25 April, 2024

Blog

උඩවලවේ අලියා සහ වෙල්ලස්සේ වැසියා

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

ඌව පළාතට යා හැකි එක පාරක් නම් උඩවලවෙන් තණමල්විලට යන පාරය. මේ පාර දිගේ සෑහෙන දුරක් ඇත්තේ අලි වාසය කරන කැළැවක්ය. මේ පාරේ යන එන විට අලි පහක් දහයක් දැක බලාගැනීම අමාරු නැත. එයට හේතුව අලි පාර අයිනටම පැමිණ අලි වැට අයිනට වී පාරේ යන එන්නන්ගෙන් හිඟා කෑමය.

මේ පාරේ අලි හිඟාකන්නේ උන් විසින් හතර මායිම වෙන්කරගත් තැන්වල සිට ය. මේ පාරේ අලියා හිඟාකන තැන වෙනම ආර්ථික පරිසරයක් ඇති වී ඇත. අලි කෑම ඇති පෙට්ටි කඩයක් පාර අයිනේ අටවා ඇත. ඒ පෙට්ටි කඩයේ අඩු මිලට පරණ කෙසෙල්, පරණ පලතුරු සහ පරණ පිපිඤ්ඤා විකිණීමට තබා ඇත. මේවා බොහෝමයක් මිනිසුන්ට කන්න විකුණන කෑම ලෙස පෙනෙන්නට නැත. අලි දකින අලිලෝලීහූ අලින්ට සංග‍්‍රහ කරනු වස් තම රථවලින් බැස අවුත් පෙට්ටි කඩයේ විකිණෙන දෑයින් අලිනට සංග‍්‍රහ කරති. අලි ද කිසිදු වෙහෙස මහන්සියක් තම ගතට සිදු නොකර එම සංග‍්‍රහයෙන් ම දවස තෘප්තිමත් කර ගනිති. අලිලෝලීහූ විරල දිනයන්හීදී ද රාත‍්‍රි කාලයේ වුවද වැට අයිනේ සිට තම සප්පායම එනතෙක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අලින් දැකිය හැකිය.

මේ පාර දිගේ ඉන්නා අලි වල් අලි ය. දැන් උන්ට කියන්නේ වන අලි කියා ය. උන්ගේ නම වෙනස් කලේ අලි ගැන බලන අය ය. උන්ගේ නම වෙනස් කරන්නට හේතුව උන් වල් නැති නිසා විය හැකිය. වන අලි කියන්නේ කැළෑවේ ඉන්න අලින්ටයි. ඒ කියන්නේ උඩවලවේ සිටින අලි කැළෑවේ සිටින අලි ය.

කැළෑවේ සිටින අලින්ට කන්නට දේ ඕනෑ තරම් ඇත. එයට පොඞ්ඩක් මහන්සි විය යුතුය. දාඩිය පොඞ්ඩක් හලා ගත යුතුය. එදා අලි කෑවේ ඇවිදලා ය. එහෙම නැත්නම් කාගේ හරි වත්තකට පැනලා ය. දන්සල් ආර්ථිකය තුළ අද උඩවලවේ අලි සිටින්නේ වැට අයිනේය. මේ අලීන් අලි කම්මැලියන් කර ඇත. අලි වැටෙන් එහා ලෝකය ට තමන්ගේ කෑම වේල තීරණය කරන්නට දී යාචකයන් බවට පත්ව ඇත.

පරණ කෙසෙල්වලට සල්ලි ගෙවන්නේ හුදී ජනයා ය. පරණ කෙසෙල් කන්නේ අලියා ය. ගණුදෙණුවෙන් පොහොසත් වන්නේ පෙට්ටි කඬේ මුදලාලි ය. අලිවැට අයිනේ ආර්ථිකය සකස් වී ඇත්තේ ඔහොමය.

