Colombo Telegraph

අර්ථ ශාස්ත්‍රය සහ මැතිවරණ

තිසරණී ගුණසේකර

‘‘සමාජ ගිවිසුම අහෝසි කෙරෙන විට, ආණ්ඩුව සහ එහි පුරවැසියන් අතර ඇති විශ්වාසය බිඳ වැටෙන විට, කලකිරීම සහ නොබැඳියාව හෝ ඊටත් අන්ත තත්වයන් ඇති වන්නේය.’’ – ජෝසප් සිටිග්ලිට්ස් (ද ප‍්‍රයිස් ඔෆ් ඉනීක්වලිටි)

ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ලාංකිකයන් වැඩි දෙනෙකුට ජීවිතය ගැටගසා ගත නොහැක. ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, නාගරික ජනගහනයෙන් සියයට 53 කට, ග‍්‍රාමීය ජනගහනයෙන් සියයට 73 කට සහ වතුකරයේ ජනතාවගෙන් සියයට 81 කට, ආහාර සහ වෙනත් මූලික අවශ්‍යතා සපුරාගත හැකි තරමේ අවම ආදායමක් නොලැබෙන්නේය.

නිදහස් චතුරශ‍්‍ර ආකේඞ් ආයිත්තමේ සිට නෙළුම් කුළුණු දක්වා වන රාජපක්ෂ සහෝදරයන්ගේ ප‍්‍රියතම අරුමෝසම් ව්‍යාපෘතිවල, බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ සැබෑ අවශ්‍යතා සහ සැබෑ ජීවිතයට අදාළ මෙලෝ අරුතක් නැති බව පැහැදිළි ය.

‘‘නාගරික අංශයේ හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ආහාර සහ වෙනත් මූලික අවශ්‍යතා සඳහා මසකට රුපියල් 59,000 ක් ද, ග‍්‍රාමීය අංශයේ හතර දෙනෙකුගේ පවුලකට මසකට රුපියල් 37.560 ක් ද, වතුකරයේ හතර දෙනෙකුගේ පවුලකට මසකට රුපියල් 29,000 ක් ද අවශ්‍ය කරන්නේය.’’ මේ අංශ තුනේම වෙසෙන අති බහුතරයක් පවුල්වලට මේ කියන අවම මාසික ආදායම ලැබෙන්නේ නැත.

නිදහස් චතුරශ‍්‍ර ආකේඞ් ආයිත්තමේ සිට නෙළුම් කුළුණු දක්වා වන රාජපක්ෂ සහෝදරයන්ගේ ප‍්‍රියතම අරුමෝසම් ව්‍යාපෘතිවල, බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ සැබෑ අවශ්‍යතා සහ සැබෑ ජීවිතයට අදාළ මෙලෝ අරුතක් නැති බව පැහැදිළි ය. බඩගින්නේ සිටින මිනිහෙකුට ඔහුගේ කුස පිරී ඇතැ යි ඒත්තු ගැන්විය නොහේ. එහෙත් තමාගේ සාගින්න තාවකාලික තත්වයකැ යි ඔහු ලවා විශ්වාස කැරැුවීමට බැරි කමක් නැත. ආර්ථික සමෘද්ධිය ඊළඟ වංගුවේ දී හමු වෙතැ යි, ජනගහහනයෙන් විශාල කොටසකට, සමහර විට බහුතරයකට ඒත්තු ගැන්වීමට, යටගිය දවස රාජපක්ෂවරු සමත් වූහ.

