18 June, 2026

Blog

‘කා’

‘කා’ පුරාණ ඊජිප්තුව පසුබිම් කර ගනිමින් එච්.රයිඩර් හගාර්ඩ් (Sir Rider Haggard) විසින් රචනාකරණ ලද මෝනිං ස්ටාර් (‘Morning Star) නවකතාවේ සිංහල පරිවර්තනයයි.


පරිවර්තනය; උපාලි ගජනායක
ප්‍රකාශනය ; ප්‍රේම් දිසානායක
සුරස පොත් මැදුර
617, මරදාන පාර
කොළඹ 10

සිනමා ලෝකය ජයගත් ත්‍රාසජනක මෙන්ම වික්‍රමාන්විත ආදර කතාවක් වන අප්‍රිකාව පසුබිම් කරගත් කිං සොලමන්ස් මයින්ස් ඇතුළුව ඇලන් ක්වාටර්මේන් කථා දහඅට, ෂී, ද අයිවරි චයිල්ඩ්, ක්ලියෝපැට්රා, මොන්ටෙසුමාගේ දියණිය සහ හාර්ට් ඔෆ් ද වර්ල්ඩ් වැනි කැපී පෙනෙන ආදර කතා මගින් ශ්‍රීමත් හගාර්ඩ් පාඨක ලෝකය අදත් ආකර්ෂණය කර ගන්නා ලේඛකයෙක්.

හගාර්ඩ් ගේ ‘ මෝනිං ස්ටාර්’ නවකතාව ‘කා’ යනුවෙන් ඔබ අතට පත්කෙරෙන්නේ මෙම සම්භාවය සාහිත්‍යධරයා සිංහල පාඨකයන්ට හඳුන්වා දීමේ පියවරක් හැටියට.

‘කා’ වෘත්තාන්තයට පසුබිම්වන්නේ හිකසෝස්වරුන් ඊජිප්තුවෙන් නෙරපා හැරීමෙන් ටික කලකට පසුව එළැඹෙන ක්‍රි.පූ. 1500-1200 අවධිය. ශ්‍රීමත් හගාර්ඩ් එම දේශපාලන බල අරගලය විවරණය කරන්නේ පාරාවෝ කුමරියකගේ අව්‍යාජ ආදර අරගලය සමඟ මුසු කරමින්.

පුරාණ ඊජිප්තුව පසුබිම් කර ගනිමින් මෙතෙක් ලියැවී ඇති හොඳම ප්‍රතිනිර්මාණයන්ගෙන් එකක් සහ කුතූහලයෙන් යුතුව කියවා රස විඳිය හැකි ප්‍රබන්ධ කෘතියක් හැටියට ‘මෝනිං ස්ටාර්’ කෘතිය විචාරක ඇගයීමට ලක්ව තිබෙනව.

එක් පැත්තකින් අව්‍යාජ ආදරයේ සුන්දරත්වය මෙන්ම අනිත් අතින් මිනිස් කෲරත්වය විශද කෙරෙන කෘතියක් හැටියටයි ‘කා’ කෘතිය විවරණය කරනු ලැබ තිබෙන්නේ.

‘කා’ කියන්නෙ පෞරාණික ඊජිප්තු විශ්වාසයක්. එම විශ්වාසය අනුව සෑම පුද්ගලයකු සඳහාම ඔහුට හෝ ඇයට අයත් ‘කා’ නමින් හැදින්වෙන සුවිශේෂී ආත්මයක් ද ජීවත්වෙනව. අදාළ ඊජිප්තු න්‍යාය අනුව ‘කා’ යනු පුද්ගලයාගේ ‘ද්විත්වය’ හැටියටයි සැලකෙන්නෙ. පුද්ගලයා සමඟ ආත්මීය වශයෙන් බැඳී සිටින ‘කා’ ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරාම ශරීරයට සම්බන්ධ වී සිටින අතර, පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවන්හි තමා අයත් පුද්ගල රූපකායෙන් යුතුව පෙනී සිටින බවයි විශ්වාසය.

පුද්ගලයාගේ ශරීරය මිය ගියත් ‘කා’ මියයන්නේ නැහැ. මන්ද, අමරණීය පැවැත්මක් සහිත ‘කා’ තමා අයත් ශරීරයේ නැවත නැඟිටීම බලාපොරොත්තුවෙන් පසුවෙන නිසා.පුද්ගලයකුගේ මරණයෙන් පසු, ඔහු හෝ ඇයත් සමඟ සොහොන් ගෙය තුළත් වාසයට යන ‘කා’ මරණින් මතු ජීවිතයේදී මියගිය අය සමඟ සහ සම්බන්ධව ක්‍රියා කරන බවත් ඊජිප්තු මිනිස්සු විශවාස කළා.

පැරණි ඊජිප්තු රජවරුන් ඔවුන්ගේම ‘කා’ වෙනුවෙන් පුද පූජා ඔප්පු කරන ආකාරය නිරූපණය කරනු ලැබ ඇති බවත් වාර්තා වෙනව. රජදරුවන් පවා ‘කා’ පුදනු ලැබ තිබෙන්නේ දෙවිවරුන් හා සම මට්ටමේ තබමින්.

ලෝකයේ සෑම ජන සංස්කෘතියක් විසින්ම යම් ආකාරයක මිථ්‍යා කතන්දර ලෝකයට දායාද කරනු ලැබ තිබෙනව.එසේම එම සංස්කෘතීන් විසින් ඒවා පරම්පරාවෙන් පරාවට පවත්වා ගෙන යනු ලබනව. එවැනි කතන්දරවල විශේෂත්වය වන්නේ දේශ දේශාන්තර භේදයකින් තොරව ඒවායේ සන්දර්භයෙහි එක්තරා සාම්‍යත්වයක් ප්‍රදර්ශනය වීම. ‘කා ‘ එවැනි සුන්දර කතන්දරයක්.

ඒ නිසාම මේ කතන්දරය ආගන්තුක නොවන මට්ටමින් රස විඳින්න පුළුවන්.

‘සුරස’ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පොත් ප්‍රකාශකයන්ගෙන් මෙම කෘතිය ලබාගන්න පුළුවන්.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.