28 March, 2024

Blog

සයිටම් විරෝධය නිවැරදි ද?

ටී. එම්. පේ‍්‍රමවර්ධන

ටී. එම්. පේ‍්‍රමවර්ධන

මෙම ලිපියේ අරමුණ වන්නේ සයිටම් වෛද්‍ය උපාධියට පක්ෂව කතා කරන බොහෝ දෙනෙක් අසන ප‍්‍රධාන ප‍්‍රශ්න කීපය විමසා බැලීමයි.

ගාස්තු අයකරන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට විරුද්ධ නො වන්නේ ඇයි?

වෛද්‍ය ආඥා පනත අනුව මෙරට වෛද්‍ය පීඨවල සහ වෛද්‍ය වෘත්තියේ ප‍්‍රමිති පාලනය කිරීමේ බලය පැවරී තිබෙන එක ම ආයතනය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ගෙන් පමණක් සමන්විත ස්වාධීන ආයතනයකි. කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී තිබේ.

සැබෑ අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණ යහපත් පුරවැසිභාවයයි. රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නො වන ආයතනවල ප‍්‍රධාන අරමුණ සමාජයේ යහපතයි. පෞද්ගලික ආයතනවල ප‍්‍රධාන අරමුණ ලාභයයි. එබැවින් සැබෑ අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණ ඉෂ්ට කළ හැක්කේ රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය නො වන ආයතනවලට පමණි. පෞද්ගලික ආයතනවලට අධ්‍යාපනය බාර දීම සුදුසු නො වන්නේ ඒ නිසාය.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය ගාස්තු අය කළ ද, එය ලාභ නො ලබන ආයතනකි. එබැවින් එම පීඨය රාජ්‍ය නො වන ආයතනයකි. හාවඞ් විශ්වවිද්‍යාලය ඇතුළු ලෝකයේ හොඳ ම විශ්වවිද්‍යාල සියල්ල ම ලාභ නො ලබන රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය නො වන ආයතන බව අමතක නො කළ යුතුය. ඒ වගේ ම ලෝකයේ හොඳ ම පාසල් අධ්‍යාපනයක් පවතින්නේ ද රාජ්‍ය අධ්‍යාපනයට ප‍්‍රමඛතාව දී ඇති රටවලය.

කෙසේ වෙතත් ඕනෑ ම වෛද්‍ය පීඨයකට ලබා දී ඇති අනුමැතිය අවලංගු කිරීමට වෛද්‍ය සභාවට බලය තිබේ. දැනට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ ප‍්‍රමිතිය පිළිබඳ ව ගැටළුක් නොමැති බව පෙනේ.

විදේශීය වෛද්‍ය පීඨවලින් වෛද්‍ය උපාධිය ලබා ගෙන එන අයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දීම ගැන විරුද්ධ නො වන්නේ ඇයි?

ශ‍්‍රී ලංකාවේ දී සීමාවාසික පුහුණුව සඳහා අයදුම් කළ හැක්කේ වෛද්‍ය සභාව පිළිගත් විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධිය ලබා ඇති අයට පමණි. ඔවුන් පළමුව වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගයකින් සමත් විය යුතුය. ඉන් අනතුරුව ඔවුන් සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනේ. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අනුගමනය කරන මෙම ක‍්‍රමය අනුව මෙරට වෛද්‍ය වෘත්තියේ ප‍්‍රමිතිය ආරක්ෂා කැරේ.

ඉංජිනේරු වැනි වෙනත් උපාධි ලබා දෙන පුද්ගලික ආයතනවලට විරුද්ධ නො වන්නේ ඇයි?

වෘත්තියක ප‍්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා එක අතකින් නිල වෘත්තීය සභාවක් තිබිය යුතුය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව යනු ‍වෛද්‍ය වෘත්තීය සභාවයි. අනික් අතට වෘත්තීයවේදීන්ගේ සංගමයක් තිබිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයයි.