එය තවදුරටත් කළ නොහේ. ආර්ථික අභිවෘද්ධිය පිළිබඳ අපේක්ෂාව 2011 සහ 2013 අතර කාලය තුළ බරපතල සේ සෝදාපාළු වී ගොස් ඇති බව ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ’ සමීක්ෂණ අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි. දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන් අතරේ පමණක් නොව, සිංහලයන් අතරේ ද තත්වය එයයි.
ආර්ථික තත්වය ඊළඟ අවුරුදු දෙක තුළ වර්ධනය වෙතැ යි, සිංහලයන්ගෙන් සියයට 70 ක් දෙනා 2011 දී සිතූහ. එහෙත් ඊළඟ අවුරුදු දෙකේ දී තමන්ගේ ආර්ථික තත්වය වර්ධනය වෙතැ යි 2013 දී සිතුවේ සිංහලයන්ගෙන් සියයට 38.5 ක් පමණි. අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ සියයට 45 කින් අපේක්ෂාව සේදී ගොස් තිබීම, දේවල් අවබෝධ කර ගැනීම පිළිබඳ ජනතා සංජානනයේ බරපතල වෙනසකි. එය දේශපාලනය කෙරෙහි, විශේෂයෙන් මැතිවරණ දේශපාලනය කෙරෙහි බලපෑමක්- සමහර විට තීරණාත්මක් බලපෑමක්- ඇති කළ හැකි වෙනසකි. ආණ්ඩුවේ ප‍්‍රමුඛතා කුමක් විය යුතුදැ යි ජනතාව සිතන දේවල් සහ රාජපක්ෂලා ප‍්‍රමුඛතා වශයෙන් ගන්නා දේවල් අතර ඇත්තේ විශාල පරතරයකි. ඉහත සමීක්ෂණයට අනුව, ලාංකියන්ගෙන් බහුතරයක් සිතන්නේ ආණ්ඩුව, ජීවන වියදම, දරිද්‍රතාව සහ අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නවලට ප‍්‍රමුඛත්වය දිය යුතු බව ය. ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නය ආණ්ඩුවේ ප‍්‍රමුඛත්වය ගත යුතු බව සිංහලයන්ගෙන් සියයට 58.5 ක් සිතති. සියයට 33.1 ක් සෞඛ්‍යට ප‍්‍රමුඛත්වය දෙති. දිළිඳු කම අවම කිරීම සියයට 33 කගේ ප‍්‍රමුඛතාවයි. අරුමෝසම් යටිතල ව්‍යාපෘති සහ නගර ශෝභන වැඩ සටහන් මේ කියන මහජනතාවගේ ප‍්‍රමුඛතාවන් නොවේ.

ආණ්ඩුව කළ යුතු යැයි ජනතාව අපේක්ෂා කරන සහ ඇත්තෙන්ම ආණ්ඩුව කරන දේවල් අතර ඇති මේ මහා පරතරය අස්සේ, ජනතාවක් කෙසේ නම් අපේක්ෂා භංගත්වයට පත් නොවි ඉන්නද?

අඳුරු අනාගතයක් පිළිබඳ මේ හැඟීම, සාක්ෂි මගින් සනාථ කෙරෙන්නක් මිස අනුමිතියක් පමණක්ම නොවේ. අමාත්‍යාංශ මට්ටමේ එක් අනුකාරක සභා රහස්‍ය වාර්තාවකට අනුව, ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් පසු ගිය අවුරුදු කිහිපය තුළ පහළ වැටෙමින් තිබේ. 2011 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 14.3 ක් වූ ආදායම, 2012 දී සියයට 13 ට පහත වැටුණි. 2013 දී මේ අනුපාතය සියයට 11 දක්වා තවත් පහළ ගියේය. මේ නිසා, 2015 සඳහා වන ආණ්ඩුවේ ආදායම් ඇස්තමේන්තු ‘තාර්කික නොවන සහ සාක්ෂාත් කරගත නොහැකි’ මායාවක් පමණක්ම වන්නේය.

රාජපක්ෂ අර්ථ ශාස්ත‍්‍රයේ එක් වැදගත් කුළුණක් වන, වක‍්‍ර බදු කෙරෙහි තබා ඇති අධික විශ්වාසය ගැන, ඉහත කී අනුකාරක සභා වාර්තාව තවදුරටත් අනතුරු අඟවයි. ‘‘අප වක‍්‍ර බදු මත අධික ලෙස එක දිගටම රඳා පැවතීම ඥානාන්විත නොවේ. ඒ වෙනුවට, සෘජු බදු මත විශ්වාසය තැබිය යුතුය. ජනතාවගේ ආදායම් මට්ටම් ගැන නොසළකා, ඔවුන්ගේ පරිභෝජන සහ සේවාවන් සඳහා තිබෙන භාණ්ඩවල බදු ලිහිල් කළ යුතු අතර, ඉතා දිළිඳු පවුල් මත බර පැටවීමෙන් වැළැකිය යුතුය.’’ ඉහත සඳහන් අනුකාරක සභාව, රාජපක්ෂලාගේ තවත් පුරුද්දකට විරෝධය දක්වා තිබේ. එනම්, තම ගජමිතුරු ආයෝජකයන්ට ත්‍යාගශීලී බදු සහන ලබා දීමට ඔවුන්ට ඇති පුරුද්දයි. මේ නිසා, කාලයාගේ ඇවෑමෙන් සිදුවෙනු ඇත්තේ, ‘‘පරිභෝජන පිම්බීමක් මිස, ඉතිරි කිරීමක්, ආයෝජනයක් හෝ ආදායම ඉහළ යාමක් නොවීම’’ යැයි එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

ලූහුඩින් කිවහොත්, රාජපක්ෂලා අයවැය සූදානම් කරන්නේ, නොපවතින ආදායමක් මත පදනම් වෙමිනි. ධනපතියන්ට සහන සලසන අතරේ, දුප්පතුන් සහ මැද පංතිකයන්ගේ කර මතට නොදැරිය හැකි බර පැටවෙයි. (ජනතාවගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් ලබා ගන්නා) වක‍්‍ර බදු කෙරෙහි වැඩියත්ම රැුඳීම නිසා, භාණ්ඩ මිල- විශේෂයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල- ඉහළ දැමෙන්නේය. පරිභෝජනය සිදුවන්නේ- ආණ්ඩුවේ පරිභෝජනය වේවා, සමාජ පරිභෝජනය වේවා- ලැබෙන ආදායම්වවලට සරිලන පරිද්දෙන් නොව, ලබා ගන්නා ණයවලට සරිලන පරිද්දෙනි.

