23 April, 2024

Blog

එක්සත් ජාතික පක්ෂ යෝජනා: ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරු ව මාස හයක් ඇතුළත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම පිණිස ජනමත විචාරණයකට

පූර්විකාව
—————–
මෙරට ආර්ථීක, දේශපාලන සහ සමාජයීය සංවර්ධන අරමුණු ඉලක්ක කර ගනිමින් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද අතර එමඟින් මෙරට සමාජ ආර්ථීක, පරිවර්තනයන් ඇතුලූ ඉලක්ක ගත අරමුණු බොහෝමයක් සාක්ෂාත් කර ගන්නා ලදී.

එහෙත් පසුගිය වසර කිහිපය තුළ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ විධායක ජනාධිපති තනතුර විධිමත්ව සහ වගකීමකින් යුතු ව පවත්වා ගෙන යාම වෙනුවෙන් සැකසී තිබූ සංවරණය හා තුලනය සඳහා වූ සියලූ ප්‍රතිපාදනයන් විනාශ කර දමමින් එම තනතුරෙහි ගෞරවනීය භාවය සහ වැදගත් කම මුළුමනින් ම කෙලෙසා දමා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මූල ධර්මයන් පිළිබඳව ද, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව ද කිසි දු තැකීමකින් තොර ව විධායක ජනාධිපති බලතල අයුතු ලෙස භාවිත කරමින් සහ දැඩි ඥාති සංග්‍රහය සහ දූෂණය පතුරවමින් ඒකාධිපති බලයක් ගොඩනඟා ගනිමින් ජනාධිපති ධුරයෙහි පැවති ගරු ගාම්භීරත්වය හෑල්ලූ කොට එය මේ වන විට ඉතා පිළිකුල් සහගත තත්ත්වයකට පත් කොට ඇත.

වර්තමාන රජය බලහත්කාරී ලෙස උදුරාගෙන ඇති මහජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඔවුන්ගේ ගරු ගාම්භීරත්වය නැවතත් ඔවුන් වෙත ලබා දෙමින් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති අතර එමඟින්:

ජාති, ආගම්, භාෂා හෝ දේශපාලන මතයක් යනාදී කිසි දු භේදයකින් තොර ව මෙරට සියලූ ජනතාවට සමඟියෙන් ජීවත්විය හැකි පරිසරයක් ඇතිකරන්නා වූ සාධාරණ සහ යුක්ති සහගත සමාජයක් නිර්මාණය කිරීමට ද,

පසුගිය වසර කිහිපය තුළ සම්පූර්ණයෙන් ම පරිහානියට ලක් කොට කඩා වැටී ඇති ආර්ථීකය නැවත ගොඩනඟමින් සමෘද්ධිමත් ආර්ථීකයක් ගොඩ නැගීමට ද, ජනතාවට ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීම පිණිස සුදුසු ආර්ථීක පසුබිමක් නිර්මාණය කිරීමට ද,

පසුගිය කාල සීමාව තුළ ඉතිහාසයේ නොවූ විරූ ලෙස පරිහානියට පත් වී ඇති අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත පුනස්ථාපනය කිරීමට ද,

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකිකයන් අතීතයේ බුක්ති විඳි අනභිභවනීය වූ උදාරත්වය නැවත ස්ථාපිත කිරීමට ද,

ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලූ ම ජන කොට්ඨාශවලට අයත් මනුෂ්‍යයනට ශ්‍රී ලාංකේය අනන්‍යතාව යටතේ සාමයෙන්, සමඟියෙන් හා සහජීවනයෙන් යුතු ව ජීවත් විය හැකි අලූත් සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද, බලාපොරොත්තු වේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයන්
——————————————————————-

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අන්සතු කළ නො හැකි ය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය යන්නට මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන අතර සර්ව ජන ඡන්ද බලය ජනතාව ඍජු ලෙස ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය. එකී මූලික අයිතිවාසිකම් යන්නට,