මේ පාරෙන්ම ඌව පළාතේ ඡන්දයට යන අපේ ඇත්තන්ට ද ඌවේ ඡුන්ද දායකයා අද පෙනෙන්නේ අලි වැට අයිනේ සිට හොඬ පාන අලීන් සේද කියා සැකයක් පහල වේ.
ඌවට කියන්නේ වෙල්ලස්ස කියාය. ඒ වෙල් ලක්ෂයක් තිබුණ නිසායැයි කියති. ඒ කියන්නේ බත බුලතින් සරුසාර භූමියක් විය යුතු බවය. වෙල් ලක්ෂයක් තිබූ භූමියෙහි මුතුන් මිත්තෝ රටට බත සැපයූවෝ වෙති. ගත සිත වෙහෙසවා ගොවිකමෙහි යෙදුනෝ වෙති. රජ ගෙදර දන්සල්වලට බත සැපයූවෝ වෙති. එවැනි පරපුරක දරු මුණුබුරන් අද ඌවේ රජකම් කරන්නට එන්නන්ට පෙනෙන්නේ උඩවලවේ අලි වැට අයිනේ සිගමන් යදින අලීන් සේය.

වෙල්ලස්සට අද ප්ලාස්ටික් පුටු ලක්ෂ ගණන් ගෙන යති. උදලු තල ලක්ෂ ගණන් ගෙන යති. උදලු මිටි ලක්ෂ ගණන් ගෙන යති. වැසිකිලි පෝච්ච් ලක්ෂ ගණන් ගෙන යති. මහන මැෂින් ද ගෙන යති. අනේකවිද බඩු භාණ්ඩ ලක්ෂ ගණනින් ගෙන යති. තැන් නැන්වල ඉදි වී ඇති දන්සල්වලින් මේවා ජනයා සදහා වූ පහන් සංවේගයෙන් බෙදෙති. ජනයා ද සියලු දේ අමතකවැ ගොස් ජය වේවායි පතමින් කක්කුස්සි කට කර තබාගෙන, උදලු මිට කිහිලි ගන්වාගෙන පහන් සිතින් ගෙදර යති.

එකෙක් උදැල්ල බෙදූ පසු තවකෙක් උදලු මිට බෙදයි. දැන් අවැසි වන්නේ උදැල්ලට මිට ගැසීමට එකෙක් සොයා ගැනීමයි. වැසිකිලි කට අතෙහි තියාගෙන වැසිකිලිය සාදා ගැනීමට එකෙක් එනතෙක් ජනයා බලා සිටිති. මහන මැෂින් ලැබුණු ජනයා රෙදිනූල් ගෙනෙන්නා එන තෙක් මග බලා සිටිති. එදා වෙල් ලක්ෂයකින් බත සැපයූ වෙල්ලස්ස අද යාචකයන්ගේ භූමිය ලෙස පෙනෙන්නට ඇත.

තමන් රජකම් කරද්දී ජනතාව දුකෙන් මුදවූයේ නම් අද තෑගී භෝග ගෙන ගොස් තව වරයක් ඉල්ලා සිටීම අනවශ්‍ය බව මේ වැස්සෝ දැනගත යුතුය. තමන් දුකෙන් මුදවීමට පුටුවකට හෝ උදදු මිටකට නොහැකි බව ඔවුනට පෙනිය යුතුය. පුටුවක්, උදැල්ලක් මැෂිමක් තමන්ගේ දිරියෙන් ගතහැකි පරිසරයක් නිර්මාණය කිරීමට බලකිරීම ඔවුනගේ වගකීම විය යුතුය.

උඩවලවේ අලි වැට අයිනේ සිඟමන් යඳින හස්තිරාජයන් එසේ වී ඇත්තේ අපේ කෙරුවාව නිසා ය. වෙල් ලක්ෂයකින් බත රටට සැපයූ දරු මුණුබුරන්ගේ කෙරුවාව එසේ විය යුතු නැත. ඔවුන් උඩවලවේ අලීන් සේ පෙනෙන්නට හෝ හිතන්නට අවස්ථාවක් දිය යුතු නැත

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.