26 September, 2020

Blog

මුලින්ම අප කළ යුත්තේ, මොන අඩුපාඩු යටතේ වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි දිනා ගැනීමයි: එජාප

2015 දී එළැඹෙන ජනාධිපතිවරණය ඓතිහාසික වශයෙන් තීරණාත්මක සටනක් වන බව, හඳහන්වල නොව, මේ රටේ යහපත් සහ යුක්ති ගරුක ජනතා සිත්සතන්වල බොහෝ කාලයක් තිස්සේ ලියැවී තිබුණි.

සම්ප‍්‍රදායිකව ගත් විට, ජනාධිපති සටන ප‍්‍රධාන පක්ෂ දෙක විසින් ඉදිරිපත් කරන තරගකරුවන් දෙන්නා අතර සිදුවන අරගලයකි. මහින්ද රාජපක්ෂගේ වසර නවයක පාලන කාලයෙන් පසුව ලංකාව ඇද වැටී ඇති ගොහොරුවෙන් ගොඩ ඒමේ සටන් පෙරමුණු යළි නිර්ණය කර ගැනීමේ අභියෝගය අද අප ඉදිරියේ තිබේ. එබැවින් ඉදිරියේ එළැඹෙන ජනාධිපතිවරණය, හුදෙක් ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ කාරණයක් පමණක්ම වන්නේ නැත. ඊට වඩා පුළුල් තේරීමක් අද ඡුන්දදායකයා ඉදිරියේ තිබේ.

Ranil Wickremesinghe 1මේ ජනාධිපති තරගය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනකි. යහපාලනය සහ දූෂණය අතර සටනකි. නීතියේ ආධිපත්‍යය සහ දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී අපරාධ කිරීමට ඇති අයිතිය අතර සටනකි. එම සටන මගින් තීරණය කෙරෙනු ඇත්තේ, ගෞරවනීය සාමයක් සහ සමානාත්මකතාවකින් යුතුව ජීවත්වීමට ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් ලැබේද, එසේ නැතහොත්, පරාජිතයන්ගේ සහ පීඩිතයන්ගේ දුර්මුඛ යටහත් භාවයෙන් යුතුව ජීවත්වීමට ශ‍්‍රී ලාංකිකයන්ට සිදුවන අවස්ථාවක්වේ ද යන්නයි.

එක පැත්තකින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සඳහා වන බලවේගත්, අනිත් පැත්තෙන් ආඥාදායකත්වය සහ මර්දනයේ අගාධයට රට තල්ලූ කිරීමට මාන බලන බලවේගත් අතර සටනක් බවට මේ අරගලය මහින්ද රාජපක්ෂ විසින්ම පත්කොට තිබේ. ඒ තරමට, ඔහුගේ වසර නවයක පාලන කාලය මේ රටට දුෂ්ට වින්නැහියක් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන ශ‍්‍රී ලංකාවේ දේශපාලන විපක්ෂය, මේ ජනාධිපතිවරණය හරහා පවතින ක‍්‍රමයේ වෙනසක් ඇති කර ගැනීමට අපේක්ෂා කරයි. රාජපක්ෂ පවුලේ අවුරුදු නවයක කාලයත්, ඒ සමග ඈඳුණු ඥාති සංග‍්‍රහය සහ දූෂණයත් විසින් අපට කියා දෙන්නේ, මේ රට පාලනය කෙරෙනු ලබන ආකාරය පිළිබඳ ඉතා ගැඹුරු පාඩමකි. පවතින පාලන ක‍්‍රම නිසා පුද්ගලයන් දූෂ්‍ය විය හැකි බවත්, එවැනි පුද්ගලයන්ට මුළු රටක්ම විනාශයට දැක්කිය හැකි බවත් අප උගෙන ඇත. ඒ නිසා විපක්ෂය මේ අවස්ථාවේදී, රාජපක්ෂ පාලනයට එරෙහි සකල බලවේග ඒකරාශීකර ගනී.