අ) අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථාවක් ලබා ගැනීමට ඇති අයිතිය,
ආ) විවිධ භාෂාවන් භාවිත කරන සහ විවිධ ආගම් අදහන්නා වූ ජන කොට්ඨාසයන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ සංස්කෘතීන් වලට අනුකූලව ඒ ඒ භාෂා භාවිතා කිරීමට ද, ඒ ඒ ආගම් ඇදහීමට ද ඒ ඒ ජන කොටස්වලට අයත් ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම,
ඇ) රාජ්‍ය පාලනය තුළ යහ පාලනය පවත්වා ගෙන යාමට ඇති අයිතිය තහවුරු කිරීම ඇතුළත් වන්නේ ය.

විධායක කටයුතු සහ බලය පැවරීම යන කාර්යයන් සඳහා පාර්ලිමේන්තුව හා ආණ්ඩුව ජනතාවට වග විය යුතු වේ.

(01).ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත ජනතාවට ලබා දීම
——————————————————————-
1. ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම. පාලිතයා පමණක් නො ව පාලකයා ද නීතියට යටත් විය යුතු ය.
2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමෙන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (අයි.සී.සී.පී.ආර්.) අනුකූල ව අනෙකුත් සියලූ ආගම් වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
3. සෑම පුද්ගලයෙකුට ම වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනත් යම් හේතුවක් මත වෙනස්කමකට භාජනය නො කොට මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
4. ජනතාවට යටපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට සහ සුදුසු රැකියාවක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම, අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ ඉඩ ප්‍රස්ථාවක් ලබා දීම, පවුල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ළමා සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ ශාරීරික හා මානසික දුර්වලතාවන්ගෙන් පෙලෙන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීමේ මූලධර්ම සහ මූලික යුතු කම් යන්නට ඇතුළත් විය යුතු අතර එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ව වගකීම රාජ්‍ය විසින් දරනු ලැබීම.
5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරනු ලබන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය ඊට ඇතුළත් කරමින් එම අයිතිවාසිකම ශක්තිමත් කරනු ලැබීම.

(02) ව්‍යවස්ථාදායකය
————————–
1. සෑම මැතිවරණ කොට්ඨාශයක් සඳහා ම මන්ත්‍රිවරයෙකු පත් වන පරිදි සහ මැතිවරණ වල දී ඒ ඒ පක්ෂ ලබා ගන්නා අවසාන ප්‍රතිඵලය පිළිබිඹු වන පරිද්දෙන් මිශ්‍ර සමානුපාත ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරු දෙසිය විසි පහක් (225) තෝරා පත් කර ගැනීම. මෙම ක්‍රමය යටතේ ප්‍රකාශිත සෑම ඡන්දයකට ම වටිනාකමක් ලැඛෙනු ඇත.
2. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම.
3. පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල ධුර කාලය වසර පහකි.
4. පාර්ලිමේන්තු සහ පළාත් සභා ඡන්ද එක ම දිනයක පවත්වන අතර, යම් හෙයකින් රාජ්‍යයේ ප්‍රධානියා මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නේ නම් එම ඡන්දය ද එම දිනයේ දී ම පැවැත්වීම.
5. යම් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු හට එම පක‍ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෝ පළාත් සභා මන්ත්‍රී ධූරය හෝ පළාත් පාලන මන්ත්‍රී ධූරය වහා ම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ.
6. දේශපාලන පක්ෂයකින් තේරී පත් වන මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු නියමිත දිනයට පෙර සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබා දීමට අපොහොසත් වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ද සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ වර්තමානයේ මෙන් විධායකට නොව කථානායකවරයාට බාර දිය යුතු ය.
7. යම්කිසි මන්ත්‍රීවරයකු අපරාධයකට වරදකරු වුවහොත් සිර ගත වීමක් සිදු නො වුව ද ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ.