ඒ අනුව, ඵලදායී නොවන, නාස්තිකාරි සහ අනවශ්‍ය ව්‍යාපෘති සඳහා දැනට තිබෙන සොච්චම් ආදායමත් නාස්ති කෙරෙනවා පමණක් නොව, ඒ මගින්, නොදැරිය හැකි ජීවන රටාවන් සඳහා (විශේෂයෙන් මැද පංතිකයන්ව) උනන්දු කැරැුවීමක් ද සිදු කෙරේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද අපේ රටත්, ආණ්ඩුවත්, ජනතාවත්, ණය වී මගුල් කන සමාජයක් බවට පත්ව තිබේ.

මෙසේ ණය වී මගුල් කන ආර්ථිකයක් වැඩි කල් නඩත්තු කර ගැනීම කළ නොහේ. කල් පිරීමට පෙර මැතිවරණ පැවැත්වීමේ ප‍්‍රධාන හේතුව, සමහර විට එය විය හැකිය. ගිය වර, යුද ජයග‍්‍රහණයේ කීර්ති කදම්භයෙන් අනතුරුව මහ මැතිවරණ පවත්වා එහි නොමද වාසිය ආණ්ඩුව ලබා ගත්තේය. මෙවර කල් පිරීමට මත්තෙන් මැතිවරණ පැවැත්වීමේ (මිථ්‍යා විශ්වාස නොවන) ප‍්‍රධාන හේතුව විය හැක්කේ, තව වසර දෙකක් ගත වන විට මේ ණය බුබුළේ මායාව හැම පැත්තකින්ම හෙළිදරව් වීම ගැන ඇති බිය විය හැකිය.

වැරදි අර්ථ ශාස්ත්‍ර​ය: ආර්ථික වැරදි

ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ කාර්යක්ෂමතාව ගැන ආඩම්බර වෙයි. එහෙත්, ඒ පිළිබඳ දත්ත සහ සංඛ්‍යා ලේඛන කියන්නේ වෙනම කතාවකි. විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, නගර සංවර්ධන අධිකාරිය 2006 සිට එක දිගට පාඩු ලබයි. 2011 වන විට නගර සංවර්ධන අධිකාරියේ ගොඩගැසී තිබූ මුළු අලාභය රුපියල් මිලියන 1230 කටත් විශාල ප‍්‍රමාණයකි.

මේ නගර සංවර්ධන අධිකාරිය ලාභයක් ලබන විට එය කෙරෙන්නේ ද රාජපක්ෂලාගේ ක‍්‍රමයට ය. එනම්, ඇස්බැන්දුම් ආකාරයට ය. ඉහත කී විගණකාධිපති වාර්තාව ඒ ගැන මෙසේ කියයි: ‘‘2011 දී බදු ගෙවීමට කලින් රුපියල් මිලියන 242 ක ලාභයක් නගර සංවර්ධන අධිකාරිය විසින් පෙන්නුම් කොට තිබුණ ද, මේ කියන ලාභය ගණන් හැදුණේ, මහ භාණ්ඩාගාරයෙන් ලද රුපියල් මිලියන 532 ක ආධාරයක ද එකතුවෙනි.’’ වෙනත් වචනවලින් කිවහොත්, 2011 දී ලාභයක් ලැබී යැයි රටට පෙන්නුවත්, ඇත්ත වශයෙන්ම ඒ වසරේත් නගර සංවර්ධන අධිකාරිය සැබවින්ම රුපියල් මිලියන 290 ක අලාභයක් විඳගෙන ඇත.

ඊළඟට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අරගෙන බලන්න. පසු ගිය මැයි මාසයේ එහි මුළු ආදායම රුපියල් 16.185 කි. මතක තියාගන්න: මේ, එය ලද ආදායම මිස ලාභය නොවේ. වෙන කිසිවක් නැතත්, හුදු වතුර වටිනාකම පමණක් ගත්තත්, මේ මහා පාඩුව මැද්දේ පවත්වාගෙන යන ගුවන් තොටුපොළේ වතුර පරිභෝජනයම ලීටර් කොපමණ ප‍්‍රමාණයක් වෙනවා ඇත් ද? හම්බන්තොට සහ මොනරාගල පෙදෙස්වල කී ලක්ෂයක් මිනිසුන් සහ සතුන් වතුර නැති සා පිපාසාවෙන් විඳවනවා ඇත් ද?

