28 March, 2024

Blog

නිරා කියා මා ඔබ අමතන්නද?

උදන් ප්‍රනාන්දු

ආචාර්ය උදන් ප්‍රනාන්දු

මේ කෙටි සටහනේ නිමිත්ත මහැදුරු නිරා වික්‍රමසිංහ විසින් රචිත ‘Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka’ (Columbia Univ. Press, 2020) යන පර්යේෂණ කෘතියට ප්‍රකට හා කීර්තිමත් ශාස්ත්‍රීය සම්මානයක වන ජෝන් එෆ් රිචර්ඩ්ස් සම්මානයෙන් පිදුම් ලැබීමයි.ඇමෙරිකානු ඉතිහාස සංගමය විසින් මෙම සම්මානය වාර්ෂික ව පිරිනමන්නේ ඉංග්‍රීසි බසින් දකුණු ආසියානු ඉතිහාසය පිලිබඳ ව පළ වූ විශිෂ්ඨ ම හා කැපී පෙනෙන ශාස්ත්‍රීය කෘතියට යි. යුරෝපයේ පැරැණිම සරසවියක වන (ක්‍රි.ව 1575 දී ස්ථාපිත) ඕලන්දයේ ලෙයිඩන් සරසවියේ නූතන දකුණු ඉන්දීය ඉතිහාසය පිළිබඳ මහැදුරු තනතුර හොබවන නිරා විසින් තම විෂය යටතේ ශාස්ත්‍රීය අවධානය බෙහෙවින් ආකර්ෂණය වුණු ප්‍රාමාණික කෘතීන් ගණනාවක් ම මීට පෙර ද පළ කර ඇත.

මහැදුරු නිරා වික්‍රමසිංහ

මිහිපිට නිරයක නිරානන්දනීය දිවියක ගෙවන වහලා, වහල් ක්‍රමය හා වහල්භාවය ජනප්‍රිය හා බහුල ව කැරෙන සරලමතික රේඛීය කියැවීම පිළිකෙව් කරන නිරා, දහදියෙන් වැකුණු වහලා සීරුවට කුදලා ඔසවා තබන්නී විල්ලුද පලසක ඇතිරූ දෝලාවක ය. බැලු බැල්මට මෙය අතිශයෝක්තියෙන් පිරි සාහිත්‍ය වර්ණනාවක යී කෙනෙකුට හැඟීම වරදක නොවේ. එහෙත් නිරා එම නිගමනයට එළඹෙන්නී තම විශ්ලේෂණය ශක්තිමත් ආනුභුතික පදනමක පිහිටුවා ය; දීර්ඝ කාලයක් මිඩංගු කළ ලේඛනාරක්ෂණ පර්යේෂණ මාලාවක ප්‍රතිඵලයක ලෙස ය. මෙහිදී දෝලාවක ගිය වහලා නිශ්චිත අවස්ථාවක පිළිඹිබු කරන නමුදු නිරාගේ ශාස්ත්‍රීය මැදිහත්වීම වැදගත් වන්නේ යම් යම් ඓතිහාසික හා සන්දර්භීය අවස්තාවන් හී වහලා, එකාකෘතික වහල්ක්‍රමයෙන් හා වහල්භාවයෙන් මිදෙන ආකාරය හා ඒවායේ ගතිකයින් ගැන කෙරෙන සංකීර්ණ විග්‍රහය ය. මේ ව්‍යාතිරේඛී අවස්ථා විටෙක විරෝධය හා ප්‍රතිරෝධය වැනි ඉසව් කරා ද විහිදිය හැකි බව නිරාගේ කෘතිය මැනැවින් නිරාවරණය කරයි. එහි කුටප්‍රාප්තික මොහොත වන්නේ වහලා දෝලාවක වැජඹීම යි.