03. විධායකය
—————-
1. ජනාධිපති ධුරය අහෝසි කරනු ලැබේ.
2. ජනාධිපති ධුරය වෙනුවට රාජ්‍ය ප්‍රධානියෙකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල රජයේ ප්‍රධානියා, අගමැතිවරයා හා කථානායක කමිටුව වෙත ඛෙදා හරිනු ලැබේ.

• විකල්ප 1
————–
ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කර ගත් අගමැතිවරයකු කැබිනට් මණ්ඩලය සමඟ ආණ්ඩුව පවත්වාගෙන යාම. අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු ය.

• විකල්ප 2
————–
තුලනය සහ සංවරණය (චෙක් ඇන්ඩ් බැලන්ස්) සහිත ව නිර්දේශපාලනික ප්‍රතිපත්ති මත විධායක බලතල නවතම ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීම.

2.1 ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කරමින් රාජ්‍යයේ ප්‍රධානියා ජනතාව විසින් ඍජු ලෙස පත්කර ගැනීම.
2.2 රාජ්‍යයේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් යුතු රාජ්‍ය සභාවක් ස්ථාපනය කරනු ලබන අතර එය අගමැති, විපක්ෂ නායක, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් සහ පළාත් සභා වල මහ ඇමතිවරුන්ගෙන් සමන්විත විය යුත්තේ ය. රාජ්‍යයේ ප්‍රධානියා එම මණ්ඩලයේ උපදෙස් මත කටයුතු කළ යුත්තේ ය.
2.3 රාජ්‍ය සභාව සියලූ දේශපාලනමය කරුණු සහ ජාතික ප්‍රමුඛතාවන් පිළිබඳ තීරණය කළ යුත්තේ ය. අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමති මණ්ඩලය සහ පළාත් සභා අමාත්‍ය මණ්ඩල රාජ්‍ය සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ ය.
2.4 රාජ්‍ය සභාවේ තීරණයන් සියලූ සාමාජිකයන්ගේ සම්මුතිය ඇති ව ගත යුතු අතර සම්මුතියකට එලැඹීමට නො හැකි වූ අවස්ථාවක දී පමණක් බහුතර මතය අනුව තීරණ ගැනීම සිදුවිය යුතු ය. රාජ්‍ය පාලන ධර්මයන් සම්බන්ධ ව බුදුන් වහන්සේ දේශනා කළ සමඟියෙන් රැස් වීම, සමඟියෙන් සාකච්ඡා කිරීම සහ සමඟියෙන් විසිර යාම යන මූලධර්ම මෙමඟින් තහවුරු කරනු ඇත.

• විකල්ප 3
————–
වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට සමාන ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම.

3. අගමැතිවරයා ඇතුළු ව අමාත්‍ය මණ්ඩලය විසි පහකට(25) නො වැඩි විය යුතු ය.
4. කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ ම දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි කථානායකවරයාගේ කමිටුවක් පත් විය යුතු අතර කථානායකවරයා එහි සභාපතිවරයා වේ.
5. රාජ්‍යයේ ප්‍රධානියා රාජ්‍ය සභාවේ නිර්දේශ පරිදි සහ කථානායකවරයාගේ කමිටුවේ අනුමැතිය ඇති ව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ද පත් කිරීම. රාජ්‍ය ප්‍රධානියා විසින් කථානායකවරයාගේ කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම.

(04) බලතල ඛෙදීම
———————-
1. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ව පවතින අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අව්‍යාජ ලෙස පළාත් ඒකක සඳහා බලතල ඛෙදීම සිදු කරනු ලැබේ. එනම්,
අ) 2009 මැයි මස දී ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිකුත් කළ නිල නිවේදන,
ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ව සම්මත කළ යෝජනා,
ඇ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අතර හුවමාරු වූ ලිපි ද ඇතුළු තිස්ස විතාරණ වාර්තාව සහ ඊට අදාල අනෙකුත් ලේඛන,
ඈ) උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිෂන් සභාවේ නිර්දේශනයන්,
ඉ) ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 මැයි මස පාර්ලිමේන්තුවේ දී කළ කථාව.