වෘත්තීයවේදීන්ගේ සංගමයක් යනු වෘත්තියක පැවතිය යුතු නෛසර්ගික ලක්ෂණයකි. වෘත්තීයවේදීන්ගේ සංගමයකට ආවේනික ලක්ෂණයක් වන්නේ තම වෘත්තියේ ප‍්‍රමිතිය ආරක්ෂා කිරීමයි. එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැරදි අඩුපාඩු ඇතත් ඔවුන් තම වෘත්තියේ ප‍්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වීම නිවැරදිය.

ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය යනු ඉංජිනේරු වෘත්තීය සභාවයි. එහෙත් ශක්තිමත් ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයක් දක්නට නැත. ඉංජිනේරු උපාධි ලබා දෙන පුද්ගලික ආයතනවලට විරුද්ධ නො වන්නේ ඒ නිසා විය හැකිය.
නීති වෘත්තියට අදාල නිල වෘත්තීය සභාව ලෙස ක‍්‍රියා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කමිටුවකි. ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීති වෘත්තීයවේදීන්ගේ සංගමයයි. ඔවුන් විසින් මෙරට විශ්වවිද්‍යාලවලින් නීති උපාධිය සමත් අයට, නීති වෘත්තියට ඇතුළත් වීම සඳහා විශ්වවිද්‍යාලයක් නො වන නීති විද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සිටීම අනිවාර්ය කර තිබේ. නීතීඥයෝ තම වෘත්තියේ ප‍්‍රමිතිය රකින්නේ එසේය.

එහෙත් දරුවන්ගේ අනාගත ඉරණම තීරණය කරන ගුරු වෘත්තියේ ප‍්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා තවමත් ගුරු වෘත්තීය සභාවක් හෝ ගුරු වෘත්තීයවේදීන්ගේ සංගමයක් නොමැත්තේය. සංවර්ධිත රටවල ගුරු වෘත්තීය සභාවෙන් ලබා ගත් බලපත‍්‍රයක් නොමැති ව පාසලක ඉගැන්වීමට තබා ටියුෂන් දීමට වත් අවසර නො ලැබේ. වත්මන් ලෝකයේ හොඳ ම පාසල් අධ්‍යාපනය තිබෙන රට ලෙස සැලකෙන ෆින්ලන්තයේ ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය හා නීතී වෘත්තිය සර්වසම තත්ත්වයක පවතින බව සැලකිය යුතුය.

සයිටම් වෛද්‍ය පීඨයේ ප‍්‍රමිතිය නගා සිටුවීමට වෛද්‍ය සභාව කටයුතු නො කරන්නේ ඇයි?

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනයේ අඩුපාඩු පෙන්වා දී තිබේ. තවමත් එම අඩුපාඩු සකස් කර ගෙන නැත්තේ වී නමුත් අතිවිශාල ලාභයක් උපයා ගෙන තිබේ. එයින් තහවුරු වන්නේ පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන, ප‍්‍රමිතියට වඩා ලාභය උදෙසා දක්වන නැඹුරුවයි. එබැවින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් නියමිත ප‍්‍රමිතිය පවත්වා ගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් සයිටම් ආයතනය වසා දැමිය යුතුව තිබුණි. ඒ සඳහා ඉංදියාවේ සහ වෙනත් රටවල මෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය තිබිය යුත්තේය.

රජයේ වෛද්‍යවරු ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස්වලට විරුද්ධ නො වන්නේ ඇයි?

හොඳ වෛද්‍යවරයකු වීමට විවේකයත්, නව දැනුම උකහා ගැනීමට කාලයත්, පවුල් ජීවිතය හා සමාජ ජීවිතය සඳහා කාලයත් අවත්‍යවශ්‍ය වේ. ඒ සියල්ල අහිමි කර ගෙන ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස් කිරීමට බොහෝ වෛද්‍යවරු පෙළැඹී සිටිති. ඒ නිසා වෛද්‍යවරුන් කෙරෙහි පෙර පැවති විශ්වාසය හා ගෞරවය හීන වෙමින් පවතී. ඔවුන්ට ඔවුන්ගේ සෞඛ්‍යය ද රැුක ගැනීමට නොහැකි වී තිබේ.