ඒ අතර, වෘත්තීය සමිති සහ විද්වතුන්, සිවිල් සමාජය සහ මාධ්‍යවේදීන්, දෘෂ්ටිවාදීමය වශයෙන් වම, දකුණ සහ මැද ආදී වශයෙන් වන සියලූ පිරිස් ඒ සඳහා එක්රොක් කර ගනී. එසේම, තුන් වැනි රාජපක්ෂ පාලන තන්ත‍්‍රයක් මාතෘ භූමියට කණ කොකා හැඬවීමක් වන බව සමීපස්ථව දැන ගත් රාජපක්ෂ කැබිනට්ටුෙවේ ඇමතිවරුන් සහ පාලක පක්ෂයේ සාමාජිකයන් ද ඊට ඇතුළත් කර ගැනේ. එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙය වන ලද පොදු විපක්ෂයත්, දැන් ඊට එක්ව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්තයනුත් එක කාරණයක් වටහා ගෙන තිබේ. එනම්, මේ දේශපාලන එල්ලය කරා ගමන් කරන, නිදහස් සහ ප‍්‍රභාමත් ක‍්‍රියාකාරිකයන් සේ නැවත වතාවක් කටයුතු කිරීමට මත්තෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් සකසා ගත යුතුව ඇති බවයි. එය, පසුගිය අවුරුදු නවය තිස්සේ හොඳටම හැකිලී ගොස් තිබෙන අවකාශයකි.

පක්ෂයෙන් ගිය පිරිස්වල ‘ෆයිල්’ තමාගේ අතේ ඇති බවට රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂම පසුගිය දා ප‍්‍රකාශයට පත් කළ තර්ජනය තුළ ඇත්තේ ඔහුගේ පාලනය තුළ ඇති යෝධ අන්ධකාරයේ තරමයි. දූෂණය කෙරෙහි ඔහු තුළ ඇති සැහැල්ලූ ආකල්පය එයින් පෙන්නුම් කෙරේ. එසේම තමන් කෙරෙහි වන පක්ෂපාතිත්වය තමාගේ අභිමතාර්ථ සාධනය සඳහා දඩමීමා කරගෙන ඇති සැටි පෙන්නුම් කෙරේ. ඇමතිවරුන් පිරිසක් තමන් හැරයාමෙන් කෝපයට පත් ජනාධිපතිවරයා එසේ ගිය අයවළුන් සියල්ලන් ගැන ‘ෆයිල්’ තමාගේ අතේ ඇති බවටත්, එහෙත් ඒවා තමන් පාවිච්චි නොකරන බවටත් පසුගිය දා රටට ප‍්‍රකාශ කොට සිටියේය.

මේ ප‍්‍රකාශය මගින් ප‍්‍රශ්න ගණනාවක් මතු කෙරේ. මහ ජනතාවගෙන් සහ නීති අධිකාරියෙන් මේ ‘ෆයිල්’ ඔහු වසංගා ගෙන සිටින්නේ ඇයි? ඔහුගේ පක්ෂයේ තව කීදෙනෙකුගේ ‘ෆයිල්’ ඔහු ළඟ තිබේද? එම පුද්ගලයන් මේ ඒකාධිපති පාලනය අතහැර යාමට කලින් ඒ ‘ෆයිල්’ එළියට නොඑන්නේ ඇයි? මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ, ඔහුගේ පාලනය තුළ, අල්ලස සහ දූෂණය ඉවසා සිටිනවා පමණක් නොව, ඒවා දිරිමත් කිරීමක් ද සිදුවන බවයි.

