15 August, 2020

Blog

විපක්ෂයේ සිහින සිනාරියෝව සහ ලංකාවේ අනාගත දේශපාලනය

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්.තෙන්නකෝන්

උදය ආර්.තෙන්නකෝන්

දෙවන කොටස

(පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක වූයේ ලිපියෙහි අඩංගු සමහර සංකල්පීය වචනවල ඇති තේරුම් ගැනීමේ අසීරුතායයි. නිදර්ශනයක් ලෙස සිනාරියෝ යන්නත්, සංතතිය හා අසංතතිය යන වචනවල ඇති සිංහල සරල අර්ථයයි. සංතතිය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන වචනය වන්නේ continuity සහ අසන්තතිය යන්න discontinuity යන අදහසයි. ඒ අනුව සන්තතිය යන්න අඛණ්ඩ පැවැත්ම යන්න ද අසන්තතිය යන්න එහි විරුද්ධාර්තය ද වේ. මේ අනුව පසුගිය කලාපයේ අන්තර්ගත කොටසක උපුටනයක් නැවත ගෙනහැර පාමින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

“පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත.මෙමගින් පැහැදිලි කිරීමට උත්සාහ ගනු ලබන්නේ රාජපක්ස රෙජීමයේ අඛණ්ඩ පැවැත්මක් පැවැතීමත්, එසේම ඒ තුල ඛණ්ඩණීය ස්වභාවයක් ඇතත් එම තත්ත්වය නැවත අඛණ්ඩ පැවැත්මක් බවට පත්වීමට අවශ්‍ය කරන වටපිටාව රාජපක්ෂ අණ්ඩු ක්‍රමය තුල ඇත යන්නය. එය එසේ වන්නේ රාජපක්ෂගේ දක්ෂතාවයකට වඩා ප්‍රතිවාදීන්ගේ ඇති අදක්ෂතාවයත්, ඥාති සේවාදායකයේ ඇති බැඳීමත් හේතුවෙනි.)

විපක්ෂයේ සිනාරියෝව

විපක්ෂයේ සිනාරියෝව ගොඩනැගීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට ප්‍රථම විපක්ෂය යන්න කුමක්දැයි වාස්තවිකව වටහා ගත යුතු යැයි හැඟේ. මූලික අර්ථයෙන් ගත් කල විපක්ෂය යන්න පාර්ලීමේන්තුවේ නියොජිතයන්ගෙන් ආණ්ඩු පක්ෂයේ පිරිස නොවන සෙසු පිරිස විපක්ෂයට ගැනේ. එහෙත් මෙම පිරිස විපක්ෂය වේදැයි යන්න නැවත සිතා බැලීමට සිදු වන හේතු ගණනාවක් ඇත. එම  හේතු අතර වැදගත් වන කාරණය වන්නේ ආචාර ධාර්මිකව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ හරය උල්ලංඝණය කිරීමය. එනම් කිසිදු නෛතික හෝ ප්‍රතිපත්තිමය පදනමකින් තොරව විපක්ෂයේ ජනතා නියෝජිතයෙකු හට ආණ්ඩු පක්ෂයට මාරු විය හැකිය. ජනතා පරමාධිපත්‍ය විකෘති කරමින් ජනතා ඡන්දය හා එම ජනතාවගේ අභිලාසය පුද්ගලයෙකුට තීන්දු කළ හැකි අතර විපාක්ෂික ජනයා කැමැති වුවද නැතිද සංකේතිය වශයෙන් නියෝජිතයාට තීනිදු කිරීමේ ස්වකීය අයිතිය විසින් ප්‍රජාතන්ත්‍රීය මූලික මූල ධර්මය කෙළෙසනු ලැබීමයි. මෙය මැත ඉතිහාසය තුල බහුල වශයෙන් සිදුව ඇති බවට ඇති තරම් උදාහරණවලින් පෙන්නුම් කළ හැකිය. මෙම නීති හා සදාචාර විරෝධී ස්වභාවයෙන් සැබැවින්ම පෙනෙන්නේ ආණ්ඩු පක්ෂය යන්න ද විපක්ෂය බවය. නිදසුන් ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියේ ආණ්ඩු කාලය තුල සිට රාජපක්ෂ ආණ්ඩු කාලයේ මේ තාක් දුරට සිදුව ඇති මාරුවීම පරීක්ෂා කළහොත් දැකිය හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ විසාල පිරිසක් ආචාර ධාර්මික විරෝධීව ආණුඩු පක්ෂය නියෝජනය කිරීමය. ඒ අනුව වඩාත් නිවැරදිව තර්ක කළ හැකි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව යන්න එක්සත් ජාතික පක්ෂයේ අර්ධ ආණ්ඩුවකි. එය සභාග හෝ සන්ධාන ආණුඩුවකට වඩා වෙනස් වන්නක් වන අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී ජනතාවට හිමිව ඇති යැයි සලකන තර්ක ඥාණය (Reason) යන ඓතිහාසික නියෝජන ප්‍රජාතන්ත්‍රවායේ මූල ධාර්මික අර්ථය අහොසි කරමින් ජනතාව හිස් මිනිසුන් පිරිසක් බවට පත් කිරීමය. ජනතා කැමැත්ත පර්ලීමේන්තුව තුල මූර්තිමත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු දේශපාලනය අද වන විට අතාර්කික වි ඇතිවාක් පමණක් නොව සමස්ථ සමාජයේ විකෘතිය පිළිබිඹු කරන්නක් ද වේ. එහෙත් එය ජනතාවට ද ගැටලුවක් නැත. බැලූ බැල්මට රටට ද ගැටලුවක් නැත. යම් පමණකින් හෝ පිළිබඹු වන නිර්ණායකයක් ඇත් නම් එය වන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටින පිරිසය. එයද නිෂ්චිතව හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔවුන්ව ලංකා දේශපාලනයේ ආණ්ඩු ක්‍රම වෙනසට වඩා සමාජ වෙනසක් සඳහා සංඥා කරන කොටසක් බවට යම් ඉඟියක් දීම වැදගත් ලක්ෂණයකි. එහෙත් එයට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය විකල්ප විප්ලවීය අර්ථයක්  ඇත්ද යන්න උරගෑමේ ක්‍රමවේදයක් නොමැත.