දැන් වත් රජයේ වෛද්‍යවරු ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස් අතහැර දැමිය යුතුය. ඒ වෙනුවට තම වෘත්තීය ගෞරුත්වය හා විශ්වාසය රැුක ගැනීමට ප‍්‍රමාණවත් වැටුප් හා වරප‍්‍රසාද ඉල්ලා සිටිය යුතුය. එසේ නො කරන තාක් කල් රජයේ වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය වෘත්තියේ හා නිදහස් සෞඛ්‍ය සේවයේ පරිහාණිය තීව‍්‍ර වීම නො වැළැක්විය හැකිය. අප‍්‍රමාද ව මෙම කාරණය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බැ?රුම් ලෙස කල්පනා කළ යුත්තේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා කිසි දා ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස් නො කළ බව ඔහුට ගෞරවයක් වශයෙන් මෙහි ලා සඳහන් කිරීම වටී. ඔහු ගිණිය නොහැකි තරම් රෝගීන්හට නොමිලේ ප‍්‍රතිකාර කර තිබේ. මෙවැනි ම වෛද්‍යවරු තවත් ස්වල්ප දෙනකු සිටින බව ද අමතක නො කළ යුතුය.

පෞද්ගලික රෝහල්වලට විරුද්ධ නො වන්නේ ඇයි?

රජයේ රෝහල්වලින් ස්වාධීන ව වෙන ම පෞද්ගලික රෝහල් පැවතීම බරපතල ගැටළුක් නො වේ. එහෙත් රජයේ වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල සේවය කරන විට ඔවුන් පමණක් නො ව රජයේ රෝහල් ද පරිහාණියට පත් වේ. එමනිසා විරුද්ධ විය යුත්තේ පෞද්ගලික රෝහල්වලට නො ව, රජයේ වෛද්‍යවරුන් එම රෝහල්වල සේවය සඳහා යොදා ගැනීමටයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම කාරණය ගැනත් අප‍්‍රමාද ව අවධානය යොමු කළ යුත්තේය.

ටියුෂන්වලට විරුද්ධ නො වන්නේ ඇයි?

ටියුෂන් යනු ලාභය අරමුණු කර ගත් පෞද්ගලික ව්‍යාපාරයකි. එබැවින් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන උතුම් පරමාර්ථ, ටියුෂන් දී ලබා ගත නොහැකිය. ජනතා අදහස් විමසා සකස් කළ කන්නන්ගර වාර්තාව(1943) මගින් ගෙදර වැඩ ප‍්‍රමාණයට අතිරේක වශයෙන්, පෞද්ගලික ගුරුවරුන් ලවා ඒ ඒ විෂයන් අරබයා වැඩිපුර ඉගැන්වීමක් කරවීමේ පුරුද්ද ගැන තරයේ ම අප‍්‍රසාදය ප‍්‍රකාශ කර තිබේ. මෙසේ වැඩිපුර ඉගැන්වීමක් කරවීමෙන් කිසියම් පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වන්නේ ද, අන්තිමේ දී ඒ පරමාර්ථය පවා අත් නො වී යන්නේ යැයි ද ප‍්‍රකාශ කර තිබේ.

