9 December, 2019

Blog

වෙළඳපොළ බලවේගය සමග දේශපාලන බලය අතිනත ගන්නා විට

තිසරණී ගුණසේකර

‘‘දේශපාලන බලය සහ පුද්ගල කටයුතු අතර මේ සා සංයෝජනයක් ඉතිහාසයේ අපට හමුවන්නේ කොහේදීද? රෝම අධිරාජ්‍ය තුළයි: එහි දී, අධිරාජයාට ඔහුගේ අශ්වයා සෙනේට් මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත්කළ හැකි විය. ඔහුගේ කවි අගය නොකළ ඇමතිවරුන්ගේ මැණික්කටු කපා දැමිය හැකි විය.’’
– උම්බෙර්තෝ ඉකෝ (ඔරලෝසුව ආපස්සට හැරවීම)

මාක්ස් ‘‘ප‍්‍රාග්ධනය’’ කෘතිය පළ කිරීමෙන් වසර එකසිය පනහකට පමණ පසු තවත් ප‍්‍රාග්ධනයක් ලෝකය සොලවා ඇත. තෝමස් පිකෙටිගේ ‘‘විසිඑක් වැනි සියවසේ ප‍්‍රාග්ධනය’’ නැමැති කෘතිය තුළ දත්ත සමුදායක් පාවිච්චි කරමින් ඔහු පැරණි විශ්වාසයක ඇති සත්‍යතාව ගෙනහැර පායි: නිදැල්ලේ යාමට ඉඩ හරින ධනපති ක‍්‍රමයක් තුළ අතලොස්සකගේ අතේ ධනය ඒකරාශී වෙන අතර, සමාජ අසමානත්වය උග‍්‍ර කෙරේ.

6 copyමහාචාර්ය පිකෙටි, ක‍්‍රමයේ වෙනසක් අනුදැන වදාරන්නෙකු නොවේ. ප‍්‍රථම ලෝකයේ පසුබැස්ම නතර කිරීමට පමණක් නොව, එය නව ශ්‍රේණික යුගයක් වෙත ආපසු හැරවීමටත් පුලූවන් බවට ඔහු තර්ක කරයි: ‘‘කෙසේ වෙතත්, ධනවාදය හැසිරවීමේ පාලනය ආපසු අත්පත් කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිළිවන. ආර්ථිකයේ විවෘත භාවය තබා ගන්නා අතරේම, ආරක්ෂණවාදී සහ ජාතිකවාදි ප‍්‍රතික‍්‍රියාවන්ට නොයමින්, පුද්ගල ඕනෑ එපාකම්වලට ඉහළින් පොදු ඕනෑ එපාකම් මූලිකත්වයට ගැනීමට ඊට හැකියාව ඇත.’’

එතකොට, ප‍්‍රතිගාමී කල්ලියක් රාජ්‍යය හැසිරවීමේ බලය ඩැහැගෙන, වෙළඳපොල පාලනය කිරීම සඳහා එම බලය භාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළතින් කාබාසිනියා කර ඇති රටවල්වල තත්වය කවරේ ද? තනි පාලක පවුලක් යටතේ පවතින රටක, රාජ්‍ය බලය වෙළඳපොල බලය සමග දීග ගිය විට ඇති විය හැකි තත්වය කවරේ ද?

මැයි දිනයේ දී ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේය: ‘‘රතුපස්වල වේවා, කටුනායක වේවා, වෙනත් ඕනෑම තැනක වේවා, කර්මාන්ත ශාලා වසා දැමීමට තැත් කිරීම, ජිනීවා ඕනෑ එපාකම්වලට මිස වැඩ කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට වැඩදායි වෙන දෙයක් නෙවෙයි.’’

රතුපස්වල ජනතාව විරෝධය පෑවේ, තමන්ගේ භූගත ජලයට විස එක් කරන කර්මාන්ත ශාලාවකට එරෙහිවයි. කටුනායක විරෝධතා ඇවිළුණේ, පෞද්ගලික අංශයේ සේවකයන් මත හොර විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් පටවන්නට ආණ්ඩුව ගත් උත්සාහයට එරෙහිවයි. ඒ අරගල දෙකෙන් එකක්වත් දේශපාලනික අරමුණු පෙරදැරිව දියත් වූ ඒවා නොවේ. රතුපස්වල විරෝධයට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සහභාගී වූහ. කටුනායක විරෝධයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සහභාගී විය.