ඊ ලඟ කරුණ වන්නේ විපක්ෂයේ නියෝජිත පිරිස විපාක්ෂික අර්ථයෙන් සිටිය ද ඇතුමුන් විපක්ෂය නියෝජනය නොකිරීමය. ඔවුන් වක්‍රාකාරයෙන් පවත්නා ආණ්ඩු ක්‍රමය සුරකින්නෝ වෙති. අනෙක් වැදගත් කරුන වන්නේ විපක්ෂය යන්න පක්ෂ එකකට වැඩි ගණනකින් සමන්විත වීමත් මෙම සමස්ථය තුල විපාක්ෂික සම්මුතිකාමයක් දක්නට නොලැබීමය. මේ නිසා විපක්ෂයේ  පොදු සිනාරියෝ ගොඩ නැගීම තරමක් අසීරු වන අතර එයට සිනාරියෝ කිහිපයක් තිබිය හැකි වන්නේ ඒ ඒ පක්ෂවලට ඇති තෝරා ගැනීම් අනුවය. එනිසා එම පක්ෂවල ශඛ්‍යතාවයන්ට අනුව ප්‍රධාන හා උප සිනාරියෝ ගොඩ නැගිය හැකිය.

එක්සත් ජාතික පක්ෂයේ සිනාරියෝව

1994 චණ්ද්‍රකා කුමාරනතුංග ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඇති වූ චලනයන් සැලකිල්ලට ගැනීමේ දී එජාපය අතිශය බරපතල ලෙස ව්‍යච්ඡේදනය වන්නට වූයේ ඊට ආවෙනික අන්‍යයතාවක් නිර්මාණය කර ගනිමිනි. මැතිවරණ ක්‍රමය තුලත්, ඊට පෙර හා පසුත් යන සමස්ථ කාල අවකාශය තුල සංඥා කරමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය හා ජනතා අභිලාස සහ දේශපාලනයේ ඇති දැවැන්ත පරතරයයි. පක්ෂය හා ප්‍රතිපත්ති වෙනුවට පුද්ගලයා ද දේශපාලනය වෙනුවට උපයෝගිතාවාදය මත පදනම් වූ පුද්ගල පැවැත්ම ඉස්මතු වීමයි. මේ නිසා එජාපය යන්න සමාජයේ ස්වරූපය ප්‍රකට කරන කැඩපතක් ලෙස හැඳින්විය හැකිය. එම ස්වරූපයේ වාසිය ආණ්ඩු බලය සහිත නායක්ත්වය ප්‍රයෝජනයට ගත් අතර අවශේස විපාක්ෂික කණ්ඩායම් ද එජාපයට පාඩම් උගන්වමින් පැවැතුණු හා පවත්නා ආණ්ඩු බලයට සහයෝගය දක්වමින් එජාපයේ අනාගත සිනාරියෝව සුණු විසිණු කරන්නට විය. අතීතය එසේ වන විට වර්තමාන එජපයේ ස්වරූපය කෙබඳු වේද යන්න හා එහි නිර්මාණය විය හැකි සිනාරියෝව සතු ශක්‍යතාව අධ්‍යයනය කළ යුතු වේ.