ලංකාවේ උපත ලද ද, කුඩා කල සිට නිරා හැදී වැඩී ඇත්තී ප්‍රන්සයේ පැරිස් නුවර ය. සෝර්බෝන් සරසවියෙන් මූලික උපාධි දිනා ගන්නා නිරා, තම ආචාර්ය උපාධිය හදාරන්නී ඔක්ස්ෆර්ඩ් සරවියේ ය. පශ්චාත් ආචාර්ය උපාධි අධි-ශිෂ්‍යත්ව යටතේ ඕ ලෝ ප්‍රකට සරසවි කිහිපයක ම (නිව් යෝර්ක්, ප්‍රින්ස්ටන් ආදී.) පර්යේෂණ කළා ය. යම් කලක දී කොළඹ සරසවියේ ඉතිහාස හා අන්තර්ජාතික සබඳතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ නිරා, 2003 වසරේ එහි පූර්ණ මහාචාර්යවරියක ලෙස ද එසැවිණි. නිරා මූලික අධ්‍යාපනය ලද්දී ප්‍රංශ බසිනි. තමන්ගේ ප්‍රංශ හා ඉංග්‍රීසි දෙබස ම එක ලෙස ව්‍යක්ත හෙයින් නිරා ඒ දෙබසින් ම උගැන්වීම හා ශාස්ත්‍රීය ලියැවිලි සම්පාදනයේ නිරත වූ වූවා ය. නිරා කොළඹ සරසවියේ කාර්ය මණ්ඩලයට බැඳීමට අපමණ වෙහෙසක යොදා සිංහල බස උගැනීමට සිදු වූයේ සිංහල යෝග්‍යතා පරීක්ෂණය සමත්වීම කොන්දේසියක වූ හෙයිනි. වැඩි කලක් නොගොසින් ඈ සිංහලෙන් උගැන්වීම ද කළා ය. ප්‍රංශ හා ඉංග්‍රීසි සම්මිශ්‍රිත අපූරු උච්චාරණ ඌරුවකින් නිරා සිංහල නම් හා තාක්ෂණික පද වහරණ අයුරු අසා සිටීම ආශ්වාදජනක ය.

නිරාගේ ශාස්ත්‍රීය සේවය ගැන යම් ප්‍රාමාණික ඇගයීමක කිරීමට මා අපොහොසත් ය. එහෙත් ගුරුවරියක ලෙස ඇයගේ සුවිශේෂී ගුණ ගැන යම් ආවර්ජනාත්මක මෙනෙහි කිරීමක් මට කළ හැකි ය. ඒ මගේ අත්දැකීම මත පිහිටා ය. මේ සටහනේ මාතෘකාව ඊට අදාළ ය. එකල ප්‍රකට ගීතයක වන ‘සුභා කියා මා ඔබ අමතන්න ද ? ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්න ද ?’ යන ගීතයේ මුල් පෙළට මා නිරාගේ නම ගලපා ඇති බව පුන්සිරි සොයිසා ගායකයා ගැන මතකය ඇත්තෝ දනිති. එහෙත් ගීතයේ තෙවැනි පෙළෙන් කියැවෙන ‘මට නම් නොහැගෙන්නේ’ යන්න මට අනදාල වුණේ මේ හේතුවට ය.

