20 April, 2024

Blog

රතුපස්වල, තුන්නාන හා ගජමිතුරන් තාවකාලිකව බේරා ගැනීමේ අමනෝඥ මෝඩ තීරණ

වැලිවේරිය, රතුපස්වල  ප්‍රදේශයේ මීට මාස කිහිපයකට පෙර සිදු වූ සිදුවීමට හැමතින්ම සමාන සිදුවීමක් හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ ප්‍රතිනිර්මාණය වී තිබේ.  සහතිකවම මේ සිදුවීම් දෙක අතර බොහෝ සමානතා පවතී. රතුපස්වල දී පිරිසිදු පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කළාක් මෙන්ම තුන්නාන ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය කළේ ද, රබර් කර්මාන්ත ශාලාවකින් පිටවන විෂ රසායාන ද්‍රව්‍ය නිසාවෙන් ළිං ජලය භාවිතයට ගත නොහැකි බව කියමිනි. අනෙක් අතට මේ සිදුවීම් දෙකෙහිදිම ඇගිල්ල දිගු වී තිබුණේ එකම  සමාගමකට වීම තවත් විශේෂත්වයකි.

Gota -Secretary MODඑම රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව තුන්නාන ප්‍රදේශවාසීන් ගෙන ගිය විරෝධතාව තුළ කිසිදු දේශපාලන අරමුණක් නොවුන අතර, එය පැහැදිලිවම ප්‍රදේශවාසීන්ට බලපාන කාරණාවක් වෙනුවෙන් ගෙන ගිය පොදු සටනක් විය.  පොදුවේ සියළු දෙනාට බලපාන කාරණාවක් වූ නිසාවෙන් ඊට ශ්‍රී. ල.නි.ප, ජ.වි.පෙ , එ.ජා.ප යන පක්ෂ භේදයකින් තොරව ගම්වැසි සියළු දෙනා ඒකරාශී වී සිටියහ.

ශිෂ්ඨ සමාජයක තමන්ගේ එදිනෙදා ජනජීවිතයට බලපාන කාරණා සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රීයව විරෝධය දැක්වීමේ අයිතියක් පවතී. තුන්නාන ප්‍රදේශවාසීන් කළේ තමන් සතු ඒ අයිතිය ක්‍රියාවට නැංවීම පමණි. කොළඹින් විශාල පොලිස් බල ඇණියක් රැගෙනවිත් විසඳිය යුතු තරම් මහා යුද්ධයක් එහි නොවීය.  යම් උණුසුම්කාරී තත්ත්වයක් තිබුණේ නම් එය අවට පොලිස් ස්ථාන වලට  පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව තිබුණි. එබදු වටපිටාවක ප්‍රදේශයෙන් පරිබාහිර පොලිස් ස්ථානවලින් විශාල පොලිස් බලඇණි එම ප්‍රදේශයට කැඳවමින් කළ අමනෝඥ මෝඩ තීරණයේ ප්‍රතිඵලය වූයේ මේ ප්‍රශ්නය තවත් සංකීර්ණය වීම හා වටිනා මිනිස් ජීවිතයක් විනාශ වීම පමණි.

මේ අවාසනාවන්ත සිදුවීම නිසාවෙන් ශ්‍රී ලංකා පොලිසියට ඉතාමත් දක්ෂ නිළධාරියෙකු  අහිමි වුවා පමණක් නොව, දයාබර බිරිඳකට සෙනෙහෙබර සැමියෙකු අහිමි විය. දරුවන් දෙදෙනෙකුට ආදරණීය පියෙකු අහිමි විය. මෙහිදී මතුවන ගැටළුව වනුයේ මෙම වටිනා මිනිස් ජිවිතය අහිමි වීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිලිබදවය.

මෙම අවාසනාවන්ත සිදුවීම නිසාවෙන් මිය ගිය ප්‍රසාද් සිරිවර්ධන මහතා රාජකාරී කටයුතු කළේ බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙසය.  බොරැල්ල  මැතිවරණ කොට්ඨාශයට සම්බන්ධ මැතිවරණයක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක අදාළ පොලිස් වසමේ ප්‍රධානියා ලෙස ඔහුට වෙනත් ප්‍රදේශයක රාජකාරීය සදහා  පිටත්වීමට අණ ලැබුනේ කාගෙන් ද හා ඒ කුමන පදනමක් මත ද යන  සාධාරණ ප්‍රශ්නය මේ මොහොතේ පැන නගී. පොලිස්පතිවරයා එවැනි අණක් ඔහුට නිකුත් කළේ ද නොඑසේනම්,  මෙවැනි සිදුවීම්වලදී නිතරම මාධ්‍ය හමුවේ පෙනි සිටින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවැනි නියෝගයක් නිකුත් කළේ ද යන්න සම්බන්ධව වහා සොයා බැලීමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි.

නමුත් ගැටළුව වන්නේ එවැනි පරීක්ෂණයක්,  සොයා බැලීමක් හෝ සිදු කිරීමට මේ රජය සූදානම් ද යන්නය.  වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ සිදු වූ ඒ අවාසනාවන්ත සිදුවීම හා සම්බන්ධ කිසි‍ම පුද්ගලයෙකු මේ වන තෙක් හදුනා ගෙන හා ප්‍රසිද්ධ කර නොමැති තත්ත්වයක් තුළ ඊට වඩා වෙනස්ව ගිය අහිංසක හැසිරිමක් මෙහිදී කිසිසේත්ම අපට අපේක්ෂා කළ නොහැකිය.

