27 April, 2024

Blog

රටට කොඩිවිනයක්, ව්‍යසනයක් වූ ජනාධිපති ක්‍රමයට සමු දීමට එජාපය ස්ථිරවම සූදානම් – කරු

කරු ජයසුරිය

එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයක් ලෙස මුහුණ දෙමින් සිටින අර්බුද එහි කූටප්‍රාප්තියට ලඟා වී ඇති බව පෙනී යයි. මේ වන විට රජයේ අර්බුද උග්‍ර වී ඇති අන්දම කෙතරම් ද කියා පැවසුවහොත් අද ඒ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමකරුවන්ට තැනක් නොමැති තරම්ය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගූ බණ්ඩාරනායකවරු පවා සතුරන් ලෙස සලකන එහි වත්මන් නායකයන්ට එරෙහිව එම පක්ෂයට ආදරය කරන සැබෑ පාක්ෂිකයන් වෙතින් ප්‍රබල  පීඩනයක් මේ වන විට එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය සහිත ඒ සැබෑ පාක්ෂිකයන්ගේ ඉල්ලීම් කෙරෙහි සංවේදී වනවා වෙනුවට දැන් මේ රජයේ ඉහළ තැන්වල සිටින සමහරු උත්සාහ කරමින් සිටිනුයේ රටේ සෙසු පක්ෂවල සමගිය බිද දැමීමටය. එය තමන්ගේ ඇසෙහි ඇති පරාලය කෙරෙහි සැලකිලිමත් වනවා වෙනුවට අනුන්ගේ ඇසේ ඇති කෙන්ද දකිනවා වැනි ක්‍රියාවකි.

කරු ජයසූරිය

කරු ජයසූරිය

සංවර්ධනය යන සිංහල භාෂාවේ ඇති සුන්දර වචනයට මුවා වෙමින් සිදු වන නාස්තිය, දූෂණය හා කොමිස් ජාවාරම හැරුණු විට වර්තමානයේ රට තුළ රාජ්‍ය පාලනයක් සිදු නොවන තරම්ය.  ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය හා සාමය, ආර්ථිකය ආදී දෛනික ජන ජීවිතය හා සම්බන්ධ සෑම ක්ෂේත්‍රයකදීම මහින්ද රාජපක්ෂ පාලනය මේ වන විට බරපතල ලෙස කඩා වැටීමට ලක්ව තිබේ.  ඒ සෑම ක්ෂේත්‍රයකම පාහේ දැක ගත හැක්කේ මහජන නැගිටීම්ය. මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වනුයේ අන්තර් ජාතික වශයෙන් ද රජය ගිනි කන්දක් අභියස සිටින බැවිනි. සරලව පැවසුවහොත් ආණ්ඩුවේ බිඳ වැටීම දැන් ආරම්භ වී තිබේ. රටේ නාමධාරී දේශපාලන විචාරකයන් කිහිප දෙනෙකුම මෑත කාලයේ සදහන් කර තිබූ අන්දමට මේ මොහොතේ රට, පවතිනුයේ එක් අශීලාචාර යුගයක් අවසන් කර ශීලාචාර යුගයකට සංක්‍රමණය වන අවස්ථාවක ය.

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මේ අවාසනාවන්ත තත්ත්වය කෙරෙහි  ප්‍රධාන වශයෙන්ම හේතූ වී ඇත්තේ රජයේ ඉහළ නායකයන්ගේ අත්තනෝමතික වගකීම් රහිත හැසිරීම් බව ප්‍රශ්න විරහිතය. මේ රජයේ ඉහළ නායකකාරකාදීන් සිතා සිටිනුයේ සහ ඔවුන් කටයුතු කරනුයේ ශ්‍රී ලංකාව යනු තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සලකාය. එම ආත්මාර්ථකාමී සිතුවිලි මත ක්‍රියාත්මක වෙමින් සිටින රජයේ ඉහළ නායකයින් තමන්ට දේශපාලන හිණිමගෙහි ඉහළට නැගීමට උදව් උපකාර කළ පුද්ගලයන් අමතක කරමින් ඔවුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම එක් අතකින් පුදුමයක් නොවේ. බලයෙන් මත් වූ පාලකයෙකුගෙන් ඊට වඩා අහිංසක හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි තරම්ය. බලයෙන් මත් වූ විට තමන්ගේ මිතුරන් වුව පෙනෙනුයේ සතුරන් ලෙසය.

