26 October, 2020

Blog

හකීම් මහතාගේ අපරාධය

තිසරණී ගුණසේකර

‘‘මේ රටේ සිද්ධ වෙන මට පේන හුඟාක් දේවල්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි… ඒක තේරුම තමයි, එක්කෝ එම ධර්මය මිනිස්සු තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම්, එම ධර්මයට හිතාමතාම නිගා කරනවා.’’ – එම්. එච්. එම්. අෂ්රෆ්

Hakeem 1 colombotelegraphනිදහසෙන් පසු ශ‍්‍රී ලංකාව සිය මුස්ලිම්-විරෝධී ප‍්‍රථම කෝලාහලය දැක්කේ, 2001 අපේ‍්‍රල් මාසයේ මාවනැල්ලේ දී ය. එහි දී සිදුවුණේ, සාමාන්‍ය මත ගැටුමක්, පොලීසියේ නිද්‍රාශීලිත්වයත්, දේශපාලනික නූල් සූත්තරත් නිසා, කුඩා පරිමාණයේ ආගමික ගැටුමක් බවට පරිවර්තනය වීමයි. එහෙත්, දෛනික ආර්ථික අසන්තෘප්තීන්, දේශපාලනික එදිරිවාදිකම් සහ ව්‍යාපාරික තරග මගින් ඇති කෙරෙන මනෝමය වාතාවරණය, ආගමික බෙදීම්වලට පරිවර්තනය කළ හැකි බව ප‍්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ, ගංගොඩවිල සෝම හිමියන් ය.

සමාජයේ එක් කොටසක් තුළ පවතින, ‘ආක‍්‍රමණශීලි ආකාරයෙන් ජාතිකවාදී වන සහ ආක‍්‍රමණශීලී ආකාරයෙන් බෞද්ධාගමික වන නිදන්ගත අදහසක්’ ගැන 1954 දී සර් අයිවෝ ජෙනිංස් ලීවේය. මේ නිදන්ගත මනෝභාවය, 1956 ප‍්‍රතිගාමී ‘පුනරුදය’ සඳහා එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක පාවිච්චියට ගත්තේය. එසේ යටින් දිවෙන අදහස් උදහස් ඉබේ ඇති වන ඒවා නොවේ. ඒවා උපදින්නේ, පෞද්ගලික සහ සමාජයීය අසන්තෘප්තීන්, වාර්ගික/ආගමික ගැටුම්වලට පරිවර්තනය කිරීමට ගන්නා සවිඥානයක ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිපලයක් වශයෙනි.

අර්බුදවලින් පිරුණු සමාජවල කට්ටිවාද/අසහනය ඇවිස්සීමට සමාජය කෙරෙහි බලපෑම් සහිත සංස්කෘතික/ආගමික පුද්ගලයන ක‍්‍රියා කර ඇති ආකාරය විවිධ අධ්‍යයනයන් තුළ අවධාරණය කොට තිබේ. රිචඞ් වැග්නර්, බොහෝ විට ඒ සඳහා උද්ධෘත කෙරෙන එක් පුද්ගලයෙකි: ‘‘ජර්මනිය තුළ යුදෙව්-විරෝධයේ හිස එසැවීමට, විශේෂයෙන් එම විරෝධය සංස්කෘතිකමය වශයෙන් ගෞරවාන්විත ක‍්‍රියාවක් වශයෙන් හුවාදැක්වීමට, වැග්නර් සිය ලියවිලි හරහා කටයුතු කොට තිබේ’’ යැයි එක් අධ්‍යයනයකින් පෙන්වා දෙයි. සෝම හිමියන් 1990 දශකයේ දී රඟපෑවේ ඊට සමාන භූමිකාවකි. සුළුතර/මුස්ලිම් ව්‍යාප්තවාදයට ගොදුරු වී සිංහල-බෞද්ධයා වඳ වී යන බවක් පෙන්නුම් කිරීමට ඔහු සාර්ථක උත්සාහයක් ගත්තේය.