2. පළාත් ආණ්ඩුකාර තනතුර අහෝසි කරනු ලබන අතර එම බලතල රජයේ ප්‍රධානියා විසින් ක්‍රියාත්මක කිරීම.
3. පළාත් සභාවක බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු අතර දෙවැනි ව වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගෙන ඇති දේශපාලන පක්ෂයේ ප්‍රධාන නියෝජිත මන්ත්‍රීවරයා නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කිරීම.
4. පළාත් සභාවකට ඉදිරිපත් වෙමින් ඒ ඒ පක්ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ අනුපාතයට අනුකූල ව පළාත් සභා අමාත්‍ය මණ්ඩලයට ඇමතිවරු පත් කිරීම.

(05) අධිකරණය
——————
1. වෙනත් කරුණු අතර ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා හා පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීම සඳහා වෙන ම සහ ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වීම. එහි තීරණ අවසානාත්මක වන අතර විධායකය සහ ව්‍යවස්ථාදායකය එහි තීන්දු අනුගමනය කිරීමට බැඳී සිටී.
2. සියලූ ම විනිශ්චයකාරවරුන්ගේ ධුර කාලය, වැටුප්, දීමනා සහ වරප්‍රසාද සුරක්ෂිත කරනු ලබන අතර උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් වනු ලබන අවස්ථාවක දී ඊට පදනම් වන චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පැවරෙනු ඇත. එම පරීක්ෂණ පැවැත්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය මූල ධර්ම වලට (ලැටිමර් හවුස් ප්‍රකාශනය) අනුකූල ව සිදු කිරීම.
3. පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පැවරෙන අතර එවැනි පෙත්සම් විභාග කොට තීන්දු කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නියම කළ යුතු ය.

(06) යහ පාලනය
———————-
1. ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම සහ ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රමුඛතා පදනම මත ස්ථාපනය කිරීම.
2. සියලූ මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිසම මඟින් පැවැත්විය යුතු අතර රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ඇතුළත් මැතිවරණ ක්‍රියාකාරකම් වල යෙදෙන ආයතන වලට හා පුද්ගලයින්ට නියෝග නිකුත් කිරීමේ බලය එම කොමිසම සතු වේ.
3. දූෂණ වැළැක්වීම සහ මැඩලීම ධෛර්යමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග කාර්යක්ෂම ලෙස හා බලාත්මක ලෙස රජය මඟින් සිදු කළ යුතු ය. පොදු දේපොළ සහ රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීමේදී ආණ්ඩුවේ ආයතන විසින් නිසි වගකීමෙන් සහ වගවීමෙන් යුතුව අවංකව කටයුතු කළ යුතුය.
4. එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තිය බලාත්මක කිරීමට හැකි වන පරිදි දූෂණ විරෝධී නව නීතියක් පැනවීම.
5. ජාත්‍යන්තර නිර්ණායක වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය සභාවේ සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ, උපරිමාධිකරණයේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්‍රවරුන් සහ අනෙකුත් අධිකරණ වල විනිශ්චයකාරවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම.
6. පුද්ගලික අංශයේ දූෂණ ආවරණය වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නීතිය සකස් කිරීම සහ එම නීතිය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම.
7. පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (පැක්) ඇතුලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශක්තිමත් කිරීම සහ එම කමිටු විසින් ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන්නා වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතු ය.
8. රාජ්‍ය ව්‍යාපාර තේරීම් කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු වලට පහසුකම් සැලසීම පිණිස තොරතුරු (දත්ත) බැංකුවක් සහිත ස්වාධීන ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා සඳහා වූ ඇස්තමේන්තු පරීක්ෂා කිරීමේ බලය එම කාරක සභා වෙත පැවරේ.
9. රුපියල් මිලියන දාහක් ඉක්මවන්නා වූ වටිනාකමකින් යුතු රාජ්‍ය ව්‍යාපෘති හෝ ආයෝජන හෝ ගිවිසුම් පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම.