එසේ තිබියදී, මේ අව්‍යාජ මහජන අරගල දෙක, ජාතිමාමක නොවන, දේශද්‍රෝහී ක‍්‍රියාවන්ට සම කිරීමට ජනාධිපතිවරයා තතනන්නේ ඇයි? ඔහු, වෙනත් අය විසින් නොමග යවන ලද, හයහතර නොතේරෙන දරුවෙක් ද? නැතහොත් අර ව්‍යාජ සන්සන්දනය, රාජපක්ෂ නිර්මිතයක අනිවාර්ය කෘත්‍යයක් හෙවත් අන්තේවාසික ධනවාදයක ලක්ෂණයක් ද?

දේශපාලන හිතවතුන් ධනය පොදි බැදීම කවදත් සිදුවන්නකි. රාජපක්ෂලා කරන්නේ, ගුණාත්මක වශයෙන් ඊට වෙනස් දෙයකි. ඔවුහූ, පුද්ගලික අංශයේ ආර්ථිකය පාලනය කිරීමේ බලය තමන් අතට ගැනීම සඳහා විධිමත් ආකාරයකින් රාජ්‍ය බලය පාවිච්චි කරති. පුද්ගලික ව්‍යාපාර ඉස්සර මෙන් රජයට පවරා ගනු වෙනුවට, රාජපක්ෂලා කරන්නේ, සිය අතවැසි ව්‍යාපාරිකයන් ලවා වෙළඳපොළ තමන්ගේ යටත්විජිතයක් බවට පත්කර ගැනීමයි.

ධම්මික පෙරේරාගේ සීග‍්‍ර දියුණුව, පුද්ගලික අංශයේ ආර්ථිකය තවත් රාජපක්ෂ නින්දගමක් බවට පත්කරලීමේ ක‍්‍රියාවලිය සහජීවනීයව සංකේතවත් කරන්නකි. හරියට, හමුදාව, අධිකරණය, රාජ්‍ය සේවය සහ සිංහල-බෞද්ධ සංස්ථාව රාජපක්ෂ නින්දගම් බවට පත්කර ඇති පරිද්දෙනි. 2007 දී ධම්මික පෙරේරාව ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරට පත්කෙළේය. 2011 දී, ප‍්‍රවාහණ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධුරයට පත්කෙළේය. සමහර විට, ක‍්‍රියාකාරී ව්‍යාපාරිකයෙකු රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කළ ප‍්‍රථම අවස්ථාව එය විය හැකිය. අද වන විට සෑම තැනක්ම ධම්මික පෙරේරාගේ ඇල්මට බැල්මට යටත් ය. ඔහු නිරතව සිටින්නේ, සමස්ත ව්‍යපාරික ලෝකයම තම අත තුළ ගොනු කර ගැනීමේ ව්‍යායාමයකයි.

ධම්මික පෙරේරාට අයත් කැසිනෝ ශාලාවක් වන ‘බෙල්ලියගෝ’ ගැන, කොළඹ නාගරික අත්පොත මෙසේ කියයි: ‘‘බෙල්ලියාගෝ දුමාරයෙන් පිරුණු, දීප්තිමත්, සාමාන්‍යයෙන් ප‍්‍රයෝගකාරී ස්ථානයකි. එය අතිශය ප‍්‍රසන්න තැනක් නොවේ. ඔවුන් මොන තරම් සරසන්ට බැලූවත්, එය සූදු ගුබ්බෑයමකි… සියල්ලටම වඩා නරක දසුන වන්නේ, හතර වටේ සිටින ගණිකාවන් ය. කෙළවරක් නැති සේවා කාලය නිසා ඔවුන්ගේ මුහුණු විඩාවෙන් කෙඩෙත්තු වී තිබේ.’’

ශ‍්‍රී ලංකාවේ පොහොසත්ම මිනිසා යැයි කියැවෙන්නේ ධම්මික පෙරේරා ය. ඒ සමගම ඔහු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියෙකු ද වෙයි. පළමුවැන්න, වාසනාව හෝ නිපුණත්වය හෝ ඒ දෙකම නිසා හෝ වන්නට පුලූවන. එහෙත් දෙවැන්න නම්, ඔහු භුක්ති විඳින අතවැසි අනුග‍්‍රාහකත්වය නිසා ය. ගණිකා වෘත්තිය ශ‍්‍රී ලංකාවේ නීති විරෝධී ය. එහෙත්, මෙවැනි සද්දන්තයෙකුගේ කැසිනෝ සූදු පොලක් වැටලීමට සමත් පොලීසියක් තිබෙන්නේ කොහේද?

