27 April, 2024

Blog

රනිල් (නො)දිනවීමේ සජිත්ගේ උපාය

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

ජනාධීපතිවරණයක් ලබන වසරේ මුල භාගයේ පැවැත්වීමේ දෙගිඩියාවකින් රටම පසුවේ. ජනාධිපතිවරණයක් පවත්වන බවට සාක්ෂි ආණ්ඩු පක්ෂය විසින් මේ වන විට ජනතාව අතට පත්කොට ඇත.

පිළිගත හැකි හොඳම සාක්ෂිය වශයෙන් ඉදිරිපත් කළ හැක්කේ මෙවර අයවැය යි. එයට අමතරව රජයේ සේවකන්ට ඉතා අඩු මුදලකට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යතුරුපැදි පිරිනැමීම, විදුලි බිල, ඉන්ධන මිල අඩු කිරීම ජනාධිපතිවරණයක සලකුණු සම්බන්ධයෙන් පෙර නිමිති වශයෙන් සැලකීමට හැකි අතර ජනාධිපතිවරයා විසින් විවිධ අවස්ථාවලදී නෙළුම් පොකුණ රගහල සහ අරලිය ගහ මන්දිරයේදී රජයේ නිළධාරීන් ආමන්ත‍්‍රණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියට එන ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා පළමුවෙන්ම සිදු කරන ලද්දේ එතෙක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය ප‍්‍රතික්ෂේප කරමින් සිටි සජිත් ප්‍රෙමදාස මහතා ඇතුළු කණ්ඩායම සමඟ යම් ආකාරයක හිතවත්කමක් ඇතිකර ගැනීමයි. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කරන්නේ මෙසේ සජිත් පේ‍්‍රමදාස සමඟ ඇතිකරගත් නව මිතුරුකම පෙරදැරි කරගෙන වන අතර කෙසේවෙතත් ඌව පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල සලකා බැලීමේදී එතෙක් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සම්බන්ධයෙන් වූ පසුගාමීත්වය වෙනස් කරමින් ආණ්ඩුව සමඟ තරගයක් දියහැකි තත්වයකට එක්සත් ජාතික පක්ෂය ගෙන ඒමට මහ ඇමති අපෙක්ෂකයා වශයෙන් තරඟ කළ හරීන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සමත් වූහ. මෙසේ ඌවෙන් ලද යම් ආකාරයක පිබීදීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ පෙර පැවති ගමන් මාර්ගය යම් ආකාරයකින් වෙනස් මගකට ප‍්‍රවේශ වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිට පහළට බොහෝ පිරිසක් ඉදිරි මැතිවරණය පහසුවෙන් ජයග‍්‍රහණය කළහැකි සිල්ලර මැතිවරණයක් වශයෙන් සලකන්නට පටන්ගෙන තිබේ.

Sajith and Ranilමෙවර ජනාධිපතිවරණයේදී රටේ අති බහුතර විපක්ෂයේ කණ්ඩායම්වල ප‍්‍රධානතම සටන් පාඨය වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා මෙම ජනාධිපතිවරණය ඉලක්ක කොට නව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ රටෙහි ඇති කිරීම ය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කර වෙනත් ආකාරයක ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් රැුගෙන එන බවට මේ වනතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කොට නොමැත.

විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහෝමයක හා විවිධ දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන් බහුතරයක මතය වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ඉලක්ක කොටගත් පොදු වැඩපිළිවෙලක් සහිත පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි.

ඌවේන් ලද ඡන්ද පිබිදීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස ගේ ආකල්පය වී ඇත්තේ මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විශාල ජන පදනමක් අත්කර ගනිමින් සිටින බවත් එනිසා මෙසේ සන්ධාන ගතව ජනාධිපතිවරණයට තරග කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ය. සජිත් පේ‍්‍රමදාස විසින් එක්සත් ජාතික පක්ෂයෙන් අලියා ලකුණෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත් කරන බවට දිගින් දිගටම ප‍්‍රකාශ නිකුත් කරන අතර එය එසේ නොවේයැයි රනිල් වික‍්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක ප‍්‍රකාශකොට නොමැත.

රනිල් වික‍්‍රමසිංහ මෙසේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහයෝගය නොදෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක්ම මේ වන විට තම ස්ථාවරය ප‍්‍රකාශකොට තිබේ.

