19 April, 2024

Blog

සුළග, නැගිටිමු, පෙරළමු, නිදියමු

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතිය අවසන් වූයේ ලංකාවේ දේශපාලන කරළියේ තවත් මහින්ද සමග නැගිටිමු හෙවත්, පෙරළියක ඇරඹුම රැළිය නුගේගොඩ පවත්වමිණි. එම රැළියට පැමිණිය හැකි උපරිම ජනතාව අටදහසකට අඩුවිය යුතුය. මන්ද, නුගේගොඩ එළිමහන් රංග පීඨය පිහිටා ඇති රථ ගාලේ උපරිම වශයෙන් මිනිසුන් එක්දහස් පන්සියයකට, දෙදහසකට වඩා හිටගෙන සිටිය නොහැකි බැවිනි. මීට අමතරව නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, වේදිකාව ඉදිරිපස කොටසේත්, පරණ කොට්ටාව පාරේත්, එම හංදියේත් ජනතාව උපරිම වශයෙන් පිරී සිටිය හැකි යැයි අප උපකල්පනය කළහොත් සහභාගී වූ මුළු ජන සංඛ්‍යාව පන්දහසත්, අටදහසත් අතර විය යුතුය. එම ජන සංඛ්‍යාව විකල්ප දේශපාලන ව්‍යාපාරයකට ඉතාම සතුටු විය හැකි ජන සංඛ්‍යාවකි. නමුත් අප අවධානය යොමු කළ යුත්තේ එම ජනතාව පැමිණියේ කොහෙන්ද ? ඔවුන් කවුරුන්ද ? හා ඔවුන්ගේ අභිලාෂය කුමක්ද ? යන්නයි.

මෙම පැමිණි ජනතාව අනුරාධපුරයේ චන්ද්‍රසේන මන්ත්‍රීවරයාගේ සිට මාතර මහින්ද යාපා දක්වා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරීන් හා සංවිධායකයින්ගේ මැදිහත් වීමෙන් බස්රථවල පටවා රැගෙන ආ ජනතාවයි. එම රැගෙන ඒමේ මුඛ්‍ය අරමුණ ජනතාව අතර එම කණ්ඩායමේ ජන බලය පෙන්වීමයි. එම අර්ථයෙන් ගත් විට මෙම රැළිය සාර්ථක රැළියකි. එදින කොළඹ ඉඩපාඩු ඇති තැන්වල නවතා තිබු මහින්දගේ ඡායාරූපය සහිත බස්රථ දකින්නෙකුට මෙහි දේශපාලන අභිමතය හා එහි සාර්ථක, අසාර්ථක බව දැනෙනු ඇත. මහින්ද හා එම කණ්ඩායම අතීත කාමයේ වෙලී සිටින අතර ඔවුන්ට ආණ්ඩු බලය නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබද අවබෝධයක් ලබා ගත යුතුය. එම රැළියෙන් කොහොමටවත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලට ළබැදි ජනතාව තුළ ආශ්වාදයක් ඇති වීම සැබෑවකි. නමුත් ආශ්වාදයෙන් පමණක් ආණ්ඩු පෙරළා දැමිය නොහැක. එය ඉතාම සූක්ෂම බරපතල දේශපාලන ක්‍රියාවකි. මහින්දගේ දේශපාලන සිතියම තුළ වැඩකටයුතු සිදුවන ආකාරයෙන් පෙනී යන ප්‍රධානතම කාරණය නම් නැවත රාජ්‍ය බලය ලබා ගැනීමේ කිසිදු අභිලාෂයක් ඔවුන් තුළ නැති බවයි. ඔවුන්ගේ මුළු දේශපාලන ව්‍යාපාරයම පදනම් වී ඇත්තේ මෙම අමාරු කාලයේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙනි. එයට අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ සම්බන්ධයක් ඇතැයි විටෙක මටද සිතේ.

මහින්ද රාජපක්ෂ පමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම දිවිහිමියෙන් සටන් කරනුයේ තම දේශපාලන බලය ප්‍රදර්ශනය කිරීම සදහායි. ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම දේශපාලන වැඩසටහන්වල පදනම හා හරය වන්නේ, ඔවුන් සතුව ඇති ජන බලය ප්‍රදර්ශනය කිරීමයි. මහින්ද සමග නැගිටිමු දේශපාලන රැළි මාලාව කොළඹ නගරය තුල පැවැත්වීමත්, ඒ සදහා අධික ලෙස වියදම් කිරීමත්, බලය ප්‍රදර්ශනය කිරීමත් තුළ පිළිබිඹු වන්නේ ඔවුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට උත්සාහ කිරීමකි. ඔවුන්ට ඇති අපරාධ හා දූෂණ චෝදනා වලින් ගැලවීමට මගක් පාදා ගැනීමකි.