අතවැසි ධනවාදයේ නිසග ස්වභාවය විසින්ම බිහි කරනු ලබන්නේ, සැබෑ ව්‍යවසායකයන්ට වඩා දේශපාලනික ව්‍යාපාරිකයන් ය. ඔවුන්ගේ සාර්ථකත්වය මූලික වශයෙන් රඳා පවතින්නේ දේශපාලනික අනුග‍්‍රහය මත නිසා, සැබෑ හැකියාවට වඩා දේශපාලන පන්දම අත්‍යාවශ්‍ය වෙයි. අතවැසි දේශපාලඥයන්ට සේම, අතවැසි ව්‍යාපාරිකයන්ටත් දණ්ඩමුක්තිය (නීතියට යට නොවී වැරදි කිරීමට ඇති හැකියාව) හිමි වෙයි. දේශපාලනික වශයෙන් පාලකයාට පක්ෂපාතී වන තාක් කල් ඔවුන්ට නීති කැඩිය හැකිය. රෙගුලාසි නොතකා හැරිය හැකිය. ඔවුන් පාලකයන්ගේ ඒජන්තයන්ම වන හෙයින්, තමන්ගේ නීති විරෝධී ක‍්‍රියාවන්ගෙන් අත්විය හැකි ප‍්‍රතිවිපාකවලින් ආරක්ෂාව සඳහා පොලීසියේ සහ හමුදාවේ පවා සහාය බලාපොරොත්තු විය හැකිය. ආන්දෝලනයට තුඩුදුන් රතුපස්වල කර්මාන්ත ශාලාව පාලනය කරන සමාගමේ ව්‍යාපාරිකයා වුණේ ධම්මික පෙරේරාම ය.

නීතියේ ආධිපත්‍යය පවතින, යහපත් ව්‍යාපාරික සම්ප‍්‍රදායක් ඇති රටක, අතවැසි ධනවාදයකට පවතින්ට පුලූවන් කමක් නැත. උදාහරණයක් වශයෙන්, මහා ධනස්කන්ධයක් ගොඩගසා ගැනීම සඳහා මේ අතවැසි ව්‍යාපාරිකයන් විසින් කොටස් වෙළඳපොළ නූල් සූත්තර හරහා නටවනු ලබන බව වාර්තා විය. තිලක් කරුණාරත්න වරක් පැහැදිළි කළ පරිදි, ලෝකයේ කොටස් වෙළඳපොලවල් අතරින් ලංකාවේ ඇත්තේ විධිමත් පාලනයක් අඩුවෙන්ම ඇති කොටස් වෙළඳපොළකි. විනිමය කොමිසමේ සභාපති වශයෙන් සිටි කෙටි කාලය තුළ කොටස් වෙළඳපොලේ වංචාකරුවන්ට එරෙහිව ඔහු කටයුතු කිරීමට සැරසුණු අවස්ථාවේ, ඔහුව පත්කළ ජනාධිපතිවරයාම ඔහුට එම තනතුරෙන් ඉල්ලා අස්වන්නැ යි කීවේය. ඇත්ත වශයෙන්ම, කරුණාරත්න මහතා තමන්ගේ රාජකාරිය නිවැරදිව තේරුම්ගෙන සිටියේ නැත. ඔහුගෙන් බලාපොරොත්තු වුණේ, හොර තිප්පොල සුද්ද කිරීම නොව, ඔහුගේ කීර්ති නාමයෙන් හොරකම වසා දීම ය. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වුණේ, පුම්බා=හුළං අරින කොටස් වෙළඳපොල මාෆියාවේ ඉත්තෙකු වශයෙන් ප‍්‍රසිද්ධියක් උසුළන, අතවැසි ව්‍යාපාරිකයෙකි. මේ අළුත් ලොක්කා, තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් දැ යි හොඳින් දැන සිටියේය. උදාහරණයක් වශයෙන්, ඔහුගේ ශූර සභාපතිත්වය යටතේ, නාමල් රාජපක්ෂගේ ‘තාරුණ්‍යයට හෙටක්’ වෙනුවෙන් ‘විනිමය කොමිසම’ නොමසුරු මුදල් පරිත්‍යාගයක් කෙළේය.

ලාංකීය හමුදාකරණයේ කතුවරුන් සහ අධ්‍යක්ෂවරුවන් වන්නේ රාජපක්ෂලා ය. මේ ස්ව=ජාතීය මාදිලිය යටතේ, හමුදාව යනු ස්වායත්ත බල කේන්ද්‍රයක් නොවේ. සිවිල් අවකාශය හමුදාවෙන් වට කරනු ලැබීම වර්ධනය වන තරමට, රාජපක්ෂලා විසින් හමුදාව පාලනය කරනු ලැබීම ද වැඩි වෙයි.