එසේම එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර, රවී කරුණානායක ඇතුළු නායකයන් විශාල පිරිසක් පොදු එකගතාවයක් තුළ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම තුළ වඩාත් සුබදායි ප‍්‍රතිඵලයක් ලබාගත හැකි බවට විශ්වාසය තැබීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු එහි ප‍්‍රධානීන් මංගල සමරවීර වැනි නායකයන්ට සැලකීමේ ක‍්‍රමවේදය ද අද වන විට වෙනස්ව ඇති අතර මංගල සමරවීරගේ එක්සත් ජාතික පක්ෂය සමග ඇති දේශපාලන අනාගතය ද යම් අස්ථාවරභාවයකට පත්කොට ඇත.

සජිත් ප්‍රෙමදාස මහතාගේ ආගමනයත් සමග ඔහු යම් අවස්ථාවකදී විරුද්ධ පක්ෂයේ පොදු වැඩපිළිවෙලට එක්වීමට සූදානමින් සිටි පිරිසට ආක්‍රෝෂ පරිභව කිරීම තුළ එම පිරිසද පොදු විපක්ෂයක් සමග එක්වීමේ අදහස අත්හැර දමාඇති බව කියවේ.

රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන දෙදෙනාගේ එකතුව සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය රට තුළ පුළුල් දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් ඇති කිරීමට වඩා දෙදෙනාගේ පුද්ගලික අභිමතාර්ථයන් මුදුන් පත්කරගැනිම සඳහා සිදුකරනු ලබන වැඩපිළිවෙලක් බව මේ වන විට දේශපාලනය සම්බන්ධයෙන් හය හතර නොතේරන අයෙකුට පවා පැහැදිලිව පෙනෙන කාරණාවකි.

ඌවේ මැතිවරණයයෙන් පසු එතෙක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙහෙසුනා වූ මංගල සමරවීර, රවී කරුණානායක සහ කරූ ජයසූරිය වැනි නායකයන් සියල්ල පසෙකට විසිවන්නේ ඒ සියලු දෙනා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පුද්ගලික දේශපාලන අභිමතාර්ථය තුළ කටයුතු නොකළ නිසාවෙනි.

රනිල් වික‍්‍රමසිංහ විසින් සජිත් පේ‍්‍රමදාසව උපයෝගි කරගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් නායකකාරකාදීන් සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම් හා සංවිධානවල ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු පත්කිරීමේ කතිකාවත දියාරු කිරීමටය. වෙනත් වචනවලින් කියන්නේ නම් රනිල් වික‍්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනාධිපති වීමටය.

පොදු විපක්ෂයක් තුළ එක්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළයුතු යැයි සිතන්නා වූ බහුතරයකගේ මතය වී ඇත්තේ රනිල්- සජිත් යුගලයෙහි ක‍්‍රියාකාරීත්වය සද්භාවී නොවන බවය. බහුතරයකගේ මතය වී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස විසින් අටවනු ලැබූ උගුලකට රනිල් වික‍්‍රමසිංහ මහතා හසුවී ඇති බවත් ය. ජනාධිපතිවරණයට තරග කිරීම සහ ඊළග ජනාධිපතිවරයා වීමේ නොතිත් ආශාවෙන් පෙලෙන රනිල් වික‍්‍රමසිංහගේ එම ආශාව සජිත් පේ‍්‍රමදාස විසින් තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පත්කරවා ගැනීම සඳහා ඉතාම සුක්ෂ්ම ආකරයට ප‍්‍රයෝජනයට ගනුලබන බවයි. එනම් සරලව කියන්නේ නම් රනිල් වික‍්‍රමසිංහ මහතා ඊළග මැතිවරණයෙන් පැරදුනහොත් ඊළග නායකත්වයකට පත්වීමේ නූල්සූත්තරය යි. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ක‍්‍රියාකලාපය දෙස බැලීමේදී පැහැදිලිවම පෙනෙන්නේ ඔහු තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පවතින ක‍්‍රමය සාධනීය ලෙස වෙනසක් කිරීමට වන වැඩපිළිවෙලක් නොමැති බවයි. ඔහුගේ එකම අපේක්ෂාව වී ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය ජයග‍්‍රහණය කිරීම පමණක් යන්න පැහැදිලිව පෙනෙයි.

රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙල කුමක් ද යන්න අද වනතෙක් රටෙහි ජනතාව දන්නේ නැත. ජනතාවට පෙනෙන්නට ඇති එකම කාරණය නම් රනිල් සහ මහින්ද යන දෙදෙනාම විධායක ජනාධිපති ක‍්‍රමය රැුකගැනීම සඳහා සම්මතයක නියැලෙන බවයි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙල උරුමය හා සිවිල් හා බහුජන සංවිධාන එකතුව මහින්ද රාජපක්ෂ තෙවැනි වරට තරග කිරීම නීති විරෝධීබවට ගෙන යන මහජන ව්‍යාපාරය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එයට ප‍්‍රතිවිරුද්ධ අදහස් දරමින් දියාරු කිරීමට උත්සහ දරා ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරණය හැකි ඉක්මනින් තබා එයට තරග කිරීමේ අවශ්‍යතාවයෙනි.

වික‍්‍රමසිංහ මහතාට අද වන විට අමතක වී ඇති කාරණය නම් පොලිස් දෙපාර්තමේන්තුව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඇතුළුව රාජ්‍ය යාන්ත‍්‍රණයේ වැදගත් වන්නා වූ සියලු මර්මස්ථානයන් රටෙහි විධායක ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් අතට ගෙන රාජ්‍ය පාලනය සිදුකරන අවස්ථාවකදී පවත්වනු ලබන්නා වූ මැතිවරණයක ශුද්ධභාවය කුමන ආකරයකින් පවතීද යන්නයි. මෙවැනි දරදඩු යාන්ත‍්‍රණයකට මුහුණදීමට පුළුල් සමාජ ව්‍යාපාරයක් ඇති කළ යුතු වේ. එසේම එම සමාජ ව්‍යාපාරය සතු සටන් පාඨයන් ජනතාවාදී වියයුතු අතර එම සමාජ ව්‍යාපාරයේ පැවැත්ම සද්භාවීය විය යුතු වන්නේය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය රටෙහි ජනාධිපතිධුරයට පත් වන්නේ එවැනි සමාජ ව්‍යාපාරයක් තුළ ඇයද කොටස්කාරියක්ව සිටි නිසා ය.

අප අමතක නොකළ යුතු කාරණය විය යුත්තේ 1977 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂ පාලනයෙහි ප‍්‍රචණ්ඩත්වය, දුර්දාන්තභාවය සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධිභාවය වැනි ලක්ෂණයන් සියල්ල පැවතිය ද 1994 පැවති මහ මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ප‍්‍රමුඛ පොදු පෙරමුණ පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගන්නේ එක් වැඩි මන්ත‍්‍රි ආසනයකින් පමණක් බවයි.

මේ අනුව රනිල් සජිත් යුගලය අවධාරණයට ගත යුත්තේ මෙම ක‍්‍රමය තුළ බලපෙරලියක් සිදුකිරීම ලේහෙසි පහසු කටයුත්තක් නොවන බවත් විශේෂයෙන් ම අද වන විට රටේ පවතින යාන්ත‍්‍රණයන් සියල්ල සහ රාජ්‍ය ආයතන පුද්ගලයන් බහුතරයක් දැඩි දේශපාලනකරණයකට ලක්ව තිබීම හේතුවෙන් හුදු පුද්ගල නාමයකට හෝ පක්ෂ නාමයකට හෝ පක්ෂ සලකුණකට ජනතාව නම්මවා ගැනීමේ හැකියාව ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත් ය.

පවතින පාලනයෙහි වෙනසක් කළයුතුය යන සිතිවිල්ලෙහි සිටින මධ්‍යම පාන්තික බහුතරයකගේ මතය වී ඇත්තේ 1994 ට සමාන සමාජ විග‍්‍රහයක් රට තුළ ඇතිකිරිමෙන් වඩා සුබවාදී ප‍්‍රතිපලයක් රටට අත් වියහැකි බවයි. ඒ අනුව මේ අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ විසින් කල්පනා කර බැලිය යුත්තේ තමාගේ පක්ෂය ඉතා සුළුතරයක අවශ්‍යතාවය සපුරා ගන්නේ ද නැත්නම් රටෙහි මතය වෙනස් කළහැකි ජනතාවගේ අභිලාෂය අනුව කටයුතු කරන්නේද යන්නයි.

තමා වෙනුවෙන් පෙනී සිටි සහ තමා වෙනුවෙන් සිටි පිරිස් පවා පැත්තකට දමමින් සහ පොදු සමාජ ව්‍යාපාරයන්ගේ ඉල්ලීම පසෙකට විසිකරමින් ඔහු විසින් ඔහුගේ පුද්ගලික අභිමතාරථයන් වෙනුවෙන් කරනු ලබන්නා වූ සෑම ක‍්‍රියාවකම ප‍්‍රතිපලයේ වින්දිතයන් බවට රටෙහි ජනතාව පත්වීම වඩාත්ම නරකම දේ වන්නේ ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.