මේ පාලන තන්ත‍්‍රය විසින් මැතිවරණ සොරා ගනු ලැබ තිබේ. ඒ, හොර පත‍්‍රිකාවලින් ඡන්ද පෙට්ටි පිරවීමෙන් නොව. මැතිවරණ ක‍්‍රියාවලිය අඩපණ කොට අපහරණය කිරීමෙනි. එසේම අධිකරණය, පාලක පවුල සහ එහි අභිලාෂයන් සැතපීම සඳහා පමණක් සේවය කරන බෙලහීන රූකඩයක් බවට පත් කොට තිබේ. විසම්මුතිය හෙවත් වෙනස් අදහස් දැරීමට ඇති අයිතිය කුරිරු ආකාරයෙන් කුඩුපට්ටම් කර තිබේ. බිය ගැන්වීම සහ බලහත්කාරය හරහා දේශපාලන පක්ෂ අකර්මණ්‍ය කොට තිබේ. ඒ නිසා මුලින්ම අප කළ යුත්තේ, මොන අඩුපාඩු යටතේ වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි දිනා ගැනීමයි. ඉතිරිය ඒ අනුව පෙළගැසෙනු ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුජාත මහලේකම්වරයාව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් අනුමත කිරීමේ බාරදූර සහ ඓතිහාසික තීන්දුව එක්සත් ජාතික පක්ෂය ගත්තේ එබැවිනි. ඒ වනාහී, අපේ ඓතිහාසික දේශපාලනික එදිරිවාදියා සමග සහයෝගය ඇති කර ගැනීමේ අපූර්ව පියවරකි. එසේම එය, අපේ රට අද පත්ව ඇති දරුණු තත්වය පෙන්නුම් කරන දර්ශකයක් වන්නා සේම, පක්ෂ භේද සහ පටු අරමුණුවලට මෙය කාලයක් නොවන බවද අපට පසක් කරවන්නකි. බෙදී ගිය, කැඞී ගිය සහ තුවාල ලත් රට, මේ ජනාධිපතිවරණයෙන් අප අත්කර ගන්නා ජයග‍්‍රහණය විසින් යළි එක්කාසු කෙරෙනු ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් හරහා අප යළිත් වරක් දීප්තිමත් සහ බහුවිධ දේශපාලනික නිදහසක උරුමකරුවන් වනු ඇත. පොදු අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුවන මහජන ප‍්‍රතිචාරය හරහා නිසැකවම පෙන්නුම් කෙරෙන්නේ, රාජපක්ෂ පාලනය කෙරෙහි සමස්තයක් වශයෙන් මුළු රටම පත්ව ඇති තෙහෙට්ටුවයි.

මේ දූෂිත සහ ඥාති සංග‍්‍රහවාදී පාලන තන්ත‍්‍රය කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටින කොටස්වලින් අපි මෙසේ ඉල්ලා සිටිමු:

හිංසනයෙන් තොරව, සාමයෙන් ජීවත් වීමට ඉල්ලා සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතා හඬට කන් දෙන්න. ආගමික වෛරයෙන් සහ ආතතියෙන් තොරව ජීවත්වීමට ඉල්ලා සිටින බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ හින්දු භක්තිකයන්ගේ ආයාචනයට කන් දෙන්න. පාලක කල්ලිය විසින් පමණක් අද භුක්ති විඳින ආර්ථිකයෙන් ඩිංගිත්තක් තමන්ටත් ඉල්ලා සිටින, පෞද්ගලිුක අංශයට, රජයේ සේවකයන්ට, ගොවි ජනතාවට සහ ස්වයං-සේවා නියුක්තිකයන්ට කන් දෙන්න.

අවසාන වශයෙන් ඔබ හැම දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ ජනතා හඬට කන් දෙන ලෙසයි. මේ මොහොතේ ඔවුන්ව අත් නොහරින්න. මේ තීරණාත්මක සංධිස්ථානයේදී අප ගන්නා ස්ථාවරය ගැන යම් දවසක ඉතිහාසය ඉදිරියේ අපට වගකීමට සිදුවනු ඇත.

*එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ නිවේදනය – 2014. 11. 27

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂවල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය නොදන්නා නමුත් සාධාරණ සමාජයක් අගයන යම් අයෙක් ඉහත ලිපියේ සඳහන් එජාප නිවේදනය කියවුවහොත් 2015 ජනවාරි 8වනදා එකපයින්ම චන්දපොලට ගොස් මෙෙත්‍රි පොදු අපේක්‍ෂකයාට කතිරය ගසනවාට සැකයක් නැත. නමුත් ලංකාවේ අප මැරී නැවත ඉපදී නැත. එනිසා ඉහත ලියපියෙහි දක්වා අැති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’, ‘යහපාලනය’, ‘අත්තනෝමතිකත්වය’, ‘දූෂණය’, ‘නීතියේ ආධිපත්‍යය’ සහ කෙලවරක් නැති අයිතිවාසිකම් ගැන ඔවුන්ගේ පාලන සමයේදී විශේෂයෙන්ම වර්තමාන නායකයාද අැමැතියෙක්වූ 1977-87 කාලයේදී එජාපය ක්‍රියාකල අාකාරය ගැන බහුතර චන්දදායකයාගේ මනස අවධිකිරීම ඔවුන්ට යහපතක් වනු අැතැයි මා සිතන නිසා ඉතා කෙටියෙන් මෙය ලියා තබමි.