ආණ්ඩුවේ ආදායම් මූලයන්හි අස්ථිරත්වය එසේ වෙතත්, රාජපක්ෂලා තවත් බදු සහනයක් මේ මාසයේ පිරිනැමුවේය: ඒ, කැසිනෝ කාරයන්ට ය. ‘‘මෙතෙක් කල් කැසිනෝ ව්‍යාපාරවලින් අය කර ගනිමින් සිටි සියයට 12 වැට් බද්දත්, සියයට 2 ජාතිය ගොඩනැගීමේ බද්දත් අයින් කොට, ඒ වෙනුවට, කැසිනෝ ක‍්‍රීඩා ආදායම් මත අයකර ගන්නා සියයට 5 ක බද්දක් ඇති කෙළේය.’’ ඒ මහා වරය අපට තේරුම්ගත හැකිය. මන්ද යත්, අද ලංකාවේ මහා කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනා රාජපක්ෂ හෙංචයියන් වන බැවිනි. ගමනාගමන අමාත්‍යාංශයේ ලේකම් වන, මහා ව්‍යාපාරික ධම්මික පෙරේරා එයින් එක් අයෙකි.

අහස උසට නගින වියදමත්, කඩා වැටෙන ආදායමත් අතර ඇති වන පරතරය නැති කරන්නේ ණය ගැනීමෙනි. ඒවායින් බොහොමයක් චීනයෙනි. ‘‘ශ‍්‍රී ලංකාව, රුපියල් බිලියන 4 ක් ණය වශයෙන්, ප‍්‍රදාන වශයෙන් සහ ආධාර වශයෙන් ලබාගෙන ඇති අතර… ශ‍්‍රී ලංකාවේ යටිතල ව්‍යාපෘතිවලින් සියයට 70 කට ආසන්න ප‍්‍රමාණයක් සඳහා ආයෝජනය සපයන්නේ චීන බැංකු මගිනි.’’ කෙසේ වෙතත්, චීන අරමුදල්වලින් වැඩි හරියක් ලැබෙන්නේ, ප‍්‍රදාන/ආධාර වශයෙන් නොව, ණය වශයෙනි. එනම්, ඉහළ පොලී අනුපාතිකයන් සහ වෙනත් කොන්දේසි- දේශපාලනික කොන්දේසි ද- ඊට අනුබද්ධිතව ඇති බව ය. චීනය මත රාජපක්ෂලා යැපෙන ගතිය ගැන පාඩමක් ඉගැන්වීමට මෙන්, රටේ වාර්ගික ප‍්‍රශ්නය සහ ධීවරයන්ගේ ප‍්‍රශ්නය ගැන ඉන්දීය අගමැති මෝඩි දැඩි ස්ථාවරයක් ගෙන තිබියදී, ලංකාව සහ ඉන්දියාව අතර වන සම්බන්ධතා තවත් නරක අතට හැරෙන්ට පුලූවන.

ඉන්දියාව හැරුණු කොට, ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙනත් සම්බන්ධතාවන් ද, අපව දක්කමින් සිටින්නේ විෂම චක‍්‍රයක් වෙතට ය. ජනතාව තුළ ව්‍යාජ අපේක්ෂා දල්වා තබාගනු වස් මවාපාන ආලවට්ටම්වල අනුහස වඳ වෙද්දී, රාජපක්ෂලා තවත් ආශාවෙන් යුතුව ආගම්වාදය සහ ජාතිවාදය වැළඳ ගනු ඇත. එවිට, කොටින්ගේ සිට මුස්ලිම් අන්තවාදීන් දක්වාත්, කතෝලික ක‍්‍රියාන්විතයේ සිට බටහිර කුමන්ත‍්‍රණ දක්වාත් වන නොයෙක් හතුරන් ඔවුන් විසින් නිර්මාණය කොට, කුරක්කන් සාටකයේම එල්ලී සිටපල්ලා යැයි, සිංහල-බෞද්ධයන්ව බිය ගනුවනු ඇත.

මොනරාගල ඊට කදිම නිදසුනකි. පවුලේ බලය සහ නම්බුව වෙනුවෙන් රාජපක්ෂලා ගිය හැකි දුර කොපමණ දැ යි එහි දී පෙන්නුම් කෙරේ. ආර්ථික අහේනිය වැඩි වන තරමට, මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය වඩාත් මාරාන්තික වෙයි. 2010 ට වඩා 2015 රුදුරු වනු ඇත.

*2014 අගෝස්තු 31 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Economics And Elections නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page