මා ආචාර්ය උපාධිය හැදෑරූ ඇම්ස්ටර්දෑම් සරසවියේ පිළිවෙත වන්නේ, එම සරසවියේ අධීක්ෂකට අමතර ව, සිසුවා විදෙස් රැටියෙකු නම්, එම රටෙන් තවත් අධීක්ෂක කෙනෙකු co-promoter ලෙස පත් කිරීමයි. මාගේ කෝ-ප්‍රමෝටර්වරිය වූයේ නිරා ය. ඇගේ ශාස්ත්‍රීය කෘති ගැන සාමාන්‍ය දැනුමක හා මාගේ විෂයට අදාල ව ඈ විසින් ප්‍රකාශිත පත්‍රිකා, රචනා හා පොත් ගැන විශේෂ අවබෝධයක මා තුල තිබුණ ද ඈ මට පුද්ගලයෙකු ලෙස අභිමුඛ වී හෝ පොටෝවකින්වත් දැක නොතිබිණ. ලැබරින්(ත)යකටත් වඩා සංකීර්ණ, සොයා ගැන්මට උගහට ලෙස ඇදුරු කුටි ස්ථානගත කර ඇති කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයට, ලංකාවට ආ විටෙක මා ගියේ කෝ-ප්‍රොමෝටර්වරිය හමුවීමට ය. ලාංකේය ඇකඩමික චරිත අතර බහුල ව දක්නට ඇති අධිමාන-හීනමාන ආදී නිධන්ගත රෝග ගැන පෘතුල දැනුමකින් හෙබි මා ඒ ගමන ගියේ තරමක චකිතයකින් හා අඩමානයකිණි. ඒ, මේක් ඕ(ර්) බ්‍රේක් හෙවත් නවකයෙකු හැදීමේ හෝ නැසීමේ අතිශයෙන් මුවහත්, ශාස්ත්‍රීය අභිමතානුසාරී දැලි පිහිය ඇත්තේ අදාළ උපාධිය අධීක්ෂණය කරන්නා අත නිසා ය. විෂයානුබද්ධ කරුණුවලට ඔබ්බෙන් ඇති පුද්ගලික, පෞරශ, බලය, දේශපාලන සාධක මනා කෙමිස්ට්‍රියකින් හෙවත් රසායනයකින් කැලැත්තුණේ නැත්නම් කෙළවීම නියත ය. නමට ඉදිරියෙන් ඇති ශාස්ත්‍රීය පට්ටම් හා ගෞරව නාම සියල්ල එකකුදු නෑර අදාළ ඇදුරා හෝ මහැදුරා ඇමතීමේ දී පරෙස්සමින් මැතිරිය යුතු ය. තමන් දන්නා විෂය කරුණු කතා බහේදී අනවැසි ලෙස නොකිව මනා ය. ඇදුරාට වඩා වෙනස් මතයක් තමන්ට ඇත්නම් එය වහා ගිලගත යුතු ය. බා-බා-බ්ලැක්-ශීප් කවිය අනුව පිළිතුරු දිය යුතු ය.

මේ ආදී කැළඹුණු මනසකින් යුතු ව මගේ අනාගත කෝ-ප්‍රොමොටර්වරියගේ කුටියේ දොර අසල මා සිටිද්දී එය එක වරම ඇරිණි. චාම් කපු කමිසයක් හැඳගත් බටු ඇටයක් බඳු චරිතයක් කුටියෙන් පැමිණ “හායි, ආ’ම් නිරා” කියා ඈ නොකීවා නම් මා මුග්ධයෙකු ලෙස වෙයා(ර්)ස් ඩොක්ට(ර්) වික්‍රමසිංහ කියා විමසා, දොරෙන් ඇතුල් වන්නටත් පෙර ම මා වැඩ වරද්දා ගන්නට හොඳට ම ඉඩ තිබිණ. ආ’ම් නිරා, කියන හුස්මෙන් ම ඈ කීවේ “ෆීල් ෆ්‍රී ටු කෝල් මී බයි මයි නේම්” (මගේ නමින් ම මට කතා කරන්න පැකිළෙන්න එපා) යනුවෙන් ය. ඉන් පසු අපි අපගේ මූලික සාකච්චාව සාර්ථක ලෙස කළෙමු. නිරා සමග තීසිසයේ මූලික කරුණු නිරාකරණය උගහට නොවී ය. සාකච්චාව තුල තාප්ප හෝ වෙස් මුහුණු නොතිබිණි.

