6 August, 2020

Blog

නන්නත්තාර දයලෙක්තිකය සහ ප්‍රගතිය උදෙසා අගතිය වෙන් කරගැනීම

උදය ආර්.තෙන්නකෝන්

උදය ආර්.තෙන්නකෝන්

සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී  අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි.  පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර එක්වීම සිදු වෙමින්) විසරනය වන කාල පරිච්චේදයක් ලෙස පාර පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. එම සිදු වීම ප්‍රගතිය විසින් නොව අගතිය විසින් සිදු කිරීමේ යථාර්ථය හඳුනාගත යුතුව ඇත.

මෙම තත්ත්වය ධනවාදයේ පලයක් ලෙස හෝ අධිරාජ්‍යවාදයේ පලයක් ලෙස හෝ නව ලිබරල්වාදයේ පලයක් ලෙස හෝ යටත් විජිතවාදයේ පලයක් ලෙස හෝ බටහිර ක්‍රිස්තියානියේ පලයක් ලෙස හෝ යන කැමති කැමති න්‍යායයන්ගෙන් සූත්‍රගත කළ හැකි වුවත්, එය කොයිතාක් දුරකට ගැලපේද යන්න ලෝකයට හා ලෝකයේ සෙසු සන්දර්භයන්ට අනුව නොව ලංකාවට අනුව සිතිය යුතු වන්නේ රටක් ලෙස අප නන්නත්තාර වී ඇති නිසාවෙනි. මෙම නන්නත්තාරවීම භාහිරයට සාපේක්ෂකවද අභ්‍යන්තරයෙහි අභ්‍යන්තරයට සාපේක්ෂකවද සත්‍යයක් වුවත් එය පසක් වූ ජනතාවක් සහ ජන හිතෛෂී මනුෂ්‍යයින් සහිත සමාජක්‍රියාකාරිකයන්ගේ නන්නත්තාරවීම තුල මුළු මහත් සමාජයම එකිකෙකාට නන්නත්තාරවීම ජීවිතයේ අත්‍යන්ත විලාසිතාවක් වී ඇත.

ඉන් මිදීම වනාහී අන්කවරදාකටත් වඩා අතිශයින් සංකීර්ණ කාරයයක් වී ඇත්තේ පුද්ගලයාට මෙන්ම සමාජයටද දිශාවක් අහිමිවීමෙන්ය. මෙතෙක් පැවති පශ්චාත් යටත් විජිත යුගය එක් එක් කාලය විසින් සමාජ චලනය හා වෙනස තීරණය කළ බව අතීත සාක්ෂි සටහන් කළ ද, (එය යහපත් යැයි අදහස් නොවේ) පාර පශ්චාත් අවධිය වන රාජපක්ෂ යුගය යනු වීසි දැලක් දමමින් අවශ්‍ය ආකාරයට දැල ඇදගන්නා කාලයක් කරගෙන ඇත. මේ තුල මුළු මහත් සමාජයම දැලට හසු වී නන්ත්තාර වී ඇත. ඉන් ගැලවීමට කිසිවකුට මේ තාක් හැකියාවක් වී නැත්තේ ප්‍රතිවිරෝධයන් තමා තුලද අනෙකා තුල ද එකිනෙකා තුල ද නන්නත්තාර වීම තුල ය. මෙකී ත්‍රිකෝණික නන්නත්තාරවීම තුල එහි උපරිම වාසිය දිනෙන් දින අත්පත් කර ගැනීමේ වාසනාව රාජපක්ෂට ඉතිහාසයේ අගතින් විසින් උරුමකර දීම නිසා එම මගෙහි තවදුරතේ ගමන් කිරීමට හැකියාව ඇතිවා පමණක් නොව, ඊට ආවේනික සංස්කෘතියක් ද නිර්මාණය කරමින් සමාජය හැඩගස්වන අතර එය වෙනස් කිරීමට ක්‍රියාකරන්නා ද නොදැනීම එම තත්ත්වය විසින් පැවැත්මේ කොටස්කරුවන් කරමින් යන්නට සමත් වි ඇත.