සිනාරියෝව සඳහා අවශ්‍ය මූලික පසු තලය

පියවර 1

තෝරා ගත හැකි ප්‍රශ්න

1.      එජාපයේ නායකත්වය යනු කුමක් ද

2.      එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද

3.      ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද

4.      සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද

පියවර 2

එජාපයේ නායකත්වය යනු කුමක් ද

මෑත කාලය තුලදී ලංකා දේශපාලනයේ දයලෙක්තිකය උපරිමයෙන් ක්‍රියාත්මක වූ සංසිද්ධියක් වේ නම් එය එජාපයේ නායකත්වය පිළිබඳ ගැටලුවයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ සරළ හා ග්‍රම්‍ය නිර්වචනය වූයේ රනිල් වික්‍රමසිංහ යනු නොහැකි නායකයෙකු යන්නය. පහසුවෙන් එසේ පැවැසිය හැකි වුවත් වික්‍රමසිංහ යනු ලංකා සමාජ දේශපාලනයට නොවැටහෙන චරිතයකි. එජාපයේ පරිහාණියේ හේතු කාරකය ඔහු යැයි පැවැසීම අතාර්කික වන්නේ ඔහු පාර පශ්චාත් යටත්විජිත දේශපාලන චරිතයක් වන බැවිනි. සමාජය ඔහුට වඩා පිටු පසින් සිටීමේ ප්‍රතිඵලයේ අස්වැන්න ඔහු බුක්ති විඳුනු ලබන අතර උපයෝගිතාවයට අනුව වේශනිරූපණය වීමේ   නෙහැකියාව ප්‍රකට කළ ද ඔහුගේ  හා එජාපයේ ඉරණමට හරස් කරනු ලැබුවේ අතීතය හා අනුපූරක (complimentary other)අනෙකා විසිනි. එම අනෙකා නම් උතුර හා දකුණ යන දෙ අන්තයේ මර්ධන ඉතිහාසයයි. එනම් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටීටීඊ සංවිධානයයි. එය එසේ නොවිනි නම් මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති විය හැකිව තිබුණේ රනිල් වික්‍රම සිංහය. එසේ වූයේ නම් කුමක් වන්නට තිබුණේ දැයි කීම සිනාරියෝවක් නොවන බැවිනුත් අතීතය ගැන අනාවැකි කීමට වඩා එය තේරුම් ගනිමින්  වර්තමාන රනිල් හා අනාගත එජාපයට  ඇති සිනාරියෝව නිර්මාණය කිරීම වැදගත් වනු ඇත.

