28 September, 2020

Blog

මැන්ඩෙලා අරටුව

තිසරණී ගුණසේකර

‘‘ෆැසිස්ට්වාදය, ජාතිවාදය, ඒකාධිපතිත්වය සහ යුද්ධය හරහා අපකීර්තියට පත්වූවන්ට ප‍්‍රතිපක්ෂව, විසිවැනි සියවස යම් මානව ප‍්‍රගතියක් සහිත යුගයක් සේ සනිටුහන් කළ අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි, ඔහු. නෙල්සන් මැන්ඬේලා අයත් වන්නේ ලෝකයාටයි.’’ – නඞීන් ගෝඩිමෙර්

1993 දකුණු අප‍්‍රිකාව, වර්ණභේදවාදී අතීතයක් සහ පශ්චාත්-වර්ණභේදවාදී අනාගතයක් අතර දෝලනය වන ගොම්මනේ, එක්තරා මිනිස්සු දෙන්නෙක් ඝාතනයක් සැළසුම් කළහ. නව-නට්සිවාදියෙකු වූ ජානුස් වාලූස් සහ දක්ෂිණාංශික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ ක්ලිව් ඩර්බි-ලූවිස්, වර්ණභේදවාදය එක දිගටම පවත්වා ගැනීමේ අරමුණින් ජාතිවාදී සිවිල් යුද්ධයක් ඇවිළවීමට මානබලමින් උන්හ. ඔවුන්ගේ සැලැස්ම වුණේ, ජනප‍්‍රිය කළු නායකයෙකු ඝාතනය කොට, ඒ වන විටමත් ගැටුම් ඇවිලෙමින් තිබුණු නගර ලේ විළක හෙලීමයි. එවිට සුදු ජාතික බහුතරයකින් සමන්විත රජයේ හමුදාව පාරට බස්සවා, නීතිය හා සාමයත්, සුදු ජාතික ජීවිතත් ආරක්ෂා කැරැුවීම තුළින් වර්ණභේදවාදී පාලන තන්ත‍්‍රය ආරක්ෂා කරගත හැකි වෙනු ඇතැ යි යන්න ඔවුන්ගේ විශ්වාසය විය.

Nelsonඉලක්කය වශයෙන් ඔවුන් තෝරාගත්තේ, අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ එකල නායකත්වය තුළ ජනප‍්‍රියත්වයෙන් දෙවැනි තැන ගත්, කැරලිකාරී කළු ජාතික තරුණයන්ගේ වීරයෙකු වූ, ‘උම් කොහොන්තෝ වේ සිස්වේ’ ව්‍යාපාරයේ හිටපු නායක සහ දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්ෂ ප‍්‍රධානියා වූ, යම් දවසක මැන්ඬේලාගේ දේශපාලන උරුමකරුවා වෙතැ යි විශ්වාස කළ, ක‍්‍රිස් හානි ය. මැන්ඬේලාව හිරෙන් නිදහස් කර ගැනීම සඳහා පැවති සාකච්ඡුාවල ඔහු ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවේය. එසේම, වර්ණභේදවාදය අවසන් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දකුණු අප‍්‍රිකාවක් බිහි කිරීමේ සාකච්ඡුාවල ද ඔහු පාර්ශ්වකරුවෙකු විය.

සැලැස්මේ ප‍්‍රථම අදියර සාර්ථක විය: 1993 අපේ‍්‍රල් 10 වැනි දා උදේ, වාලූස් විසින් හානිගේ නිවෙස ඉදිරිපිටදී ඔහුව වෙඩි තබා ඝාතනය කෙරුණි. එයින් බලවත් කම්පාවට පත් වැසියෝ, සිවිල් යුද්ධයක ඉද්දරට ආහ. එහෙත් ඔවුන් ඊට බිළි වුණේ නැත. එදා හැන්දෑවේම නෙල්සන් මැන්ඬේලා ජාතිය ඇමතීය: ‘‘මේක අපි කාටත් තීරණාත්මක මොහොතක්.’’ කුමක් කළ යුතු දැ යි දැක්වෙන යම් සංඥාවක් අපේක්ෂාවෙන් සිටි ජනතාව අමතමින් ඔහු කීය. ‘‘යුද්ධයට වන්දනාමාන කරන, රුධිරයට කෑදර වෙන පිරිසකගේ වැඩවලින් මේ රට තවත් ඇංගෝලාවක් වෙන්න අපි ඉඩ දෙන්න නරකයි.’’

ඔහුගේ ඒ ආයාචනය වැඩ කෙළේය. ඇතැම් හිංසනකාරී ක‍්‍රියා ඇති වුවත්, හානිගේ ඝාතකයන් අපේක්ෂා කළ මහා වින්නැහිය සිදු නොවුණි. ඒ නිසා, නිදහස කරා යන දකුණු අප‍්‍රිකානු ගමන ආරක්ෂා වුණි.

‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ’ දීර්ඝ අරගල මාලාව තුළ එරටේ කළු- ස්වෝත්තමවාදය සමග එම පක්ෂය මොන අයුරකින් හෝ සම්මුතිගතව තිබිණි නම්, ඒ බිහිසුණු මොහොතේ මැන්ඬේලා ජනතාවට කළ ආයාචනය සාර්ථක නොවන්නට ඉඩ තිබුණි. එහෙත් ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ කිසි විටෙක කළු ජාතික ස්වෝත්තමවාදය සමග ඇයිහොඳයිකම් පැවැත්තුවේ නැත. එම පක්ෂයේ දැක්ම සහ ක‍්‍රියාකාරකම් හැම විටකම, කොන්දේසි විරහිතව, නිර්-ජාතිවාදී විය. ඔවුන් වර්ණභේදවාදය සැළකුවේ, කළු ජාතිකයන්ට එරෙහි අපරාධයක් වශයෙන් නොව, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වශයෙනි. ඒ නිසා, සුදු ජාතිකයන්ව ද – සුදු නොවන වෙනත් ජාතිකයන්ව ද -වර්ණභේදවාදයට එරෙහි අරගලයේ ක‍්‍රියාකාරී සහභාගීත්වයට උනන්දු කැරැුවුණි. ඒ වෙනුවෙන් කැපවුණු සුදු ජාතික සුළුතරයක් ඇත්තෙන්ම එම අරගලයේ සෑම අදියරකම පාර්ශ්වකරුවෝ වූහ. ඔවුන් ද, වර්ණභේදවාදී රාජ්‍යයේ දඩයමට ලක්වූ අතර, අත්අඩංගුවට පත්ව වධබන්ධනයටත්, සමහරවිට ජීවිතක්ෂයටත් පත්වූහ. කළු ජාතික දකුණු අප‍්‍රිකාවේ වීරයන් සහ වීර දිවි පිදූවන් අතර සුදු ජාතික ගැහැනු සහ පිරිමි ද සිටියහ. දකුණු අප‍්‍රිකාව මීට විසි වසකට පෙර හිංසනයේ නරා වළට නොවැටී බේරුණේ, මැන්ඬේලාගේ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ’ දේශපාලනය, වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකානු රාජ්‍යයේ ‘කල්ලාට එරෙහි සුද්දාගේ’ විසකුරු දේශපාලනයට සේම, අනිත් පැත්තෙන් ‘සුද්දාට එරෙහි කල්ලාගේ’ අවැඩදායි දේශපාලනයටත් එක සේ යටත් නොවී සිටීම නිසාම ය.

සහෝදරත්වයේ ප‍්‍රතිමාවක්

සහෝදරත්වයේ සහ සංහිඳියාවේ ජගත් ප‍්‍රතිමාවක් වූ මැන්ඬේලාට පෙර සිටියේ, රොස්පරොස් තරුණ මැන්ඬේලා කෙනෙකි. එදා ඔහුගේ දිවි ගී සරණිය වුණේ, අවිහිංසාව හෝ මධ්‍යස්ථ සංයමය නොවේ. ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේම’ පැරණි නායකත්වයේ විරෝධය මධ්‍යයේ පවා ඔහු එදා පෙනී සිටියේ සන්නද්ධ අරගලය වෙනුවෙනි. (එවකට එම පක්ෂයේ නායකයා වූ ඇල්බට් ලූටුලිට, අවිහිංසාව වෙනුවෙන් කැපවීම උදෙසා 1960 සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණි*. එසේම, ‘උම් කොහොන්තෝ වේ සිස්වේ’ ව්‍යාපාරයේ ආරම්භක නායකයා ද වූ මැන්ඬේලා, ඇල්ජීරියාවට සහ ඉතියෝපියාවට ගොස් ආයුධ පුහුණුව ද ලැබීය. කිසි විට වෙනස් නොවුණු ඔහුගේ දේශපාලන ගතිකය වුණේ, දකුණු අප‍්‍රිකාව එහි වෙසෙන සියළු ජනතාවට සමාන නිවහනක් විය යුතුය යන තිරසාර විශ්වාසයයි. අනිකා ඉවසීමේ මූලික ගුණයත්, මිනිසා ජාති, වර්ණ, ගෝත‍්‍ර, ආගම් ආදියෙන් බෙදා වෙන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමත්, ඔහුගේ සහ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රස්’ දේශපාලනයේ පදනම විය.