ලංකාවේ බුද්ධාගමේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, අබෞද්ධ වතාවත් වැළඳ ගැනීම නොව, සිංහල ජාතිය සහ බුද්ධාගම අතර විකාර සහසම්බන්ධයක් ගොඩනැගීමත්, ශ‍්‍රී ලංකාවේ සිංහල=බෞද්ධ භාවය ආරක්ෂා කිරීමේ මාර්ගයක් වශයෙන් ප‍්‍රචණ්ඩත්වය කරට ගැනීමත් ය. මහාචාර්ය තම්බයියා පෙන්වා දුන් පරිදි, අනගාරික ධර්මපාලගේ බෞද්ධ පුනර්ජීවනයේ ප‍්‍රධාන ලක්ෂණ වශයෙන් පැවතියේ, ‘අබෞද්ධ යැයි සැළකුණු ආගමික වතාවත් සහ මායාවී මෑනවීම් නිර්දය සේ හෙළාදැකීමත්’, තවත් පැත්තකින්, ‘පවුල් ජීවිතය සඳහා වන සුසිරිත් මාලාවක් සහ පාරිශුද්ධවාදී ලිංගික සදාචාරයක් අවධාරණය කෙරෙන නීති සංග‍්‍රහයක් ඔසවා තැබීමත්’ ය. සෝම හිමියන් ද සිය මහජන භූමිකාව පටන්ගත්තේ, බෞද්ධ නොවන බලපෑම් සහ භාවිතාවන්ගෙන් බුද්ධාගම පිරිසුදු කිරීමේ ව්‍යායාමයක් තුළිනි. පාරිශුද්ධවාදී සදාචාරයක් වෙත සහ පිරිසුදු ශාස්ත‍්‍රීය බුද්ධාගමක් වෙත අවතීරණ විය යුතුව ඇතැ යි ඔහු කීය. එතැනින් පටන්ගෙන, ධර්මපාල සහ ඒ පන්නයේ වෙනත් අයවළුන් (මාර්ටින් ලූතර් සහ අල් වහබ් වැන්නන්) මෙන් ඔහු ද කෙලින්ම පල්ලම් බැස්සේ, ආගමික උමතුවකටයි.

සෝම හිමියන් ඔහුගේ විසකුරු ව්‍යායාමය පටන්ගන්නා තෙක්, මුස්ලිම්=භීතිකාව සාමූහික සිංහල විඥානයේ යටපත්ව පැවති නිසා එය දේශපාලනික සාධකයක් වුණේ නැත. සැබෑවටම මුහුණදීමට සිදුව තිබූ කොටි තර්ජනය ඉදිරියේ සිංහලයන් විසින් මුස්ලිම් ජාතිකයන්ව සළකනු ලැබුවේ තමන්ගේ සහකාර සගයන් වශයෙනි. අෂ්රෆ්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ග‍්‍රසය, වචනයේ පුළුල් අර්ථයෙන්ම, කොටි විරෝධී විය. (බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමක් කෙරෙහි විශ්වාසය තබමින්, ඔහු දෙමළ විරෝධී නොවී, බෙදුම්වාද-විරෝධී සහ කොටි-විරෝධී විය).

1915 ඈත අතීතයක දුටු දුෂ්ට සිහිනයක් වශයෙන්

සෝම හිමියන්ගේ මුස්ලිම්-විරෝ්ධී ව්‍යාපාරය නිසා ඒ තත්වය වෙනස් විය. හිටිහැටියේම, සිංහල=බෞද්ධයෝ, තමන්ගේ මුස්ලිම් සගයන් තුළ, එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වඩා නපුරු හතුරෙකු දකින්නට විය. සෝම හිමියන් සහ අෂ්රෆ් අතර රූපවාහිනී සජීවී විවාදය පැවැත්වුණේ, මේ පිස්සුවට සාමූහිකව සමාජය යටවෙමින් සිටි අවස්ථාවකයි. ඊට, සෝම හිමියන්ගේ ගෝලයෝ මහත් ප‍්‍රසිද්ධියක් දුන්හ. කවුරුත් බලාපොරොත්තු වුණේ, සෝම හිමියන් විසින් දේශපාලඥයාව හප කරනු ඇති බවයි. එහෙත් සිදුවුයේ වෙනකකි. ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව නැගෙන චෝදනා පදනම් විරහිත බවත්, තමාට එරෙහිව කරන පහර දීම් අසත්‍යයන් සහ විකෘති කිරීම් මත පදනම්ව ඇති බවත් ඔහු තර්කානුකූලව ඔප්පු කෙළේය. සෝම හිමියන් එක තර්කයක් පුස්සක් වීමෙන් තවත් තර්කයක පැටලෙද්දී, ඒවායේ ඇති ව්‍යාජය අෂ්රෆ් ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව සහ සන්සුන්ව පෙන්වා දුන්නේය. අන්තවාදී සුළුතරයක් හැරුණු කොට, විවාදයෙන් අෂ්රෆ් ජයග‍්‍රහණය කළ බව, බෞද්ධයන්ගෙන් බහුතරයක් පිළිගත්හ.

සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැුලීම

සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්=විරෝධී ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල් මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.

ආගමික-ජාතිවාදය සහ දේශපේ‍්‍රමය

ජාතික හෙළ උරුමය, අවස්ථාවාදයේ සහ බල තණ්හාවේ දරුවෙකි. රුසියානු සිසිරයේ තවත් බිල්ලක් වශයෙන්, 2003 දී සෝම හිමියෝ අපවත් වූහ. එකල, අභ්‍යන්තර කුලල් කා ගැනීම් සහ මැතිවරණ අසාර්ථකතාවන්ට මුහුණදෙමින් සිටි සිහල උරුමය, සෝම හිමියන්ගේ අභාවය ගැන රටේ මතුවෙමින් තිබූ (ඉබේමත්, සංවිධානගතවත්) ජාතික ශෝකය තුළ, ස්වකීය දේශපාලනික වල්මත් භාවයෙන් එළියට පැන ගැනීමට පහසු අවස්ථාවක් දුටුවේය. ක‍්‍රිස්තියානි උන්මාදයක් මතුවෙමින් පැවති ඒ අවස්ථාවේ මෙම ව්‍යාපාරය ‘ජාතික හෙළ උරුමය’ නමින් නැවත කලඑළි බැස්සේය.

වාර්තා වන පරිදි, පසුගිය දා කැබිනට් රැුස්වීමේ දී ‘හකීම් ප‍්‍රශ්නය’ ඇදගෙන තිබෙන්නේ, සුළුජාතික=භීතිකාව සහ සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරමින් දේශපාලනික චරිතයක් බවට පත්වූ, චම්පික රණවකයි. ‘‘මුස්ලිම් ජාතිකයන්ට සහ කිතුණුවන්ට එරෙහි ප‍්‍රහාරයන් සහ ඒවා පසුපස සිටි පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව අසාර්ථකව තිබීම’’ ගැන පිටු 50 ක විස්තරාත්මක වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානී නවී පිල්ලේ මහත්මියට දී ඇත්තේ හකීම් බවට ඔහු චෝදනා කොට තිබේ.

ජනාධිපතිවරයා හකීම්ට දෙහි කපා ඇත්තේ එවිට ය. (තමාගේ අවශ්‍යතා මිස මුස්ලිම් ප‍්‍රජාවේ හෝ රටේ අවශ්‍යතා නියෝජනය නොකරන) ඇමති හකීම්, ජනාධිපතිවරයාගේ බැනවැදීමට පිළිතුරු දී ඇත්තේ, තමාගේ පක්ෂයේ සිටින අණක්ගුණක් නැති එවුන් පිට වරද පටවමිනි. කෙසේ වෙතත්, හකීම් දුන්නා යැයි කියන වාර්තාවේ කරුණුවල සත්‍යාසත්‍ය භාවය ජනාධිපතිවරයා ප‍්‍රශ්න කෙළේ නැත. එසේම, එම සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිමය සහ ව්‍යවස්ථාමය පියවර ගෙන තිබුණේ නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට සිදුනොවන බව හකීම් විසින් ජනාධිපතිවරයාට පෙන්නුම් කර දුන්නේ ද නැත.