වර්තමාන රනිල්

පෙර කී පරිදි වර්තමාන රනිල් යනු දයලෙක්තිකය විසින් පරිණත දේශපාලණඥ්යෙකු බවට පත් කළ ප්ලේටෝගේ පරම රජ්‍යෙය් දාර්ශනික පාලකයා බඳුය. මෙය උපහාසයකට හෝ ආ වැඩීමකින් එහාට පැමිණ ගෝලීය ධනවාදයේ හා ලිබරල් අර්ථ ක්‍රමය පදනම් කරගිනිමින් වැටහා ගත යුතු වේ. යුතෝපියානු පාලකයෙකුට හෝ වෙනත් පරිණත රජ්‍ය නායකයන් සමඟ සංසන්දනයෙන් නොව මහින්ද රාජපක්ෂ හා සංසන්දනයෙන් පමණක් බව ගණන් බැලුව හොත් රන්ල් මහින්දට වඩා බර වැඩිය. නමුත් පශ්චාත් යටත් විජිත ජනයාට එම බර වැටහෙනුයේ යකඩ කිලෝ දාහක බරින් යුතු ගෝනිය වන මහින්ද හා පුළුන් කිලෝ එක් දහස් පන්සියයකින් බර ගෝනියක් වන රනිල් අතරින් යකඩ ගෝනිය වන මහින්ද බර වැඩි බවය. එනම් නූතනත්වයට වඩා අතීතය හා සම්ප්‍රදාය බරවැඩි වීමය. එය එසේ උවත් රනිල් ප්‍රමුක එජාපය ද නොදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයය. එම අර්තයෙන් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති උවද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේ දී ඇති ගැටලුව මහින්දගෙන් එහාට සුභවාදී ලෙස ගමන් කිරීමට ඉඩක් ඇත්දැයි යන්න අවිනිෂ්චිතය. එහෙත් රනිල්ගේ මෑතම කාලීන වෙනස්වීම තුලින් පෙන්නුම් කරන විභවයේ සාධනීය ස්වරූපය වන්නේ, යම් ලෙසකින් ආණ්ඩු ක්‍රම වෙනසක් එජාපය ප්‍රමුකව සෙසු පක්ෂ හා එක්ව සිදුවුව හොත් පවත්නා පවුල්වාදී ඒකාධිපතිත්වය අහෝසිකරමින් සෙසු දේශපාලනය සඳහා ද ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය උදෙසා බලපෑම් කළ හැකි ඉදිරිගාමි පිරිසකගේ දෘෂ්ටිවාදීමය මග පෙන්වීම හා තෙරපුම සඳහා අවකාශයක් පාදා ගත හැකි වීමය.

අනෙක් අතට ගොඩ නැගෙන විපක්ෂයේ  නායකත්වයෙන් රාජපක්ෂ නායකත්වයේ ඇති වෙනස වන්නේ අතීත මහින්ද හා අනාගත නිර්වචනය නොවූ නායකත්වය යන්නය. අතීතය නිර්වචනය වී ඇති නිසාත් අනාගතය නිර්වචනයට ඉඩ ප්‍රස්ථාව ඇති නිසාත් විපක්ෂය එක්ව ගොඩ නැගෙන ආණ්ඩුව පරන ගණක් හැදීම්වලින් තොරව වන සූත්‍ර ආදේශ කිරීමට පරිසරයක් නිර්මාණය කර ගැනීමට ප්‍රගතිශීලී විපාක්ෂිකයන්ගේ වගකීමකි. එබැවින් වර්තමාන තත්තවය වන විට රනිල්ගේ නායකත්වයේ විපරිවර්තනය පෙරට වඩා සාධනීය වී ඇත. මෙම නව හැඩය නිර්මාණශීලී දේශපාලනයට අවකාශයක් ඇති අතර එය කොතෙක් දුරට තාර්කික වන්නේ දැයි කීම න්‍යායට වඩා භාවිතාව තුල සිදු විය යුත්තකි. මෙතෙක් වූ වෙනස් කම් පවා ප්‍රමාද වී ඇතත් විය හැකි සාපේක්ෂ සාධනිය වෙනසක් එජාපය තුල සිදු වී ඇත. ඒ තුල රනිල්ගේ නායකත්වය සෙවැනැලි නායකත්වයක් බවට පත්ව ඇත. එජාපයෙන් හෝ රනිල්ගෙන් සමාජවාදය හෝ සමානාත්මතාව හෝ දූෂණයෙන් තොර සමාජයක් අපේක්ෂා කළ නොහැකි උවත් ඒ සඳහා අවශ්‍ය සංයුතියේ කොටස් කරුවන් වීමට ඉඩක් ඇත් ද නැත් ද යන්නට ඉඩක් පවත්නා තත්වයට වඩා ලැබිය හැකිය.

එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද

සාකච්ඡා සැලසුම් හා සංවාද තුලින් ගම්‍ය කරන්නා වූ සිනාරියෝවට අනුව මහින්ද රාජපක්ෂ රෙජීමය පැරදවීමට ගෙනෙන විකල්ප තක්සේරුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලීමේන්තුවට බලය පැවැරීමය. මේ සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරඟ කිරීමය. ඒ සඳහා ප්‍රකාශ වී ඇති යෝජනා හා බලපෑම් වලට අනුව නිෂ්චිත පැහැදිලිතාවක් දැකිය නොහැකි වුව ද, යම් ලෙසකින් මහින්ද රාජක්ෂව ජනාධිපති වරණයේ දී පාරාජය කිරීම නැමැති ප්‍රධාන මුරිච්චිය ගලවනු ලැබුව හොත් රාජපක්ෂ සන්ධානය අහස් යානයක් කඩා වැවෙන්නාක් මෙන් බිමට ඇද වැටෙනුයේ වැදගත් බොහෝ දේ සිදුවීමෙන්ය. එහෙත් ගොඩ නැගෙන ආණ්ඩු ක්‍රමයෙන් හෝ ඔවුන් සතුව  ඇති වාස්තවික සැලසුම්වලින් සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කළ හැකි ද යන විශ්වාසය ඇතැත්, විපක්ෂයට මහින්දව පැරදවීම කළ හැකි වන්නේ නම් එය කළ හැකි වන්නේ බොහෝ පාර්ශවයන්ගේ එකමුතුවෙන් බැවින්, නිර්මානශීලීන්ට, ඉදිරිගාමීන්ට එය මෙහෙයවීමේ නායකත්ව සුක්කානම නැමති තෙරපුමේ සිනාරියෝව ගොඩ නැගිය යුතුවේ. එය අතීත නිදර්ශනයකින් තේරුම් ගන්නේ නම්, පසු ගිය කාලයේ දෙමළ ජනයාට එරෙහිව රාජපක්ෂ හා එකතු වෙමින් ඔහුට චින්තනයක් ද සපයා දෙමින් දස දසහස් සංඛ්‍යාත ජන සංහාරයක් කිරීමට සාර්ථක ඛේදනීය සිනාරියෝවක් නිර්මාණය කළ ජවිපය (පෙරටුගිමින්ද ඇතුලත්)ට විලෝමීය කාරයයක් නැවත ඇත. එය කොට්ට උරය කණපිට ගැසීමක් නොවන  නමුත්  නිෂේධනීය අන්තාවාදයක සිට සාධනීය අන්තවාදයකට නැවත ගමන් කරමින් අතර මග සිට කිරීමට ඇති කාර්යයක් වන්නේය. එය රනිල්ට හො වෙනත් පුද්ගලයෙකුට චින්තනයක් හැදිම වෙනුවට රටට හැදිය යුතු චින්තනයේ පංගුකාරයන් වීම ය. එහෙත් විපක්ෂයේ සිනාරියොව සඳහා එම කොටස්වල ඇති නැමියාව හා චින්තනමය හැකියාව පිළිබඳ අනාවැකි පල කළ හොහැකි බැවින් ඊට ඉඩ තැබිය යුතු අතරම, ඔවුන්ගෙන් තොරව ආණ්ඩු ක්‍රමයක ස්වරූපය කෙබඳු වේ දැයි යන්න කිව හැක්කේ ආණ්ඩු ක්‍රමයක් නැත යන්නය. ඔවුන් යනු ජවිපය මෙන්ම සෙසු කොටස් වන සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානය හා අනෙකුත් සියල්ලේ සහයෝගයෙන් මිසක රාජපක්ෂව පරාජය කිරීම කළ හොහැකිය යන්නය. මෙහිදී පාර්ලීමේන්තුවේ පදනමක් නැති උවත්, ජන පදනමක් නැති උවත් දෘෂිටිචාදීමය බලය හා අනන්‍යතා ශක්තීන් විශාල මෙහෙයයක් සිදු කරන බැවින් හැම කෙනෙකුම වැදගත් වන්නෝය. එහෙත් එය එසේ සිදු වීමට ශඛ්‍යතාවක් පෙන්නුම් කරන ප්‍රමාණය ප්‍රාමාණිකව ඇත්තේ පහළ අගයක බැවින් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ සිනාරියෝව සාධනීය අර්ථයෙන් ගැටලුවක් වී ඇත.

ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද

ප්‍රධාන පක්ෂය වන එජාපය මෙන්ම සෙසු කුඩා පක්ෂ හා පුද්ගලයන් තුලත් ප්‍රධාන වශයෙන්ම පැවැතිය හැකි ප්‍රතිවිරෝධය වන්නේ අන්‍යයතාව හා බලය සම්බන්ධ කාරණාවය. මේ සඳහා සාමුහිකව පිළිගත හැකි සම්මුතිකාමී යොජනාවන් හා ආදර්ශයන් ප්‍රකට කරනු වෙනුවට පුද්ගලත්වය තරාදියට දමිමින් මස් රාත්තල ඉල්ලා සිටීම වෙනුවට රටක් ජනතාවක් හා අනාගත පරපුරක් වෙනුවෙන් කැපකිරීම් හා එකිනෙකාගේ(each other/ einanderer) දේශපාලනික සංස්කෘතියකට පුහුණු විය යුතුය. අතීතයෙන් පාඩමි ඉගෙන ගනු විනා අතීතhක්ෂතියක් (Trauma)ලෙස   ගනිමින් එය තම දේශපාලනික මෙවලම් කර ගැනීමෙන් කිසිවකුට පලක් නොවන අතර පුද්ගලික වශයෙන් තමන්ට ද පලක් අත් නොවනු ඇත. අනෙක් අතට ලාංකීය දේශපාලනික සංයුතිය හා සංස්කෘතිය අනුවත් අපේක්ෂා විභේදනය වී ඇති සවභාවයත් අනුව තනි පක්ෂ දේශපාලනය යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගිය හැකි ආයතන වීමට කිසිදු ඉඩක් නොමැත. අවශ්‍ය වන්නේ නම් මේ පිළිබඳ ගෝලීය වශයෙන් ඓතිහාසික තත්ත්වයන් සොයා බැලිය හැකිය. ලාංකිකයන් වන බොහෝ අපට තවමත් කුඩා හෝ ඉඩම් කැබැල්ලක් ඇති බැවින් හැහෝම තමන්ගේ කියා ගෙදරක් සාදා ගැනීමට සිහින දකින්නාක් මෙන් සෑම පක්ෂයක් විසින් ස්වකීය අණසක රටට පැතිරවීමට සිහින දකිනවා විය හැකි උවත්, යථාර්ථය වශයෙන් තමාගේ සිහිනය නැමැති කූඩයට චතුස් කෝටික සිහින දයලෙත්තිකයන් දමා ගැනීමේ උභතෝකෝටිකයෙන් ගැලවිය හැකි නම් අපූර් නිර්මාණශීලි පුද්ගලයෙකු ග්‍රීක පුරාවෘත්තවල මෙන් පැමිණිය යුතුය.

එනිසා හැඩයෙන් හා ගුණයෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝද ගණනාවක් පැරණි හා අලුත් වශයෙන් ඇති විය හැකි අතර සියල්ල නිර්ණය වනු ඇත්තේ සිනාරියෝවෙහි ඇති සූත්‍ර හා විද්‍යාත්මක තත්වය මෙන්ම අවංකභාවය හා කැපවීම තුලය.

සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද

පවත්නා උද්දච්ඡ මුග්ධ අධම ආණ්ඩු ක්‍රමය නැතිකිරීම විසින්ම සමාජයේ හැඩය වෙනස් වීමට බලපානු ඇත. එම වෙනස හා හැඩය තුල ඇති අවකාශය සමාජය යළි ගොඩ නැගීමට වැඩබිමක් කර ගැනීමට හැකි සංස්කෘතියක් නිර්මාණය කර ගත නොහැකි වේද. මෙය ඉතිහාසයේ එක්වරක් වූ දෙය දෙවරක් සිදුවීමක් නොවීමට සන්ධාන ගත ප්‍රගතිශීලින්ගේ නැණ පමන හා නිර්මාණශීලී කැපවීම ඓතිහාසික වනු ඇත. තනිව වීරයෝ වනවාට ඩවා සාමූහික වීරත්වයේ අසිරිය අපට කිව නෙහැකි වනු ඇත් ද?

උතුරේ දෙමළ ජනයාගේ අනාගතය තීරනය කිරීම ඒ ආකාරයෙන් එක්වරම නොවිසඳුනද අතීතය සමග ඇති ගනුදෙනුවෙදී යුක්තිය පිළිබඳ අපේක්ෂාව හිමිවනු ඇත්තේ නව ආණ්ඩු ක්‍රමය ගන්නා ක්‍රියා මාර්ග තුල නොව රාජපක්ෂගේ ඇද වැටීම තුලය. එය ද වෛරයෙන් තොරව යුක්තිය හා සාධාරණත්වය තුලින් දේශපාලනික හා සමාජ සංස්කෘතික සංහිඳියාවක් කරා ගමන් කරන පාලමක් වන්නට පුළුවන.

මේ පිළිබඳ තවත් දේ ඉදිරියට

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.