ශ්‍රී ලාංකිකයාට රටක් ලෙස භූමියක් ඇත. එම භූමිය යුද්ධයෙන් පසුව සිතියමින් අඛණ්ඩ කර තිබුණ ද චින්තනයෙන්, මනුෂ්‍යත්වයෙන් කඩා විසිරුවා ඇත. සිංහල බහුතරයාට විශ්ව සාධාරණ යැයි කියන ආගමක් ඇත. ආගම ජනයාටද ජනයා ආගමටද චංචනිකයන් කර ඇත. ආචාර ධර්මයන්, සාර ධර්ම, නිති ධර්ම යන සකල ධර්මයන් පැවැත්මේ අංගයන් මිසක, මනුෂ්‍ය ආත්මය ආමන්ත්‍රණය කරන සාරයන් වී නොමැත. මේ තත්තවය තුල  ලංකාවටම සුවිශේෂි වූ අනන්‍ය වූ ජනකායක් ඇත. එම ජනකාය පාලනයකට යටත් කර ඇති රජයක්, ආණ්ඩුවක් ඇත. එම යටත් වීම ස්වාභාවිකරණය වූ ජනකායේ ජීවිතයන්ට විකල්පයක් ලෙස ද ඇත්තේ නන්නත්තාර වූ ජීවිතයන්ය. එම ජීවිත ළගම සිටින අසල්වැසියාට ප්‍රක්ෂේපනය වනු විනා රටකට හෝ එහි සංස්කාතියට බද්ධවන්නක් නොවී ඇත. එම ජීවිතයන් සඳහා තත් කාලීන ආණ්ඩුව, විපක්ෂය, හා විකල්ප දේශපාලනය මඟින් කරන බොහෝ දේ ඇත. ඒ අතරින් බලය බුක්ති විඳින්නා වූ කොටස විසින් අතපත ගාන දෑ සමාජ සම්මතය, සමාජ සංවර්ධනය, ජාතියේ උරුමය වි ඇත. මෙතෙක් පැවැති සියලු දේ අහෝසි කරනු ලැබූ පසු අලුත් සම්ප්‍රදායක් නිර්මාණය කර ඇත. එම සම්ප්‍රධාය වනාහී ප්‍රතිවිරෝදයන් නන්නත්තාර කිරීමය. එනම් දයලෙක්තිකය නන්නත්තාර කිරීමය. දයලෙක්තිකය යන්න අහසට අරින අහස් කූරු, නිලා කූරු මෙන්ය. දයලෙක්තිකය හඬ නගා ගුවන් ගතව පිපිරේ ඉන්පසු කිසිවක් නැත. මෙම පිපිරුම දයලෙක්තිකයට ද විරුද්ධාර්ථ සිද්ධියකි. එනිසා එය නන්නත්තාරය. ලංකා සමාජය විෂයෙහි මෙම නන්නත්තාරය හඳුනාගත හැකි පස් සාම්පල පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා පරික්ෂාවට ගතහැකිය. උත්තරය නන්නත්තාරය වන විට මෙම නන්නත්තාර දයලෙක්තිකය යන්න කුමක් දැයි විමසා ගැනීමේ ප්‍රවාදය අද දවසේ අභියෝගය  වන්නේය.