රටේ ඕනෑම ප්‍රදේශයක සාධාරණ මහජන නැගිටීමක් සිදු වූ වහාම පොලිසිය විශාල වශයෙන් එම ප්‍රදේශයට පිටත් කර යවමින් එය මර්දනය කිරීම මහින්ද රාජපක්ෂ පාලනයේ විලාසිතාව වී තිබේ.  සාකච්ඡාවෙන්, සම්මුතියෙන් පහසුවෙන් විසදිය හැකි ප්‍රශ්න පවා සිවිල් බලහත්කාරය උපයෝගී කරගනිමින් මර්දනය කිරිම රජයේ උපාය මාර්ගය වී ඇත. එසේ කටයුතු කරමින් තම දේශපාලන ගජ මිතුරන්ගේ පැවැත්ම හා ඔවුන්ගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත වුවද බිලි ගැනීමට තමන් සූදානමින් සිටින බව මේ රජය පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ම පෙන්වා ඇත. ඒ හරහා තමන්ගේ දේශපාලන ගජමිතුරන්ව තාවකාලිකව බේරා ගැනීමට හැකි වුවත් සමස්තයක් ලෙස මෙවැනි සිදුවීම්,  රටට ගෙන එනුයේ පැහැදිලි අනර්ථයකි. ජිනිවාහි දැන් පැවැත්වෙන මානව හිමිකම් සැසිය තුළ  ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් වී ඇති පසුබිමක සිදුවන මෙවැනි සිදුවිම්වලින් පෙනී යනුයේ මේ රටේ නිතියේ පාලනය බිඳ වැටී ඇති තරමය.  පැහැදිලිවම අද වන විට නීතිය ක්‍රියාත්මක වනුයේ රජයට හා ඔවුන්ගේ ගජ මිතුරන්ට අවශ්‍ය ආකාරයටය.  වැලිවේරිය රතුපස්වල දී මෙන්ම හංවැල්ල තුන්නානේ දී ද සිදු වූයේ එයයි.

වැලිවේරිය, රතුපස්වල සිදුවීමෙන් පාඩම් ඉගෙන ගෙන නොමැති බව හා එසේ ඉගෙන ගැනීමට සූදානම් නොමැති බව රජය යළි තුන්නානේ දී පෙන්වා දී තිබේ.  යමක් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්නම් එහි දී පළමුව සත්‍යයට ඉඩ දිය යුතුය. එය පිළිගත යුතුය. නමුත් ඒ වෙනුවට මේ රජය උත්සාහ කරමින් සිටිනුයේ සත්‍යය වසන් කර බොරුව සමාජගත කිරිමටය.

අවසාන විග්‍රහයේ දී, මේ සිදුවීම යළි යළිත් පෙන්නුම් කළේ ජනතා ප්‍රශ්න විසදීම සම්බන්ධයෙන් ඇති මේ රජයේ නොහැකියාවය.  ඒ වෙනුවෙන් කිසිදු හැකියාවක්, විනයක් හා කළමනාකාරීත්වයක් මේ වැඩ බැරි, අකාර්යක්ෂම රජයට නොමැති බව මේ සිදුවීම යළිත් ප්‍රදර්ශනය කළේය. දිගින් දිගටම සෑම කාරණාවක් සම්බන්ධයෙන්ම සිදුවන මේ තත්ත්වය පිළිබඳ,  ජනතාව වඩාත් බුද්ධිමත්ව කල්පනා කර බැලීම වැදගත් වනුයේ එවැනි පසුබිමකය.

රතුපස්වලදී පමණක් නොව තුන්නානේ දී ත් ආණ්ඩුව පෙන්වා දී ඇත්තේ තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරලීම සඳහා ජනතාව පමණක් නොව පොලිසිය පවා බිලි දීමට තමන් සුදානම් බවය.

*එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය – 2014 මාර්තු 17 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    රජය විසින් විපක්ෂයට දේශපාලන වාසි ගන්න හදනවා යැයි කියන විට විපක්ෂය විසින් එයට උත්තර දෙන්නේ අපි නං වාසි ගන්න හදන් නැහැ යැයි යන මොඩ් තකතීරු වදනත් සමගය. රජයක් විසින් ජනතාව පීඩනයට පත්වන ආකාරයේ වැඩ කරන විට විපක්ෂයේ අරමුණ සහ වගකීම වනුයේ ඒවායින් දේශපාලනික වාසි ලබා ගනිමින් පවතින දුර්දාන්තර රජය පෙරලීමට රුකුල් ලබාගැනීමයි. නමුත් විපක්ෂයේ සමහර අමනෝඥ දේශපාලකයින් පවසන ආකාරයටම විපක්ෂය ිවිසින් දේශපාලනික වාසි ලබා ගැනීම නොකල යුතු දෙයකි.
    මිනිසුන් දැඩි ලෙස පීඩාවන්ට පත් වන විට ඔවුන්ගේ ගැටලුවලට දේශපාලනික පසුබිමකට යටත්කොට එම ජනතාවට සවියක් වීම විපක්ෂයේ වගකීමකි. එසේ නොමැතිවූ කල සිදු වන්නේ මෙසේ ජනතාව තමුන්ට තේරෙන බසින් ප්‍රශ්ණ විසඳන්නට යෑමයි.

    එසේම තුන්තාන ඇත්තේ ලංකාව තුල නොවේදැයි යන ගැටළුවද මට ඇතිවුනි. පොලිස් ස්ථානාධිපතිතුමාගේ මරණ දැන්වීම් වල සඳහන් වූයේ රට බේරාගන්නට දිවි දුන් උදාර විරුවෙකු ලෙසයි. එවිට තුන්තාන යනු ඉතාලිය තුල කුඩා වතිකානුව පිහිටා ඇති ආකාරයට ලංකාව තුල පිහිටා ඇති වෙනත් රටක්ද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.