ඉන් පසු වසර කිහිපයක් ම අප ගනුදෙනු කළේ ඊ-මේල් හරහා ය. තීසිසයේ චැප්ටරයක මුල් පිටපත යැවූ විට දින කිහිපයකින් ඇගේ සවිස්තර ප්‍රතිචාරය මා වෙත නිරා එවන්නී ය. ඇයගේ ප්‍රතිචාරය තියුණු ය. චැප්ටරය වැහෙන තෙක් ම ට්‍රැක්-චේන්ජ් කොමෙන්ටු පිරිලා ය. ඒවා තේරුම් ගැනීම පහසු වුනත් ජීරණය කර ගැනීම පහසු නොවේ. මෙවැනි පරිපුර්ණ, විවේචනශීලී හා බරසාර ප්‍රතිචාරයකින් තම සිසුවා නොපෙළා එය නිර්මාණශීලී අභියෝගයක ලෙස නිරා පත් කරන්නී කෙසේ ද ? ඇගේ පළමු කොමෙන්ටුව බොක්සය විශාල ය. එහි ඇත්තේ චැප්ටරය පිලිබඳ තම අගැයුමේ සංක්ෂිප්තය යි . එහි වැඩි බර චැප්ටරයේ සාධනීය ලෙස ලියැ වී ඇති දේ ගැන ය. ඒ ගැන නිරා තම නොමසුරු පැසසුම තම සිසුවාට පුද කරයි. ඉන් ජනිත වන ශක්තියෙන් හා පෙළඹවීමෙන්, පසු ව එන විවේචනශීලී හා උගහට කොමෙන්ටු හා පොර බඳිනට සිසුවාට හැකි වේ. ඇගේ පැසසුම නිහතමානී ය. වරෙක මා ලියු එක්තරා චැප්ටරයකට නිරා කළ ආරම්භක කොමෙන්ටුව මට සිහි වේ. මගේ චැප්ටරයේ තේමාව යටතේ නිරා ඊට වසර කිහිපයකට පෙර ප්‍රාමාණික කෘතියක සේජ් ප්‍රකාශනයක ලෙස පළ කළා ය. ඒ තත්ත්වය යටතේ වුව ද ඈ කීවේ, මගේ චැප්ටරය යට කී පොත තමන් ලියනට පෙර කියවන්නට ලැබුණා නම් අදාළ තේමාව පිලිබඳ ඇගේ තර්කනය බොහෝ විට වෙනස් වන්නට තිබුණා කියා ය. තම සිසුවාගෙන් යමක උගෙන ගන්නවා පමණක නොව එය පිළිගැනීමට ද ඈ තුල විවෘතභාවයක හා නිරහන්කාරයක තිබිණ.

2007 වසරේ වින්ටරයේ පැවැති ආචාර්ය උපාධි ඩිෆෙන්සය හා ඒ ආශ්‍රිත උත්සවයට නිරා ඇම්ස්ටර්දාමයට පැමිණියා ය. මා සිතුවේ අපගේ සම්භන්ධය ඉන් නතර වේ කියා ය. එහෙත් වසර දහ හතරකට පසුවත්ඈ තම සිසුවාගේ ශාස්ත්‍රීය අභිවෘද්ධිය ද සුව දුක් ගැන ද එක සේ අවධානයෙන් ද විමසීමෙන් ද සිටින්නී ය. උපාධියෙන් පසු කෙටි කලක මා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කර, නැවත ඕලන්දයේ රැකියාවක ලදු ව, වසර ගණනාවක එහි ජීවත් වීමි. ඒ අතර කාලයේ ය නිරා ලෙයිඩන් සරසවියේ මහැදුරුවරියක ලෙස පත් වීමක ලැබ ඕලන්දයට ආවේ. රැකියාවේ වැඩ සඳහා මා නිතර හේග් නුවරට යන එන අතර ඊට නුදුරින් පිහිටි ලෙයිඩන් හී බොහෝ විට මා ගමන කඩන්නේ නිරා සමග කෝපි කෝප්පයක බොමින් හෝ ආහාර වේලක බුදිමිඅන් සාමිච්චියක යෙදෙණු පිණිස ය. විවේක ලද හවසක ඈ සත්කාරක ලෙස අප කිහිප දෙනෙකුට, ලෙයිඩන් නුවර ඇල අද්දරක පිහිටි, 18වන සියවසේ සාදන ලද ඉපැරැණි සොල්දර නිවසට කරන ආරාධනය විශේෂ ය. නිරා විසින් කිරට පිසූ ඉස්සන් කරිය බොහෝ විට ඒ හවස්වල නිත්‍ය අයිතමයක වන අතර එය සුදු වයින් වීදුරුව කිහිපයක ම වාෂ්ප කරනට සමත් වබ කිව යුතු ය.