සාමාන්‍යෙයන් දයලෙක්තිකය යන්න විශ්ව ක්‍රියාවලියක් වන විට එය මිනිස් ප්‍රගමනය සඳහා ඉදිරියට විකාශනය වන්නකි. ම්ලේච්ඡ යුගයන්ගේ සිට ධනේෂ්වර ක්‍රමය දක්වා සමාජ ක්‍රමයන් ලෙස විකාශනය වූයේ මෙම නියාමයට අනුවය. එම නියාමයන් කාලයට තාලයට අනුව විවිධ හැඩ ගනු ලැබුවද දාර්ශනික වශයෙන් දයලෙක්තික සහසම්බන්ධකම් මත ලෝකය ගමන් කරන්නට පටන් ගෙන ඇත. මනුෂ්‍ය සම්බන්ධතා හා මිනිස් පරිකල්පනයන් සියල්ල දිශාගතවනු ඇත්තේ ප්‍රගතියේ ගමන් මග දෙසටය. ධනේෂ්වර ක්‍රමය පවා එහි ඇති නෛසර්ගික පසමිතුරු ප්‍රතිවිරෝධයන් තුලින්ම ඇති කරනු ලබන සහවාදයන් තුලින් පෙන්නුම් කරනු ලබන්නේ ප්‍රගතිශීලිත්වයක් සහිත සමාජයක්ය. මිනිසුන්ය. ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස ඇති දීර්ඝ කාල පරිච්ඡේදය කෙටි කිරීමේ ක්‍රියාවලිය නැතිනම් වෙනස් කිරීමේ ක්‍රියාවලිය යන්න ප්‍රගතියේ  විප්ලවය වන්නේය. එය ස්වභාවිකත්වයෙන් සංස්කෘතික ක්‍රියාවලියක් කිරීමේ සමාජ දේශපාලනික විප්ලවයකි. ධනේෂ්වර ක්‍රමය වනාහී අතීතයට සාපේක්ෂකව ප්‍රගතිශීලි සමස්ථයක පලයක් මිසක එය ගර්හාවට ලක් කිරීමෙන් එතෙක් පැවැති අතීතය ප්‍රගතිශීලි යැයි සමස්ථය තුල හැඟවුම් නොවන්නකි. ධනේෂවරයේ ක්‍රියාකාරීත්වය නග්න වන බැවින් එවා එලිපිට හෙලි දරව් වීම තුල එහි පැවැත්ම උදෙසා විශාල සංස්කෘතික ක්‍රියාවලියක් ඉතිරිව ඇත. එය වනාහී ධනේෂ්වර සංවර්ධනයේ ඉදිරි අවධිය වන අතර එය නන්නත්තාර මිනිසුන්ගේ විලාපයන්ගෙන් පරාජයට පත් කළ නොහැකි වන්නේ ඔවුන් තවමත් එම ක්‍රියාවලියට පිටු පසින් සිටින බැවිනි. එබැවින් ධනේෂවරයට ඇත්තේ අඩු ආයු කාලයක් යැයි කීම වනාහී එම හඬ නැවත තමන්ටම ප්‍රතිරාව නංවන්නකි. පෙර නොවූ විරූ අයුරින් මෙම ක්‍රියාවලිය විසින් ලෝකයම නන්නත්තාර කර ඇතත්, ඊට සරිලන විකල්පය උදෙසා වන මතවාද දර්ශනයන්ගෙන් මග පෙන්වන ලෝකයට මිනිසා ඇත්තේ බොහෝ සෙයින්ම පිටු පසිනි.