බොහෝ දේ කරනවා ය කියමින් පුරාජේරු කථා පවත්වන, මාධ්‍ය සංදර්ශන පවත්වන  වත්මන් රජය නොකරන ප්‍රධානතම දේ වනුයේ නිසි ලෙස රටේ ආණ්ඩුකරණය නොකිරීමය.  ජනතාවගේ සැබෑ ප්‍රශ්න පිළිබදව සංවේදී වෙමින් ඒවාට පිළිතුරු සපයනවා වෙනුවට දිගින් දිගටම ඒවා නොසලකමින් කටයුතු කිරීම පිළිබඳව රටේ සාතිශය බහුතරයක් දෙනා තුළ අද ඇත්තේ දැඩි පිළිකුලකි. ඒ නිසාවෙන් රටේ බහුතර බලය කෙසේ වෙතත් තම අමාත්‍ය මණ්ඩලයේ බහුතරයකගේ සහාය නොලැබෙන තත්ත්වයකට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු මේ රජය පත්ව සිටිති. සමීපතමයන්ට පවා එසේ තම නායකයා පිළිබඳව විශ්වාසය අහිමී වෙද්දී රටේ සෙසු ජනතාවට එවැන්නකු පිලිබඳව තව දුරටත් විශ්වාසය තබා ගත හැකි ද යන්න ගැටළුවකි.

මේ සියලු නිෂේදනාත්මක තත්ත්වයන් ඇති වීමට ප්‍රධාන හේතුව   විධායක ජනාධිපති ක්‍රමය නැමැති දුෂ්ඨ ක්‍රමය බව සුපැහැදිලිය.  සහතිකවම, මෙය පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නොව ක්‍රමය පිලිබඳ ප්‍රශ්නයකි. මීට වසර 23 කට ඉහත දී විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව පෙන්වමින් එය මේ රට තුළ තහවුරු කිරිමේ දී පුරෝගාමී වැඩ කොටසක් කළ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක මහත්වරු ඒ පිලිබඳව කථා කළේ මහින්ද රාජපක්ෂ නමැති ජනාධිපතිවරයෙකුව නොදැකය.

ඒ නිසා, රටට පිළිලයක් වී ඇති මේ ක්‍රමය අහෝසි කිරිම කාලීන අවශ්‍යතාවයකි. මෙය අහෝසි කළ යුතුය යන සටන් පාඨය අද ශක්තිමත් මතයක් ලෙස රට තුළ තහවුරු වී ඇත. විශේෂයෙන්ම රජය නියෝජනය කරන එහි හවුල්කාර පක්ෂ පවා මේ ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයට අද පැමිණ සිටිති. එබැවින් ඒ හඩට කන් දීම සංවේදි පාලකයෙකුගේ යුතුකමකි. තව තවත් බලයට ලොල් වීම වෙනුවට ජනතා හඩට කන් දී මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සියළු දෙනාගේම වගකීමකි.

මීලඟ ජනාධිපතිවරණය ජයගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නොඑසේනම් එක්සත් ජාතික පක්ෂය ද යන කාරණය රටට වැදගත් නොවේ. අනිවාර්යයෙන්ම එහිදී ජයග්‍රහණය කළ යුත්තේ අප ආදරණීය මාතෘ භුමියයි. මේ රටට කොඩිවිනයක්, ව්‍යසනයක් වූ මේ ජනාධිපති ක්‍රමයට සමු දීමට එක්සත් ජාතික පක්ෂය ලෙස අප ස්ථිරවම සූදානම්ය.  පුද්ගලයෙකුට,  තමන්ගේ පවුල පමණක් පෝෂණය කිරිමට ඉඩ සලසන මේ දූෂිත ක්‍රමයට තිත තැබීමට අප සූදානම්ය. ඉදිරි ජනාධිපතිවරණයක දී රටේ  ඡන්ද දායකයන්ට තීරණය කිරීමට ඇත්තේ සුළු දෙයකි.  ඒ,  වඩා වැදගත්  වනුයේ රට ද, පවුල ද යන්න පමණි.

*එක්සත්  ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය නිකුත් කළ නිවේදනය.

 

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ඔය කියන විධායක ජනාධිපතිකම මහින්ද රාජපක්ෂට ලැබුණ නිසා තමයි කොටි ත්‍රස්තවාදය රටින් තුරන් කරන්න හැකි වුනේ

    • 0
      1

      “රටට කොඩිවිනයක්, ව්‍යසනයක් වූ ජනාධිපති ක්‍රමයට සමු දීමට එජාපය ස්ථිරවම සූදානම් – කරු”

      1978 , 1970.

      This is how, the Tigers we seeded and made to grow.

      Now we have Mahinda Dictatorship,,, Thank JR Mahhataya for That…

  • 2
    0

    ඔබතුමාල තාම විපක්ෂෙ ඉන්නෙ ජනතාවට ඔබතුමාල ගැන තියන විශ්වාසය වැඩි නිසා වෙන්න ඇති.

  • 2
    0

    රනිල් ගැන නම් ජනතාවට තියෙන්නෙ පුදුම සහගත විශ්වාසයක්.

  • 2
    0

    “විධායක ජනාධිපති ක්‍රමය නැමැති දුෂ්ඨ ක්‍රමය“ මේ දුෂ්ට වැඩේ කලේ ඔබතුමාලනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.