ටියුෂන් නිසා ළමයින්ගේ ගුණ, ණැන පමණක් නො ව සෞඛ්‍යය ද පරිහාණියට පත් වන බව ඕනෑවටත් වඩා ප‍්‍රත්‍යක්ෂ වී තිබේ. සටහන් පොතක් වත් හුවමාරු කර නො ගන්නා තරමට පාසල් ළමයින්ගේ ආත්මාර්ථය වර්ධනය වී තිබේ. 2015 ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි ළමයින්ගෙන් 71.8%ක්, වාක්‍යය තුනක් පමණක් ලිවිය යුතු රචනාවට බිංදුව ලබා ගෙන තිබේ. පාසල් ළමයින්ගෙන් 10% – 15%ට පමණ දියවැඩියාව වැළඳී තිබේ. සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් බරපතලය. නො පෙනෙන පිළිකාවක් සේ අනතුරුදායකය.

එබැවින් අප‍්‍රමාද ව ටියුෂන්වලට විරුද්ධ විය යුතුය. කෙසේ වෙතත් ටියුෂන් පිටුදැකීම සඳහා නැවතත් විශ්වසනීය හා ගෞරවනීය ගුරු වෘත්තියක් ගොඩනැගීම හැර වෙනත් විකල්පයක් නැත්තේය.

මුදල් වැය කළ හැකි අයට ගාස්තු ගෙවා මෙරට දී වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම වැරදි ද?

අදින් වසර 6කට පසු අපේ රටට තවත් වෛද්‍යවරු 120ක් අවශ්‍ය වේ යැයි සිතමු. ඒ අනුව අද වන විට ජීවවිද්‍යා අංශයෙන් ඉහළ ම ලකුණු ලබා තිබෙන 120 තෝරා ගත යුතුය. එහෙත් රජයේ වෛද්‍ය පීඨවල ඉඩ තිබෙන්නේ 100ක් සඳහා පමණි. ඒ සඳහා දිවයිනේ වැඩි ම ලකුණු ලබා ඇති 40 පළමුව තෝරා ගැණේ. ඊළඟට ඒ ඒ දිස්ත‍්‍රික්කවල වැඩි ම ලකුණු ලබා ගත් ළමයින්ගෙන් ජන අනුපාතය අනුව ඉතිරි 60 තෝරා ගැනේ. දැනට රටේ පවතින තත්ත්වය අනුව රජයේ වෛද්‍ය පීඨවලට තෝරා ගැනීම සඳහා මීට වඩා සාධාරණ ක‍්‍රමයක් තිබේ ද?

මේ අනුව රජයේ වෛද්‍ය පීඨවල ඉඩ තිබුණේ නම්; දිවයිනේ ඉහළ ම ලකුණු ලබා ගත් තවත් 8ක් සහ දිස්ත‍්‍රික්කවලින් වැඩි ම ලකුණු ලබා ගත් තවත් 12ක් තෝරා ගැනීමට හැකියාව තිබිණි. රජයේ වෛද්‍ය පීඨවල ඉඩ නොමැති නිසා එම 20ට ගාස්තු ගෙවා මෙරට හෝ පිටරට වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සාධාරණ වේ. ඒ සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලත්, ලාභ නො ලබන වෛද්‍ය පීඨ අවශ්‍ය වන්නේය. කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය එවැන්නකි.

හොඳ ම විසඳුම වන්නේ රජයේ වෛද්‍ය පීඨවල ඉඩ වැඩි කිරීමයි. නැතහොත් එවැනි වෛද්‍ය පීඨ අළුතෙන් ඇති කිරීමයි. එසේ කිරීමට රජයට මුදල් අමාරුකම් තිබේ නම්; එම අතිරේක වැය පියවා ගැනීම සඳහා අධ්‍යාපන බද්දක් පැනවිය හැක්කේය. එසේ නොමැතිව ඉහත සඳහන් 120ට අයත් එක ළමයකු හෝ වෙනුවට මුදල් වියදම් කිරීමට හැකි වෙනත් ළමයකුට අවස්ථාව ලබා දීම නිවැරදි හා සාධාරණ වන්නේ කෙසේ ද?