    77 සමයේ මා ලංකාවේ සිටියේ නැත. එජාපය 1977 ඡූලි මාසයේදී 5/6ක බහුතරයකින් මැතිවරණය දිනූ පසු පොලිසියට සතියක් නිවාඩුදී ශ්‍රිලංකා කාරයන්ට අලි බෙටි කැවූයේ යයි මගේ මිත්‍රයන් ඉතා සතුටින් මට ලියා එවූබව අද වගේ මතකය. එ්වන විටත් දශකයකට වඩා වැඩිකාලයක් බිරිතානි සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳිමින් සිටි මට එම පුවත අදහාගනන්නටත් බැරිවිය.

    මාස තුනක් තුල කිසිම කතිකාවකින් තොරව නව ව්‍යවස්ථාවක් සම්මකරගත් එජාප නායකයාවන ජේ අාර් ඡයවර්ධන මහතා ශ්‍රි ලංකාවේ 1 වන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. වසර 12ක ජේඅාර්ගේ පාලන කාලය තුල එජාපය විසින් එම ව්‍යවස්ථාව 16 වතාවක් සංශෝධනය කලේය. බොහෝ සංශෝධන එක අාසනයට මංත්‍රිවරුන් දෙදනෙකු පත්කිරීම වැනි පුද්ගල වාසි තකා කල එ්වා විය. එජාපය විසින් 3වැනි සංශෝධනය ඉදිරිපත් කලේ ජේඅාර්ට වාසිසහගත වෙලාවක ජනාධිපතිවරණය පැවැත්වීමේ අයිතිය ජනාධිපතිවරයාට හිමිකරගැනීම සඳහාය.

    අැමරිකාවේ මෙන් නියමිත දිනක (පෙබරවාරි 4වනදා) චන්දයෙන් පත්වන සෑම ජනාධිපතිවරයෙක්ම දිවුරුම් දියයුතු ලෙස මුල් ව්‍යවස්ථාව සකසා තිිබුනේය. නමුත් වසර හතරකට පසු තමාට කැමති වේලාවක ජනාධිපතිවරණය පැවැත්විම නීතිගත කරන්නට ජේඅාර් ඡයවර්ධන විසින් අත්තනෝමතික ලෙස 13 වැනි සංශෝධනය ගෙනාවේය. දැන් දෙවරක්ම මහින්ද රාජපක්‍ෂ එයින් වාසි ලබා ගත්තේය. අද එජාපයට ‘අත්තනෝමතිකත්වය’ මතක්වී අැත. නරියාට මිදි එපා උනාසේ එජාපයට ජනාධිපති තනතුරද එපාවී අැත. එජාපය අඳුරේ අතපත ගානවාය. මේ බලන්න.

    ඉහත සඳහන් කල 13 වැනි සංශෝධනයේ අදාල කොටසෙහි මෙසේ දැක්වේ:
    2. Article 31 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka (hereinafter referred to as the ” Constitution “) is hereby amended as follows by the repeal of paragraph (4) of that Article and the substitution of the following paragraph therefor : –

    “(4) Where a poll for the election of a President is taken, the term of office of the person elected as President at such election shall commence on the expiration of the term of office of the President in office:

    මා නිතිවේදියෙක් නොවේ. නමුත් මට තේරෙන අාකාරයට එම 13 වැනි සංශෝධනයේ අවසාන චේදය අනුව එජාප පොදු අපේක්‍ෂක මෙෙත්‍රි ජනවාරි 8වනදා චන්දයෙන් දිනුවත් පසුදා ඔහුට ජනාධිපති වන්නට බැරිය. මහින්දගේ වසර 6ක කාලය අවසාන වන තෙක් ඔහුට සහ අගමැතිවීමට කල්යල් බලන රනිල්ටත් බලාසිටීමට සිදුවනු අැත.

    එ් අතරතුර අවශ්‍ය නම් විධායක ජනාධිපතිධූරයේ බලතල අඩුකර විධායක අගමැති වීමට අවශ්‍ය පාර්ලිමෙන්තුවේ 2/3කේ බහුතරය මහින්දට තිබේ. ඉතින් පෝප් පිළිගන්නේ නව ජනාධිපතිය යන්නෙන් අගමැති දීමු අදහස් කලේ කුමක්දැයි මට ප්‍රහේලිකාවකි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.