‍රතික්ෂේප කිරීම් සඳහා හේතු වූ කරුණු අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇතුළත් කිරීම පිළිබඳව එම අවස්ථාවේදී දීර්ඝ ලෙස සභාවේ සාකච්ඡාවට ලක් විය. නීතිමය ප්‍රතිපාදන මගින් දක්වා නොමැති වුවත් මෙම වාර්තා පාර්ලිමේන්තුවේ ද සභාගත කිරීම නිසා ඇතිවන ප්‍රසිද්ධිය මත, දැනටමත් අධිකරණය තුළ කටයුතු කරන මෙම විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි කටයුතු සඳහා ඇති විය හැකි ගැටළුකාරී තත්වයත්, සමාජය තුළ අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය කෙරෙහි ඇති විය හැකි බලපෑමත් සැලකිල්ලට ගත් අතර, උක්ත ලිපි මගින් අතිගරු ජනාධිපතිතුමන් වෙත අවශ්‍ය දැනුවත් කිරීම් කර ඇති තත්වයද සැලකිල්ලට ගනිමින්  ප්‍රතික්ෂේප කිරීම් සඳහා හේතු වූ කරුණු, වාර්තාවන් හි ඇතුළත් නොකරන ලදි. එම තීරණය මෑතකදී පැවැත්වූ රැස්වීමකදීද සභාව විසින් යළි තහවුරු කරන ලදි.

උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පත් වීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරයා, අග්‍ර විනිශ්චයකාරතුමන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වශයෙන් ප්‍රධාන පාර්ශව තුනක් සම්බන්ධ වේ.

ජනාධිපතිතුමන් විසින් ජ්‍යෙෂ්ඨත්වය ප්‍රමුඛ කොට සැලකිය යුතු බව පසුගිය දිනවල ප්‍රකාශ කර සිටියද, විනිසුරුවන්ගේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ සමග ජනාධිපතිතුමන් විසින් සභාව වෙත නාමයෝජනා ඉදිරිපත් කළ අනුපිළිවෙල නිරීක්ෂණය කිරීමේදී මින් ඉහත දී ජනාධිපතිතුමන් ද ජ්‍යෙෂ්ඨත්වයට වඩා, ඉතාම සුදුසු තැනැත්තන් සුදුසු පත්වීම් සඳහා නිර්දේශ කර ඇති බව පෙනේ. 

නාමයෝජනා සලකා බැලීමේදී සභාව විසින් ලබා ගන්නා අග්‍ර විනිශ්චයකාරතුමන්ගේ අදහස් පිළිබඳ ව ද මෙහිදී සඳහන් කළ යුතුය. 

එහිදී,යම් නාමයෝජනාවක් සම්බන්ධයෙන් අග්‍ර විනිශ්චයකාරතුමන්ගේ අදහස් සලකා බැලීමේදී සභාව විසින් එම නාමයෝජනාව අග්‍ර විනිශ්චයකාරතුමන් නිර්දේශ කර ඇත්තේ හෝ ප්‍රතික්ෂේප කර ඇත්තේ කුමන කරුණු හේතුවෙන් ද යන වග පිළිබදව විශේෂ අවධානයට ලක් කරයි. ඒ අනුව, උක්ත පාර්ශව තුනම මෙකී කාර්යයේදී අධිකරණයේ ස්වාධීනත්වය හා උන්තිය උදෙසා අපක්ෂපාතී මෙන්ම ස්වාධීන ව කටයුතු කරන බව අපගේ විශ්වාසයි.

  1. නීතිපති, පොලිස්පති පත්කළ ආකාරය සහ එම පත්වීම්

නීතිපතිවරයා පත්කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය දැඩි විවේචනයට ලක් වූ නිසාම නැවත අවධානයට යොමු කිරීම උචිත යැයි සිතමු.

එහිදී,අතිගරු ජනාධිපතිතුමන් විසින් සභාව වෙත නාමයෝජනා ත්‍රිත්වයක් ඉදිරිපත් කර තිබූ අතර, එම අවස්ථාවේ සභාවේ අදහස වූයේ ජනාධිපතිතුමන්ගෙන් එහි ප්‍රමුඛතා අනුපිළිවෙලක් ඇත්දැයි දැන ගත යුතු බවයි. නමුත්, ඊට ප්‍රතිචාර ලෙස අප වෙත එක් නාමයෝජනාවක් පමණක් ඉදිරිපත් කර තිබූ බැවින් සහ එම නිර්දේශිත තැනැත්තා එම තනතුරට පත්කිරීමට සුදුසු වූ නිසාත් සභාව විසින් එම නාමයෝජනාව සඳහා අනුමැතිය ලබා දෙන ලදි. →

පොලිස්පතිවරයා පත්කිරීමේ දී ද, එතුමන් විසින් සභාව වෙත නාමයෝජනා ත්‍රිත්වයක් ඉදිරිපත් කර තිබූ අතර සභාවේ අදහසවූයේ මෙම නාමයෝජනා ත්‍රිත්වයම සභාව විසින් සලකා බැලිය යුතු බව අදහස් කරන බවයි. එබැවින්, නාමයෝජනා ත්‍රිත්වය පිළිබඳ මූලික පසුවිපරමකින් පසුව, සභාවේ සාකච්ඡා කරන ලද අතර එහි දී බහුතරය විසින් එකඟතාවය පල කළ නාමයෝජනාව සඳහා අනුමැතිය ලබා දෙන ලදි. 

සභාවේ එම රැස්වීම් සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද සහභාගී වූ අතර එම තීරණ සඳහා එකඟතාවය ලබා දී ඇති බව ද සඳහන් කල යුතුය.එහෙත් එතුමන්ගේ වාර්ථමාන විරෝධය අපට තේරුම්ගත නොහැක.

තවද, සභාව විසින් ගන්නා සෑම තීරණයක් ම ඝණ පූරණය ඇතිව මෙන් ම ඒකමතික හෝ බහුතරයේ එකඟතාවය මත ම පමණක් ම ගන්නා බව විශේෂ අවධානයට යොමු කරනු කැමැත්තෙමු.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සෑදිය යුතු රීති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඉ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව සභාව විසින් සිය කර්තව්‍ය ඉටු කිරීමේදී අනුගමනය කරන කාර්ය පටිපාටිය පිළිබඳ තීරණය කිරීමට ප්‍රතිපාදන සලසා ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, ස්වකීය කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමට අදාලව රීති අවශ්‍ය වූ අවස්ථාවන්හි දී සෑදීමට සභාව වෙත බලය ඇති බව දක්වා ඇත. එතෙක් දැනට උපයෝගී කර ගන්නා මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හැකියාව ඇති බවද සඳහන් කල යුතුය. මෙම කරුණ පිළිබඳ ව ද අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කර ඇත.

නමුත්, සෑම පාර්ශවයකගේ ම අදහස් යොදාගත් ක්‍රමවේදයක් සකස් කිරීම උචිත යැයි අදහස් කළ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවූවද, සභාව විසින් එකඟ වූ මාර්ගෝපදේශ මාලාව අතිගරු ජනාධිපතිතුමන් ද ඇතුළුව සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත යොමු කළ අතර මේ වන තුරුත් ඒ පිළිබඳ අදහස් අප වෙත දන්වා නොමැති බව ද කණගාටුවෙන් සඳහන් කල යුතුව ඇත.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා එය විසින් ඉටුකරනු ලබන කාර්යය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් අප විමසන ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානයට යොමු කරන ලද අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අප සූදානම් බව ද දන්වා සිටින ලදි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.