එවැනි තත්ත්වයක් තුල ලංකාව දෙසට හැරී එහි අභ්‍යන්තරයට පිවිසුණු කල මෙම ලෝක දෘෂ්ටියෙන් නිර්වචනය කිරීමට පෙර ලංකාව ඊට ආවේනික ලක්ෂණයන්ගේ ඇති ගති ස්වභාවයන් හඳුනාගත යුතුව ඇත. මෙම ආවේනිකයන් ලෝක ධනේශ්වරයේ දියරයන් සමග මුසු වී ඇති කාලයක නිසා සමාජය යහපත් කරන්නාට එනම් පවතින නපුරෙන් බේරා ගැනීමට කළ යුතු දැවැන්ත කාර්ය වන්නේ අභ්‍යන්තරය භාහිරයෙන් වෙන් කර ගැනීමය. එහෙත් විකල්ප දේශපාලනය සමස්ථය තුල වෙලී පැවතීම තුල දයලෙක්තික වශයෙන් නන්නත්තාර වී ඇත. ලෝකයේ පවත්නා කුමන හෝ යහපත් ආදර්ශයක් වෙත සාපේක්ෂක වශයෙන් ලඟා වීමට අදහස් කරන්නේ නම් මුලින්ම අත්හළ යුතු අගතිය වන්නේ අගතීන් ලෙස අධිනිෂ්චය කරගන්නා වූ භාහිර සාධක වලින් ලාංකාව වෙන්කර ගැනීමය. මන්ද ලාංකික සමාජ සැකැස්ම භාහිරයට සාපේක්ෂකව අතිශය අගතියක් වන බැවිනි.මේ සඳහා සංයුක්ත නිදර්ශන කිහිපයක් ගතහොත් සඳහන් කළ හැකි ප්‍රමුක සංකල්ප තුනක් ඇත. ධනවාදය නව ලිබරල්වාදය හා අධිරාජ්‍යවාදය යන ත්‍රත්වයයි. ලංකාවට වෙනසක් අවැසි නම් මේ පිළිබඳ කතා නොකොට දේශපාලනය කිරීම යුගයේ ඇති අභියෝගාත්මක ව්‍යාපෘතිය වන්නේය. එය නව වමක ප්‍රගතිශීලි කථිකාව වන්නේය. අද ලාංකීය සමාජය පත්ව ඇති තත්ත්වය තුල විප්ලවීය වනු ඇත්තේ හංසයෙකු දියෙන් කිරි වෙන්කර ගන්නාක් මෙන් ලාංකීය සමාජයේ ප්‍රගතියේ දයලෙක්තිකය හඳුනා ගැනීමය. ධනවාදය, නව ලිබරල්වාදය හා අධිරාජ්‍යවාදය කොතරම් අගතිගාමී වුවත් ඊට වඩා අගතීන් ලාංකීය අභ්‍යන්තරය තුල පවත්නා බැවින් නන්නත්තාර වී සිටින්නා වූ දයලෙක්තිකයෙන් එගොඩ වීමට කරන දේශපාලනය යනු චේ ගුවෙරා සැමරීමට හෝ ලෝක බැංකුවට විරුද්ධ වීම නොව අද ඇත්තේ යුද්ධයෙන් පසුව මස්මරන්නා විසින් එලා ඇති නපුරෙහි වීසි දැල හැකිලීමටත් බොර වී අපවිත්‍ර වී ඇති කිළිටි දිය නැමැති සමාජය පවිත්‍ර කිරීමට අවශ්‍ය සූත්‍ර සකසා ගැනීමය. මෙම අභියෝගය මෙතෙක් පවතින සියලු වාමාංශයන්ට කට උලුක්වන්නක් මෙන්ම, මෙම ප්‍රවාදයට ඔළොක්කුවක් ද වනු ඇත. අවශ්‍යම වන්නේ නම් චීන ධනවාදය ගැන චීන අධිරාජ්‍යවාදය ගැන, චීන ලිබරල්වාදය ගැන කතා කරීම අත්‍යන්තව වැදගත් වනු ඇත. ඒ අතර ඉහත සමස්ථය පිළිබඳව නිහඬව හැදෑරීම කරන ගමන්, ලංකාව වෙනස් කළ හොත් එය ඉදිරිය සඳහා ප්‍රෙයෝජනවත් වනු ඇත. මේ සඳහා සිදුකර ගත යුතු පළමු වැන්න නම් පැවැත්මේ ලෝක දැක්මෙන් හා අනන්‍යතා ලෝක දැක්මෙන් ඔබ්බට ගමන් කිරීමය. එනම් පැවැත්ම සඳහා කරන දේශපාලනයත් අනන්‍යතාව රැක ගැනීම සඳහා කරන දේශපාලනයත් හඳුනා ගනිමින් ඉන් සුසමාදර්ශී වෙනසක් කිරීමය. මෙය, “මමයි අහවල් පක්ෂයේ පොර , මමයි නායකයා, අපියි මාක්ස්වාදී, මමයි නියම සමාජවාදී, ලෙනින්වාදී, ජාත්‍යන්තරවාදී“  යනාදී අනන්‍යතා දෘෂ්ටීන්ගෙන් ගොඩනංවා ඇති පැවැත්මේ සීමාවන් පුළුල් කළ යුතුව ඇත. එසේ නොකරන්නේ නම් ඉර එලියට හසු වූ අයිස් කැටයක් පරිද්දේන් දයවනු ඇත. පොලොවට පස්වුවද මිනිසාට සමාජයට වැඩක් වනු නොමැත. එපමණක් නොව අපට ඔබට යහතින් සිටීමට ඉඩ දෙන්නේ ද නැත. මන්ද අධිනිෂ්චය වී ඇති දෘෂ්ටිවාදයන් තුලින් කරන්නා වූ විනාශය තේරුම් නොයන බහුතර සම්මුතිය විසින් රටක ජාතියක විනාශය සඳහා සිය මිනීවල සකසා ගනිද්දී, ඊට සුදුසු වූ දයලෙක්තිකය වී  ඇත්තේ නන්නත්තාරත්වයම නිසාය. මෙම නන්නත්තාරවීම යන්න පාදඩ කරණය නොව ආත්මය භුවල්ලෙකු බවට පත්කිරීමය. මීට එකක් යැයි කිව හැකි හේතු කාරණා නොතිබුණද, හේතුව එකක් ලෙස කල්පනා කරන සමාජය වෙනස් කරන්නට වෙහෙසෙන චින්තකයන්  ද නන්නත්තාර වී ඇත්තේ මෙම භූවලු දයලෙක්තිකයන් හා ඒකීය දිශාවක් වෙත කේන්ද්‍රීය වීම නිසාය. අනන්‍යතා දේශපාලනයෙන් ඔබ්බට විතැන් වීමට ඇති නොහැකියාව හා අනවබෝධය නිසාවෙනි. එබැවින් අගතිය නපුර හා එහි දුගඳ හඳුනා ගැනීමට සූදානම් නොවීම යනු ඩාවිවින්ගේ නියාමයට හසු වීමකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.