රටේ ආගමික සහජීවනය, නීතියේ ආධිපත්‍යය හෝ ශ‍්‍රී ලංකාවේ හොඳ නම ගැන ජනාධිපතිවරයාට අංශුමාත‍්‍ර හෝ හැඟීමක් තිබුණි නම් ඔහු කරනු ඇත්තේ, ආරක්ෂක ලේකම්වරයාව සහ පොලිස්පතිවරයාව ගෙන්වා, එවැනි ප‍්‍රහාරයන් ඇත්තෙන්ම සිදුවී දැ යි විමසා, එය සැබෑවක් නම්, එම අපරාධකරුවන්ව නීතිය ඉදිරියට නොගෙනාවේ මන්දැ යි ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමයි. එම අපරාධකරුවන්ව වහා අත්අඩංගුවට ගැනීම දුෂ්කර නැත. මන්ද යත්, ඔවුන් වෛරයේ විෂබීජ වපුරා ඇත්තේ, ප‍්‍රසිද්ධියේම සහ මාධ්‍ය කැමරා ඉදිරියේම වන බැවිනි. ජනාධිපතිවරයාගේ එවැනි මැදිහත්වීමක් විණි නම්, ආගමික අපරාධ නොඉවසන නායකයෙකු වශයෙන් ජාත්‍යන්තරයේ ප‍්‍රසාදයට ද ඔහු නිමිති වනු ඇත. එසේම, සෑම මුස්ලිම් රටක්ම, ජීනිවා නුවරදීත්, වෙනත් තැන්වලදීත්, දෙමළ ඩයස්පෝරාවේ මොන බලපෑම් තිබුණත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවට සහාය දක්වනු ඇත.

එහෙත් ජනාධිපති රාජපක්ෂ කේන්ති ගත්තේ සුළුතර ආගමිකයන්ට පහරදුන් අපරාධකරුවන් සමග නොව, එම අපරාධ හෙළිදරව් කළ සුළුජාතිකයන් සමගයි. රාජපක්ෂ ලබ්ධිය තුළ, අපරාධයක් වන්නේ මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි පල්ලිවලට පහර දීම නොව, එම සිද්ධීන් ප‍්‍රසිද්ධියේ හෙළාදැකීමයි.

‘රට පාවා දුන්නේ’ යැයි ජනාධිපතිවරයා හකීමට චෝදනා කරන්නේ එබැවිනි.

2012 අප්‍රේල් මාසයේ දඹුල්ලේ මුස්ලිම් පල්ලියකට පහර දීමෙන් පසු, ඒ අසළ තිබූ හින්දු කෝවිලක් ද අළුතෙන් ඉදිකරන ලද්දකැ යි කියා කඩා බිදී දැමීමට පිරිසක් වලිකෑහ. මේ සාහසිකයන්ට නායකත්වය දුන් එම පළාතේ නායක භික්ෂුව අමතමින් එක්තරා මැදි වියේ කාන්තාවක් ගෞරව පුරස්තව ඔහුට යමක් මතක් කර දුන්නාය. එනම්, කුඩා කාලයේ පටන් එම කොවිලේ ඈ වන්දනාමාන කර ඇති බවයි. එවිට අර නායක භික්ෂුව ඇගේ නිවසත් කඩා දැමීමට තර්ජනය කෙළේය. ඇගේ දෙයියන්වත් අරගෙන වෙන කොහේ හරි යන්නැ යි ඈට බැන වැදී, ‘‘යකෝ මේ කාක්කෝ ඔලූව උඩින් යනවා විතරක් නෙවෙයි, කූඩු වෙන්නත් හදනවා නේ’’ යැයි කී සේක.

‘සත්කාරක=ආගන්තුක’ මනෝ භාවය යනු එයයි. මහින්ද රාජපක්ෂගේ කේන්තිය ඇවිලෙන්නේ එතැනිනි: සුළුතර=ආගන්තුකයන්ට, අහිමි කළ නොහැකි අයිතීන් කියා දෙයක් නැත. ඔවුන් ශ‍්‍රී ලංකාවේ වෙසෙත් නම්, සිංහල=සත්කාරකයන් කරන දෙයක් කරබාගෙන භාරගත යුතුය. ඒවාට විරුද්ධව පැමිණිලි කරත් නම්, ඔවුන් ජාතිද්‍රෝහීන් ය.

වාර්ගික ප‍්‍රශ්නය සහ දීර්ඝ කාලීන යුද්ධය පැටව් ගැසුවේ ඒ මනෝභාවයෙනි. ආගමික ගැටුමක් ඇති කිරීමට රාජපක්ෂලා එය දැන් හිතාමතාම පාවිච්චි කරත් ද? තවත් යුද්ධයක් අප මත පැටවීමෙන් රාජපක්ෂලා බලන්නේ තමන්ගේ සිංහල විමුක්තිදායක භූමිකාවට යළි පණ දීමට ද?

*2014 මාර්තු 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Mr. Hakeem’s Crime නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.