මැන්ඬේලා සහ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ ජාතික විමුක්තියට ගිය මාවත, වර්ණ-අන්ධතාවෙන් යුක්ත වූවකි. වර්ණභේදවාදය පිළිකෙව් කරන සහ ඊට එරෙහිව අරගල කිරීමට සූදානම් ඕනෑම කෙනෙකුට එම අරගලය තුළ තැනක් තිබුණි. සමහර විට නිර්-ජාතිවාදය කෙරෙහි මැන්ඬේලා සහ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ තුළ පැවති කැපවීම හොඳින්ම සංකේතවත් කෙරුණේ, ‘උම් කොහොන්තෝ’ ඉතිහාසය තුළ විය හැකිය. එදා මාරාන්තික අවදානමකින් යුත් විරෝධතාව වුණේ, සුදු ජාතික රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගැනීමයි. එය, මරණ දඩුවමට යටත්, ‘රාජද්‍රෝහී කි‍්‍රයාවකි.’ එම අවදානම්කාරී තත්වය සැලකිල්ලට ගැනීමේ දී, එවැනි ක‍්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ භක්තිය, කැපවීම සහ විශ්වසනීයත්වය අවශ්‍ය කෙරේ. ’උම් කොහොන්තෝ’ යනු සැබවින්ම බහු-වාර්ගික ව්‍යාපෘතියකි. එය, මැන්ඬේලාගේ අනාගත ‘දේදුනු ජාතියේ’ සාඩම්බර පෙරගමන්කරු විය. එම ව්‍යාපාරය මැන්ඬේලා ගොඩනැගුවේ, සුදු ජාතික කොමියුනිස්ට්වාදියෙකු වූ, ජෝ ස්ලොවෝ සමගයි. එහි ප‍්‍රධාන නායකයන් අතර කළු ජාතිකයන් නොවන බොහෝ දෙනා වූහ: ෆ්‍රෙඞ් කාර්නේසන් (සුදු/කොමියුනිස්ට්), ජැක් හොජ්සන් (සුදු/කොමියුනිස්ට්*, අහමඞ් කත්රාදා (ඉන්දීය/මුස්ලිම්), ආතර් ගෝල්ඞ්රෙයිජ් (සුදු /යුදෙව්), ඩෙනිස් ගෝල්ඞ්බර්ග් (සුදු/යුදෙව්) සහ රොනල්ඞ් කැස්රිල්ස් (සුදු/යුදෙව්)වශයෙනි.

සුදු ජාතිවාදයේ භීෂණය සමග ජීවත් වන සාමාන්‍ය කළු ජාතිකයන්ට, දකුණු අප‍්‍රිකාවේ නිදහස් අරගලය තුළ තම ජීවිත සහ නිදහස පරදුවට තබමින් කටයුතු කරන එවැනි සුදු ජාතිකයන් ද ඇති බව පෙනුණි. වර්ණභේදවාදයට එරෙහි අරගලය, සුදු-විරෝධී යුද්ධයක් බවට පත් නොවීමට එම කාරණය ද බලපාන්නට ඇත.

මැන්ඬේලා, වෝල්ටර් සිසුලූ, ගෝවාන් මබෙකි සහ වෙනත් ඉහළ පෙළේ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රස්’ නායකයන්ව සිරගත කිරීම නිසා, වර්ණභේදවාද-විරෝධී අරගලයේ නායකත්වය තුළ හිඩැසක් නිර්මාණය විය. කෙටි කාලයකට එම අඩුව පුරවන ලද්දේ, තවත් දකුණු අප‍්‍රිකානු කළු ජාතික ශ්‍රේෂ්ඨයෙකු වූ ස්ටීව් බිකෝ විසිනි. කළු ජාතිකයන් තමන් විසින්ම තමන්ගේ විමුක්තිය උදා කර ගත යුතු යැයි ඔහු තර්ක කෙළේය. බිකෝ, කළු ජාතිවාදියෙකු නොවුණි. සුදු ජාතිවාදී දකුණු අප‍්‍රිකාවක් වෙනුවට කළු ජාතිවාදී අප‍්‍රිකාවක් බිහි කළ යුතු යැයි ඔහු නොසිතීය. එහෙත් කළු ජාතික ස්වයං-ශක්තිය සහ කළු ජාතිකයන්ව චින්තනමය වශයෙන් බලගැන්විය යුතු යැයි ඔහු විශ්වාස කෙළේය. ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ සහ එහි බහු-වාර්ගික දේශපාලනය වෙනුවට බිකෝගේ ‘කළු ජාතික විඥානය’ ව්‍යාපාරය ආදේශ විණි නම් දකුණු අප‍්‍රිකාව කෙසේ වනු ඇත් දැ යි සිතා ගැනීමට අද අපට පුළුවන් කමක් නැත. එහෙත් වර්ගවාදී සිවිල් යුද්ධයක් කෙරෙහි ඇති ආකර්ශණයට යට නොවී සිටීමට මැන්ඬේලාගේ දකුණු අප‍්‍රිකාව සමත් වූ තරමට බිකෝගේ මතවාදය සමත් වෙනු ඇතැ යි උපකල්පනය කිරීම අසීරු ය.