සැබෑ ලෙසටම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මතය ආණ්ඩුවට අභියෝග කර රාජ්‍ය බලය ලබා ගැනීම සදහා දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නම්, ඔවුන් විසින් කළ යුත්තේ බිම් මට්ටමේ සිට නැවත සංවිධාන ගත වීමයි. කොළඹ කේන්ද්‍රීය සිවිල් සංවිධාන හා දේශපාලන කණ්ඩායම් අතර දේශපාලන බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කිරීමයි. එසේම විදේශීය තානාපති කාර්යාල හා ධූත මණ්ඩල එම සාකච්ඡාව ජාත්‍යන්තරය දක්වා ගෙන යාමයි. නමුත් මහින්ද රාජපක්ෂ මේ මොහොතේ ක්‍රියාත්මක වී සිටින දේශපාලන වැඩසටහන් තුළ ඇත්ත වශයෙන්ම ඇත්තේ, කොළඹ සිට ව්‍යාපාර කරනු ලබන ප්‍රචාරක හා වැඩසටහන් කළමණාකරන (Event Management) ආයතනවල කොල්ලෝ කුරුට්ටෝය. ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශයේ වැඩකරන ආධුනික මාධ්‍යවේදීන්ය. මහින්ද සුළග, මහින්ද සමග නැගිටිමු, පෙරළියක ඇරඹුම වැනි වැකි සියල්ල මෙම කොල්ලෝ කුරුට්ටන්ගේ මාකටින් ප්‍රචාරක උපක්‍රම මිස කිසිදු දේශපාලන ගැඹුරක් ඇති ව්‍යාපාරයන් නොවේ.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ඉහළම කණ්ඩායම් වලට පවතින ආණ්ඩුව පරාජය කොට බලය ලබා ගත හැකි යැයි කිසිදු බලාපොරොත්තුවක් හෝ හැකියාවක් නැත. නමුත් ඔවුන් සාර්ථක වූ එක් පැත්තක් තිබේ. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට එම පක්ෂයේ මහජන මතය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හා ඔහුගේ කණ්ඩායමට එරෙහිව මෙහෙය වීමට ගත් සාර්ථක උත්සහයයි. තාක්ෂණික වශයෙන් ගත්විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල ලෙස කණ්ඩායම් දෙකකට බෙදීමෙන්, එම බෙදීම ජනාධිපතිවරයාගේ කණ්ඩායම තුළ උහතෝකෝටිකයක් ලෙසත්, මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම තුළ වීරත්වයක් හා සටන්කාමීත්වයක් ලෙසත්, එක්සත් ජාතික පක්ෂය තුළ ආශ්වාදයකුත් ජනිත කොට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසේ බල අරගලය තුළ එක්සත් ජාතික පක්ෂය තව තවත් ශක්තිමත් වෙමින් ගම් හා නගර මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවමින් ප්‍රධාන පක්ෂයේ හා අනුබද්ධ සංවිධානවල නායකයින් හා ක්‍රියාකාරීන් පුහුණු කරමින්, ප්‍රමාණවත් අයුරින් නොවූවද හැකිතාක් දුරට පක්ෂයට හා පාක්ෂිකයින්ට උදව් උපකාර කරමින්, රටේ රාජ්‍ය පාලන ක්‍රියාවලියේ නිමැවුම්කරුවා හා තීරණය කරන්නා වෙමින්, සෙමින් නමුත් ශක්තිමත්ව අධිෂ්ඨානශීලීව 2020 දක්වා ජයග්‍රාහීව ගමන් අරඹා ඇත.

පසුගිය දශක දෙක තුළ කවරදාටත් වඩා 2017 දී එක්සත් ජාතික පක්ෂය හා එම පාක්ෂිකයින් තුළ නව බලාපොරොත්තු ඇති වී තිබේ. ආණ්ඩුවේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන්, මහ නගර ව්‍යාපෘති, පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම්, හම්බන්තොට වරාය වැනි සුදු අලි ජාතික ආර්ථිකයට එක් කර ගැනීම, ජාත්‍යන්තරය සමග වාසි දායක වෙළද ගිවිසුම් වලට එළැඹීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම, නිවාස ලක්ෂ පහක් ඉදි කිරීම, අධිවේගී මාර්ග ගොඩනැගීම හා නැවත ආරම්භ කිරීම, රාජ්‍ය සේවයේ හා පරිපාලනයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම, ආදායම් බදු හා රේගුවේ ප්‍රතිසංවිධානය, අධිකරණයේ හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ක්‍රියාකාරීත්වය නැවත ආරම්භ කිරීම වැනි වැඩසටහන් තුළින් මෙම වසර අවසන් වන විට මෙම ආණ්ඩුව ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු ශක්තිමත්ම, බලවත්ම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බවට පත්වනු ඇත.

නමුත් 2017 වසර අපේක්ෂා කළ යුතු පරිදිම අමාරු සංකීර්ණ වසරකි. එම වසර පසුකරමින් ජයග්‍රාහී ලෙස 2018 වසරට ගමන් කිරීමට ආණ්ඩුවට විභවාත්මක හැකියාවක් පවතී.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.