(07) සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය
————————————–
කාන්තා අයිතිවාසිකම්
————————
1. සියලූ ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන් හට සියයට විසි පහක (25%) නියෝජනයක් ලබා දීම.
2. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිණිස රටේ සෑම ප්‍රදේශයක් ම සහ සමාජයේ සෑම ස්ථරයක් ම නියෝජනය වන පරිදි කාන්තා මණ්ඩලයක් පිහිටුවීම. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබේ. ඊට අමතර ව පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීම ද සිදු කරනු ලැබේ.

ප්‍රජා සංවර්ධන සමිති
————————
3. ජනතා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සහ ජන කොට්ඨාශ අතර සංහිඳියාව ගොඩ නැඟිම පිණිස සෑම ග්‍රාම සේවා කොට්ඨාශයක් තුළ ම ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවනු ලබන අතර එය නිර්දේශපාලනික පදනම මත ක්‍රියාත්මක වීම.

• එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරු ව මාස හයක් ඇතුළත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම පිණිස ජනමත විචාරණයකට ඉදිරිපත් කරනු ලබන අතර මෙරට ජනතාවගේ සම්මුතියෙන් ස්ථාපිත කරනු ලබන පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙය වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    හැමදාම විපක්ෂයට දන්නේ යෝජනා සම්මත කර කර ඉන්න තමයි හැමදේකටම කලින් තමන්ගේ පක්ෂය හදාගන්න ඕනේ. පක්ෂේ හදාගන්න බැරි මනුස්සයෙක් කොහොමද රටක් දියුණු කරන්නේ ??? ආන්ඩුව කරන සංවර්දන පිළිවෙලවල් කඩාකප්පල් කරන එක තමයි හැමදාම කරන්නේ.දැන් වත් ඇස් ඇරලා බලන්න රට දිහා. ආන්ඩුවන්ත් සමග එකතු වෙලා රට දියුණු කරන්න බලන්න

    • 0
      0

      මේ ආණ්ඩුවත් එක්ක,තමුසෙට පිස්සුද.

      • 0
        0

        අපිට නම් ඇති පිස්සුවක් නැ .ළමයෙක්වත් හදන්න බැරි මිනිහා කොහොහොමද කෙටුම්පත් හදලා රටක් පාලනය කරන්නේ?දැන් කාටද පිසසු තුමුසේටද??? මටද ????

        • 0
          0

          යුරේකා,යුරේකා-ව්‍යවස්ථා වලින් ලමයි හදන මේ ලෝකේ ඉන්න එකම මිනිහා හම්බවුනා.ඇත්තටම නිරෝෂන් මහත්තයා ලමයි හැදුවේ 72 ව්‍යවස්තාවෙන්ද නැත්නං 78 ව්‍යවස්ථාවෙන්ද නැත්නං මහින්ද චින්තනයෙන්ද.නැත්නං ලමයා තාම “දිවි නැඟුමෙන්”දුන්නු වැල් පෙනෙල ගහෙද ඉන්නේ.මාර පොරක්නේ මෙයා.

          • 0
            0

            @muchan යුරේකා,යුරේකා ෆොන්සේකටයි රනිල්ටයි ක‍ඩේ යන 1කෙක් හම්බවුනෝ…!

  • 0
    0

    කවදාවත් වෙන්නැති දෙයක් නෙ. ලංකාවෙ ඔක්කොම කාරයො වෙච්ච දවසක ඕක කරන්න පුලුවන් වෙයි

  • 0
    0

    කවදාවත් වෙන්නැති දෙයක් නෙ. ලංකාවෙ ඔක්කොම NGO කාරයො වෙච්ච දවසක ඕක කරන්න පුලුවන් වෙයි

  • 0
    0

    Me seeibola balaya gannakam vitharada.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.