වර්ණභේදවාදී රාජ්‍යය අනුගමනය කළ බෙදා වෙන් කිරීමේ ප‍්‍රතිපත්තිය හෝ අනෙකා නොඉවසනසුළු නපුරු ලබ්ධිය අනුකරණය කිරීම ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ සහ මැන්ඬේලා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන්, තවත් බිහිසුණු ආපදාවකින් දකුණු අප‍්‍රිකාව ගැලවුණි. එනම්, ගෝත‍්‍රවාදී යුද්ධයයි. වර්ණභේදවාදී පාලනය එහි අපකීර්තිමත් අවසානයට ළඟා වෙද්දී, ‘සුලූ’-ගෝත‍්‍රික ඉන්කාතා ව්‍යාපාරය, දුර්දම සුදු ස්වෝත්තමවාදීන්ගේ ද සහයෝගය ඇතිව, ගෝත‍්‍රික යුද්ධයක් අවුලූවනු ඇතැ යි බොහෝ දෙනා තුළ විශාල බියක් තිබුණි. ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ’ ඉහළ පෙළේ බොහෝ නායකයන් ‘ක්ෂෝසා’ ගෝත‍්‍රිකයන් වුව ද, ‘ජාතික කොන්ග‍්‍රස’් දේශපාලනය, ප‍්‍රතිපත්තිමය වශයෙන් ගෝත‍්‍රික-දේශපාලනය ඉඳුරා බැහැර කෙළේය. මැන්ඬේලා සහ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’, ගෝත‍්‍රිකවාදය ප‍්‍රයෝජනයට ගැනීමට ඒ අවස්ථාවේ දී බැලූවේ නම්, කළු ජාතිකයන්ට එරෙහි කළු ජාතිකයන්ගේ ඝට්ටනයක් මගින් නිදහස් දකුණු අප‍්‍රිකාව දෙකඩ කෙරෙනු ඇත.

යොදා ගන්නා මාර්ගයේ ස්වභාවය විසින් අරමුණ හැඩගස්වනු ලැබේ ය යන්න හැබෑවකි. කළු=ස්වෝත්තමවාදී ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයක්’, බහු-ජාතික දකුණු අප‍්‍රිකාවක් ගොඩනැගීමට සමත් නොවනු ඇත. ජාතිය සහ රාජ්‍යය ගොඩනැගීමේ මූලික ප‍්‍රවේශය වශයෙන් මැන්ඬේලා සහ ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ විසින් ගුරු කොට ගත්, අනිකා ඉවසන සුළු, සියල්ලන් අන්තර්ග‍්‍රහණය කර ගත්, සම්මුතිකාමී ප‍්‍රතිපත්තිය, දකුණු අප‍්‍රිකානු නව රාජ්‍යයේ ජාතික ගීය තුළ මනාව සංකේතවත් කෙරේ. ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ’ සටන්-ගීතිකා සහ පැරණි වර්ණභේදවාදී රාජ්‍යයේ ජාතික ගීයේ කොටස්වලින් සමන්විත නව ජාතික ගීය භාෂා පහකින් ගායනා කෙරේ. එහි අවසාන ප‍්‍රතිඵලය, සුමිහිරි සොඳුරු සාකල්‍යයකි.

මිනිස් කමට සීමා පැනවීම මැන්ඬේලා නොපිළිගැනීම, සමහර විට, රොබට් මුගාබේ ගත් මගට වෙනස් මගකට ඔහුව යොමු කළ සාධකය විය හැකිය. විමුක්ති අරගලයේ වීරයෙකු වශයෙන් තමා පොදු මිනිස් භාවයට ඉහළින් සිටින්නේ යැයි මුගාබේ විශ්වාස කෙළේය. තමාට වරදින්නට හේතුවක් නැතැ යි ගත් මුගාබේ, තමාගේ බලය රැුක ගැනීම සඳහා ගෝත‍්‍රවාදයත්, ජාතිවාදයත් පාවිච්චි කෙළේය. මැන්ඬේලා එය කෙළේ නැත. නියෙට්ෂියානු මාදිලියේ සුපිරි පුරුෂයෙකු වීම ප‍්‍රතික්ෂේප කළ ඔහු, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව රට පාලනය කොට, ස්වේච්ඡුාවෙන්ම බලය අතහැර ගියේය.

මැන්ඩෙලා ඇමතුවේ රටේ ජනතාව තුළ පැවති උත්තම ගුණයට මිස අවගුණයට නොවේ. මනෝරාජ්‍යයේ ශක්‍යතාව ඔහු ඔප්පු කෙළේය. එය, තුරුලූ කර ගැනීමට තරම් වන සොඳුරු සිහිනයකි.

*2013 දෙසැම්බර් 8 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Essential Mandela ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.