හමුදාවට, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට හෝ අධිකරණයට, ස්වායත්ත ආයතන වශයෙන් කටයුතු කිරීමට ඉඩ හැරීමේ ඇති අවදානම රාජපක්ෂවරු තේරුම්ගත්හ. මේ ආයතනවලට අංශු මාත‍්‍රයක හෝ ස්වාධීනත්වයක් පවත්වා ගැනීමට ඉඩ දුන්නොත්, යම් දවසක ඔවුන්ගේම අවශ්‍යතා පෙරදැරිව, එම ආයතන රාජපක්ෂ-විරෝධී විපක්ෂයට සහාය වීමට/එක් වීමට ඉඩ ඇත. ඒ ආකාරයෙන්ම, වෙළඳපොළ බලයට දේශපාලන බලය මත නොරැුඳී ස්වාධීනව යන්නට ඉඩ හැරියොත්, රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියට එය අනතුරක් විය හැකිය. සාපේක්ෂ වශයෙන් යම් නිදහසක් භුක්ති විඳින හමුදාවකට, කුමන්ත‍්‍රණයක් මාර්ගයෙන් හෝ නීති විරෝධී නියෝග පිළිපැදීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් හෝ පවුල් ව්‍යාපෘතියට බාධා පැමිණවිය හැකියාව තිබේ. සාපේක්ෂ නිදහසක් භුක්ති විඳින අධිකරණයක්, පාලක පවුලේ අන්තවාදයන් සහ අපහරණයන්ට එරෙහි තීන්දු දීමට ඉඩ ඇත. ඒ ආකාරයෙන්ම, සාපේක්ෂ වශයෙන් නිදහස් පෞද්ගලික ව්‍යාපාරික ක්ෂේත‍්‍රයක්, පවුල් පාලනයේ දුරාචාරයන්ට –  විශේෂයෙන් ඒවා ව්‍යාපාරික ක‍්‍රමයේ අවශ්‍යතාවන්ට පටහැනි වන විට – විරෝධය පාන්නට පිළිවන.

දේශපාලන බලය සහ වෙළඳපොළ බලය එක්කාසු වීම වැඩි වෙද්දී, රාජපක්ෂ ප‍්‍රතිපත්තිවල නරක ප‍්‍රතිවිපාක සමනය කර ගැනීමට පෞද්ගලික ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට ඇති සීමිත හැකියාව වුව සහමුලින් වාෂ්ප වී යන්නේය. ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳ බිය නිසා, පුද්ගලික අංශයේ සිටින අන්තේවාසිකයන් නොවන ව්‍යාපාරිකයන් පවා, පාලක පවුලේ අභිමතය අනුව කටයුතු කිරීම ඇඟට ගුණ යැයි සලකන්නට පිළිවන. එවැනි ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී සහ ගුප්ත ආකාරයෙන් අන්තර්ජාලය වාරණය කිරීමට අද පෙළඹී සිටීම ඊට මනා නිදසුනකි.

රටක් පාලනය කිරීම ඇස්බැන්දුමක් වැනි වැඩකි. ස්වර්ණමය ආකාරය වන්නේ, සෑම ආකාරයකම අන්තවාදයන්ගෙන් වැළැකීමත්, ප‍්‍රතිපක්ෂ හිමිකම් පෑම් සහ ළැදියාවන් අතර තුලනයක් ඇති කර ගැනීමත් ය. එහෙත් රාජපක්ෂලා ගන්නේ, ජාතික, ජනතා සහ පොදු අවශ්‍යතා, පවුල් අවශ්‍යතා වෙනුවෙන් පාගා දැමීමේ අසමජාත මාවතයි. දේශපේ‍්‍රමය පාවිච්චි කරනුයේ, මේ යථාර්ථය ජනතාවගෙන් වැසැංගීම සඳහා ය. කටුනායක සහ රතුපස්වල විරෝධතාකරුවන්ට එරෙහිව දේශද්‍රෝහීත්වයක් පිළිබඳව ජනාධිපතිවරයා නගන ව්‍යාජ චෝදනාවේ මූලය එයයි. අතවැසි ධනපතියන්ගේ අපහරණයන්ට/දුරාචාරයන්ට එරෙහිව නැගී සිටින විරෝධතාකරුවන්, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ රාජපක්ෂලාගේ පොලීසිය/හමුදාව මගින් අත්අඩංගුවට ගෙන, රාජපක්ෂ අධිකරණය මගින් ත‍්‍රස්තවාදයට වැරදිකරුවන් බවට තීන්දු කෙරෙන දවස වැඩි ඈතක නොවිය හැක.

*2014 මැයි 04 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ When Political Power Marries Market Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    The writer’s story about most of the things may be correct, but with regard to Bellagio casino what she has written is all wrong.
    * It is not filled with smoke. It is a very clean and comfortable casino.

    * There are no prostitutes employed or pretending as players are hanging a round.

    * It is a well reputed Casino with International standards, where the customers are over 80% are foreigners.

  • 0
    0

    tisaranee can [Edited out]

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.