කෙසේ වෙතත් අනාගතයේ රටට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව ගණන් බලන තෙක් අවම සුදුසුකම් හා මුදල් තිබෙන අයට ගාස්තු ගෙවා වෛද්‍ය උපාධියක් මෙරට දී ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සාධාරණ වේ. ඒ සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලත්, ලාභ නො ලබන වෛද්‍ය පීඨ අළුතෙන් ඇති කිරීම අවශ්‍ය විය හැකිය.

සයිටම් වෛද්‍ය පීඨයේ ළමයින්ට වඩා අඩු ළකුණු ලබා ගත් ළමයින් රජයේ වෛද්‍ය පීඨවලට සිටිනවා නේ ද?

පළමුවෙන් ම කිව යුත්තේ පැය3 – 4ක ලිඛිත විභායකින් වෛද්‍යවරයකු වීම සඳහා වඩාත් ම සුදුසු ළමයින් තේරීම හොඳ ක‍්‍රමයක් නො වන බවයි. සංවර්ධිත රටවල වෛද්‍ය පීඨවලට අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණ ගණනාවක් ඔස්සේ සියුම් ලෙස පරීක්ෂා කර බැලීම තුළිණි. එමගින් වෙනත් සුදුසුකම් කොපමණ තිබුණත් මානව දයාව නොමැති අය වෛද්‍ය වෘත්තියට පිවිසීම වළකන්නේය.

රජයේ වෛද්‍ය පීඨවලට ළමයින් තෝරා ගන්නේ දිවයිනේ වැඩි ම ලකුණු ලබා ගැනීමේ පදනම මත පමණක් නම්; ඉහත ප‍්‍රශ්නය ඇසීම නිවැරදිය. එහෙත් 60%ක් තෝරා ගනු ලබන්නේ දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය මත පදනම් ව බැවින් එම ප‍්‍රශ්නය වැරදිය. මඩකලපුව, මොණරාගල, වැනි ඉතා දුෂ්කර දිස්ත‍්‍රික්කවලින් සාමාන්‍ය සාමර්ථ 3ක් පමණක් ලබා ගත් ළමයින් රජයේ වෛද්‍ය පීඨවල සිටිය හැකිය. සත්‍යවශයෙන් ම දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය නොතිබුණේ නම් සමහර දුෂ්කර දිස්ත‍්‍රික්කවලින් එක ම ළමයකුට වත් වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට අවස්ථාව නො ලැබෙනු ඇත.

අනෙක් අතට දුෂ්කර දිස්ත‍්‍රික්කයකින් සාමාන්‍ය සාමාර්ථ 3ක් ලබා ගන්නා ළමයාත්, කොළඹ දිස්ත‍්‍රික්කයෙන් විශිෂ්ට සාමාර්ථ 3ක් ලබා ගන්නා ළමයාත් එක වහළක් යට එක සමාන පහසුකම් ඇති ව ඉගෙනුම ලබන විට කවරෙකු වඩා හොඳ වෛද්‍යවරයෙක් වේ දැයි කිව හැක්කේ කාට ද? කෙසේ වෙතත් ‘කොළඹට කිරී ගමට කැකිරි’ නමැති උද්ඝෝෂණ පාඨයෙන් කියැවෙන විෂමතාව තුරන් කිරීම මෙම ගැටළුවට ස්ථිරසාර විසඳුම වන්නේය.

අපේ රටේ ආණ්ඩුකරණයේ ලොකු ම වරද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පටන් කිසි ම දෙයක් සම්බන්ධයෙන් ජනතා අදහස් විමසා සකස් කළ ජාතික ප‍්‍රතිපත්තියක් නොමැති ව තීරණ ගැනීමයි. රටේ අධ්‍යාපන අර්බුදය තිරසාර ලෙස විසඳීම සඳහා ද ජනතා අදහස් විමසා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සම්පාදනය කර ඒ වරද නිවැරදි කර ගත යුතුය​.

Print Friendly, PDF & Email

Latest comment

  • 4
    0

    Do you know how Gota got the approval for KDA medical faculty from Medical Council?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.