තම සිසුන් ගැන ඉමහත් ඇල්මක් හා වගකීමක් ඈ තුල තිබුණ ද, කිසි විටෙක නිරා සිසුන් ගෝල-බාලයින් ලෙස නොසලකයි. එමෙන් ම තමන්ට වන්දනීය පුද පූජා සිසුන්ගෙන් බලාපොරොත්තු නොවේ. සිසුවෙකු ලෙස වසර කිහිපයකින් අනතුරු ව ආචාර්ය උපාධිය ලබන විට, නිරාගෙන් ඊට අමතර ව සිසු-මිතුරු උපාධිය ද ලැබෙයි. ‘මයි ස්ටුඩන්ට්’ කියා නිරා කියන හැඟුම්බර හා නිහතමානී-ආඩම්බර ආකාරය මට සිය වරක් වුව ද අසා සිටිය හැක. එය ඒ තරම් ම මිහිරි ය. අවංක ය.

අපගේ ගුරු-මිතුරිය වන නිරාගේ මේ ශාස්ත්‍රීය අභිනන්දන මොහොත ඇයගේ සිසුන් ලෙස අප මහත් තුටින් සමරණ අතර ඇයට නිරාමිස සුවයක් ම පතමු.

පසු සටහන: ඉහත සටහන දැකීමෙන් අනතුරු ව නිරා හා මා අතර කෙටි සංවාදයක කෙරිණ. මා කීවේ ඇගේ නමින් ඇරඹෙන මනරම් හා කන්කලු සිංහල වචන කිහිපයක් ම — නිරානන්දය, නිරාමිස, නිරාකරණය ආදී. — ඇති බවයි. ඉන් පසු මට දැනගන්නට ලැබුණේ ඒ නම නිරාට ලැබුණේ අයගේ නැන්දණියක වන ජොයිස් ජයතිලක මැතිණියගේ නාමාවලියකින් බවයි. ජයතිලක මැතිණිය සිංහල හා සංස්කෘත ශාස්ත්‍රඥයෙකු වූ අතර, පේරාදෙණි සරසවියෙන් ප්‍රාචීන අධ්‍යන ක්ෂේත්‍රයෙන් බිහි වූ මුල් ම කාන්තා විද්වතියක බවයි. නිරාගේ දෙවන නම ගැන මගේ තිබු කුතුහලය ලද අවසරයෙන් මම මතු කළෙමි. ඇගේ දෙවන නම කොන්ජිත් (Konjit) ය. මා සැක කළේ පාළි හෝ සංස්කෘත ද කියා ය. එහෙත් එය ඉතියෝපියානු බසක වන අම්හාරික් බසින් ‘ලස්සන’ ට යෙදෙන වදන ය. නිරාගේ පියා පැරිසියේ වැඩ කළේ යුනෙස්කෝවේ ය. යුනෙස්කෝවේ ධූතකාර්යකට (mission) ඔහු ඉතියෝපියාවට ගිය විට, ඉන් ඇහිඳ, නැවත පැරිසියට ගෙන ආ විරල මුතු කැටයකි එය ! ශේක්ස්පියරියානු අර්ථයෙන් ‘වට්ස් ඉන් අ නේම්’ යන්නෙන් ගම්‍ය වන්නේ ‘යමක නමක වැඩක නැති’ බවයි. එහෙත් එය නිරාගේ නමට අදාළ නැති බව පැහැදිලි ය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ආචාර්ය උදන් ප්‍රනාන්දු,
    .
    Let me provide you with this link where there is a totally Sinhala 6-minute discussion, although the writing is in Tamil (which I cannot, obviously) read. I will place this below the two live discussions in the Sinhala section. Let’s see what comes of this.
    .
    https://www.youtube.com/watch?v=kSebQSW4fKQ
    .
    Right now whatever we the Sinhalese decide can be implemented, that’s how the Constitution, the laws, and the legislation work. Please do what you feel is most fit. We have to reach out to those who primarily use Sinhala, and such people will not come to CT, unless they are already political activist.
    .
    The contents here are excellent, but this video is a failure unless placed elsewhere, and there I’m all at sea.
    .
    This next is bilingual – Sinhala-Tamil, 65 minutes of fairly serious discussion about Ven. Rahula’s aims in life. He is a Tamil Buddhist monk.
    .
    https://www.youtube.com/watch?v=DVDVWAdDJ4A
    .
    What will gladden all Tamil readers (even if they are not Hindus) is that Ven. Rahula is not trying to convert anybody. Over to you for observations!
    .
    Panini Edirisinhe of Bandarawela, aka Sinhala>Man

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.